වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




පිරිමියකු වී උපත ලද ලැරී දැන් ලානා වෙලා

පිරිමියකු වී උපත ලද ලැරී දැන් ලානා වෙලා

1999 චිත්‍රපටය අයියා - මල්ලීගෙන්
2012 චිත්‍රපටය අක්කා - මල්ලී ගෙන්

1999 වසරේ ගිම්හානයේදී මුළු ලොවම මවිතයට පත් කරවමින් තිරගත වුණු මේට්‍රික්ස් නම් චිත්‍රපටය ඔබට මතක ඇති.

ඒ වන තෙක් ලොව පුරා ප්‍රේක්ෂකයින් නොදුටු විශේෂ ප්‍රයෝග හා දෘශ්‍ය ප්‍රයෝග රැසකින් අලංකාර කර තිබුණු ඉතාමත් ආකර්ශණීය විද්‍යා ප්‍රබන්ධ / ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස මේට්‍රික්ස් ප්‍රේක්ෂක හදවත් දිනා ගනිමින් සිනමා ඉතිහාසයේ තාක්ෂණික විප්ලවයක් ආරම්භ කිරීමට පුරෝගාමී වූවා. ඉන්පසු නිමැවුනු චිත්‍රපට රැසකටම මේට්‍රික්ස් හී හඳුන්වා දුන් විශේෂ ප්‍රයෝග, දෘශ්‍ය ප්‍රයෝග නිරන්තරයෙන්ම නැවත නැවතත් භාවිත වෙන්නට පටන් ගත්තා. මුල් චිත්‍රපටයේ අතිශය ජනප්‍රියත්වය හේතුවෙන් වසර 2003 මේටි‍්‍රක්ස් දෙවන සහ තුන්වන චිත්‍රපට ද නිමැවුණා.

මෙවැනි නිමැවුම් සිනමා අත්දැකීමක් ඔබ හමුවට ගෙන එන්නට සමත් වූ නිර්මාණශීලී දායකත්වය ගැන ඔබ විපරම් කළා නම්, මේ චිත්‍රපට මාලාවේ රචනය හා අධ්‍යක්ෂණය වචොව්ස්කි සොහොයුරන් බව චිත්‍රපට නාමාවලියේ දැක් වූවා. තවදුරටත් ඔබ විමසුම් කළා නම් මේ නිර්මාණශීලී තිර රචනය හා අධ්‍යක්ෂණය කළේ එක කුස උපන් සොයුරන් දෙදෙනෙකු බවත්, ඔවුන් දෙදෙනා ඇන්ඩි වචොව්ස්කි සහ ලැරී වචොව්ස්කි බවත් දැනගන්නට ලැබේවි.

කවුද මොවුන් දෙදෙනා? හොලිවුඩය ඇතුළුව මුළු ලොවම එක රැයකින් උමතු කළ සිනමා කෘතියක් බිහි කිරීමට සමත්වුණු මොවුන් කාගේ කවුද? කොහෙන්ද? 1965 සහ 1967 දී ඇමරිකාවේ චිකාගෝ නුවර උපත ලද ලැරී සහ ඇන්ඩි වචොව්ස්කි පෝලන්ත සම්භවයක් ඇති ඇමරිකානුවන් දෙදෙනෙක්. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතරමග හැර දැමූ සොහොයුරන් දෙදෙනා පසුව චිකාගෝවල වඩු කාර්මික ව්‍යාපාරයක් පවත්වා ගෙන ගියා. ඒ අතරම ඔවුන් කොමික් (චිත්‍ර කතා) පොත් නිර්මාණකරනයේ ද යෙදුණා.

1996 දී බවුන්ඩ් නමින් අඩු වියදම් චිත්‍රපටයක් ඔවුන් නිමැ වූ අතර 1999 මේට්‍රික්ස් ආගමනය සමඟ ලෝක ප්‍රසිද්ධ වුණා. සාමාන්‍යයෙන් හොලිවුඩ් සංස්කෘතියට අනුව චිත්‍රපට නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණ එළිදැක්වීමත් සමඟම එහි වාණිජ ප්‍රවර්ධන කටයුතුª සඳහා ඉදිරියෙන්ම සිටිමින් දායක වෙනවා. අනන්තවත් සම්මුඛ සාකච්ඡා, රූපවාහිනී පෙනී සිටීම්, මුද්‍රිත මාධ්‍යයන්ගෙන් අදහස් දැක්වීම් ආදි කටයුතු සඳහා චිත්‍රපටය තිරගත වූ වකවානුව තුළ ඔවුන්ගේ කාලයෙන් වැඩි හරියක් ගත කරනවා.

එම නිසා විසි එක් වන සියවසේ නළු නිළියන් තරමටම අධ්‍යක්ෂවරුන් හා වරියන් ප්‍රසිද්ධ වෙන්නේ මේ ප්‍රචාරන යාන්ත්‍රණය නිසයි. නමුත් වාචොව්ස්කි සහෝදරයන් දෙදෙනා මේ සාම්ප්‍රදායික හොලිවුඩ් සිරිතෙන් ඈත් වූයේ මුළු මාධ්‍ය ලෝකයම මවිතයට පත්කරමින්. ඔවුන් කැමරා හමුවේ ඉතාම ලැජ්ජාශීලී වූ අතර හැකි හැම විටකම තමන්ගේ මුහුණු ආලෝක ධාරාවලින් සඟවා ගන්නට උත්සාහ කළා. මෙහි උච්චත්වය වූයේ 2003 දී මේට්‍රික්ස් 2 සහ 3 තිරගත වුණු කාලයේදී වචොව්ස්කි සහෝදරයන් දෙදෙනා තමන්ගේ චිත්‍රපට ගිසුමට මෙන්න මෙහෙම දෙයකුත් ඇතුළත් කිරීමෙන්. එනම් ඔවුන් කුමන හේතුවක් නිසාවත් කිසිම මාධ්‍යයක් හමුවේ පෙනී නොසිටින බවයි.

ඔවුන් එයට හේතුව ලෙස දැක් වූයේ තමන්ගේ සිනමා නිර්මාණ නැරැඹීමෙන් පේ‍්‍රක්ෂකයින්ට එහි ගුණ අගුණ මැන ගැනීමට පුළුවන් බැවින් තමන් විසින් ඊට අමතර අටුවා ටීකා සහ ටිප්පනි ඉදිරිපත් කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි.

නමුත් මාධ්‍ය ඔවුන්ගේ මේ ප්‍රකාශය එලෙසින්ම පිළිගත්තේ නැහැ. ප්‍රසිද්ධ සමාජයෙන් වසන්වීමට මොවුන්ට විශේෂ හේතුවක් ඇත්දැයි ඔවුන් විපරම් කළා. වසර 2004 වන විට එහෙන් මෙහෙන් ඕපදූප ගොඩ නැගෙන්න ගත්තේ වැඩිමහළු සොයුරා වන ලැරී වචොව්ස්කි ගැනයි.

ඔහු ලොස් ඇන්ජලීස් නුවර සමාජ ශාලාවල අසාමාන්‍ය ලිංගික චර්යා ඇති පුද්ගලයින් ඇසුරු කරන බවත්, එම අසම්මත ක්‍රියාවලට ප්‍රසිද්ධ එක් කාන්තාවක් සමඟ ඔහුගේ සමීප ඇසුරක් පැවතෙන බවත්, ඒ සැමටම වැඩියෙන් ඔහු ගැහැනු ඇඳුම්වලින් සැරැසෙමින් සමාජයේ හැසිරෙන බවත් සාක්ෂි වශයෙන් ඡයාරූප ද සමඟ ඉදිරිපත් වුණා. ලැරී වචොව්ස්කි ලිංගික විපර්යාසයකට භාජනය වෙමින් සිටිනා පුද්ගලයෙකු යැයි ප්‍රවෘත්ති මාධ්‍ය හරහා පැතිර ගියා. හොලිවුඩ් පැපරාසියාගේ ඇහෙන් බේරීම කිසිම කෙනෙකුට පහසු කරුණක් ්නොවන බව වචොව්ස්කි සොහොයුරන්ට දැනුණා.

තමන් සමාජයෙන් වහන් වෙන්න වෙන්න එය මේ ඕපාදූපවලට ඇවිලෙන ගින්දරට පිදුරු දැමීමක් බැව් ඔවුන්ට වැටහුණා. මෙසේ කාලය ගෙවී ගියා. 2012 ඔවුන්ගේ තවත් දැවැන්ත චිත්‍රපටයක් වූ ක්ලවුඩ් ඇට්ලස් තිරගත වීමට සූදානම් වුණා. නැවතත් නිර්මාණකරුවන් ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටීමේ අවශ්‍යතාවයත්, මාධ්‍ය ඔවුන්ට විශේෂ අවධානයක් දීමේ ප්‍රවනතාවත් ඇති වුණා. තවදුරටත් සමාජය හමුවේ සැඟ වී සිටීමට ශක්තිය නොමැති වූ ලැරී තමන්ගේ මේ රහස ලෝකයා හමුවේ පැවසීමට කාලය පැමිණ ඇතැයි සිතුවා.

ක්ලවුඩ් ඇට්ලස්

පසුගියදා මාධ්‍ය හමුවකදී ලැරී වචොව්ස්කි තමා ලිංග වෙනසකට භාජනය වූ පුද්ගලයෙක් බව ලොව හමුවේ කියා සිටියා. පිරිමියෙකු වූ තමා ලිංග විපර්යාසයකට කාලයක සිට ලක්වෙමින් තිබුණු බවත් අවසානයේ කාන්තාවක් බවට තමන්ගේ ලිංගිකත්වය ශල්‍ය කර්මයකින් සිදු කරගත් බවත්, තමාගේ දැන් නම ලානා වචොව්ස්කි බවත් ඇය ප්‍රකාශ කර සිටියා. එම වෙනස වසර 2008 දී තමන්ගේ ස්පීඩ් රේසර් නම් චිත්‍රපටය තිරගත වූ කාලය අතරේ සිදු කරගත් බව කියා සිටි ඇය තමන් තරුණ ජීවිත කාලය තුළ මේ විපර්යාසයට මුහුණ දිය නොහැකි මානසිකත්වය හේතුවෙන් වරක් සිය දිවි නසා ගැනීමට සිතූ බවත් හෙළි කළා.

බොහෝ මාධ්‍යවල මතය වූයේ ඇය එසේ ඉදිරියට පැමිණීම නිර්භීත ක්‍රියාවක් ලෙසත්, එසේ ඉතාමත් පෞද්ගලික කාරණයක් ලොවට හෙළි කිරීම සෑහෙන ධෛර්යසම්පන්න කර්තව්‍යයයක් ලෙසත්ය.

දැන් මීට පෙර ඔවුන් රචනයෙන්, අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන් දායක වුණු චිත්‍රපට හතක නාමාවලිවලට මොකද වෙන්නේ? මීට පෙර එහි සඳහන් වුණේ වචොව්ස්කි සහෝදරයන් ලෙසයි. නමුත් දැන් සහෝදරයන් දෙදෙනෙකු නැත. ඇත්තේ සහෝදරයෙක් සහ සහෝදරියක්. ලැරී වචොව්ස්කි වාෂ්ප කරමින් ලානා වචොව්ස්කි මැවී තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ පෙර චිත්‍රපටවල නාමාවලි වෙනස් කළා. දැන් ඒවායේ සඳහන් වන්නේ වචොව්ස්කීස් (වචොව්ස්කිවරු) නැතිනම් ඇන්ඩි සහ ලානා වචොව්ස්කි ලෙසයි.

මේ අවුල නිරාකරණය කිරීමට 2012 දී ඇන්ඩි සහ ලානා වචොව්ස්කි ස්ටාර්ශිප් නමින් තම නිර්මාණ යුග්මය නම් කළා. ගිය සතියේ තිරගත වුණු ක්ලවුඩ් ඇට්ලස් චිත්‍රපටය නැරැඹුවොත් ඔබට සිතේවි, සිනමා රසිකයින් වන ඔබගේ වාසනාවට මොවුන් දෙදෙනාගේ නිර්මාණ කුසලතාවට නම් කිසිම හානියක් ඇති කිරීමට ඉහත දැක්වුණු මොනම විපර්යාසයක් හෝ වෙනසක් අසමත් වී ඇති බවයි.