වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




2018 උසස් පෙළ සඳහා සැරසෙමු

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

සන්නි යක් පෙළපාලියේ තවත් ඉදිරියට...

‘කුඩේ ගෙන සුරතින මෙසේ බමුණෙක් සබේ නික්මුණ’

පසුගිය සතියෙන්...

සන්නි යක් පෙළපාලි...

සන්නි යකුන් පැමිණීමට පෙර සන්නි යකුන්ගේ පිරිවර මෙලෙස පැමිණේ. පන්දම්, අඟුරු, දුම්මල, කලස්, යක්, කෙණ්ඩි, තුවක්කු, මුගුරු, සළු මෙහිදී එන පෙළපාලි වෙයි. මෙහිදී පෙළපාලිය හඳුන්වන කිසියම් සංකේතයක් රැගෙන පැමිණ උසුළු විසිළු පා, නර්තනය කොට පිටව යයි.

සන්නි යකුන්ගේ පැමිණීම...

සන්නි යකු මේ යකුන් 18 දෙනාම පැමිණෙන්නේ කලාතුරකිනි. එයට හේතුව හිරු උදාවට පෙර මහා කෝළ සන්නි යකා පැමිණිය යුතු බැවිනි. මෙහිදී අනිවාර්යයෙන්ම පැමිණෙන සන්නි යකුන් ලෙස මරු, අමුක්කු, කණ, ගොළු යන සන්නි හැඳින් විය හැකිය. පිටුපස සිට මොවුන්ව වෙස් ගන්වන අතර අවශේෂ යකැදුරෝ ප්‍රේක්ෂකයන් ඉදිරිපිට කවි කියමින් හැඩගන්වන යකුන්ව වර්ණනා කරති. මෙම සන්නි යකුන් වෙස් මුහුණක් පැළඳ හෝ ඊට සමාන ලෙස අංග රචනය කරගෙන පැමිණේ. මෙලෙස පැමිණෙන සන්නි යක්ෂයන් තමාට අදාළ ව්‍යාධියේ ලක්ෂණ මවා පෙන්වයි.

සන්නි යකුන් අතර මරු යක්ෂයා සුවිශේෂි වේ. මරු යක්ෂයා වීදිය මතට නැඟ තමන්ගේ භයානක විලාශය මවා පෙන්වයි. එසේම ගොදුරක් සොයන ආකාරය නිරූපණය කරයි. මරු යක්ෂයා වෙස් මුහුණක් නොපළඳින අතර දැලි හා කළු මුහුණේ තවරගෙන පැමිණේ. ලොකු දත් ඇන්දක් කටේ දමාගන්නා අතර අවුල් වී ගිය ව්‍යාජ කෙස් කළඹක් පැළඳ පැමිණෙයි. පන්දමක් සහ ඊතලයක් මොහු අත ඇති අතර මරු යක්ෂයා සහ යකැදුරා අතර සිදුවන සංවාදය අතිශයින් හාස්‍යජනක වේ.

හිරු උදාවට පෙර මහාකෝළ සන්නි යකා පැමිණිය යුතු බැවින් ඊට ප්‍රථම මෙම අවශේෂ යක්ෂයන් පැමිණ අවසන් විය යුතුය.

මහාකෝළ සන්නි යකාගේ පැමිණීම (කඩවත් තරණය)

මහාකෝල සන්නි යකා ගොක් කොළවලින් සාදන ළද ඔටුන්නක් හිසේ පැළඳගෙන සිටියි. කෙසෙල් බඩවලින් සාදන ලද හතරැස් ඉන හැඩයක් ඉනෙහි රඳවාගෙන සිටියි. ඔහු පැළඳ සිටින වෙස් මුහුණ නයි පෙන දෙකකින් යුක්ත වේ.

භාරත දේශයේ සිට ලක්දිවට පැමිණෙන මහාකෝළ සන්නි යකා බුදුන්ගේ අණට කීකරු කරවාගෙන බෞද්ධ යක්ෂ, දේව මණ්ඩලයට ඇතුළත් කර ගන්නා සැටි නාට්‍යානුසාරයෙන් මෙහිදී ඉදිරිපත් වේ. පත්තිනි දෙවියන් සහ නාථ දෙවියන් ලෙස පෙනී සිටින පුද්ගලයන් දෙදෙනෙක් මෝල් ගස් දෙකක් කතිරාකාරයෙන් බිම සිටුවා කඩවතක් සකස් කරගෙන සිටී. කඩවත අසලට එන මහාකෝළ සන්නි යකා සැර වැර කොට, යාප්පුවෙන්, බැගෑපත් වී, කැවුම්, කෙසෙල් දී කඩවත තරණය කරන්න අපමණ වෙහෙසක් දරයි. කඩවත තරණය කිරීමට නම් බුදුන් වහන්සේගෙන් සංදේශයක් රැගෙන ආ යුතු බව කඩවත් මුරකරුවෝ මහාකෝළ සන්නි යකාට දන්වයි. මහාකොළ සන්නි යකා පුස්කොළ පත්තිරුවක් දෑත මත, පිට මත, නාසය මත, උරහිස මත යන විවිධ ශරීර අවයව මත තබාගෙන පැමිණෙයි. එවිට කඩවත් මුරකරුවෝ එය බුදුන් වහන්සේට පිදිය යුත්තේ ගෞරව සම්ප්‍රයුක්තව බව මහා කෝළ සන්නි යකාට පවසයි. එවිට මහා කෝළ සන්නි යකා සංදේශය හිස මත තබාගෙන පැමිණෙයි. අනතුරුව කඩවත් මුරකරුවෝ සංදේශය කියවන්න යැයි මහා කෝළ සන්නි යකාට පවසයි. ආඩම්බරයෙන් සන්නස කියවීමට පටන් ගන්නා මහා කෝළ සන්නි යකා එක්වරම හඬන්නට පටන් ගනී. එයට හේතුව කඩවත් මුරකරුවෝ විමසයි. එවිට මහා කෝළ සන්නි යකා බුදුන් වහන්සේ යක්ෂයන්ට මනුෂ්‍ය ලෝකයට යන්නට අවසර දී ඇති නමුත්, නර බිලි ගැනීම තහනම් කර ඇති බවත්, මනුෂ්‍යයන් ලෙඩ කොට, ඔවුන්ගෙන් දොල පිදේනි ගෙන ඔවුන් සුව කිරීමට පමණක් අවසර දී ඇති බව කඩවත් මුරකරුවන්ට පවසයි. යක්ෂයා බුදුන් වහන්සේට කීකරු වු නිසා මුරකරුවෝ සතුටින් කඩවත ඉවත් කර ගනියි. යක්ෂයා දුම්මල කීරි ගසමින් තම අවසන් නැටුම නටයි.

සූනියම් යාගය

වසවර්ති මාරයා මැණික්පාල බිසවට ලොල් වී ඇයගෙන් කැමැත්ත ලබා ගැනීමට උත්සාහ කළ නමුත් ඇය කැමති නොවූ නිසා ඇයට හදි හුනියම් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එයින් මිදීමට වඩිගපුර දේශයෙන් බමුණන් ගෙන්වා සූනියම් යාගය කළ බව කියැවේ.

සූනියම් යාගය පවත් වන්නේ සූනියම් යක්ෂයා වෙනුවෙනි. මෙම සූනියම් යාගය, ඔඩ්ඩි යක්ෂයා, ඔඩ්ඩි කුමාර හූනියම් දේවතාවා යන නම්වලින් ද හඳුන්වනු ලබයි. මෙම සූනියම් යක්ෂයාගෙන් ඇති වෙන්නා වූ අපල උපද්‍රවලින් මිදීමටත්, එක් පුද්ගලයෙක් තවත් පුද්ගයෙකුගේ ජීවිත විනාශය සඳහා කරන අණ විණ, කොඩි වින ආදි හූනියම්වලින් මිදීම සඳහාත් මෙම සූනියම් යාගය පවත්වනු ලැබේ.

වඩිග පටුන

සූනියම් යාගය ශාන්ති කර්මයේ නාට්‍යමය ලක්ෂණ වලින් පිරිපුන් ජවනිකාවක් ලෙස වඩිග පටුන හඳුන්වා දිය හැකිය. මෙහිදී සිදු වන්නේ වඩිගපුර දේශයෙන් සූනියම් යාගයට දක්ෂ බමුණන් කිහිප දෙනෙකු ලක්දිවට පැමිණීම නාට්‍යානුසාරයෙන් නිරූපණය කිරීමයි. මෙහි නාට්‍යමය ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැක.

* නළුවා පිටුපස සැරසෙන විට බෙරකරුවකු විසින් එයට ගැළපෙන මෘදු මන්ද්‍ර හඬකින් බෙරය වාදනය කරමින් ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් පිනවයි.

* වෙස් වලාගත් ඇදුරා (ඇදුරන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක්) ප්‍රේක්ෂකයන් වෙතට පැමිණ තෙවරක්ම මුද්‍රාවක් නික්ම යයි.

* නාට්‍යයේ පසුබිම් කථාව ගායක ඇදුරා කවියෙන් ගායනා කරයි.

'වඩිගපුර දේසෙන්

සත් දෙන බමුණු ඇවිදින්

කළ වඩිග පටුනෙන්

මෙසේ බමුණෝ යාග කරමින්'

චරිතය පැමිණීමට පෙර, චරිතය කවියෙන් හඳුන්වා දෙන්නේ ද නායක ඇදුරා විසිනි.

'ජටා හිස දරමිණ

සුද්ද අෂ්්ඨක වැල් ද කරලන

කුඩේ ගෙන සුරතින

මෙසේ බමුණෙක් සබේ නික්මුණ'

අනතුරුව වඩිග බමුණන් පැමිණේ. ඔවුන් මනා ලෙස සැරසී සිටියි. තලප්පාවකින් හිස සරසා, මූඩි කොණ්ඩයක් බැඳ, කළු අව් කණ්ණාඩි යුවළක් පැළඳ, වලලු සහ මාල පැළඳ, එක් අතකින් කුඩයක් ද, අනෙක් අතින් පොතක් ද රැගෙන පැමිණේ.

වඩිග බමුණා සහ නායක ඇදුරා අතර සිදුවන සංවාදය අතතිශයින් හාස්‍යජනක වේ. වඩිගපුර දේශයෙන් පැමිණෙන බමුණා සිංහල නොදනියි. ඔහු කතා කරන්නේ ව්‍යාජ පාලි භාෂාවකිනි. වඩිග බමුණාගේ භාෂාව නායක ඇදුරාට නොතේරෙන අතර, නායක ඇදුරාගේ භාෂාව වඩිග බමුණාට නොතේරේ. එම නිසා දෙදෙනා අතර සංවාදයෙන් හාස්‍යයක් මතු වේ.

වඩිග බමුණා - (බෙරයට බය වු විලාසයක් දක්වා, බෙරය වයන්නට එපා යැයි අණ කරමින්) භාසායං අත්ථි

නායක ඇදුරා - බස් යන්නෙ මේ පරෙන් නෙවෙයි. කන්දෙන් එහා පැත්තේ...

මේ අනුව වඩිග පටුන වඩාත් ප්‍රබල නාට්‍යමය අවස්ථාවක් වේ.