වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




අද සිට යළිත් අපි දැන් පෙරටත් වඩා සවිමත්

අද සිට යළිත් අපි දැන් පෙරටත් වඩා සවිමත්

ෂා එෆ්. එම්. කළමනාකරු ප්‍රගීත් විජේසූරිය සමඟ පිළිසඳරක්

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා

අද සිට යළිත් ෂා එෆ්. එම්. ඔබට හුරු පුරුදු වූ ගුවන් විදුලි නාලිකාවක්. කාලයක් නිහඬව සිටියත් මෙරට ශ්‍රාවක ප්‍රසාදය දිනාගත් ෂා ගුවන් විදුලි නාලිකාව යළිත් ඔබ සවනට ළං වෙලා. අපි ඒ ගැන කතා කළේ ෂා ගුවන් විදුලි නාලිකාවේ කළමනාකරු ප්‍රගීත් විජේසූරිය සමඟයි. ප්‍රගීත් කියන්නේ මීට වසර කිහිපයකට ඉහත දී ඉමහත් ජනාදරයට පාත්‍ර වූ ‘ෂා බංකරයෙන්’ ඔබ හමුවට පැමිණි ප්‍රකාශ්. ෂා එෆ්. එම්. හි නව ආගමනය ගැන අපි ප්‍රගීත් ගෙන් අහමු.

ෂා ගුවන් විදුලි නාලිකාවේ නව ආරම්භය ගැන මුලින්ම කියමු නේද?

‘ෂා නම් සිංදු විතරමයි’. පෙර පරිදිම නොවෙනස්ව එදා ඒ රසයම ජනතාවට දෙන්න ෂා සූදානම් කියලා මුලින්ම කියන්න කැමතියි. වයස් භේදයකින් තොරව හදවතින් තරුණ ඕනෑම අයකුට වඩාත් සමීප ෂා එෆ්. එම්. දැන් 90.9 සහ 91.1 යන තරංගමාලා ඔස්සේ පැය විසිහතර පුරාම දිවයිනේ ඕනෑම තැනක සිට රසවිඳින්නට පුළුවන්. සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි සහ තවත් විවිධ භාෂා වලින් යුතු මියුරු සංගීත රසය මේ තුළින් විඳගන්නට හැකි බව සඳහන් කරන්න කැමතියි. ෂා කියන්නේ පටු අරමුණුවලින් තොරව ජනතාවට සංගීත රසාස්වාදය ලබා දීම පමණයි.

ගුවන් විදුලි නාලිකාවන් රැසක් බිහිවන යුගයේ ෂා කියන්නෙත් රැල්ලට බිහිවුන නාලිකාවක් ද?

අපි තවත් නාලිකාවක කොපියක් නෙමෙයි. අපිව අනුකරණය කරන්න කාටවත් බැරි වේවි. ඒ වගේම ෂා නාලිකාවට අනුකාරකයෙක් නැහැ. නමුත් ෂා වගේ වෙන්න ගොඩක් අය උත්සාහ ගන්නා බවක් නම් පේනවා.

අලුත් වුන ෂා තුළින් ඇති වූ අලුත් වෙනස්කම් ගැනත් කියමු නේද?

සංගීතයෙන් තමයි වෙනස ඇති වෙන්නේ. ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් වටා ගෙතුන කතා, විහිළු, ආදරණීය වැඩසටහන්, සජීව ප්‍රසංග, ගීත දර්ශක, ගීත ඉල්ලීම් වැනි සංගීතය සමඟ බද්ධ වන දේ තමයි අපි ගෙන එන්නේ. මීට පෙර ෂා තුළින් ප්‍රචාරය වූ ඉතා ප්‍රසිද්ධ වූ වැඩසටහනක් තමයි බංකරය. එදා යුද ජයග්‍රහණය උදෙසා සෙබළ සිත් සවිබල ගන්වමින් නිවෙස සහ කඳවුරු යා කළ ‘ෂා බංකරය’ තවත් පුළුල් කර මෙවර රට තුළ හෝ රටින් පිට සිටින තම සමීපතමයන් එක් කෙරෙන ‘ෂා කොමියුනිකේෂන්’ නම් වැඩසටහන විශේෂයි.

ඒ වගේම ලංකාවේ මෙතෙක් සංවිධානය කළ දැවැන්තම සංගීත ප්‍රසංග මාලාව වන ‘ෂා නොන්ස්ටොප් නයිට්’ වැනි දැවැන්ත සංගීත ප්‍රසංග මාලාව පෙරටත් වඩා විචිත්‍රවත් හා දැවැන්ත අයුරින් ඉදිරිපත් කරන්නට ෂා ප්‍රවර්ධන අංශය සූදානම්.

සංගීතයෙන් බැහැර වැඩසටහන් ෂා තුළ නැද්ද?

සංගීත රසාස්වාදය තමයි ෂා හි මූලික අරමුණ. සංගීත රසය නොඅඩුව ලබා දෙන අතරම තොරතුරු දැන ගැනීමේ ජනතා අයිතියට ගරු කරමින් උදෑසන 7.30, දහවල් 12.30, සවස 6.30 සහ රාත්‍රී 9.30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් සමඟින් උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා සෑම 30 වන මිනිත්තුවකදීම පැයේ පුවත් විකාශයක් ද සුදානම්. සෑම දෙනාටම වැදගත් තොරතුරු වගකීමෙන් ඉදිරිපත් කරන්නට අපි වගබලා ගන්නවා.

මේ වන විට බොහෝ ගුවන් විදුලි නාලිකා ශ්‍රාවකයාට මුදල් පිරි නමන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ෂා ගුවන් විදුලිය තුළත් එවැනි දේ ඇතුළත් ද?

ජනාතාව ගුවන් විදුලියක් අහන්නේ රසවින්ඳනයට මිසක් මුදල් බලාගෙන නෙවෙයි. ෂා සමඟ සමාන්තරව තවත් නාලිකා බිහිවුනත් අපට සල්ලි දීල අසන්නන් රඳවා ගන්න උවමානාවක් නැහැ. ෂා වහලා තිබුණ කාලයේදි පවා අපේ අසන්නන් අප සමඟ රැඳී හිටියා. ෂා කියන්නේ සල්ලිවලට ආපු චැනල් එකක් නෙවෙයි.

අද බොහෝ ගුවන් විදුලි නාලිකාවලට භාෂා විලාශය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. ඒ සමඟ ෂා එෆ්. එම්. හි භාෂා ශෛලිය ගැනත් සඳහන් කළොත්?

භාෂා විලාශය නම් තනිකරම සිංහල විතරක් නෙවෙයි.

කවුරු චෝදනා කළත් අද සමාජයේ කවුරුත් සිංහලෙන් විතරක් කතා කරන්නේ නැහැනේ. උදේට සුබ පතන්නේ ‘ගුඩ් මෝර්නිං’ කියලා. බස් හෝල්ට් එක, ස්ටේෂන් එක, ඉන්ටවිව් වැනි විවිධ දේ සඳහා එදිනෙදා ජීවිතයේ දී අපි භාවිත කරන්නේ මිශ්‍ර භාෂාවක්. ඉතිං මේක ගුවන් විදුලි නාලිකාවකට පමණක් විශේෂ වෙන්නේ නැහැ. අපි කතා කරන්නේ අද සමාජයේ ඉන්න අයට. ඒ නිසා එහි වරදක් මම දකින්නේ නැහැ.

ෂා පිරිවර ගැනත් කියමු නේද?

කාලයක් තිස්සේ ෂා සමඟ සිටි අය වගේම අලුත් අයත් අපි එක්ක මේ මෙහෙවරේදි එක්ව සිටිනවා. මැෂි, කෙවින්, පූජා, ටීනා, අකිල්, රයන්, නිෂූ, ආක්ෂේ, ෂෙවාන්, මිෂෙල්, ඩිලන්, ඩී. ජේ. මෑෂ් ඇතුළු ඔබේ පි‍්‍රයතම නිවේදක නිවේදිකාවන් යළිත් ඔබ හමුවට එනවා.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා සමඟ ප්‍රධාන විධායක නිලධාරී ධම්මික තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම යටතේ වැඩසටහන්, ප්‍රවෘත්ති, ප්‍රවර්ධන, අලෙවි ආදී සෑම අංශයකින්ම අත්දැකීම් පිරි කාර්යශූර දක්‍ෂයින් පිරිසක් ෂා එෆ්. එම්, හි සන්නද්ධ වෙලා ඉන්නවා.

කාලයක් නිහඬව සිට නැවත පැමිණීමෙන් යළිත් පෙර පරිදිම ජනතාව පිළිගනියි කියලා හිතනවද?

හොඳ පිළිගැනීමක් තියෙනවා. ෂා වැහිලා තිබුණු කාලයේදි පවා අප වටා රොක්ව සිටි ශ්‍රාවක පිරිසක් හිටියා. ඔවුන්ගේ මනාපය තමයි මෙහි සාර්ථකත්වය වුණෙත්. ඔවුන් ෂා එෆ්. එම්. නැවත එනතුරු මඟ බලාගෙන හිටියා. මේ නිසා ඒ ගැන කිසිම අභියෝගයක් නැහැ.

ෂා එෆ්. එම්. යළි පිබිදෙන වෙලාවේ ඔබ අසන්නන්ට කියන්නේ?

ගුණාත්මක බවින් පරිපූර්ණව යුග යුග ජනපි‍්‍රය වූ ගීත වැඩිම ප්‍රමාණයක් ප්‍රචාරය කරන එකම ශ්‍රී ලාංකේය ගුවන් විදුලි නාලිකාව හැටියට ෂා දැන් ඔබට සමීපයි. 0112 – 346722 දුරකථන අංකය ඇමතීමෙන්,Shaa(හිස්තැනක්) පණිවුඩය සමඟ 7766 ට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් හෝ ෂා එෆ්. එම්., තැ. පෙ. 1833, කොළඹ යන ලිපිනයට ලිවීමෙන් අප සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

 ඒ වගේමwww.shaafm.lkවෙබ් අඩවිය මඟින් එතෙර මෙතෙර ඕනෑම අයකුට අප සමඟ සම්බන්ධ වෙන්නට අවස්ථාව තියෙනවා. සංගීතයට ලැදි ශ්‍රී ලාංකික ඔබට ගැලපෙන රිද්මයේ ගීත මඟින් විනෝදාස්වාදය ලබා දීමට තරංගමාලා 90.9 සහ 91.1 ඔස්සේ ෂා එෆ්. එම්. වගකීමෙන් බැඳී සිටින බව කියන්න කැමතියි.