වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

චිත්‍රපට නිළි සන්ධ්‍යා කුමාරි සහ නිළි රැජන මාලිනී ෆොන්සේකා එකට රඟපෑවේ ‘කවුද හරි’ චිත්‍රපටයේ පමණ ද?

කේ. ජී. සෝමදාස - තම්මිට

සකුන්තලා චිත්‍රපටයෙත් රඟපෑවා.

මා විසින් එවන ලද සෑම ප්‍රශ්නයටම පිළිතුර සැපයූ ඔබ, මා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ නැත්තේ ඇයි අර්ජුන්?

ඒ. කරුණාදාස - යාලගම, ඉඳුරුව

ඔබ විසින් එවන ලද සෑම ප්‍රශ්නයකටම මම පිළිතුරු සැපයුවා නම්, අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු නැති වුණේ මොකද කරු.

ටෙඩී විද්‍යාලංකාර චිත්‍රපටයක් කළා ජූනි 27 නමින්. එම චිත්‍රපටයට මොකද වුණේ?

සමන් ගාල්ලගේ – කැටපල

ජූනි 27, කළේ ටෙඩී නෙමේ. කොහොම වුණත් ඒ වැඩේ අතරමඟ නතර වුණා.

චිත්‍රපටයක රූගත කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වූ පසුව එම චිත්‍රපටයේ නම වෙනස් කිරීමක් කළහොත් එසේ කළ හැක්කේ අධ්‍යක්ෂවරයාට ද, ලියූ රචකයාට ද?

එම්. ෆ්‍රෙඩී ප්‍රනාන්දු - කල්දෙමුල්ල

චිත්‍රපටයක නිිර්මාණාත්මක අයිතිය අධ්‍යක්ෂවරයාට වුවත්, එය නිෂ්පාදකවරයාගේ පෞද්ගලික බූදලයයි. එබැවින් චිත්‍රපටයක් පිළිබඳ පූර්ණ අයිතිය නිෂ්පාදක සතුයි. නිෂ්පාදකට අභිමත පරිදි එය වෙනස් කළ හැකියි.

පැරැණි ගායන ශිල්පීන්ගේ ගීත නව පරපුරේ සමහර ගායන ශිල්පීන් විසින් යළිත් වරක් තැටිගත කර ගුවන් විදුලි සේවා මඟින් විකාශය කිරීමට කටයුතු කිරිම ගැන ඔබගේ අදහස් කෙසේ ද කියන්න බලන්න.

තිලකරත්න විල්වල – කෑගල්ල

සමහර පැරැණි තැටි සංරක්ෂණය කරන විටදී විවිධ දෝෂ ඇතිවෙනවා. එම නිසා ඔය වැඩි හරියක් පැරැණි ගීත අලුතෙන් පටිගත කරන්න සිදුවෙනවා. හැබැයි ඒ සංරක්ෂණ කටයුතු පැරැණි නිර්මාණකරුවන්ගේ අයිතියට ගරු කරමින් හා ඇසුරු කරමින් කළ යුතුයි. අද ගීත අයිතිය ගැන කෑගහන කවුරුවත් දන්නෝ බුදන්ගේ, සුවඳ පද්ම, නිල් අහස් තලේ වැනි ගීතවල අයිතීන් ගැන කතා කරනවාද?

සොයා ගැනීමට නොහැකි යයි පවසන සංදේශය, රන්මුතු දූව, වීර විජය, සිම්බෝ සහ දුප්පතාගේ දුක වැනි බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළූ චිත්‍රපට අප රට තුළ ඉතා සීමිත ප්‍රමාණයක් ඩී. වී. ඩී. පට තිබෙන බව ආරංචියි. එහෙත් ඒවා කිසිවෙක් එළියට දමන්නේ නැහැ. ඒ පිළිබඳ ඔබේ අදහස.

සිරිමල් පීරිස් - මොරටුව

එම චිත්‍රපට එළියට ඇවිත් තියෙන්නේ නීති විරෝධීවයි. ඒ වගේම අයිතිකරුවන්ගේ අනුමැතිය නොමැතිවය. එම නිසා එසේ වෙළෙඳ පොළේ ඇත්තේ නීති විරෝධී ඩී. වී. ඩී යි.

දිලිප් කුමාර් රඟපෑ ‘දේව්දාස්’ චිත්‍රපටයේ පාරෝගේ භූමිකාවට පණ දුන් එමෙන්ම මටිකා, ආන්ධී චිත්‍රපටවල රඟපෑ සුමිත්‍රා සෙන් තවම ජීවත් වන්නේද? මා දන්නා පමණින් ඇයට ‘මූන් මූන් සෙන්’ නමින් දියණියක් ද සිටියා.

ජනක ඉලුක්කුඹුර – කඩවත

ඇය දැන් 81 හැවිරිදිව හොඳින් ජීවත් වෙනවා. එමෙන්ම ඇයට පසුගියදා බටහිර බෙන්ගාල ප්‍රාන්ත රජය විසින් පිරිනමනු ලබන ඉහළම සම්මානය වූ ‘බංගි භිබූෂන්’ සම්මානයෙන් ද පුදනු ලැබුවා. එහෙත් ඇය 1979 වසරෙන් පසු නැවත රඟපෑවේ නැහැ. ඇයගේ දියණිය මූන් මූන්සෙන් (දැනට 64 වැනි වියෙහි පසුවන) මෑතක නම් රඟපෑවේ නැහැ. 2007 දී මූන් මූන් අවසන් වරට රඟපෑවා. මූන් මූන්ගේ දියණියන් වූ නැතහොත් සුමිත්‍රාගේ මිණිපිරියන් වූ රයිමා සහ රියා සෙන් දැන් චිත්‍රපටවල රඟපානවා.

ආතර් යූ. අමරසේනයන්ගේ විසිතුර, පියකරු, සුරතුර යන සිනමා පත්‍ර මිලයට ගත හැකි මාර්ගයක් කියන්න.

ආර්. එච්. එම්. ප්‍රේමසිරි – ගලහිටියාව - ගණේමුල්ල

එම පුවත්පත් දැන් පළ වන්නේ නැහැ.

ජීවන් කුමාරණතුංග නැමැති රංගන ශිල්පියා පිළිබඳ ඔබගේ අදහස කෙබඳුද?

දයාරත්න ගනේගොඩ, මාපළගම

වසර තිහකටත් වැඩි කාලයක් මුළුල්ලේ ජනප්‍රිය නළුවකු ලෙස සිටින ජීවන්ට ඔහුගේ හැකියාවන් පෙන්වීමට ලැබුණු අවස්ථා බලන විට ඉතා අල්ප බවයි මගේ හැඟීම. ඒ සඳහා උදාහරණයක් වන්නේ කෙළිමඬල චිත්‍රපටයේ කළ රඟපෑමයි. බොහෝ සිනමාකරුවන් ඔහු තෝරා ගත්තේ, එකී ජනප්‍රියත්වයෙන් වැජඹෙන්නට විනා විශිෂ්ට ගණයේ චරිතාංග නළුවකු ලෙස ඔහුට ඇති හැකියාව පෙන්නුම් කරන්නට නොවේ. ජීවන් වඩා හොඳ නළුවකු ලෙස සිනමාවට වඩා පෙන් වූයේ මුල් කාලයේ වේදිකාවෙන්.

විජය කුමාරතුංග රංගවේදියාට, මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියා පසුබිම් ගීත ගායනාකර තිබේද?

සුදත් නිශාන්ත – මීගමුව

මා දන්නා තරමින් නැහැ.

සංජීව පුෂ්පකුමර වැනි අති දක්ෂ නිර්මාණකරුවන් අප රටට අහිමිවීම ගැන ඔබට දැනෙන දේ කුමක්ද?

ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව

සංජීව පුෂ්පකුමාර විශිෂ්ට සම්මාන රාශියක් දිනීම අප රටට ආඩම්බරයට කාරණයක්. කවර හෝ කෙනෙකුගේ හැකියාවන් උපන් රටට වැදගත් නොවන්නේ නම් ඒක අපරාධයක්. ඒ වගේම තමන් උපන් රටට වැඩක් නොකරන්නේ නම් ඒක ඊටත් වඩා අපරාධයක්. ඒත් සංජීව වැනි අලුතෙන් හිතන නිර්මාණකරුවන් අවශ්‍ය යුගයක් මේ.

ආසියාතික රටවලින් විශිෂ්ට සිනමා කෘති බිහිවන්නේ කේරළයෙන්ද?

සුජාතා ගුණවර්ධන - කඩවත

කේරළයෙන් ඉඳලා හිටලා හොඳ චිත්‍රපට හැදෙනවා. ඒ වගේම අන්තිම කිසිකබල් චිත්‍රපටත් හැදෙනවා.

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ කතාවක් ඇසුරින් නිපද වූ ‘මා හේනේ රීරි යකා’ චිත්‍රපටයට මොකද වුණේ?

සරත් රණසිංහ – කපුගොඩ

1971 පෙන්නුවා. ඊට පස්සේ මොකද වුණේ කියලා දන්නේ නැහැ.