වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




අමතක වීම මරණය කැන්දනු ඇතිද

අමතක වීම මරණය කැන්දනු ඇතිද

මට ඔබේ මුහුණ අමතක වී ඇතැයි කීමට නොහැකියෙන් දිනපතාම ඔබේ චිත්‍රයක් ඇද එය මතකේ තබා ගමි. මට ඔබේ සිනහවේ වේගය අමතක වී ඇතියෙන් ඇසි පිය හෙළන වාර ගණනින් එයද මතක තබා ගැනීමට තැත් කරමි.

කුමන කමිසයක් පැළැද නිවසින් පිටව ගියේ දැයි,කුමන ටයි පටියක් පැළැද ඔබ නික්මීදැයි මතකයට නඟා ගත නොහැක. කුඩා සටහන් පොතක ඔබේ ටයි පටියේ පැහැය සිත්තම් කර තබා ගමි. ඔබ මා සිප ගන්නා විට ඒ ඔබම දැයි නොදන්නා හෙයින් මම යමක් කල්පනාවට නඟා ගමි.

ඇත්තටම මේ ලෙසින් ආදරය පවත්වා ගත හැකිද? මේ ලෙසින් මට ජීවත් විය හැකිද? මුහුණු ලක්ෂයක් අතරින් ඔබව හදුනා ගන්න නොහැකිව මට වැළැපීමෙන් පසුවන්න පුළුවනිද? කණ්ණාඩියකින් මුහුණ බලා මගේ ප්‍රතිබිම්බය හදුනා ගත නොහැකිව බියපත් වන්නට සිදු වීම කෙතරම් දුක්ඛිතද මේ හදුනාගැනීමේ පෙරට්ටුවකින් ආදරය තෝරා ගන්නට කාලය නොව ආදරය ඇත්තටම කුමන දිශාවකින් හමා එන්නේදැයි ඉව කර බැලිය යුතු කාලයයි.

ඇනා මූලික ශ්‍රේණියේ පන්තියකට උගන්වන පාසල් ගුරුවරියකි. ඇගේ පෙම්වතා බ්‍රයිස් සමඟ ප්‍රේමණීය ජීවිතයක් ගෙවන්නීය. ඇනා ගේ මිතුරියන් දෙදෙනා වන ෆ්‍රැන්සිනේ සහ නීනා සමඟ ඈ සතුටු සාමීචියේ යෙදෙමින් රාත්‍රී සමාජශාලාවක ප්‍රීතිමත් කාලයක් ගත කරමින් සිටියි. යෙහෙළියන් දෙදෙනා සමඟ කඩවසම් පුරුෂයන්ට ඉඟි බිඟි පාමින් සිටින මොවුන් අවසන එකිනෙකාගෙන් සමුගෙන නිවෙස් කරා යාමට සැරසෙයි. ඇනා යෙහෙළියන්ගෙන් සමුගෙන පා ගමනින් පාලමක් තරණය කර තම පෙම්වතා හමුවීමටය.

සිනමාපටයේ පළමු ගැටීම පටන් ගන්නේ එතැනිනි. ඈ දකින්නේ මිනිසෙකු විසින් ගැහැනියකගේ ගෙළ කපා අවසන ඈ දූෂ්‍ය කරන පිරිමියෙකි. ඉහළට ගත් හුස්ම පහළට හෙළන්නට අමතක සිටින ඇනා ඊළඟ කරදරයට මුහුණ දෙයි. ඒ බ්‍රයිස් විසින් ඇගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දීම හේතුවෙනි. දුරකථනය නාද වෙන අතරතුර දූෂකයා කලබලයට පත්ව ශබ්දය ආ දිශාවට හැරෙයි.

ෆේසස් ඉන් ද ක්‍රවුඩ් සිනමාපටයේ අධ්‍යක්ෂ ජූලියන් මැග්නට්

සිනමාව සම්බන්ධයෙන් උපාධියක් ලත් ජූලියන් උපත ලබා ඇත්තේ ප්‍රංශයේය. කෙටි චිත්‍රපට තැනීමේ රුචිකත්වයක් දැක්වූ ජූලියන් රූපවාහිනී මාලා නාටක අධ්‍යක්ෂකවරයෙකුද වෙයි. ත්‍රිමාණ සජීවීකරණ ඇසුරින් තැනූ කාටුන් කතාමාලා හි පිටපත් රචනයටද ඔහු සහභාගී වී ඇත.'ද ගාෆීල්ඩ් ෂෝ' හි ප්‍රධාන කතා රචකයාද ඔහුය. ප්‍රංශයේ සිනමා සඟරා ආදියට ලිපි සපයන හෙතෙම 2011 වසරේ නිපදවූ 'ෆේසස් ඉන් ද ක්‍රවුඩ්' ඔහු ගේ සාර්ථකම සිනමාපටය ලෙස සැලකිය හැකිය.

ඈ දුරකථනයේ ඇමතිම ලබා ගන්නා බොත්තම ඔබන අතරතුර දූෂකයා සහ ඇනා අතර ඇති වන පොර බැදීම දුරකථනය එහා කලවරේ සිටින බ්‍රයිස් හට ඇසෙයි. පරපීඩක කාමුකත්වයෙන් පෙළෙන දූෂකයා ක්ෂණිකව තීරණය කරන්නේ ඇනාව මරා දැමිය යුතු බවයි. ඔහු අත රැදි දැලි පිහිය ඇයට එල්ල කරමින් ඈ පසුපස හඹා එන දූෂකයාගෙන් පලා යාමට ඈ නොදැනුවත්වම පාලමේ ඇන්ද මත හේත්තු වෙයි. අවසන ඈ පාලමෙන් පහළට ඇද වැටෙන අතරතුර හිස තදින් පාලමේ යකඩ කැබැල්ලක වැදෙයි. දැන් ඔබ සම්පූර්ණයෙන්ම සිනමාපටයට ඇබ්බැහි වී අවසානය. කුතුහලය ඔබව කැදවාගෙන යන ඉසව්ව කොහිදැයි සොයා බැලීම මීළඟ අරමුණයි.

සිනමාපටයේ හැටියට දියේ ගිලී මිය යනු ඇතැයි බලාපොරොත්තු නොවිය හැකි ඇනා සතියක් සිහිසුන්ව සිට යළි සිහි ලබන්නේ දුර්ලභ රෝගී තත්ත්වයක් සමඟය. ඈ මිනිස් මුහුණු හදුනා ගැනීමේ අපහසුතාවයක් එනම් ප්‍රොසොපැග්නෝසියා නම් රෝගී තත්ත්වයෙන් පීඩා විඳීයි. තව දුරටත් කිසිවෙකු මුහුණුවරින් ඇයට හදුනා ගත නොහැකි බව ඇගේ වෛද්‍යවරයා පැහැදිලි කරන අතරතුර ඇනා ගේ පෙම්වතාත්,ඇගේ යෙහෙළියන් දෙදෙනාත් මහත් කලබලයට පත් වෙයි. මේ සියල්ල එක වර තේරුම් ගත නුහුණු ඇනා රෝහල් ඇදෙන් පලා යාමට තැත් කරයි.

ඉතාමත් සාමාන්‍ය සිනමාපටයක් ලෙස පටන් ගත් 'ෆේසස් ඉන් ද ක්‍රවුඩ්' අසාමාන්‍ය කුතුහලයකින් යුක්ත සිනමාපටයක් බවට මොහොතින් මොහොත පරිවර්තනය වන්නේ ඉන් පසුවය. පොලීසියේ රහස් පරීක්ෂකවරයෙකු වන සෑම් කෙරස්ට් වෙත ඇනාගේ පැමිණිල්ල යොමු වන අතරතුර ඔහුගේ නොසැලකිලිමත් විලාසය ප්‍රේක්ෂකයාව සැකයේ වාසිය ඔහු වෙත හැරවීමට තරම් බලවත් වෙයි. ඇනා හට දූෂකයාගේ මුහුණුවර මතකයට නඟන්නැයි බල කරන ඔහු ඇනාගේ ආරක්ෂාවට පොලිස් නිළධාරීන් යෙදවීම ප්‍රතික්ෂේප කරයි. බ්‍රයිස් සමඟ තම හුරු පුරුදු නවාතැනට යන ඇනා බ්‍රයිස්ගේ ආලිංගන නොඉවසයි. ඇයට ඔහුවත් තවත් එක් හදුනා නොගත් මුහුණක් පමණක් බව බ්‍රයිස් තේරුම් නොගනී.

'ෆේසස් ඉන් ද ක්‍රවුඩ්' තිරගත වී ඇත්තේ 2011 නොවැම්බර් 04 වැනිදාය. මෙහි අධ්‍යක්ෂණයත්,තිර පිටපතත් ජූලියන් මැග්නට් ගෙනි. චිත්‍රපටයේ නිෂ්පාදකවරු 06 දෙනෙකි. කෙවින් ඩි.වෝල්ට්,ජීන් චාල්ස් ලෙවි,ක්ලෙමන්ට් මිසරීස්,ජෙමී බ්‍රවුන්,ස්කොට් මෙඩ්නික් සහ සිල්වියා වයිට් ඒ නිෂ්පාදකවරුය. සිනමාපාටයේ දළ ඇස්තමේන්තුව අමෙරිකානු ඩොලර් 15 000 000 කි. ඇනා ගේ චරිතයට පණ පොවන මිලා ජොවෝවිච් සහ සෑම් කෙරස්ට් ගේ චරිතය රඟන ජූලියන් මැක්මැහෝන් ගේ අගනා රංගනය සිනමාපටයට ලබා දී ඇත්තේ විසාල ආලෝකයකි. එසේම බ්‍රයිස් ලෙස රඟන මයිකල් ෂෑන්ක්ස් සහ ලැන්යෝන් ගේ චරිතය රඟන ඩෙවිඩ් ඇට්‍රැක්චි ද ලබා දී ඇති සහය මනරම්ය.

සිනමාපටය අධි කුතුහලයෙන් යුක්ත වීම හේතුවෙන් ප්‍රේක්ෂකයාව නුවමනා අනුමාන කිරීම් රාශියකට හෙළීමට අධ්‍යක්ෂවරයා සමත් වේ. විටෙක බ්‍රයිස් ව සැක කරන ප්‍රේක්ෂකයා ඒ සැනින්ම රහස් පරීක්ෂක සෑම්වත් සැක කරයි. පොලිස් පෙරට්ටුවකදී හදුනා ගන්නට බල කරන අපරාධකරුවන් අතර සිටින කිහිප දෙනෙක්වද ප්‍රේක්ෂකයා සැකයට පාත්‍ර කරයි. සිනමාපටය තම රිද්මය පවත්වා ගන්නේ මේ සැක කිරීමට බලන්නාව පෙළඹවීම මතිනි. විටෙක ඔවුන් ඇනාවද සැකයට භාජනය කරයි. දැන් මුළු සිනමාපටය පුරාම ඇත්තේ අප්‍රමාණ අනාරක්ෂිතබවකි. අනුමාන කිරීමට සමත් අයෙකු සිටී නම් ඔහු වැරදීමට බියෙන් පසු බා සිටියි.

ඇනා ගේ ජීවිතය අවිනිශ්චිතභාවයත්,අනාරක්ෂාවත්,තනි වීමත් අතර දෝලනය වන අතර ඈ සාමාන්‍ය පරිදි ජීවිතය මෙහෙයවීමට උත්සාහ කරයි. තම පෙම්වතාව හදුනා ගැනීමට ඈ ඔහු පැළැදි ටයි පටියේ වර්ණයත්,ස්වරූපයත් කුඩා සටහන් පොතක ඇද තබා ගනී. ළමයින්ගේ මුහුණු මතක තබා ගැනීමට,ඔවුන් හදුනා ගැනීමට නොහැකි වීම නිසා ඇයට රැකියාව අහිමි වෙයි. මිනීමැරුම් ගණනාවකට වග කිව යුතු දූෂකයා හදුනා ගැනීමට ඇති එකම මාර්ගය වන ඇනා මුහුණු හදුනා නොගැනීමේ රෝගයකින් පීඩා විඳීයි. මේ නම් මහත් වේදනාකාරී දඩුවමකි. ඈ බ්‍රයිස්ව හදුනා නොගැනීම හේතුවෙන්,ඇගේ ටයි පටිවල ස්වරූපය ඇදි සටහන් පොත දැකීම හේතුවෙන් බ්‍රයිස් ඇගෙන් වෙන් වෙයි. ඇගේ හොඳම මිතුරියක දූෂකයා විසින් මරා දමයි. ඇගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා දෙයි. ඈව සිප ගනියි. මේ සියල්ල අතරතුර රහස් පරීක්ෂකයා ඈ හා පෙමින් වෙළෙයි.

එහෙත් සිනමාපටයට අයිති කුතුහලය දිගින් දිගටම පවත්වා ගැනීමට සමත් වෙයි. මේ සිනමාපටයේ දැකිය හැකි හොඳම ලක්ෂණය එයයි. තෙක් අනුමාන කළ නොහැකි වර්ගයේ අවසානයක් ඇති හෙයින්ම 'ෆේසස් ඉන් ද ක්‍රවුඩ්' වඩාත් කැපී පෙනෙයි. සාමාන්‍ය චිත්‍රපට රාශියක් අතර අසාමාන්‍යතාවයක් ප්‍රකට කරයි. තමා විස්වාස කරන විස්වාසදායී පුද්ගලයාවම සැක කරන්නට පොළඹවන සමාජයක ඇනා විසින් සැකයේ වාසිය කාට නම් ලබා දෙයිද සැබැවින්ම තමාටම තමාව හදුනා ගත නොහැකි වූ විට අනෙකා ගැන තබන විස්වාසය කොතරම් ඝනකම විය යුතුද ඒ මත කෙනෙකුගේ ජීවිතය රැදී පැවතිය හැකිද? ඔබට කාගෙන් හෝ ප්‍රශ්න කිරීමට තිබෙන අයිතිය කොතරම් යුක්ති සහගතද මිනිසුන් ආරක්ෂා කළ යුතු කොට්ඨාශය විසින් මිනිසුන්ගේ ආරක්ෂාව කඩා බිද දමන්නේ නම් විස්වාසය කවුරුන් වෙත තැබිය යුතුද මේ ප්‍රශ්නාවලියකි. සිනමාපටාය නරඹා ඔබ විසින්ම එයට පිළිතුරු උපයා ගත යුතුය. අනෙකාගේ කුතුහලය දුරු කිරීම සෑම විටම සුදුසු නොවේ. මේ එවන් මොහොතකි. අපරාධකරුවා හදුනා ගැනීම ඇනාගෙන් උදුරා ගත යුතු නැත. මම ඊට ඉඩ දීමි.