වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




යුනයිටඩ් ආටිස්ට් අවසන් චිත්‍රපටය

මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50

යුනයිටඩ් ආටිස්ට් අවසන් චිත්‍රපටය

ෆො යුවර් අයිස් ඔන්ලි මඳ පවනේ පිපී ලෙළ දෙන පියකරු මලින් පිරි ලියගොමු තුරුලතා සහ අපූරු උද්‍යාන අලංක රණයෙන් විසිතුරු වූ දැකුම්කලු සුසාන භූමි පරිශ්‍රයකි. එහි මනාව ගල් ඇතිරූ පටුමගක් ඔස්සේ මල් කළඹක් ද අතැතිව ඉදිරියට පිය මනින දේහධාරී පුද්ගලයෙකි.

මඳ දුරක් ගමන් කොට ස්මාරකයක් අබියස නවතින හෙතෙම අත තිබූ විසිතුරු මල් කළඹ ස්මාරකය මත තැන්පත්කර ගැඹුරු සිතිවිල්ලක නිමග්න වෙයි. ඔහුගේ නෙත් යොමුව ඇත්තේ ශෛලමය පුවරුව මත සටහන්ව ඇති අකුරු පේළිය වෙතටයි.

‘තෙරේසා බොන්ඩ්’ තම ජීවිතයේ ලස්සනම දවස හෙවත් මංගල දිනයේ මනාලයා සමඟ මධුසමය සඳහා යන අතරමඟ කුරිරු බ්ලොෆෙල්ඩ් ගේ අනුගාමිකයින් තැබූ වෙඩි පහරකට ලක්ව ජීවිතයෙන් සමුගන්නා ඇය අන් කවරකු හෝ නොව ජේම්ස් බොන්ඩ් නමැති සුපිරි රහස් ඔත්තුකරුවාගේ සදාදාරණීය බිරිඳයි.

සිය දිවි දෙවෙනි කොට ආදරය කළ ප්‍රිය බිරිඳගේ ගුණානුස්මරණය දා පුෂ්පෝපහාර පුදකොට අතීත මතකයෙන් සමුගෙන රාජකාරිය සඳහා වාර්තා කිරීමට එවා තිබූ හෙලිකොප්ටරයට ගොඩ වෙන බොන්ඩ් හට ගමන් කිරීමට සිදු වන්නේ ඉතා කෙටි දුරක් පමණකි.

හෙඩ්ෆෝනය ඔස්සේ එන අධි කම්පන ශබ්ද තරංග මාලාවකින් නියමුවා සිහිසුන්ව අසුන මත ඇද වැටෙයි. අයාලේ යන යානය හසුරුවා ගැනීමට බොන්ඩ් ගන්නා උත්සාහය ව්‍යවර්ථ වන්නේ ඒ වන විටත් බ්ලොෆෙල්ඩ් විසින් දුරස්ථ පාලකයක් හරහා යානය තමාගේ පාලනයට නතු කරගෙන සිටි නිසාවෙනි. උමතු මිනිසකු ගේ අණසකට යටත්ව ගුවනේ යකා නටන යානයක් තුළ ජේම්ස් බොන්ඩ් ගේ ඉරණම කෙසේ විසඳෙයි ද?

ඈ ග්‍රීක දෙවඟනක් සේ රූපයෙන් අග තැන්පත්ය. ඇගේ දෙනෙත් අබියස දී සිය ආදරණීය මව්පිය දෙදෙනා ඝාතනය කොට පලා යන සාහසික මිනීමරුවකු පසුපස ලෙයට ලෙයින් පළිගන්නා චේතනාවෙන් ලුහුබඳින ඈ නමින් මෙලිනා හැව්ලොක්ය.

ලෝනියන් මුහුදේදී බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් නෞකාවක් පුපුුරවා හරින පිරිසක් එහි තිබූ ‘ඒටැක්’ නමැති ඉලෙක්ට්‍රොනික උපකරණයක් පැහැර ගනී. ගැඹුරු මුහුදේ ඇති සතුරු සබ්මැරීන සහ මිසයිල නිරීක්ෂණය කිරීම සඳහා නිපදවා ඇති මෙය ඉතා අගනා සුවිශේෂී මෙවලමකි. එය රුසියානු කේ. ජී. බී. සංවිධානය අතට පත් කිරීම කොල්ලකරුවන්ගේ අභිප්‍රාය වෙයි.

ඊට පෙර එය සොයා ගැනිීම සහ අපරාධකරුවන් විනාශ කිරීම ජේම්ස් බොන්ඩ් වෙත පැවරෙන රාජකාරිය වෙයි. මෙම සියලු ක්‍රියාදාමයන් මෙහෙය වන්නේ ක්‍රිස්ටාටොස් නමැති පුද්ගලයෙකි.

බොන්ඩ් සහ මෙලිනාගේ හදිසි හමුවීම ඔවුන්ගේ පොදු සතුරා වන ක්‍රිස්ටාටොස්ට එරෙහිව දියත් වන ව්‍යාපෘතියේදී ප්‍රබල සාධකයක් බවට පත්වන්නේ එහෙයිනි. ‘ෆො යුවර් අයිස් ඔන්ලි’ චිත්‍රපට කතාව ගෙතී ඇත්තේ ඉහත සඳහන් සිද්ධි දාමයන් පාදක කොට ගෙනයි.

1981 තිරගත වුණු ‘ෆො යුවර් අයිස් ඔන්ලි’ ජේම්ස් බොන්ඩ් සිනමාවලියේ 12 වෙනි චිත්‍රපටය වන අතර රොජර් මුවර් ගේ පස්වෙනි චිත්‍රපටය ද වෙයි. බොන්ඩ් චිත්‍රපට තුනක සහාය අධ්‍යක්ෂක මෙන්ම සංස්කාරක ලෙස ද කටයුතු කළ ජෝන් ග්ලෙන් මෙහි අධ්‍යක්ෂක විය.

ඉයන් ෆ්ලෙමින්ගේ ‘ෆො යුවර් අයිස් ඔන්ලි’ නම් කෙටිකතා මාලාවේ කතා 2 ක් ඇසුරෙන් රිචඩ් මේ බෝම් සහ මයිකල් ජී. විල්සන් විසින් තිර කතාව රචනා කෙරිණි. යුනයිටඩ් ආටිස්ට් සමාගම තනිව නිපැයූ අවසන් බොන්ඩ් චිත්‍රපටය මෙය වන අතර ඉනික්බිති එය MGM සමාගම හා එක් MGM/UA නම් ඒකීය සමාගමක් බවට පත් විය.

යුනයිටඩ් ආටිස්ට් සමාගමේ ප්‍රචාරක නිලධාරී ජෙරී ජූරෝගේ තේරීමක් අනුව මෙලිනා හැව්ලොක් නමැති ප්‍රධාන නිළි චරිතය ග්‍රීක ජාතික සුරූපිනියක් වූ කැරොල් බොකේ වෙත පැවරුණි.

‘මුන්රේකර්’ ප්‍රධාන නිළි චරිතය සඳහා ඈ තෝරා ගෙන තිබුණු නමුදු අවසානයේ ඒ අවස්ථාව හිමි වුණේ ලොයිස් චයිල්ස්ටයි. ප්‍රධාන ප්‍රතිවාදී ක්‍රිස්ටාටොස් ලෙස ජුලියන් ග්ලවර් රඟපෑ අතර කුලී මිනීමරුවකු වන එමිලි ලියොපොල්ඩ් ලෙස මයිකල් ගොතාර්ඩ් චරිත නිරූපණය කළා. කැසැන්ඩ්‍රා හැරිස්, ලිස්ලි වොන් ස්කාෆ් ගේ චරිතය රඟපෑවා.

ඇය පසු කලෙක ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑ පියර්ස් බ්‍රොස්නන්ගේ බිරිඳයි. ඩෙස්මන්ඩ් ලෙවලින් ‘ගැජට්’ අංශයේ ප්‍රධානී ‘කිව්’ ගේ චරිතය රඟපෑවේ දහවෙනි වතාවටයි. මෙය ලොයිස් මැක්ස්වෙල්, මිස් මනිපෙනි ලෙස රඟපාන දොළොස් වෙනි බොන්ඩ් චිත්‍රපටයයි.

ජැනට් බ්‍රවුන් නම් නිළිය මෙහි රඟපෑවේ බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් ගේ භූමිකාවයි. බ්‍රිගේඩියර් එම් ලෙස ඩොක්ට නෝ චිත්‍රපටයේ සිට චිත්‍රපට 11 ක නොකඩවා චරිත නිරූපණය කළ බර්නාඩ් ලී 1985 දී ජීවිතයෙන් සමුගත් හෙයින් ඔහුට උපහාරයක් වශයෙන් ‘එම්’ ගේ චරිතය චිත්‍රපටයට ඇතුළත් නොකිරීමට නිෂ්පාදකවරු ගත් තීරණයකට අනුව ‘එම්’ නිවාඩු ගොස් සිටින බැවින් ඔහුගේ තනතුරේ වැඩ බලන නිලධාරියා ලෙස බිල් ටැනර් නමැති නළුවා ආදේශ කර ගනු ලැබුවා. ලින් හෝලි ජොන්සන් රඟපෑවේ බිධී ඩාල් ගේ චරිතයයි.

1980 සැප්තැම්බර් 2 දා ප්‍රධාන රූගත කිරීම් ඇරැඹුණේ උතුරු මුහුදේදී. ශාන්ත ජෝජස් හිදී එළිමහන් දර්ශන දින තුනක් තිස්සේ රූගත කෙරුණා.

ඉතිරි කොටස ලබන සතියේ