වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන් ගෙන් අහන්න

අර්ජුන් ගෙන් අහන්න

රවීනා තන්ඩන් දැනට රඟපෑමෙන් ඉවත් වෙලාද? ඇය අවසන් වරට රඟපෑවේ කුමන චිත්‍රපටයේද? රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව කොපමණද?

චතුරංග සම්පත් – තුන්තාන

ඇය අවසන් වරට රඟපෑවේ 2006 වසරේ ‘ඉස්ක් අසාර්’ නැමැති චිත්‍රපටයේයි. ඉන්පසු ඇය චිත්‍රපටවල රඟපෑවේ නැතත් එන්. ඩී. ටී. වී. මඟින් පෙන්වන ‘ඉට්ස් මයි ස්ටයිල්’ වැඩසටහනේ නිවේදිකාව ලෙස කටයුතු කරනවා. ඇය චිත්‍රපට 71 ක රඟපා තිබෙනවා.

*

රූකාන්ත ගුණතිලක එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීත නැවත ගායනා කිරීම පිළිබඳ ඔබගේ සෘජු අදහස පැවැසිය හැකිද?

සුරවීර නාකන්දල – ධර්ගා නගරය

මුල් ගීතයට හානියක් නොවේ නම්, තමන්ට එයට අලුත් හඬක් දෙන්නට හැකිනම් කාගේ ගීත කවුරු කීවත් රසිකයකු වශයෙන් මට නම් ප්‍රශ්නයක් නැහැ. ලෝකයේ මෑත භාගයේදී බොහෝ පැරැණි ගායක ගායිකාවන්ගේ ගීත නැවත ගායනා කරනවා. ලතා මංගෙෂ්කාර්ගේ ගීතත් අද අලුත් පරම්පරාවේ ගායිකාවන්ගේ හඬින් අසන්නට ලැබෙනවා. ජෝතිගේ ගීතත් රූකාන්ත විසින් ඔහුටම ආවේනික හඬින් ගායනා කරනවා යැයි මගේ හැඟීම.

ජෝතිගේ ගී ගැයූ වෙනත් ගායකයන්ට වඩා ඔහු තමන්ට ආවේනික කරගෙන ගයා තිබෙනවා. එය විඳිය යුත්තේ ජෝතිපාලගේ අපූරු හඬ අමතක කරලමින්.

*

ගුවන් විදුලියෙන් බිහි වූ විශිෂ්ට නිවේදකයකු වූ නැසීගිය ලලිත් එස්. මෙත්‍රිපාල මහතා ගීත රචනා කර තිබේද?

අජිත් ලක්මාල් - කට්ටුව – මීගමුව

එතුමන් ගීත බොහෝමයක් රචනා කර තිබෙනවා. ‘සිහින ලොවේ මිහිර මැවූ මාලි’ ගීතයත් එතුමන් අතින් ප්‍රබන්ධය වුණේ.

*

දකුණු ඉන්දියානු සිනමා සමාගමක් වූ ‘පකෂීරාජා ෆිල්ම්ස්’ නිපද වූ ‘සූරසේන’ නැමැති සිංහල චිත්‍රපටය නිපදවීමට අනුකරණය කළ එම සමාගම නිපද වූ දෙමළ චිත්‍රපටය කුමක්ද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

මලෙයි කල්ලන් චිත්‍රපටයයි.

*

ප්‍රසන්න ජයකොඩිගේ ‘කර්ම’ චිත්‍රපටයට ප්‍රථම ඔහු කළ චිත්‍රපටය ‘සංඛාරා’ ද?

ඒ. ලක්මාල් - මීගමුව

නොදන්නවා වගේ අහන හැටි.

*

අද පවතින ඝෝෂාකාරී, කරච්චල් ගීත වගේම එම ගීත ගයන (නැහැ එම ගීත කියන) අයගේ නමක්වත් මතක හිටින්නේ නැහැ නේද?

කරූ මන්දාවල – නාත්තන්ඩිය

ගායක ගායිකාවන්ගේ නම් මතක හිටින යුගය තිබුණේ ඉස්සර. වර්තමානයේ ඒ ආකාරයට ගායක ගායිකාවන්ගේ නමට එහා මතකයේ රැෙඳන්නේ ඔවුන්ගේ නිර්මාණයයි.

මේ කාලයේ බිහිවන හැම ගීතයක්ම ඝෝෂාකාරී යැයි චෝදනා කරන්නට මට බැහැ.

මීට වඩා හරසුන් අතිශය ග්‍රාම්‍ය ගීත එදත් තිබුණා.

අද එදාට වඩා ඕනෑම කෙනෙකුට තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්නට හැකියාව වගේම විවිධ මාධ්‍යයන් ඕනෑ තරම් තියෙනවා. (ගුවන් විදුලිය, වෙබ් රේඩියෝ, රූපවාහිනී නාලිකා, අන්තර් ජාලය).

එම නිසා නිර්මාණ බිහිවන සංඛ්‍යාව වැඩියි. ගතානුගතිකත්වය ඉවතලා අලුත් පරපුරට ආශිර්වාද කරන්න අපිට බැරි ඇයි කරූ?

*

ලාංකීය සිනමාවේ චිත්‍රපටයක රඟපෑම උදෙසා වැඩිම මුදලක් අය කරන නළුවා හා නිළිය කවුද?

එරන්ද ඉන්දික – බත්තරමුල්ල

මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකියාව ඇතැයි මා විශ්වාස කරනවා.

*

රාජ් කපූර් නිෂ්පාදනය කළ ‘ආග්’ චිත්‍රපටය දෙවරක් නිෂ්පාදනය කර තිබේද?

ජයම්පති නවරත්න – මාතලේ

රාජ් කපූර් නිෂ්පාදනය කළ ‘ආග්’ නැවත නිෂ්පාදනය වුයේ නැහැ. නමුත් ‘ආග්’ නමින් චිත්‍රපට කිහිපයක් වෙනත් අය නිෂ්පාදනය කළා.

*

නදී චන්ද්‍රසේකර දැන් රඟපෑමෙන් ඉවත් වෙලාද?

චම්පිකා නේරංජිනි ගලප්පත්ති - බටන්විල

ඇය රඟපෑමෙන් ඉවත් වී නැහැ. මේ ළඟදී ඇය ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා. ළඟදී එය විකාශය වේවි.

*

පූර්ණිමා, සුලෝචනා, මලී, අමා, සේපාලිකා, යශෝධරා, සරා, දාමිණි මේ විවිධ කාන්තා නම් ටෙලි නාට්‍යවලට යෙදීමෙන් පුරුෂ පක්ෂය කොන් වෙනවා නේද?

සුජාතා ගුණවර්ධන – කඩවත

අඩුම ගණනේ දුවන කෝච්චියකටවත් පිරිමින්ගේ නම තියන සිරිතක් නැහැනේ. ඕවාට පිරිමි නම් තියලා අපහාස කරගන්නවාට වඩා ඒ සුදුසු නමම හොඳයි. ඔය ටෙලි නාට්‍ය, දුම්රියවලට කාන්තාවන්ගේ නම් දාන හේතුව පත්තරේක පළ කරන්න බැහැ.

*

ලෝකයේ ප්‍රථම කතානාද චිත්‍රපටය කුමක්ද?

තිලකරත්න විල්වල – කෑගල්ල

‘ද ජෑස් සින්ගර්’.

*

එක්ටැම් ගේ චිත්‍රපටයට යොදාගත් ප්‍රදීපාගාරය පිහිටියේ කොහේද?

සමන් ගාල්ලගේ – කැටපල

එහි බාහිර දර්ශන කිහිපයක් මහ රාවණ ප්‍රදීපාගාරයේ රූගත කළා. ඉතිරිය රූගත කළේ දෙවුන්දර ප්‍රදීපාගාරයේයි.

*

ගාමිණී ෆොන්සේකා සමඟ රඟපෑ නිළියන් නම් කරන්න.

විරාජ් හර්ෂනාථ – නිකවැරටිය

සුජාතා විජේසේකර, කාන්ති ගුණතුංග, ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, සෝබනී අමරසිංහ, ක්ලැරිස් ද සිල්වා, මාලිනී ෆොන්සේකා, එඩ්නා සුගතපාල, ශ්‍රියානි අමරසේන, නදීකා ගුණසේකර, සබීතා පෙරේරා, පුණ්‍යා හීන්දෙනිය, මානෙල් වානගුරු, ෆරීනා ලායි, වීණා ජයකොඩි, ගීතා කුමාරසිංහ, ස්වර්ණා කහවිට, ශ්‍යාමා ආනන්ද ඇතුළු විශාල පිරිසක් සිටිනවා.

*

දකුණට අයත් ඊ. ඒ. පී. සිනමාහල් මොනවාද?

එස්. ගාල්ලගේ – ඇල්පිටිය

රීගල් - අම්බලන්ගොඩ, ක්වීන්ස් - ගාල්ල යන සිනමාහල් ඔවුනට අයිති දකුණේ සිනමාහල්.

*

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මිය යන්නට පෙර කියා සිටියා මරදාන එල්ෆින්ස්ටන් සිනමාහල රුක්මණී දේවී රඟහල කියා නම් කරන්න. එය සිදු නොවූයේ ඇයි?

ඒ. කරුණාදාස - යාලගම – ඉඳුරුව

එතුමන් එසේ අදහස් ප්‍රකාශ කළේ එය අපේ මුල්ම නිළි රැජණට කරන ගෞරවයක් හැටියටයි. අදහසක් ප්‍රකාශ කළ හැටියටම එය ක්‍රියාත්මක විය යුතු යැයි මා සිතන්නේ නැහැ. එල්ෆින්ස්ටන් කියන නම එම සිනමාහලට ඉතාම හොඳින් ගැළැපෙනවා.

එල්ෆින්ස්ටන් සිනමාහල යනු මෙරට සිනමා කර්මන්තයේ ආරම්භයේ නිමැවූණු සිනමා ශාලා කිහිපය අතරින් දැනට ඉතිරිව ඇති එකම සිනමාහලයි. එය ගොඩ නැගුවේ මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය ව්‍යාපාරික මට්ටමෙන් ආරම්භ කළ ඉන්දියාවේ ‘මදාන්’ සමාගමයි. ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලට උදව් කළ එවකට කොල්කටාවේ විසූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝන් එල්ෆින්ස්ටන්ට කරන ගෞරවයක් හැටියටයි.

මේ එල්ෆින්ස්ටන්ගේ නමින්ම මෙරට ඇති ශාලාවේ ගෘහ නිර්මාණ ශිල්පියම අනුවම තවත් සිනමාහලක් කොල්කටාවේ තියෙනවා. එය අද එරට සම්භාවනීය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා බටහිර බෙංගාල චිත්‍රපට සංවර්ධන සංස්ථාව මඟින් පාලනය කෙරෙනවා.

අනාදිමත් කාලයක සිට සිංහල සිනමාවට හුරු වූ එල්ෆින්ස්ටන් ශාලාව අද සිනමාවට අයිති නැහැ. ඉතින් එල්ෆින්ස්ටන් සිනමාහලට එකී ගෞරවයෙන් ඒ ආකාරයෙන් තිබෙන්නට හැර ඇවැසි නම් රුක්මණී දේවිය වෙනුවෙන් වෙනත් යමක් කළ හැකියි නේද?

*

සිනමා නළු මර්වින් ජයතුංග රඟපාපු ප්‍රථම චිත්‍රපටය පෙම්බර මධූ ද චණ්ඩි පුතා ද?

චන්න ජයසුන්දර - යක්කල

පෙම්බර මධූ චිත්‍රපටය.

*

එම්. ජී. ආර්, සිවාජි, ජෙමිණි, කමලා,හසන් රජින් කාන්ත් යන ද්‍රවිඩ සිනමාවේ රංගන ශිල්පීන් අතරින් වඩාත් දක්ෂ කවුද?

ලෙනාඩ් ප්‍රනාන්දු – දූනගහ

කමලා හසන් සමඟ තරග කරන්නට අනෙක් කිසිම නළුවකුට බැහැ.