වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




වැස්ස නුඹ වගේ බබීනා හමුවෙමු

වැස්ස නුඹ වගේ බබීනා හමුවෙමු

ශ්‍රීමති රසාදරී

ඇය වැස්ස නුඹ වගේ ටෙලි සිතුවමේ බබීනා. අලිඩොං සමඟ නොයෙක් අකරතැබ්බවලට මුහුණ දෙමින් වලව්වේ මෙහෙකාරිය වූයේ බබීනායි. බබීනාගෙ ඇත්ත නම් ශ්‍රීමතී රසාදරී. ශ්‍රීමතීගේ රංගන ජීවිතය ඇරැඹෙන්නේ අද ඊයක නෙවෙයි. නමුත් රංගනයේ දෙවැනි ගමනට මුල පුරන්නේ බබීනාව නිරූපණය කරමින්.

බබීනාගෙන් පසුව ඔබ ආයෙත් නිහඬ වෙලා වගෙයි?

මාව ආයේමත් මිනිසුන් අතරට ගියේ බබීනා නිසා තමයි. ඊට පසුව කතා කළේම එවන් වූ චරිතවලට. ඒකාකාරිත්වයට මං කැමැති නැහැ. ඒක නිසා ඒවා ප්‍රතික්ෂේප කළා. එයින් අනතුරුව උත්පලා නාට්‍යයේ පමණයි රඟපෑවේ.

මේ දිනවල ඔබේ කලා කටයුතු කෙසේද සිදු වන්නේ?

චන්ද්‍රරත්න මාපිටිගම මහත්මාගේ සුළිය නාට්‍යයේ රූගත කිරීම් සිද්ධ වෙනවා. එය පල්ලියක් වටා ගෙතුණ කතාවක්. මං එහි නිවසක අයුක්තියට විරුද්ධව නැගී සිටින ටිකක් සැරපරුෂ කාන්තාවක්. සුළිය ඉනෝකා කල්පනී සහ චමින්ද ලියනවඩුගේ නිෂ්පාදනයක්.

ඔබේ කලා ජීවිතය ඇරැඹෙන්නේ කොතැනින්ද?

වේදිකාවෙනුයි මං රංගනයට පිවිසෙන්නේ. පිස්සුබාහු වැනි වේදිකා නාට්‍ය කිහිපයකට දායක වුණා. ‘සල්ලි තිබුණට මදි’ මං ඉතාම ආසාවෙන් රඟපෑ චිත්‍රපටයක්. ඒ වගේම ඉරට හඬන මල් ටෙලි නාට්‍යයේ රඟපෑවා. එවැනි නිර්මාණ ඔස්සේ මං මගේ දස්කම් පෑවා.

මේ අතරතුදී ඔබ ඔබේ රංගන ගමන හදිසියේම නවතිනවා?

පවුල් ජීවිතයට මුල්තැන දෙන්නයි එහෙම කළේ. ඒ කාලයේ මගේ දුවත් චූටියි.

දුවම නේද ආපසු සැරයක් රඟපාන්න උනන්දු කළේ?

ඔව්. බබීනාගෙ චරිතෙ ලැබුණම මං මොකද කරන්නේ කියල හිත හිත ඉන්න කොට දුව තමයි කිව්වේ චරිතෙ කරන්න කියලා.

සමහරෙක් ඔබේ ඇත්ත නමින් හඳුනන්නේ නැහැනේ දැන්?

ඒක නම් ඇත්ත. බබීනා නමින් හැමෝම කතා කරන්නේ.

මොනවද ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු?

මං රඟ නොපෑ කාලයේ මට මහත් පාඩු වුණා. ගොඩක් හොඳ චරිතවලට ඇරැයුම් ලැබුණා. නමුත් ඒවා මං ප්‍රතික්ෂේප කරලා පවුල් ජීවිතයට කැප වුණා. දැන් ආයෙත් පූර්ණකාලීනව රංගනයේ යෙදෙනවා. මුලු ජීවිත කාලයම එහෙම ඉන්න තමයි බලාපොරොත්තුව.


රුවන් පුරයෙන් කලාවට ආ රුවන්

රුවන්පුරයේ උපත ලද රුවන් පෙරේරා කොළොම් පුරයට එන්නේ නළුවෙකු වීමේ අභිලාෂයෙනි. රංගන හීනය ඔහුගේ සිතෙහි මැවෙන්නේ එක්තරා අහඹු අවස්ථාවක් නිසයි. මේ ඔහු කියන කතාවයි.සුරේෂ් අබේසේකර මහත්තයා නාට්‍යයක් කළා අසුරාවේශය කියලා. ඒක ෂූට් කළේ අපේ ගමේ. මාත් ගියා රූගත කිරීම් බලන්න.

රඟපාන්න ආසද? චරිතයක් තියනවා කරමුද?

සුරේෂ් මහතා එක පාරටම මගෙන් ඇහැව්වා.

බොහෝ කාලයක සිට මං ගමේ ප්‍රේමරත්න කියලා මගේ යාළුවකු එක්ක වේදිකා නාට්‍ය කළා. ඒ වුණත් නළුවකුªවීමේ ලොකු හීනයක් තිබුණේ නැහැ. ඒ වුණත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුª නිසා මං ‘හා’ කිව්වා.

එදා මට රඟපාන්න සිදු වුණේ චන්න පෙරේරාගේ යාළුවකු හැටියට. එදා ඉඳලා මට මේ ක්ෂේත්‍රය පිළිබඳ මහත් ආසාවක් ඇති වුණා. ඒ ඔස්සේ මගේ ජීවිතයේ ඉදිරිය දකින්න තීරණය කළා. මේ බලාපොරොත්තු රැගෙන මං කොළඹ එනවා. ඇවිත් නාට්‍යවලට එකතු වනවා.

මුල් කාලයේ මට ඉන්න තැනක් තිබුණේ නැහැ. කොළඹ ඉන්න මං ස්ටේෂන්වල පවා නිදාගෙන තිබෙනවා. රංගනයෙන් පමණක් නොව සහය අධ්‍යක්ෂණයෙන් මං බොහෝ නිර්මාණ සඳහා දායක වුණා. විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනී මහතාගේ බොහෝ නිර්මාණවල සහය අධ්‍යක්ෂ මං. මට වැඩි වශයෙන් ලැබුණේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ චරිත. ඒ මගේ ස්වරූපය නිසා වෙන්න ඇති. රෝස කටු, ජීවිතය ලස්සනයි, උතුවන්කන්දේ සරදියෙල්, අමා, කනේරු, වහින්න මුතුª වැස්සක්, දූවරු, මං රඟපෑ නාට්‍ය කිහිපයක්. ජැක්සන් මහතාගේ මහා සංග්‍රාමය, අබා වැනි නිර්මාණයන්හි සහය අධ්‍යක්ෂණයෙන් දායකවන්න ලැබීමෙන් මං බොහෝ දේ ඉගෙන ගත්තා.

රඟපාන්න ගිහින් ලැබූ අත්දැකීම් සෑහෙන්න තියනවා. උතුවන්කන්දේ සරදියෙල් හි මං රඟපෑවේ සමට් නම් වූ මුස්ලිම් ජාතිකයකුගේ චරිතයක්. මට විශාල ගල් මතින් පැන පැන දුවන්න තිබුණා සීන් එකක. ඔහොම ගලකින් පනිද්දී මාව ලිස්සලා වැටුණා දෙබොක්කාවකට. මං හිතුවෙ ඉවරයි කියලා. වාසනාවට මං තවමත් ජීවත් වෙනවා. මට සීරීම් තුවාලයක් හැර කිසිම දෙයක් වුණේ නැහැ.

දැන් කලාව තමයි මගේ ජීවිතය. මේ ගමනට සහය දුන් ජැක්සන් ඇන්තනී, රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක සහ රන්ජන් ප්‍රසන්න යන මහත්වරුන් මතක් කළ යුතුමයි.