වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාවේ ‘ තවමත්’ උසම නළුවා බැසිල් ද සේරම්

සිංහල සිනමාවේ ‘ තවමත්’ උසම නළුවා බැසිල් ද සේරම්

එදා රිවර් ඔෆ් ජංගල් නමැති වාර්තා චිත්‍රපටය තනන්නට සෝමාවතිය අසල මහවැලි ගංගා නිම්නය අසබඩ වනාන්තරයට ගිය පිරිසේ සිටි ඡායාරූප ශිල්පියකු වූ එරික් ස්වෝන් අලි ප්‍රහාරයකින් මිය ගියේය. කැමරාව සකස් කොට අලියාට තට්ටු දැමූ එරික් ආපසු හැරී දුව ආවද එයට පෙර ඉක්මන් වූ අලියා ඔහු පොළවේ ගැසූ හැටි කැමරාවේ මැනවින් සටහන් විය. එරික් සමඟ එදා සිටි තවත් අයකු වූයේ විලී බ්ලේක්ය. රේඛාව ඇතුළු චිත්‍රපට රැසක කැමරාව මෙහෙය වූ බ්ලේක් සිය මුල්ම අධ්‍යක්ෂණය වනරාජාට උපයෝගි කර ගත්තේ මේ අන්දමටය.

මේ ශෝචනීය සිද්ධිය සිදුව වසර නමයකට ඉක්බිති විලී බ්ලේක් විසින්ම වන දිවිය පසුබිම් වන ආකාරයේ වෘත්තාන්තයක් වනරාජා නමින් නිපදවීමට පටන් ගත්තේය. නොයෙක් දුෂ්කරතා මැද වසර තුනක කාලයක ඇවෑමෙන් එම චිත්‍රපටය තිරගත විය. ඉහත කී මාරකය දැන සිිටියදීත් එහි ප්‍රධාන චරිත රංගනයට ඉදිරිපත් වූ නිර්භීත නළුවා ඉකුත්දාක අංක 35/1 ඒ, පැඟිරිවත්ත පළමුවෙනි පටුමඟ, ගංගොඩවිල, නුගේගොඩ නිවෙසේදී මුණ ගැසීමට ලැබිණ. අඩි 6 අඟල් 2 උසැති ඔහු නමින් බැසිල් ද සේරම් බව මා පැවසිය යුතු නැත.

* ඔබ සිංහල සිනමාවේ සිටි උසම නළුවා. ඔබේ ජීවිත කතාවේ මුල් පිටු කිහිපය පෙරළා බලමුද?

බැසිල් ජිනෙන්ද්‍ර ද සේරම් නමින් ඉපදිලා තිබෙන්නේ 1937 නොවැම්බර් 09 වැනිදා පිළියන්දල. පියා ජයසූරිය ආරච්චිගේ ක්‍රිස්ටියන් ද සේරම්. ඔහු කතෝලික. මව බෞද්ධ. නම අගෝස්තිනුගේ දෝන කුසුමාවතී. මට බාල නංගියෙක් හා මල්ලියෙක් සිටියා. අපි කුඩා කාලයේම මවුපිය දෙපළ වෙන් වුණා. අසීමිත දුක් ගැහැට මධ්‍යයේ ජීවිතය ගැට ගසා ගත් මම කැලණිය ධර්මාලෝක, මහනුවර ධර්මරාජ, පේරාදෙණිය මැදි විදුහලින් අධ්‍යාපනය ලැබුවා. පාසැලේදී මලල ක්‍රීඩාවට දක්ෂයෙක්.

අධ්‍යාපන කටයුතු නිමාවෙන් පස්සේ මට මුල්ම රැකියාව ලැබුණේ ගුවන් හමුදාවේ. එහි අවුරුදු පහක් සේවයේ නිරත වෙලා සිිටියා. ඉවත් වුණේ 1961. ඊළඟට ලංකා ගමනා ගමන මණ්ඩලයේ දිගු කාලයක් සේවය කෙරුවා. අවසන් වකවානුවේ එහි ක්‍රීඩා නිලධාරියා බවට පත්ව සිටියා.

* ඔබ මලල ක්‍රීඩකයෙක් කියා හඳුන්වා දෙනවා. එහෙම නම් ඔබ සම්බන්ධ වුණු ක්‍රීඩා ඉසව් මොනවාද?

හෙල්ල විසි කිරීම, යගුලිය විසි කිරීම, තලිය විසි කිරීම මගේ ප්‍රියතම ක්‍රීඩාවන්. මේ අනුව වාර කිහිපයකම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව හිමි කර ගත්තා. මීට තරුණ ක්‍රීඩා උපදේශකවරයකුගෙන් බොහෝ උදව් උපකාර ලැබුණු බව කියන්න විශේෂයෙන් අවැසියි.

* ඔබ කාලයක් තලතා ගුණසේකර සමඟ විවාහ වී සිටියා. ඒ අතීතය කියන්න අසතුටුද?

ඇත්ත වශයෙන්ම තලතා ගුණසේකර තමා මගේ දිවි ගමන වෙනත් ජනප්‍රිය ඉසව්වකට යොමු කළේ. ඇගේ බලවත් ඉල්ලීම පිට මම වරක් ලෙස්ටර් ජේම්ස් පීරිස් හමුවීමට ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අක්කර පහ චිත්‍රපටයේ නාගරික පෙම්වතෙක් වුණා. ඊට ඉස්සෙල්ලා, ඊට පස්සේ රඟපෑ ලක්ෂෙට කොඩිය ප්‍රදර්ශනයට පැමිණියා. එහි රඟපෑවේ දුෂ්ට චරිතයක්.

මිනිහෙකුගේ සාර්ථකත්වය රඳා තිබෙන්නේ තම සහකාරිය අතේ යැයි කියන මතය දැන් මම පිළිගන්නවා. මොකද මගේ ජීවිතයේ විශාලතම පසුබෑම සිදු වුණේ තලතාගෙන් වෙන්වීමෙන් පසුවයි. එය වසන් කරන්න මට උවමනාවක් නැහැ. අපිට විද්‍යා හා යමුනා කියා දියණියන් දෙදෙනෙක් ඉන්නවා. තලතා අද ජීවතුන් අතර නැහැ. අනිත් පැත්තෙන් අද මා සමඟ යුග දිවි ගෙවන සෝමා පෙරේරා නිසාත් තවත් ජීවිත පරිවර්තනයක් සිදු වුණා. ඇය මගේ කඩා වැටුණු ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් යළිත් ගොඩ නැගුවා. සෝමා යනු කවුරුවත් නොවෙයි, චන්දි රසිකාගේ වැඩිමහල් සොහොයුරිය.

* ඔබ ලක්ෂෙට කොඩිය, අක්කර පහ හැරුණු විට තව චිත්‍රපට රැසක රඟපා තිබෙනවා. එම චිත්‍රපට මතකද?

මම වැඩි කොට රඟපා තිබෙන පොලිස් පරීක්ෂක චරිත රැගත් චිත්‍රපට කිහිපයක් තිබෙනවා. දැැවෙන පිපාසය, අබිරහස, වස්තුව, චණ්ඩි ශ්‍යාමා, ආදර රත්නෙ, සසරක පැතුම්, මිහිඳුම් සළු, අහස් මාලිගා එම චිත්‍රපටයි. සුජීවා, දොස්තර, වීදුරු ගෙවල් උප ප්‍රධාන චරිතය, සිකුරුලියා කුලී රථ රියදුරා, වීර පුරන්අප්පු අග සෙනෙවි, හස්ති වියරුව වන සංරක්ෂණ නිලධාරි, වදුල ගම්මුලාදෑනි යන එකකට එකක් වෙනස් චරිත විවිධ මුහුණුවරක් ගත්තා.

ඔබ ලෝක හොරු කියා චිත්‍රපටයක රඟපෑවා. ඔය චිත්‍රපටය ගැන පැවසුවේ නැත්තේ ඇයි?

ලෝක හොරු චිත්‍රපටයේ ආරම්භක අධ්‍යක්ෂවරයා වංශපාල ගීකියනගේ නමැත්තෙක්. ඔහු නාට්‍යකරුවෙක්. නිෂ්පාදකවරයා එඩී ගුණතිලක. ඔහු තිස්ස අබේසේකරගේ සමීපතම ඥාතියෙක්. චිත්‍රපටය අතරමග ඇනහිටි වේලේ නිෂ්පාදකවරයා තම චිත්‍රපටය අවසන් කොට දෙන මෙන් තිස්ස අබේසේකරගෙන් ඉල්ලුවා. රූපගත කොට තිබුණු දර්ශන ද යොදා ගෙන ඔහු වෙනම තිර නාටකයක් අනුව ලෝක හොරු නිර්මාණය කර දුන්නා. ඒ අවස්ථාවේ එහි එන මැර නායකයකුගේ චරිතයට මාව තෝරා ගත්තා. ටෝනි රණසිංහ, තලතා ගුණසේකර, උපාලි අත්තනායක, සුවිනීතා වීරසිංහත් අලුතෙන් එකතු වුණා. මුල් රූපගත කිරීම්වල සිටි සෙසු නළු නිළියනුත් චිත්‍රපට කතාවෙන් ඉවත් කළේ නැහැ.

* දැනුදු පවතින ඔබේ නොනැසෙන ජනප්‍රියත්වය රැඳී තිබෙන්නේ වනරාජා චිත්‍රපටයෙන්. ඊට ඔබ එකඟද?

වනරාජා කියන්නේ බටහිර ටාසන් චරිතයේ අනුරුවක්. මේ සමඟ බැෙඳන වනගත දිවිය, බිහිසුණුකම, වීර වික්‍රමය තුළ මනබන්ධනීයත්වයක් සැඟව පවතිනවා. එඩ්ගාර් රයිස් බරෝස් විසින් ප්‍රබන්ධිත හුදු මනඞකල්පිත මේ චරිතයට වඩා කැලයට හා එහි දුර්ලභ සිදුවීම්වලට මහත් සේ ඇලුම් කළ විලී බ්ලේක් නිර්මාණය කරන ලද වනරාජා ඇත්තෙන්ම කැලෑ ජීවිතය ඇසුරු කොට මුළුමනින්ම කැලෑවේදී රූපයට නැ¼ගූ ප්‍රථම සිංහල චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිතය රඟපාද්දී ඇඟ පුරාම දිලිසෙන්න ඔලිව් ඔයිල් ගා ගන්න මට සිදු වුණා. මහනුවර උඩවත්ත කැලේ පුස්සැල්ල වැල්වල එල්ලිලා ගහෙන් ගහට මාරුවීම ඊටත් වඩා බිහිසුණු අත්දැකීමක්.

වනරාජා විලී බ්ලේක්ගේ කතා සංකල්පනාවක්. තිස්ස අබේසේකර රචිත දෙබස් සහිත තිර නාටකයට අනුව චිත්‍රපටය මෙහෙයවමින් කැමරාවට හසුකර ගත්තෙත් විලී විසින්මයි. නිෂ්පාදකවරයාත් ඔහුමයි. ප්‍රධාන සහාය චරිත නරේන්ද්‍ර – ආතර් වැන්කියුලැන්බර්ග්, මධුරී - පර්ල් කුරේ, රංග - විජය කුමාරණතුංග, මායා - තලතා ගුණසේකර, නාගවර්ණ – පියදාස ගුණසේකර, මහානාග - පියදාස විජේකෝන් නිරූපණය කළා.

* ඔබ සිනමා රංගන ශිල්පියකු පමණක්ම නොවන බවක් දැනගන්න තිබෙනවා. ඒක ඇත්තක්ද?

1973 පමණ සිරි එදිරිසිංහගේ රුධිරය සහ ගංගාව නම් වේදිකා නාට්‍යයක රඟපෑවා. මෙහි මා සමඟ සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රත්නා සුමනපාල, චන්ද්‍රරත්න මාපිටිගම, ෂෙල්ටන් පයාගල, ජයන්ත රණවක රඟපෑවා. මෙයින් වැඩි දෙනෙක් ලංගම සේවකයින්. බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ සුර අසුර ටෙලි නාට්‍යයේ හමුදා නිලධාරියකුගේ භූමිකාව නිරූපණය කළා. කාලයක් පිළියන්දල සීදේවි හා අකුරැස්සේ සිනමාහලක කළමනාකරු ලෙස කටයුතු කරන්නත් සිදු වුණා. ප්‍රකට නූල් වර්ගයක ප්‍රධාන අලෙවි නියෝජිතයා හැටියට ලංකාවේ නගරයක් නගරයක් පාසා සැරිසැරුවා.

* ඔබ චිත්‍රපටයක් නිිර්මාණය කිරීමට ගිය පුවතක්ද අසන්න ලැබෙනවා. ඒ පිළිබඳ යටගියාව වසන් කරනවාද?

බිලි පූජාව නමින් කැලෑ කතාවක් තිරයට ගේන්න කටයුතු සම්පාදනය කෙරුවා. පැරැණි වනමෝහිනීට සමාන මෙහි ප්‍රධාන නිළිය චන්දි රසිකා නමුත් නිපද වුණේ නැහැ. මෙය අධ්‍යක්ෂණය කිරීමේ බලාපොරොත්තුවෙන් චිත්‍රපට සංස්ථාවේ නියමය අනුව අනූෂය කෙටි නිර්මාණය කරන්න පටන් ගත්තා. ආත්ම තුනක කතාවක් කියන එහි කැමරා ශිල්පියා එච්. ඒ. විමලරත්න. ඔහු නවනජීවන චිත්‍රාගාරයෙන් බිහි වූ අවසන් ශිල්පියා. හඬ කැවීමට ඉතිරිව තිබියදී නිෂ්පාදන කටයුතුª අතහැර දැමූවා.

* ඔබ අත්දැකීම් සහිත රංගන ශිල්පියෙක්. ඔබට සිනමා කලාවේ පොදු උන්නතිය වෙනුවෙන් ඉල්ලීමක් එහෙම කරන්න තිබෙනවාද?

සිනමා කලාකරුවන්ට සීමා වෙන ජාතික දිනයක් අවශ්‍යයි. එය රජයේ නිවාඩු දිනයක් විය යුතු නැහැ. අනිවාර්යෙන්ම සිනමා කලාකරුවන් රසිකයන් හමුවන විවෘත සැණකෙළියක් විය යුතුමයි. ඊට පාට පක්ෂ බේදයකින් තොරව පවතින රජය මැදිහත්වීම තමා කළ යුතු ආදර්ශය.

ඔබ දැන් ශරීර සෞඛ්‍ය අතින් දුබලයි. එබැවින් වත්මන් ඔබේ තත්ත්වය කියන්න පුළුවන්ද?

ආදායම් අතින් දුර්වලයි. 1991 සිට චිත්‍රපට සංස්ථාවෙන් විශ්‍රාම දීමනාවක් ලැබෙනවා. එදා දීපු ගාණමයි අදත්. ජයන්ත ධර්මදාස උත්තමයාට පිං සිද්ධ වෙන්න සිනෙස්ට්‍රා පදනමේ වෛද්‍ය රක්ෂණයකට හිමිකම් කියනවා. තවත් මගේ ඥාති පුත්‍රයෙක් ආධාර උපකාර කරනවා. ගෙවල් කුලියක් නැහැ. එපමණයි සහනය.

* ඔබ කළ සිනමා රංගනයන් තවමත් අමරණීයයි. ඔබව අමතන්න සරසවිය පාඨකයන්ට ලබා දිය හැකි ජංගම දුරකථන අංකය කුමක්ද?

071-3284437. නිවෙසට අයත් 011-2836363 අංකයට කතා කළත් වරදක් නැහැ.