වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




පොඩ්ඩන්ට පුළුවන් කිරුළ දිනූ නිවුන් සහෝදරයෝ

පොඩ්ඩන්ට පුළුවන් කිරුළ දිනූ නිවුන් සහෝදරයෝ

සරිත් සහ සුරිත් හමු වෙමු

පොඩ්ඩන්ට පුළුවන්ද?

ඔව් . . . ඇත්තටම පොඩ්ඩන්ට පුළුවන්. සති අන්තයේ දිනවල රාත්‍රී නවයට සිරස නාළිකාව් දිග හැරුණු ‘පොඩ්ඩන්ට පුළුවන්’ වැඩසටහන නැරැඹූ අප ඒ බව අත්දුටුවා. විස්මිත හැකියාවන් ඇති පොඩ්ඩෝ රැසකට සිය දක්ෂතා කල එළිදක්වන්නයි එම ගුවන් කාලය වෙන්වුණේ. ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් මෙතරම් දක්ෂතාවයන් ඇති පොඩ්ඩෝ අප රටෙහි ඉන්නවා යැයි දැනගත්තේ පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහන නිසාමයි.

‘පොඩ්ඩන්ට පුළුවන්’ තරගාවලියේ අවසන් මහ තරගය පසුගිය සෙනසුරාදාවේ සවස සිරස ස්ටයින් මැදිරියේදී නිමාව දුටුවා. ගිටාරයෙන් සහ ඩ්‍රම් සෙට් එක භාවිත කරමින් කිසිවෙකුටත් නොදෙවෙනි වූ අසමසම දක්ෂතාවයක් පෙන් වූ මාතර සරිත් සහ සුරිත් නිවුන් සොහොයුරෝ එහි කිරුළ දිනා ගත්තා.

ජයග්‍රාහී උණුසුම වියැකී යන්නට මත්තෙන් මේ පුංචි පැටවුන් දෙන්නා බොහොම සතුටින් සරසවියට ආවා. ඒ පවුලේ හැමෝම සමඟින්. සංගීත ශිල්පී ජගත් ජයවර්ධන තමයි මේ හපන්නු දෙන්නගෙ තාත්තා.

නිවුන් සොහොයුරන් නිසා දෙන්නම එක වගේ. මට පළමුව සරිත් සහ සුරිත්ව වෙන් වෙන්ව හඳුනා ගැනීමට වුවමනා වුණා.

කවුද සරිත්, කවුද සුරිත්?

මෙයා . . . මෙයා . . . කියමින් දෙන්නට දෙන්නා අත දික්කර ගත්තා. මගේ වෑයම අසාර්ථකයි.

සුරිත් මෙහෙට එන්නකෝ?

දෙන්නගෙන් එක් කෙනෙකු ඉදිරියට ආවා. සුරිත් තමයි ඒ දෙන්නාගෙන් බාලයා. ඔහු ඩ්‍රම් සෙට් එක උඩ නැගලා සුරිත් පෙන් වූ වාදන හැකියාව අපි හැමෝම අමන්දානන්දයට පත් කළා.

කවුද පුතාට මෙච්චර හොඳට ඩ්‍රම්ස් ගහන්න කියලා දුන්නේ?

තාත්තා තමයි.

සුරිත්, ජගත් දෙස බැලුවා.

අපේ ගෙදර මියුසික් ඉන්ස්ටුමන්ට් ගොඩක් තියනවා. මං පුංචි සංගීත කණ්ඩායමකුත් පවත්වාගෙන යනවා. ඒක නිසා පොඩි කාලේ ඉඳලා දෙන්නගෙම කන්වලට ඇහුනේ සංගීතය.

ජගත්, සරිත්, සුරිත් ගැන බොහෝ දේ කියන්නට ලැහැස්තිය.

ඉතින් . . .

පොඩි කාලේ මෙයා කෑම කෑවෙත් ඩ්‍රම් සෙට් එක උඩ වාඩි කෙරෙව්වොත් විතරයි. එතකොටත් ස්ටික් ඉල්ලගෙන තට්ටු කරනවා.

ඇත්තද සුරිත්?

ඔව්. මං ගොඩක් ආස සිම්බල් දෙකට හයියෙන් ගහන්න. තාලයක් නැතත් ඔහේ හයියෙන් ගහනවා. අහල පහළ මාමලා නැන්දලාට තමයි හරිම කරදර. සමහර විට ඒ ගොල්ලෝ ඇවිත් තාත්තට කියනවා මගේ ඩ්‍රම් ගැහිල්ල නවත්වන්න කියලා.

සුරිත්ගෙ මුහුණෙ ලොකු හිනාවක් ඇඳුණා.

සරිත්, ඔයත් එහෙමද? ගමටම ඇහෙන්න ගිටාර් එක ගහනවද?

මං සරිත් දෙසට හැරුණා.

ටිකක් විතර මල්ලි වගේ තමයි.

මෙයා ගැන මට දෙයක් කියන්න ඕනේ.

සරිත් සහ සුරිත්ගේ මව, නිලුකා ජයවර්ධන හඬ අවදි කළා.

සරිත් ඉස්සර මං නැලවිලි ගීත කිව්වට නින්ද යන්නේ නැහැ. හැබැයි රෙගේ මියුසික් එකක් දැම්මම නම් හොඳටම නිදි.

සරිත් තවමත් එහෙමද?

අපෝ නැහැ. දැන් ඒවා හොඳට අහගෙන ඉඳලා ප්ලේ කරනවා.

පොඩ්ඩෝ දෙන්නා ඉගෙන ගන්නේ මාතර රාහුල විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ. පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරු ළමයි දෙන්නට හරිම ආදරෙයිලු. කෙලිලොල් වයස නිසා සරිත්ගේ සහ සුරිත්ගේ දඟකාරකම් නම් අඩුවක් නැහැ. සුරිත් පංතියේ ඉන්න කොටත් ඩෙස් බංකුවලට තට්ටු කරනවාලු.

පුතාලා දෙන්නා අනාගතයේ කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?

මියුසික්ම විතරයි කරන්නේ.

එහෙම කිව්වේ එකම හඬින් දෙන්නම.

සුරිත් කියන්නකෝ බලන්න කවුද ඔයාලව මේ තරගයට යන්න කියලා කිව්වේ?

අයියයි මමයි දෙන්නම දැක්කා සිරස ටී. වී. එකෙන් මෙහෙම තරගයකට අයදුම්පත් බාර ගන්නවා කියලා. මේකේ විවිධ දක්ෂතා ඇති ළමයින්ටයි එන්න කිව්වේ. අනිත් තරගවලින් ගායනයට හැකියාව තියන අයට විතරනේ ඇප්ලයි කරන්න කිව්වේ.

ඉන්න ඉන්න ඉතුරු ටික මං කියන්නම්?

සරිත්ගෙ දඟකාර වචන සුරිත්ගේ කතාවට බාධාවක්.

ඉතින් අම්මා තමයි ඇප්ලිකේෂන් දැම්මේ. සිංදු කියන්නත් පුළුවන්, ඒත් වෙනසකටත් එක්කලා වාදනයෙන් තරගයට සහභාගී වුණා.

බය වුණේ නැද්ද ස්ටේජ් එකේදි?

චුට්ටක්වත් නැහැ. මල්ලිත් ඉන්නවනේ.

කොහොමද දිවෙන් ගිටාර් ගහන්නේ?

ඒ ප්‍රශ්නයට සරිත් පුංචි හිනාවකින් උත්තර දුන්නේ.

මේ දෙන්නගේ පුදුමාකාර දස්කම් දැකලා විදෙස් ප්‍රසංග සඳහා ද මේ වන විවටත් ඇරැයුම් ලැබිලා.

අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි පුතාලා දෙන්නට ඒවාවලට යන්න දෙනවා. ඒ වගේම හොඳට සංගීතය උගන්වනවා.

ජගත් දෙන්නව ළඟට ගත්තා. මේ අය ස්ටේජ් එකේදි උඩ පැන පැන ප්ලේ කළාට, තරගයට ගෙදරදී ප්‍රැක්ටිස් කෙරෙව්වෙ බොහොම අමාරුවෙන්. බලෙන්ම වඩාගෙන ගෙනත් සුරිත්ව ඩ්‍රම් එකේ ඉන්දවලා සරිත්ගේ කරේ ගිටාර් එක එල්ලනවා. අහක බලනකම් ඉඳලා දෙන්නා දුවගෙන ටී. වී. එක ළඟට යනවා. ඇහැව්වොත් කියන්නේ තාත්තා බය වෙන්න එපා, අපි ස්ටේජ් එකේ නියමෙට වැඩේ දෙන්නම් කියලා. කිව්වත් වගේ ඒ දේ කළා.

ජගත් තවදුරටත් වචන එකතු කෙරුවා.

ජගත් වෘත්තියෙන් රාහුල විද්‍යාලයේම ඉංග්‍රීසි ගුරුවරයෙක්, මව නිලුකා, මොන්ටිසෝරියක ගුරුවරියක්. සරිත්ට සුරිත්ට චූටි නංගියෙක් ඉන්නවා. එයා තරුෂි ජයවර්ධන.

අයියයි මල්ලියි දෙන්නම සත්තුන්ට හරිම ආදරෙයි. මගතොටේදී පූස් පැටියෙක්, බලු පැටියෙක් දැක්කොත් අම්මටයි තාත්තටයි හොරෙන් ගෙදර ගේන්නමලු හදන්නේ.

තරගයෙන් දින්නොත් තාත්තා බලු පැටියෙක් ගේනවා කියලා පොරොන්දු වුණා. දැන් ඒක ඉටු වෙනකම් ඉන්නේ නේද අයියේ?

සුරිත්, සරිත් දෙස බැලුවා.

ඔව්, ඔව් හොඳ වෙලාවට මතක් කළේ.

සරිත් සුරිත්ගේ කතාව අනුමත කළා.

මේ ජවසම්පන්න පොඩ්ඩො දෙන්නා කවදා හරි මුළු ලෝකෙම ජය ගනියි.

ඒක ඔවුන්ගේ දක්ෂතා දුටු හැමෝගෙම බලාපොරොත්තුවක්.

අවසන්කොට මේ ජයග්‍රහනය සඳහා කෙටි පණිවුඩ එවූ හැමෝටමත්, මාතර පුරපති ඇතුළු දකුණේ ජනතාවටත් බොහොම ආදරෙයෙන් සරිත් සහ සුරිත් තුති පිදුවා.

සරිත් සහ සුරිත්ට කතා කරලා සුබ පතන්න පුළුවන් 0777350515 / 0717350515 අංකවලින්.

ඒ වගේම මේ දෙන්නාගේ සියලු තතුª තියනවා www.sarithsurith.com  වෙබ් පිටුවේ.