වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

මුවන් පැලැස්සේ මැණිකේ අපෙන් සමුගත්තාය

එදා ගුවන් විදුලි අසන්නන් විසිපන් ලක්ෂයකට අධික පිරිසක් ‘මුවන්පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍යය ප්‍රචාරය වන දිනට ගුවන් විදුලිය වටා රොක් වූහ. ඒ මීට වසර 55 කට පෙරය. මුවන් පැලැස්සේ බිනරමලී, වෙඩික්කාරයා, සිංඤෝ, ආරච්චි, මැණිකේ, පිනාගේ චරිත බොහෝ දෙනකුට මතක ඇති. ඒ අතරිනුත් මැණිකේ කැලෑ ආඥාව පතුරවන ආරච්චිල මහත්තයාට වඩා බලසම්පන්නය. මැණිකේ හමුවේ ආරච්චි මහත්තයා පාච්චල් වූ අවස්ථා තිබේ. මේනිසා පිට මිනිසුන් හමුවේ ආරච්චි අසරණ වී තිබුණි. කටකාර ඇය විටෙක දඩබ්බරය. ඒකාධිපතිත්වයක් ද ගමේ පැතුරුවාය.

‘අනේ අම්මපා යාය පුරා හක්කලං ගහලා දැන් එනවා මෙතන කතා කරන්න. මහා ලොකුවට පම්පෝරි ගැහැව්වට මොකද? වෙඩික්කාරයා එනකොට ඇඳ යට රිංගනවා. අනේ නොදකින් මෙහෙම ආරච්චි කෙනෙක්’ ඒ මැණිකේගේ හඬය. ඒ ඉදිරියේ ආරච්චිල අසරණ වෙයි. පිනා ඔච්චමට සිනාසෙයි.

වසර 70 ක කාලයක් ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසයේ විශිෂ්ට රංග ශිල්පිනියක් වූ ඇය පසුගිය 09 වෙනිදා මළ හිරු බසින හැන්දෑ යාමයේ බොරැල්ලේ කනත්තේදී අවසන් ගමන් ගියාය.

ඈ රත්නාවලී කැකුණවෙලය.

රත්නාවලී හමුවීමට මට මීට වසර හතරකට පමණ ඉහත මාකොළ ඇය පදිංචිව සිටි ඇගේ දියණියගේ නිවසට ගියෙමි. ඒ ගමනට මා සමඟ එකතු වූයේ ඇගේ ඥාති පුත්‍ර ටී. ජී. රන්ජන් ද සිල්වාය. රන්ජන් දිවයිනේ ප්‍රකට රසායන විද්‍යා දේශකයෙකි. එමෙන්ම ගුවන් විදුලි ග්‍රැමෆෝන් ගීත සංරක්ෂකයෙකි. චිත්‍රපට සින්දු පොත්, පැරැණි සිනමා සඟරා ඔහු රක්ෂණය කර ඇත. රන්ජන්ගේ මව වූ ධර්මාවතී මිගෙල්, රත්නාවලීගේ වැඩිමහල් අක්කා කෙනෙකි. ධර්මාවතී විවාහ වී සිටියේ සිංහල සාහිත්‍යයේ උපහාස කතා විශේෂඥයා යන විරුදාවලියෙන් හැඳින් වූ ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා සමඟිනි. මේ දෙදෙනාගේ කලාවට සම්බන්ධ පුතුන් දෙදෙනා වූයේ රන්ජන් සහ සුසිරන්ය. සුසිරන් ද සිල්වා සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකි.

සිය පුංචි අම්මා වූ රත්නාවලි බැලීමට රන්ජන් සමඟ එහි ගිය විට ඇය අතීතය මතක් කරමින් රස කතා කීවේ ද ගුවන් විදුලි නාට්‍යයක, චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක රඟපාන ආකාරයෙනි. රත්නාවලී මිගෙල් නම් ඇය ගුවන් විදුලි නාට්‍යවලට සම්බන්ධ වන්නේ 1951 වසරේ සිටය. මේ වන විට ඇගේ වැඩිමහල් අයියා වූ වික්ටර් මිගෙල් දක්ෂ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකි. එකල එදිරිවීර සරච්චන්ද්‍රයන් මෙහෙය වූ ‘යෞවන සමාජය’ වැඩසටහනේ තම අයියාත්, ගුණදාස අමරසේකරත්, පී. වැලිකලත් ඉදිරිපත් කරන ආකාරය මිගෙල් පවුලේ බාල සොහොයුරියන් වූ ප්‍රේමා, ධර්මා, රත්නාවලී හා මොලිසන් මල්ලීත් අසා සිටියේ ආසාවෙනි. ඉන්පසු වික්ටර් අයියා ගුවන් විදුලි නාට්‍යවල රඟපාන ගමන් නාට්‍ය පිටපත් සම්පාදනය කළේය. තම මස්සිනා වූ ටී. ජී. ඩබ්ලිව්. සිල්වාගේ ‘මහ රෑ හමු වූ ස්ත්‍රිය’ නවකතාව ඇසුරෙන් කොටස් වශයෙන් රචනා කළේ වික්ටර්ය. එය නිෂ්පාදනය කළේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ය.

මිගෙල් පවුලේ සොහොයුරියන් අතරින් දඟකාර කටකාර යුවතිය වූයේ රත්නාවලීය. ඇය කට හැකරය. කොතරම් කට හැකර ද යත් දිනක් පවුලේ සැවොම රත්‍රියේ ‘ගුවන් විදුලි රඟ මඬල’ අසා සිටින විට ඇයට මෙසේ කියවුණි.

‘අයියෝ . . . ඒ නාට්‍යයේ අර මැහැල්ලගේ චරිතය රඟපාන්නේ කවුද අයියේ. එයාගේ රඟපෑම හරිම දුර්වලයි. මට එයාට වඩා හොඳට කරන්න පුළුවන්.’

රත්නාවලි නංගී ඒ නාට්‍යයේ කොටස රඟපා පෙන්නූ විට වික්ටර් අයියාත් අක්කලාත් කටකාර රත්නාගේ රඟපෑම් බලා සතුටු වූහ. මිගෙල් සොහොයුරියන් කවදත් අයියාට බය පක්ෂපාතය. අයියා ඉදිරියේ සම අසුනකටවත් ඉඳ නොගත්හ. එහෙත් රත්නා නංගීගේ විකාර වැඩවලට කවුරුත් ප්‍රිය කළහ. පසු දා වික්ටර් අයියා රැකියාවට යන්න පෙර රත්නාවලී නංගී වෙත ආවේය.

‘රත්නා කැමති නං රේඩියෝ නාට්‍යවල රඟපාන්න හෙට මාත් එක්ක රේඩියෝ සිලෝන් එකට යමු’

‘අයියා ඒ කාලේ වැඩ කළේ කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් හැටියට. පහුවෙනිදා අයියා වේලාසන ගෙදර ඇවිත් මාවත් එක්ක රේඩියෝ සිලෝන් එකට ගියා. සරච්චන්ද්‍ර මහත්තයා මට නාට්‍ය පිටපත දුන්නා. ඒක මැහැල්ලකගේ චරිතයක්. මට දෙබස් කියන්න උපදෙස් දුන්නේ අයිලින් සරච්චන්ද්‍ර නෝනා. ඇය සරච්චන්ද්‍ර මහත්තයාගේ බිරිඳ. මම 1951 දෙසැම්බර් 19 වෙනිදා මුලින්ම ගුවන් විදුලි රඟ මඬලක මැහැල්ලක් හැටියට රඟපෑවා. නාට්‍ය ඉවර වෙලා සරච්චන්ද්‍ර මහත්තයා මට ළඟට කතා කළා.

‘මේ ළමයා ඒ චරිතය හොඳට රඟපෑවා. දැන් වයස කීයද?’

‘අවුරුදු 20 යි’

‘අවුරුදු 20 ට අවුරුදු 80 ක ගැහැනියකගේ චරිතයක් මේ ළමයා හොඳට රඟපෑවා. ලබන සිකුරාදාත් එන්න’

‘හොඳයි’

අයියාටත් හරි සතුටු දවසක්. සරච්චන්ද්‍ර මහත්තයාගේ රෙකමාදාරුව ගැන අයියා ගෙදර ඇවිත් වර්ණා කළා. මම කොටස් වශයෙන් ප්‍රචාරය වුණු ගුවන් විදුලි නාටය්‍යක රඟපෑවේ 1953 වසරේ. පී. කේ. ඩී. සෙනෙවිරත්න රචනා කළ ‘කුරුලු බැද්ද’ නාට්‍යයේ බණ්ඩාර හාමිනේ කියන රදළ අහංකාර චරිතය. වික්ටර් අයියා බෙම්පි ආතා කියන වයසක චරිතයක් රඟපෑවා. රත්නාවලී ගුවන් විදුලි නාට්‍ය රංගනය ගැන බොහෝ තොරතුරු කීවාය. ඒ අතර ඇයට අමතක නොවන අත්දැකීමක් ද විස්තර කළේ තම ඥාති පුත්‍ර ටි. ජී. රන්ජන් ද සිල්වාගේ ද කුඩා අවදිය මතක් කරමිනි. ‘එදා (1952 වසරේ) මමත් මගේ මිතුරියන් දෙදෙනකුත් මේ රන්ජනුත් එක්ක ගුවන්විදුලියේ ‘මාසික රැඟුම්’ ප්‍රසංගය බලන්න ගියා. රන්ජන්ට එතකොට වයස අවුරුදු 5 ක් විතර ඇති. අපි ගුවන් විදුලියේ ඉස්සරහ ඉන්න කොට එක පාරටම වඳුරෙක් ඇවිත් රන්ජන්ගේ ඇඟට පැනලා හපන්න පටන් ගත්තා නොනවත්වාම. මේ දරුවා කෑ ගහ ගහ අඬනවා. එතැන හිටියා පිරිමි පණහකට වැඩිය. එක පිරිමියෙක් ඉදිරිපත් වුණේ නැහැ ළමයව වඳුරගෙන් බේර ගන්න. මට පිරිමි සංහතිය ගැනම කලකිරුණා. මං සාරි පොට ඉනේ ගහගෙන පැන්න වඳුර ගාවට. වඳුරා බැදලා තිබුණු දම්වැල මම පයින් පාගගෙන ඌව මම ඉන්න පැත්තට ඇදලා ගත්තා. ඒ වෙලාවේ උගේ බෙල්ල බැඳලා තිබුණු දම්වැලට හිර වුණා. එතකොටම දරුවා කන එක අත ඇරලා ඌ බිමට වැටුණා. ඒ එක්කම වඳුරා අයිති මිනිහත් බයිසිකලයකින් එතැනට ආවා. ඇවිත් මේ වඳුරා තමාවත් දාලා පැනලා ඇවිත් තියෙන්නේ කිව්වා. මගේ එඩිතරකම නොතිබුණා නම් අද පරණ රැකෝඩ් එකතු කරන රන්ජන් කෙනෙකුත් නෑ, ගෝලයෝ දහස් ගණනකට උගන්වන්න හොඳ රසායන විද්‍යා ගුරුවරයෙකුත් නෑ. රත්නාවලී පරණ චණ්ඩිකමක් මතක් කළේ සිනාසෙමිනි.

රත්නාවලී කටකාර දඟකාර, චණ්ඩි ගති ඇති අතරම වයස අවුරුදු 16 දී පෙම්වතියක් වී සිට ඇත්තේ විප්ලවකාරී මත පළ කරමිනි. ගාල්ලේ පුංචි අම්මාගේ නිවෙසේ සිටි කාලේ පොලිස් රේඩියෝ ඔපරේටර් කෙනකු වූ ඩේවිඩ් කැකුණවෙල ගැටවරයාට ඇය පෙම් බැන්දාය. රත්නාවලී නැවතී සිටි පුංචි අම්මාග් නිවස අසල දී හවස වැඩ ඇරී යන ඩේවිඩ් තරුණයාගේ බයිසිකලයේ හැමදාම ඒ වෙලාවටම හුළං බැසීම අසල්වැසියන්ට නම් සුලභ සිද්ධියක් වී ඇත. 1957 ඩේවිඩ් හා රත්නා විවාහ වූහ.

1931 ජනවාරි 20 වෙනිදා දැරණියගලදී උපත ලැබු රත්නාවලී කුමාරිහාමි මිගෙල් අධ්‍යාපනය ලැබුවේ පොල්ගහවෙල රත්මල්ගොඩ මහා විද්‍යාලයෙනි. ඇගේ පියා වූ සයිමන් මිගෙල් දැරණියගල වතුයායේ ටී මේකර් කෙනෙකි. තාත්තාගේ ගම මහනුවරය. සැලිනා ප්‍රනාන්දු වූ මවගේ ගම බේරුවලය. පාසලේ සිටි දක්ෂ ගායිකාව, නිළිය, කතාකාරිය රත්නාය. ඇය සති අන්ත රැස්වීමේදී රුක්මණී දේවි හා කෝකිලා දේවි හා කරුණා දේවිගේ ගීත ගැයීමෙන් සිසුන් අතර ජනප්‍රියව සිටියාය.

ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් ලෙස ඇයට (1951) ලැබුණු රුපියල් 15 න් හැම සතියකම ඇය සාරියක් මිලදී ගෙන ඇති බව පවසන්නේ ඇය ජේත්තුකාරියක් බව ව්‍යංගයෙන් අපට හඟවමිනි.

විවාහයෙන් පසු ඇය චිත්‍රපටවල රංගනයට එක් වූවාය. සිරි ගුණසිංහගේ ‘සත් සමුදුර’ චිත්‍රපටයෙන් ඇරැඹුණු ඒ රංගනය ‘මී මැස්සෝ - අද මෙහෙමයි - දියමන්ති - නිල්ල සොයා - මරුවා සමඟ වාසේ - ආශා දෑසින් - කුමර කුමරියෝ - ගැහැනියක් - මුවන් පැලැස්ස - වසන්තේ දවසක් - මොනරතැන්න - චූඩාමාණික්‍යය - උතුමාණෙනි - පරිත්‍යාගය - බඹර පහස - දඬුමොනර - කරුමක්කාරයී - මුවන් පැලැස්ස - පාර දිගේ - සත්කුළු පව්ව - ඉවලුම් ඔරුපෙන් - දයාබර නිලූ - ආරාධනා - කැලෑ මල් - බිත්ති හතර - චුට්ටේ - තුත්තිරි මල් - දඩයම - මුවන් පැලැස්ස (3) - නිවන් දක්නා ජාති දක්වා - වදුල - බට්ටි - කවුළුව - දෝංකාරය - අංගුලිමාල - වියරු මිනිසා - ඉර හඳ ඉල්ලා - සාගර පෙරළිය’ චිත්‍රපටවලින් කෙළවර විය.

වේදිකා නාට්‍යවලට පිවිසි ඇය ‘උතුරේ රහුල’, ‘උතුරේ අරගලය’ නාට්‍යවල රඟපෑ අතර විශේෂයෙන් ‘උතුරේ රාහුල’ නාට්‍යයේ රඟපෑ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතය එදා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූහ. ටෙලි නාට්‍ය රංගනයට එක්වන ඇය ‘නන්නාඳුනන්නී - වර්ණ කම්බිලි - ජීවිත මීවිත - කෝරළේ මහත්තයා’ ඇතුළු ටෙලි නාට්‍ය රැසක වැඩිහිටි, කටකාර, සැර පරුස චරිත කිහිපයක්ම රඟපෑවාය.

තම රංගන සඳහා ජනාධිපති, සිග්නිස්, ගුවන්විදුලි ආදී සම්මාන රැසක් දිනූ ඇය අවසන් වරට රඟපෑවේ රන්මිණිතැන්නේ රූගත වූ පද්මසිරි කොඩිකාරගේ ‘කෝරළේ මහත්තයා’ ටෙලි නාට්‍යයේ මැණිකේගේ චරිතයයි. එම ටෙලි නාට්‍ය රඟපාමින් සිටියදී හදිසියේම රෝගාතුර වී රෝහල්ගත කෙරිණ. හදවත් සැත්කමකින් පසු ඇගේ රුධිර වහනය නතරකර ගැනීමට බැරි වී ඇත.ඒ 2012 වසරේදීය.

‘විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහත්තයත් අනිත් දොස්තර මහත්තුරුත් කරුණාවන්ත හෙදි නෝනලාත් නොසිටින්න මම පරලොව යන්නේ එදා’ රත්නාවලී අපට කීවේ කෘතඥතා පූර්වකය.

රෝගාතුර වීමෙන් පසු මාකොල පදිංචිව බෞද්ධ පොත පත කියවමින්, බෞද්ධ රූපවාහිනී නාළිකාවල යන ධර්ම දේශනා ශ්‍රවණය කරමින් මුණුබුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් ඇය වසර හයක් පමණ ගත කළාය.

‘මම ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තේ දැන්. ජීවිතයේ අනිත්‍යතාව වැඩි වැඩියෙන් තේරුම් ගත්තේ දැන්. මම එයින් සැනසුමක් ලබනවා. උදේ හවස බුදුන් වඳිනවා. පිරිත් අහනවා’ ඇය එදා අපට කීවාය.

ඇය කායිකව අපෙන් ඈත් වුවත් ‘මැණිකේගේ’ චරිතය පමණකින් වුව ඇගේ නම අපේ ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසයේ නොමැකෙන ලෙස රැඳී සිටිනු නොඅනුමානය.