වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිහිටියන්ගේ මානසික ප්‍රබෝධය උදෙසායි මේ ටෙලි චිත්‍රපටය නිර්මානය කළේ

වැඩිහිටියන්ගේ මානසික ප්‍රබෝධය උදෙසායි මේ ටෙලි චිත්‍රපටය නිර්මානය කළේ

සරත් නාමල්ගම සිය නවතම නිර්මාණ කාර්යය පිළිබඳ කතා කරයි

‘සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ

හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ

ඕන දුකක් ඉහිලිය හැක මහලු ජීවිතේ

ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ . . .’

මවුපියන්ගේ මුළු ලෝකයම ගොඩ නැගෙන්නේ තම දරුවන් වටා. ඔවුන්ගේ වටිනාම සම්පත දරුවන්. ඔවුන් තම පණ මෙන් දරුවන් රැක බලා ගන්නේ, හදා වඩා ගන්නේ ඔවුන් රටට වැඩදායක පුද්ගලයන් වනු දැකිමටයි.

නමුත් දරුවන් උස් මහත් වී ඔවුන් තම ලෝකය තනන විට මාපියන් ඒ මතකයෙන් ගිලිහී යන අවස්ථා අද සමාජයේ සුලබව දක්නට ලැබෙන දෙයක්. සමහර දරුවන් වියපත් මාපියන් දෙස බලන්නෙත් කරදරයක් ලෙසයි.

අද මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දෙන මවුපියන්ට පිහිටට එන්නේ වැඩිහිටි නිවාස. දුකක් ඇතත් නැතත්, සතුටක් ඇතත් නැතත් මෙවැනි අසරණ තත්ත්වයට පත්වන දෙමාපියන් වැඩිහිටි නිවාසවල තම ජීවිතයේ ඉතිරිය ගෙවා දමන්නේ වෙන කළ යුතු දෙයක් නොමැති නිසා බව සංවේදී සිත් ඇත්තෝ දන්නා කරුණක්.

ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු මෙන්ම රංගන ශිල්පියකු වන සරත් නාමල්ගම මෙවැනි වැඩිහිටි නිවාසවල වෙසෙන අම්මලා තාත්තලාගේ මානසික සුවය පතා විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කරලා. සරසවිය අපි ඔහුගෙන් මේ ගැන විමසීමක් කළා.

මගේම අදහසකට අනුව මෙරට විවිධ පළාත්වල වැඩිහිටි නිවාසවල වෙසෙන වැඩිහිටියන්ගේ මානසික ප්‍රබෝධය වෙනුවෙන් පැය තුනක ටෙලි චිත්‍රපටයක් තිරගත කිරීමට කටයුතු කළා. මීට පෙර මෙවැනි කටයුත්තක් සිදු වෙලා නැහැ. විවිධ කතා තේමා යටතේ මතුවන සමාජමය සිදුවීම් අළලා නිර්මාණය වූ ටෙලි නාට්‍ය මඟින් තමයි මෙම ටෙලි චිත්‍රපට නිර්මාණය කළේ. එහිදී මවිසින් නිෂ්පාදනය කර රූපවාහිනියේ විකාශය වූ ටෙලි නාට්‍ය තමයි මේ සඳහා ඉවහල් කර ගත්තේ.

අපි කලාවෙන් පෝෂණය වනවා වගේම මෙවැනි දේ ඉටු කිරීමත් අපේ විශේෂ යුතුකමක් යන හැඟීම ඇතුව තමයි මෙය ආරම්භ කළේ. අපේ රටේ දෙමාපියන් මෙලෙස අවතැන් වීම විශාල ව්‍යසනයක් බවට අද පත්වෙලා තියෙනවා.

ඔබ දකින පරිදි මෙවැනි තත්ත්වයක් ඇති වන්නට බලපාන්නේ?

අද සමාජයේ මාපියන් සහ දරුවන් අතර පවත්නා සහසම්බන්ධතාව දුරස්වීමත් දෙමාපියන් අධිවේගී ජීවන රටාවකට අවතීර්ණවීමත් බොහෝ දුරට බලපානවා. අද කාර්යබහුල දෙමාපියන්ට දරුවන් ගැන බලන්නවත් වෙලාවක් නැති තරම්.

දූ දරුවන් සම වයසේ අය සමඟ නිරන්තරයෙන් ඇසුරට පත්වීමත් හේතු කොට පටු මානසිකත්වයෙන් යුතුª දරු පරපුරක් බිහිවීමත්, වැඩිහිටියන්ට ගරු කිරීමට මැලිවීම, දෙමාපියන්ට සවන් නොදීම වැනි ආත්මාර්ථකාමී ගති ලක්ෂණ මතුවීම ආදිය තමයි මෙයට හේතුව. මෙම දුරස්ථ වීම ඔවුන් පිළිබඳ සංවේදිතාව අඩුවීමට බලපාලා තියෙනවා.

මේ සම්බන්ධව සමාජය දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයක්. තම ආදරණීය දෙමාපියන් බලෙන් වැඩිහිටි නිවාස කරා ගෙන ගොස් දැමීම සම්බන්ධයෙන් නීතිමය තහංචි පැනවිලා නොමැති බැවින් එය දඩමීමා කරගෙන තම සුඛ විහරණය පිණිස මෙවැනි තීරණ ගැනීමට සමහර දරුවන් පෙළඹිලා තියෙනවා.

මේ අතරතුර ඔබ අත්දුටු සංවේදී සිදුවීම් එහෙමත් ඇති නේද?

විවිධ ප්‍රදේශවල වැඩිහිටි නිවාස රැසක මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. එහිදී කලා ක්ෂේත්‍රයේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ වගේම වෛද්‍යවරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විදුහල්පතිවරුන් වගේ ඉහළ පෙළේ තනතුරු දැරූ අය දුක්ඛිත ජීවිත ගත කරනවා දකින්නට ලැබුණා.

එක අම්මෙක් හමු වුණා. ඇයට දරුවන් හය දෙනෙක් ඉන්නවා. ගොඩ මඩ ඉඩම් අක්කර ගණනක් දරුවන්ට බෙදා දුන් පසුව මේ අම්මාට අන්තිමට එන්න සිදු වුණේ වැඩිහිටි නිවාසයට. අද වෙනකල් කවුරුත් බලන්නවත් ආවේ නැහැ කියල නැළැවිලි ගී ගයනවා.

තව අම්මා කෙනෙක් හමු වුණා. ඇයගේ පුතුන් දෙදෙනාම මැද පෙරදිග සේවය කරන්නේ. එක පුතෙකුගේ ළමයි දෙන්නා වෙනුවෙන් පාසල් බස් රථ ගාස්තුව ගෙවන්නෙත් වැඩිහිටි නිවාසයේ ඉන්න මේ අම්මාගේ විශ්‍රාම වැටුපෙන්.

දවසක් ඇයට මිනිබිරිය දුරකථන ඇමතුමක් දීලා කිව්වලු ආච්චි මේ පාර පෙන්ෂන් එකෙන් මට ෆෝන් එකක් අරගෙන දෙන්න කියලා. මේ අම්මා ගෙදර තියාගෙන සලකන්න ලේලි කැමති වෙලා නැහැ. පුතාලා ඇය කෙරෙහි සංවේදී වෙලා නැහැ කියල ඇය හරිම දුකෙන් තමයි ජීවත් වෙන්නේ.

කොළඹ කුරුඳු වත්තේ ජීවත් වන මාතාවක් හමුවුණා. ඇය ජීවත් වෙන්නේ ඇඬූ කඳුළින්. ඇයගේ දරුවන් තිදෙනාම විදෙස් රටවල ජීවත්වන උගතුන්. දැනට ටික කාලයකට පෙර මේ තුන් දෙනාම ලංකාවට ඇවිත් සියලුම දේපළ විකුණල මේ අම්මා වැඩිහිටි නිවාසයට ගෙනත් ඇරළලා කිව්වාලු ‘මල් ශාලාවටත් අපි සල්ලි ගෙවල තියෙන්නේ.

අපි අපේ යුතුකම් ඉටු කළා. ආයෙමත් අපට එන්න වෙන්නෙ නැහැ. හෙට අපි රටින් යනවා’ කියල කිව්වාලු. මේ තමයි ලේ කිරිකර පුතුන් හැදූ මව්වරුන්ට අද විඳින්න වෙලා තියෙන දුක. ඒත් මේ කිසිම අම්මෙක් තාත්තෙක් තම දරුවන්ට වෛර කරන්නේ නැහැ. මේ කිසිම කෙනෙක් ඉන්නේ නම් හදවතින්ම කැමැත්තෙන් නොවෙයි. වෙන කරන්න දෙයක් නොමැති නිසා.

මේ සඳහා ලැබුණ ප්‍රතිචාර ගැනත් සඳහන් කළොත්?

ඇත්තටම හැම අම්මා තාත්තා කෙනෙක්ම කැමැති තම දරුවන් හොඳට ඉගෙන ගෙන සමාජයේ හොඳ තැනක ඉන්නවා දකින එකයි. ඒ වගේම ඔවුන් කැමැතියි තම දූ පුතුන්, මුණුබුරු, මිණිබිරියන් සමඟ ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගත කරන්න. නමුත් මේ වාසනාව අහිමි වන අසරණ දෙමාපියන් කොටසකට වැඩිහිටි නිවාසවල ජීවත් වෙන්නට සිදු වෙලා. කෑම බීම, ඉඳුම් හිටුම්, බෙහෙත් ලැබුණට ඔවුන්ගේ මනසේ සැනසීමක් නැති තරම්. මේ නිසා ඔවුන්ගෙන් ලැබුණ ප්‍රතිචාර දිහා බැලුවම ඇත්තටම මට ඒ සඳහා යම් තරමකටවත් සැනසීමක් ඔවුන්ට ලබා දෙන්න පුළුවන් වුණා කියල හිතෙනවා. ඔවුන්ගේ ඇස්වල සතුටු කඳුළු. සමහරුන්ට හිතේ තියෙන අදහස් කියාගන්න පවා බැරි වුණා. ඉදිරියටත් මෙය දීප ව්‍යාප්තව කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා.

ඔබ විසින් තනිවම මෙවැනි කටයුත්තක් කරගෙන යාමට අපසුතා ඇති වන්නේ නැද්ද?

මේ සඳහා වැයවන වියදම මා විසින් දරනවා. මෙහිදී රූපවාහිනී නාලිකාවලින් විකාශය වූ මා විසින් නිෂ්පාදනය කළ ටෙලි නාට්‍ය පැය තුනක ටෙලි චිත්‍රපට ලෙස සංස්කරණය කර ඩී වී ඩී පට ලෙස අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් තමයි මේ සඳහා වැය කරන්නේ.

වැඩිහිටි නිවාසවල තනි වූ අපේ රටේ අසරණ දෙමව්පියන් වෙනුවෙන් ඔබ දියත් කළ මේ කටයුත්තේ ඉදිරිය ගැනත් සඳහන් කළොත්?

මේ සඳහා ස්ථාවර පැවැත්මක් සකස් කර ගන්න බලාපොරොත්තු වෙනවා. රට වෙනුවෙන් කරන මේ වැඩ පිළිවෙල වෙනුවෙන් රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල අවධානය යොමු කරන්නට හැකි නම් හොඳයි කියල කියන්නට කැමැතියි. [email protected]