වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




පිටපත් තිස් පහේ සීමාව අධිකරණය පිළිගනී

පිටපත් තිස් පහේ සීමාව අධිකරණය පිළිගනී

පෝලිම් පනින්නත් බැහැ

මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට සෑම ප්‍රදර්ශක මණ්ඩලයකම තිරගත වන සෑම චිත්‍රපටයකම පිටපත් ගණන තිස්පහකට සීමා විය යුතු බව දන්වා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ක්‍රියාත්මක කළ චක්‍රලේඛය අභියෝගයට ලක් කරමින් අධිකරණය මඟින් පනවා තිබූ ඒක පාර්ශවික තාවකාලික වාරණ නියෝගය සංස්ථාව කරුණු දැක්වීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි 28 සිට ඉවත් කළ බව චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා සරසවියට දන්වා සිටියි. ඒ අනුව සංස්ථාව සතු අධිකාරි බලය මත ඉදිරියට එම චක්‍රලේඛය ක්‍රියාත්මක වන බවත් පිටපත් තිස්පහේ කරුණට අමතරව එහි ඇතුළත් රැඟුම් පාලක මණ්ඩලය ලබාදෙන පිළිවෙළට චිත්‍රපට ප්‍රදර්ශනය සහ චිත්‍රපට නිෂ්පාදකයන් විසින් සිනමා ශාලා හිමියන්ට අයුතු බලපෑම් එල්ල කිරීමට එරෙහිව නියෝග ද එදින සිට වලංගු බව සේරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

සංස්ථාවට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ චිත්‍රපට නිෂ්පාදකවරුන් වූ සුනිල් ටී. ප්‍රනාන්දු, ආචාර්ය සෝමරත්න දිසානායක, සදේශ් කුමාර්, ගයාන් රණධීර හා ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමයි.


සිග්නිස් උළෙලේ ටෙලිවිෂන් හැලේ.

සම්මාන සිනමාවට පමණයි.

උළෙලට අලුත් අංග.

ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන සිග්නීස් උත්තමාචාර උළෙල මෙවරත් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මේ දක්වා සිනමාව සහ රූපවාහිනී නාට්‍ය එකට එකතුව පැවතියත් මෙම වසරේ සිට ටෙලි නාට්‍යය හෝ රූපවාහිනී නිර්මාණ අගැයීමක් සිදු නොකරන අතර වඩාත් පුළුල් ලෙස සහ නව සම්මාන ඉසව් හඳුන්වා දෙමින් සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන්ම වඩා අර්ථවත් ලෙස මෙම උත්තමාචාර උළෙල පැවැත්වීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය වසරේ එම උළෙලේ හඳුන්වා දුන් ප්‍රශස්ථ සහාය අධ්‍යක්ෂ සහ නිෂ්පාදන කළමනාකරු සම්මානයන්ට අමතරව මෙම වසරේ පටන් නිර්මාණශීලී සටන් අධ්‍යක්ෂණය, නිර්මාණශීලී මාධ්‍ය රූප සජීවීකරණය, නිර්මාණශීලී හාස්‍යෝත්පාදක රංගනය සහ වසරේ ජනප්‍රියම සිනමා නිර්මාණය වැනි නව සම්මාන ඉසව් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. මෙයට සමගාමීව කෙටි චිත්‍රපට තරගාවලියක් පවත්වන අතර එය සලරූ සහ සජීවීකරණ දෙඅංශයේම නිර්මාණ සඳහා විවෘතය. කාලය උපරිමය විනාඩි 15 ටත් අවමය විනාඩි 10 ටත් සීමාකර ඇත.

මෙම වසරේද දේශීය සිනමාව හා ඒ හා බද්ධ වන සිනමා කර්මාන්තයේ ද ප්‍රගමනය වෙනුවෙන් පෘථුල මෙහෙවරක නියැලුන නිර්මාණකරුවන් උදෙසා සිග්නීස් අන්තර් ජාතික ප්‍රණාමය ද, දේශීය සිනමා සාහිත්‍යයේ උන්නතිය සඳහා සාහිත්‍යකරණයේ යෙදෙන්නන් දිරිමත් කිරීමට පිදෙන සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය ද, ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය පිදීම සඳහා ‘සිංහල සිනමාව 66 න් ඔබ්බට’ යන මැයෙන් වචන 2500 නොවැඩි ආධුනික විචාර තරගය මෙවර ද පැවැත්වේ.

කෙටි චිත්‍රපට නිර්මාණ, සංඛ්‍යාත දෘෂණ තැටි (ඩී. වී. ඩී.) මගින් පමණක් සහ විචාර ලිපි ද 2013 අප්‍රේල් මස 30 වන දිනට ප්‍රථම සිග්නීස් ශ්‍රී ලංකා පර්ෂදය, අංක 19, මැල්කම් පෙදෙස, කොටා පාර, බොරැල්ල යන ලිපිනයට කාර්යාල වේලාව තුළ (පෙ. ව. 8.30 – ප. ව. 4.30 දක්වා) ගෙනවිත් භාර දිය යුතුවේ. අයැදුම්පත්‍ර සහ වැඩිදුර තොරතුරු 0112693425, 0718954214, 0770212043 යන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.


රජ වත්ත අද ඇරැඹෙයි

සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි සිතුවම රජ වත්තහි මූලික වැඩ කටයුතුª අද කැලණිය රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන මුහුරත් උළෙලින් පසුව ආරම්භ වේ. ශ්‍රීනාත් චම්පික පෙරේරාගේ නිෂ්පාදනයෙන් යුතු මෙය සංජීව සමරවීරගේ රචනයකි.

රොජර් සෙනෙවිරත්න, අයිරාංගනී සේරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, රෙබේකා නිර්මාලී, රෙහෙන්සිරි වරාගොඩ, චන්දික නානායකකාර, උමයංගනා වික්‍රමසිංහ, චංචලා වර්ණසූරිය, සම්පත් ජයවීර, සුසිලා කෝට්ටගේ, ප්‍රේමදාස විතානගේ, නිලන්ති විජේසිංහ, අවන්ත පෙරේරා, ඩිලානි නිකහැටිය, රනිල් කොතලාවල, දෙනුවන් සේනාධි, රොෂාන් ජයසුන්දර, ධම්මිකා විජේරත්න, ඉඳුනිල් අබේසිංහ, අදීශ කාංචන, චාන්දනී පෙරේරා, රියන්ත ප්‍රනාන්දු, රෙනෝල්ඩා හෙලන්, සිසිර රණසිංහ, පද්මිණී ලියනගේ, චාමින්දි ගුණතිලක, සුමිත්‍රා ලක්මාලි ඇතුළු පිරිස රජවත්තේ නළු නිළියන් පිරිවරයි. ෆර්හාන් ෂාන්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. සුමති කුඩලිගම කලා අධ්‍යක්ෂවරයාය. සනීර ජෙමෙල් කුමාර අංග රචනයෙන් එක් වෙති. ෂෙහාන් ඉද්දමල්ගොඩ සහාය අධ්‍යක්ෂවරයා වේ. දිලීප පුස්සැල්ල කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වෙති.


සෝමරත්න දිසානායකගෙන් චිත්‍රපට සංස්ථාවේ සභාපතිට විවෘත අභියෝගයක්

චිත්‍රපටයක් මුදාහැරීමේදී, පිටපත් සීමා කර චිත්‍රපට සංස්ථාවේ සභාපති තුමා විසින් නිකුත් කළ නියෝගය පිළිබඳ විවාදය පිළිකුල් සහගත තත්ත්වයකට පෙරලෙමින් තිබීම කනගාටු දායකය.

මෙහි ඇත්තේ චිත්‍රපට බෙදාහැරීම පිළිබඳ මතභේදයක් පමණි. හිතවතුන් අතරේද, පවුලේ සාමාජිකයන් අතරේද මතභේද ඇතිවිය හැක. “ 35 සීමාව සිනමාවේ පරිහානියට හේතුවේ ” යන මතය මම දරන නිසා, මම එම නියෝගයට එරෙහි වීමි. අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළ නමුත් නියෝගය එලෙසම ක්‍රියාත්මක හෙයින්, එයට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා සිටියෙමි. දිස්ත්‍රික් උසාවිය මඟින් එය පළමුව පිළිගෙන, පසුව වාරණය නැවත ඉවත් කරන ලදී. නමුත් මෙම තීන්දුව අධිකරණ ක්‍රියාවලියේ අවසානයද නොවේ. කෙදිනක හෝ අධිකරණය විසින් අවසන් තීන්දුවක් දුන් මොහොතක, එම තීන්දුවට එකඟ වී, ඊට සාපේක්ෂව කටයුතු කිරීමට මම සූදානමින් සිටින්නෙමි.

අවසන් තීන්දුව කුමක් වුවත්, මෙම මතභේදය නිසා, සිනමා ක්ෂේත්‍රයේ දැනට උද්ගත වී ඇති තත්ත්වය නම් ඉතා පිළිකුල් සහගතය. ඇතැම් පිරිස් විසින් මෙම ගැටුම පුද්ගලික එදිරිවාදිකමක් ලෙස සලකා පුද්ගලික අමනාපකම් ඇති කරගෙන ඇති බවත් පෙනේ. එය එසේ විය යුතු නැත.

සහෝදර සිනමාකරුවන් සියලු දෙනාටම මම කාරුණිකව කියා සිටින්නේ මෙම මත ගැටුම මෙම කාරණයට පමණක් සීමා කර, අපගේ හිතවත්කම් ප¼ථදු නොකර ගෙන සිටිමු කියාය. ඔබ ඔබේ මතය වෙනුවෙන් පෙනී සිටින්න. මම මගේ මතය වෙනුවෙන් පෙනී සිටිමි. කෙදිනක හෝ අවසන් තීරණයක් ආපසු, අප සියලු දෙනා එයට බැඳී සිටිමු.

“ චිත්‍රපටයක් මුදාහැරීමේදී පිටපත් ගණන සීමා කිරීමෙන් දේශීය සිනමාවට සිදුවන්නේ අයහපතකි ”

“ පිටපත් 35 කට සීමා කිරීමෙන් අතිබහුතරයක් සිනමා පේ‍්‍රක්ෂක ජනතාව රජය කෙරෙහි අප්‍රසාදය පළකරනු ඇත. ”

ඉහත සඳහන් ප්‍රකාශ මා කරන්නේ දැඩි වගකීමකින් යුතුවය. එසේම එම කරුණු සනාථ කිරීමට අදාළ අසීමිත කරුණු සාධක මා සතුව ඇත.

මේ පිළිබඳව තැන තැන එකිනෙකාට බැන වදිමින්, කුණුහරුප කියමින්, කේලාම් කියමින්, පුරසාරම් දොඩමින් කාලය නාස්ති කිරීම පලක් නැත. මෙය පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ප්‍රශ්නයක් නොව, රටටම බලපාන පොදු ප්‍රශ්නයක් නිසා, මේ පිළිබඳව මුහුණට මුහුණ දී කෙරෙන විවෘත සංවාදයක් මම යෝජනා කරමි.

අපක්ෂපාතී මැදිහත් කරුවකු හෝ පිරිසක් ඉදිරියේ ඕනෑම වේදිකාවක හෝ රූපවාහානී නාලිකාවක, සජීව සංවාදයකට පැමිණෙන ලෙස මම චිත්‍රපට සංස්ථාවේ ගරු සභාපති අධිනීතීඥ අශෝක සේරසිංහ මහතාට අභියෝග කරමි.

මෙයට

ආචාර්ය සෝමරත්න දිසානායක


රයිගම් සම්මාන උළෙල මැයි මාසයේදී

සම්මාන උළෙල ගැන මාධ්‍ය දැනුවත් කළ හමුව සඳහා සහභාගි වූ පිරිස අසුන්ගෙන  සිටි පිළිවෙළ. මහාචාර්ය පැට්රික් රත්නායක මහතා, ගණක අමරසිංහ මහතා, ආචාර්ය රවි ලියනගේ, තාරක රන්වල මහතා, කිෂාන් තියඩෝර් මහතා.

නව වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල 2013 මැයි මස 17 වෙනි දින සන්ධ්‍යාවේ වෝටර්ස් ඒජ් හිදී පැවැත්වේ.

රයිගම් ටෙලීස් ටෙලිවිෂන් මාධ්‍යයේ සියලු අංශ ආවරණය කරයි. ඊට ටෙලි නාට්‍යය මෙන්ම ළමා, ක්‍රීඩා, දේශපාලන, ප්‍ර

වෘත්ති, වාර්තා, රියලිටි හා වෙනත් විවිධ වැඩසටහන් සහ තාක්ෂණ අංශ ඇතුළත්ය. එමෙන්ම රයිගම් ටෙලිස් වෙතින් සම්මානයක් ප්‍රදානය කරන්නේ ජාතික මට්ටමින් සලකා බැලිය හැකි කුසලතාවන් සඳහා පමණි. ඒ සදහා රයිගම් ටෙලීස් අනුගමනය කරන සම්මතයක් ඇත.

රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන පරාසය පුළුල් කළ ද ටෙලි නාට්‍යය සඳහා ප්‍රදානය කෙරෙන සම්මාන සංඛ්‍යාව එලෙසින්ම පවත්වාගෙන යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂවලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්ෂණ සහ ටෙලි නාට්‍යය නිර්මාණ කුසලාතවයන් අගයමින් වසරේ විශිෂ්ටතම ප්‍රාසංගික, ඒකාංගික ටෙලි නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප්‍රදානය කරනු ඇත.