වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ආ වඩා ආයු බෝ වේවා !

ආ වඩා ආයු බෝ වේවා !

අවුරුදු පනස් පහක් යනු සෙල්ලමක් නොවේ.මිනිස් සංහතියේ සමස්ත ඉතිහාස කතාවේ දි එය ගණනය නොකරන තරම් දෙයක් වුව සාමාන්‍ය මිනිස් ජිවිතයක නම් පරම්පරා ගණනාවක් මේ ඉතිහාස කතාවට ඇතුළත්ය.ගත වු අවුරුදු පනස් පහ ඇතුළත ලෝකය ගෝලයක් බව වෙනස් නොවුණ ද එය සම්ප්‍රදායන් උඩු යටිකුරුව ගොස් කරකවා අත ඇරි කාලයක් විය.ලෝකය දේශපාලනික වශයෙන් ආකල්පමය වශයෙන් බරපතල වෙනස්කම් ඇති විය. ඩයිනෝසරයන් මෙන් වඳ ව නොගොස් මුහුණට මුහුණ දෙන්නේ මේ කාලයේ සිටි එහෙමත් එකෙකි.

සරසවිය ද එබන්දකි.අද සරසවිය පළවනුයේ පනස් පස් වැනි වසර සම්පුර්ණ කිරිමෙන් පසුවය.එය ආරම්භ වනුයේ 1963 වසරේ අප්‍රේල් මස 10 වැනි දින දිය.එවකට මෙරට සිටි මහා පත්‍රකලාවේදියකු වන මිමන ප්‍රේමතිලකයන් එහි ආරම්භක කර්තෘ විය.ලාංකික පුවත්පත් ඉතිහාසයේ ප්‍රබලයකු වන මීමන කිවිඳුන් එහි ආරම්භයේ කතු පදවිය දැරුවේ සති කිහිපයක් පමණී. ඒ වන විටත් සරසවිය පිටුපස සිටි හස්තය මෙන්ම තම ප්‍රධාන අනුප්‍රාප්තිකයා වන විමලසිරි පෙරේරා සරසවිය මහ පුටුවට එක් විණ.එයින් පසු අවුරුදු දහ හතරක්ම සරසවිය මහ පුටුව හෙබවූයේ විමලසිරි පෙරෙරා මහතාය.

එය සරසවිය ඉතිහාසයේ අසමසම වාර්තාවකි.එමෙන්ම සරසවිය අංක එකට ඉහළට එසැවූයේත් එහි සම්ප්‍රදායන් ගොඩනැගුවේත් විමලසිරි පෙරේරා ශූරින්ය.මෙරට සිනමා ඉතිහාසය අලුතෙන් ලියු සරසවිය සම්මාන උලෙළ විමලසිරි පෙරේරා ගේ අදහසකි.එමෙන්ම සරසවිය පිළිබඳ සංකල්පය ද එතුමන්ගේය.ඉන්දියානු සංචාරයකින් පසු ලේක් හවුස් ආයතනය හරහා කලා පුවත්පතක් එළි දැක්වීමේ අදහස එවකට ආයතනයේ සභාපති පදවිය හෙබවූ රංජිත් විජයවර්ධන මහතා වෙත යොමු කරවනුයේ ද විමලසිරි පෙරේරා මහතාය.

එයට නම තබනුයේ ප්‍රකට කවියකු වන පී.කේ.ඩී.සෙනෙවිරත්න මහතාය. බඹරැන්දේ සිරි සිවලි හිමිපානන් එය අනුමත කළ බව පැවැසේ.සරසවිය වෙනුවෙන් සරස්වතී අභිනන්දන ගීතය රචනා කරන ලද්දේ එවකට ලංකාදිපයේ සේවය කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය.පණ්ඩිත් අමරදේවයන් එය සංගීතවත් කොට ගායනා කළේය.එය අද මෙරට සෑම සංස්කෘතික උලෙළකම ගැයෙන ගීයක්ව ඇත්තේය.එයින් පසු සරසවිය මුල් පුටුවට පිවිසියේ ධර්මදාස බොතේජු මහතාය.

මේ මුල් කතුවරුන් තිදෙනාම කොළඹ යුගයේ කවීන් වීම විශේෂයකි.එයින් පසු පිළිවෙලින් ග්‍රැන්විල් සිල්වා,ඒ.ඩී.රන්ජිත් කුමාර,තිලකරත්න කුරුවිට බණ්ඩාර,සුසිල් ගුණරත්න,අනුර බණ්ඩාර රාජගුරු,දීප්ති ෆොන්සේකා,සුනිල් මිහිඳුකුල හා ගාමිණි සමරසිංහ යන මහත්ම මහත්මීන් සරසවිය කතු පදවිය හෙබවීය.මේ සියල්ලම සිය ප්‍රාණය සේ සම කොට සරසවිය රැක බලා ගත්හ.

සරසවිය බිහි වනුයේ ලාංකික සිනමවා සිය අනන්‍යතාව පිළිබඳ ගැඹුරු කතිකාවක යෙදෙන සමයකය.ඒ වන විට මෙරට සිනමාව පැවැතියේ එහි ස්වර්ණමය යුගයට එළැඹෙමිනි.දේශිය සිනමාව වටා අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රොක් වන්නට පටන් ගෙන තිබුණේ ඒ වන විට මෙරටට ගලා ආ හින්දි දෙමළ හා ඉංග්‍රිසි චිත්‍රපට ද නොතකමිනි.

තරුණ නිර්මාණශීලි සිනමාකරුවන් රැසක් කලාත්මක හා ප්‍රධාන ප්‍රවාහයේ සිනමා නිර්මාණ බිහි කරන්නට පටන් ගෙන තිබිණ.සිනමාව පිළිබඳ බුද්ධිමය කතිකාවන් විශ්වවිද්‍යාල භූමියේ පමණක් නොව වැඩපිළිවෙල පවා ඇති වෙමින් තිබිණ.සිනමා සමාජ ගොඩ නැගිණ.කෙටි චිත්‍රපට තනන්නට තරුණයන් පෙලඹෙමින් සිටියහ.සම්ප්‍රදායික සිනමාවට එරෙහිව නව මතවාද ගොඩ නැගෙමින් තිබුණේ ඒ අවදියේය. සරසවිය බිහිවනුයේ එහෙම කාලයකය.

පසුගිය පනස් පස් වසර මුළුල්ලේ සරසවිය ගමන් කරන ලද්දේ මල් ඇති රූ බුමුතුරුණු පිරි ගමන් මගක නොවේ.සිනමාව හා කලාව වැනි එක් විෂය ක්ෂෙත්‍රයකට පමනක් සීමා වු මෙරට පුවත්පත් සියල්ලම පාහේ අල්ප ආයුෂ ඇත්තෝ වූහ.මනා සේ රූ වැඩුණු ඇතැම් පුවත්පතක් ඉතා ඉක්මනින් අකල් මරණවලට ගොදුරු විණ.එහෙත් සරසවිය හැමවිටම වාසනාවන්ත විය.එය ගොඩනැගුණේ මෙරට සුවහසක් සැබෑ රසිකයන්ගේ ආශිර්වාදය මතය.ලේක් හවුස් ආයතනය එහි ශක්තිය විය.

සරසවිය යනු ලේක්හවුස් ආයතනය මගින් දේශයේ කලා ප්‍රබෝධය උදෙසා තිළිණ කරනු ලබන ජාතික මෙහෙවරක්යැයි එහි නිර්මාතෘවරුන්ගේ ඇදහීම විය.සිනමාවේ ස්වර්ණමය යුගයේ සිට එහි දුක සැප හැම විටම බෙදා ගත් සරසවිය එහි දුෂ්කරම මොහොතේ පවා සිනමාව වෙනුවෙන් පෙනී සිටියේය.එය අතහැර ගියේ නැත.එමෙන්ම හැමවිටම නොව පැරණි වන රමණිය න්‍යායන් යුතුව යාවත්කාලින වන්නට සරසවියට හැකිවිය.

සරසවිය ආරම්භ වනුයේ සිනමා පුවත්පතක් වශයෙන් නොව සියලු කලාවන්ගෙන් යුක්තව පවුලේ සියල්ලටම කියවන්නටය.පසුකලක ලේක් හවුස් ආයතන ප්‍රකාශන ලෙස එළි දුටු බුදුසරණ, මිහිර, තරුණී, සුබසෙත යන පුවත්පත් හතරටම අයත් කාරණා මුල් සරසවියේ අඩංගු විය.අනතුරුව අදාළ එක් එක් අංශ සදහා වෙන වෙනම පුවත්පත් එළි දකිද්දී සරසවිය සිනමාව ප්‍රමුඛ කලාවන් සිය අනන්‍යතාව බ වට පත් කොට ගත්තේය.එය සිනමා පුවත්පතක් ලෙස හංවඩු ගැසෙන්නේ අභිමානවත් සරසවිය සිනමා උලෙළ නිසාය.එහෙත් එහි ගීතයට සංගිතයට සාහිත්‍යයට ආදි සියලු කලාවන්ට ඉඩ තිබිණ.එබැවින් සියලු කලාකරුවන් සරසවිය හා දායක වුහ.

යාවත්කාලින වීම සරසවියේ ලකුණක බව සනාථ කරමින් එය අසූව දශකයේ මෙරටට පිවිසි අලුත් කලාව වන ටෙලිවිෂන කලාව සමග ද අත්වැල් බැඳ ගත්තේය.

පසුගිය දශකයේ සම්ප්‍රදායික ජීවිතය වෙනස් වන්නට ගත්තේ තොරතුරු තාක්ෂණයේ බල මහිමය නිසාය.චිත්‍රපට නැරඹීම සිනමාහලෙන් ටෙලිවිෂනයට ද එයින් වීඩියෝ වට ද ඩීවීඩිය ටද බ්ලු රේ තැටියටද නැග ඔන්ලයින් බවට පත් විය.ඒ සමග ගීත අසන විධිය,පොත් හා පත්තර කියවීම ද ඔන් ලයින් වුයේය. පුවත්පත කඩදාසියෙන් විද්‍යුත් අවකාශයට නික්මිණ.සරසවිය එය අවබෝධ කර ගත්තේය.අද සරසවිය හා සම්බන්ධ වන ඇතැමෙක් ඒ හා සම්බන්ධ වන්නේ එහෙමය.මේ සියල්ල සරසවිය යනු අසමාන බලයක් බව පෙන්වා දෙයි.එය එදා මෙදා තුර සරසවිය රැක ගත් එයට සම්මාදම් වූ ආයතනයේ සියල්ලන්ටත් එහි සේවය කළ සියලු දෙනාටත් සියලු කලාකරුවන්ටත් අපේ ආදරණීය පාඨකයන්ටත් පින් සිදුවේවා යි අපගේ ප්‍රාර්ථනයයි.