|
අද මා තනිවෙලා ඔහු හුඟක් දුර ගිහින්චන්ද්රිකා සිරිවර්ධන
අඩ සිය වසරකට ආසන්න කාලයක් යුග දිවි මිහිර විඳි යුවළකට එකිනෙකාගෙන් වෙන්ව ගත කරන දිවියක් පිළිබඳව සිතන්නටවත් බැරිය. ආදරය, ප්‍රේමය, සෙනෙහස, රැකවරණය මෙකී නොකී සියල්ලෙහිම අග්‍ර ඵලය භුක්ති විඳි පතිනියකට සිය සැමියාගේ වියෝව තරම් හද කම්පා කරවන තවත් වේදනාවක් නොවිය හැකිය. එවන් වියෝ දුකකින් අදටත් කම්පා වෙමින් ඔහු ගැනම සිතමින්, ඔහුගේ ලෝකය තුළම ජීවත්වන බිරියක සිය ආදරණීය සැමියා වෙනුවෙන් ගැයූ ගීයක මිහිර පසුගියදා අප වින්ඳෙමු. වියෝ දුක සත්සරට පෙරලූ ඇය විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනය. පුරා දශක ගණනාවක් තිස්සේ කලා ක්ෂේත්‍රය තුළ සුපතල අඹු සැමි යුවළක් ලෙසින් විශාරද චන්ද්‍රිකාත් ඇගේ දයාබර සැමියා ඇන්ටන් අල්විසුත් හැඳින්විය හැකිය. කලා ලෝකයේ කුමන අවස්ථාවකදී වුවත් මේ දෙදෙනාගේ සහභාගිත්වය අපි නිතර දැක ඇත්තෙමු. සංගීත ප්‍රසංගයකදී වුව ද, උපහාර උලෙළකදී වුව ද. වෙනත් සමිති සමාගමයක වුව ද, ප්‍රිය සම්භාෂණයක වුව, මළ ගෙදරකට, මඟුල් ගෙදරකට වුව ද චන්ද්‍රිකා වූයේ නම් ඒ පසුපස ඇන්ටන් අල්විස් විය. ඇන්ටන් වූයේ නම් ඔහු පසුපස චන්ද්‍රිකා විය. මේ සුසංයෝගය ගහට පොත්ත මෙන් බැඳි ඇති සමීප, සංවේදී සබැඳියාවක් විය. ඇන්ටන් අල්විස් සිය ජීවිතයෙන් සමුගෙන ගොස් පුරා වසරක් සම්පූර්ණ වුව ද චන්ද්‍රිකාගේ සිත තුළ ඔහු අදටත් ජීවමාන වන්නේ ඒ නිසාය. ඔවුන් දෙදෙනා තුළ වූ ඒ ආදරය, ඒ බැඳීම සදාකාලිකය. ගතින් දෙදෙනා වෙන් වුවද අදටත් සිතින් එක තැනකය. ඒ බැඳීම සිහිපත් කරමින් ඈ මෙසේ ගයන්නීය. 'මගේ ඉරු සඳු ඔබයි මේ මිහිමතපිපුණා හද මල සෙනෙහෙ විල මැදජීවන ගීතයේ තනුව කියා දුන්කිවිඳුන් ඔබයි මා සිත නලවනසෙනෙහසේ ආකාසයේ පෑයූදයාබර දේදුන්නකි පෙම්බරතරු පුබුදා හිනැහී දිලෙන සඳසරා සඳකි මගේ ලොවම එළිය කළඅසිරිමත් වූ සිනහ පිරි මුවකඳුළු අතරින් මැවේ තනිකමටඉමක් කොනක් නැති මේ ආදරයටපැතුවා සසරේ යළි හමුවන්නටගී පද - උපේන්ද්‍ර දිනේෂ් විජයසිංහසංගීතය - විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන'මේ ගීතය මම ගායනා කළේ මගේ ආදරණීය ස්වාමි පුරුෂයා වෙනුවෙන්. ගීතය මට රචනා කරලා දුන්නේ උපේන්ද්‍ර. ඔහු මගෙන් සංගීතය ඉගෙන ගන්නා ගෝලයෙක්. දීර්ඝ කාලයක් තිස්සේ අපේ පවුලේ සමීප හිතවතෙක්. ඔහු මමත්, මගේ ස්වාමියාත් අතර තිබුණු බැඳීම කෙතරම් ද කියන එක අත්වින්ද, ඇහින් දැක්ක කෙනෙක්. ඒ ඇසුරින් තමයි මේ ගීතය රචනා වෙන්නේ. දැන් මේ ගීතය පටිගත කරලා ඉවරයි. අහපු බොහෝ දෙනෙකුගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. මහත්තයා නැති වෙලා මාස හතෙන් වගේ තමයි මේ ගීතය මම ගායනා කළේ. මහත්තයා නැති වුණාට පස්්සේ මම ගායනා කරපු පළවෙනි ගීතය මේක තමයි.' ඈ සිය හිමි පිළිබඳ සිහිපත් කෙට අදටත් දුක්වන්නීය. චන්ද්‍රිකාට ඇන්ටන් අල්විස් හමුවන විට ඇය ගායිකාවක වශයෙන් ගමනක් ආරම්භ කළා පමණි. එතැන් සිට වර්තමානයේ ඇය සිටින සංගීත දිවියේ උපරිම ස්ථානයට ඔසවා තබන්නට ඈ පසු පස සිටි දැවැන්ත සෙවණැල්ල ඔහු විය. 'මට ඇන්ටන් හමුවෙන විට මම ගායන දිවියට ප්‍රවිෂ්ට වුණා විතරයි අයියගේ සරල ගී හරහා. ඒ හමුවීමේ සිට මිය යන මොහොත දක්වාම ඔහු මට මහා සාගරයක් වගේ උතුරා ගලා යන ආදරයක් දුන්නා. මගේ සෙවණැල්ල වුයේ ඔහු. ඔහුගේ දෑසින් මම මුළු ලෝකයක්ම දැක්කා.' ඈ අදත් ඒ සෙනෙහස ආදරයෙන් සිහිපත් කරන්නීය. ඇගේ ගායන දිවියේ මුල් යුගයේ මේ ආදරය පදනම් කර ගනිමින් ඔහු ඇයට ගී පද රචනා කිහිපයක් ද නිර්මාණය කළේය. 'සඳ නැතුවට ඉර නැතුවට මට අඳුරක් නෑ' ඉන් එක් ගීතයකි. එදා සිටම චන්ද්‍රිකාට ද ගීතයක් ගැයීමේදී ඔහු අසලක සිටී නම් එය මහත් ධෛර්යක් විය. ජීවිතේ හැම අවස්ථාවකදීම ඔහු ඇය අත නොහැරම ලඟින් සිටී යැයි ඇය බලාපොරොත්තු වූවාය. ඔහු ඇගේ මුහුණ බලාගෙන සිටින විට ඇයට ඉතා හොඳින් ගායනා කළ හැකි බව ද ඈ විශ්වාස කළාය. 'හැන්දෑ යාමේ ඔබේ අත අල්ලාවෙරළේ ඇවිදින්නට ආසයිඉඳ හිට දවසක රෑ සඳ එළියේරඟහලකට යන්නට ආසයිමා ගී ගයනා මොහොතේ නුදුරින්ඔබේ රුව දකිනට හරි ආසයිආදර උණුහුම තවරනු නළලතචන්දන තිලකය මට ඒකයි'ඒ වෙනුවෙන් ඔහු ඉහත කී පදවැල් රචනා කළේය. හමු වු පළමු දින සිටම පුරා අවුරුදු 43 ක් ඔවුන් එකිනෙකට නොවෙනස් ආදරයක් තිළිණ කළේය. 'මම ආදරෙන් බලාගෙන හිටියා අපේ විවාහ දිවියට වසර 50 ක් සම්පූර්ණ වනතුරු. ඒත් අපට ඒ අවස්ථාව නැති වුණා. ඔහු නික්ම ගියා. හැබැයි ඔහුට සුවදායක මරණයක් හිමි වීම පිළිබඳ මට මගේ හිත හදාගන්න පුළුවන්. බෞද්ධයකු හැටියට අපි ප්‍රාර්ථනා කළ යුත්තේ එවන් සුවදායක මරණයක්. කලා ජීවිතේ වගේම මගේ පෞද්ගලික ජීවිතෙත් ඔහු සුන්දර කළා. පුතා ප්‍රසන්න, ලේලි අයෝමි දරු දෙන්නා දෙවින් දුල්ෂාණ, දුව ජිතේන්ද්‍රිකා, දුවගේ පුතා චිත්රූ මේ අය සමඟ අපි යම් ආදරණීය ජීවිතයක් ගත කළේ. අද මම තනිවෙලා. ඔහු හුඟක් දුර ගිහින්. චන්ද්‍රිකා අද ජීවත් වනුයේ පුරා දශක හතරකට එහා ගිය ආදරණීය ජීවිතයක සොඳුරු මතක තුරුල් කරගෙනය. අවදි වන හැම හිමිදිරියකම ඔහු ඇගේ ළඟය. ඉර බහින හැන්දෑ යාමේත්, සඳ නැගෙන රාත්‍රියේත් පෙරදා මෙන්ම ඔහු ඈ අසලමය. 'මම තාමත් ජීවත් වෙන්නේ ඔහු ළඟ. ඔහුගේ ආදරේ, උණුසුම ඒ සුවඳ තාමත් මට දැනෙනවා. අපිට තියෙන්නේ හැබෑ සොඳුරු මතකයන්. ඒ මතකය තමයි අදත් මාව ජීවත් කරවන්නේ. ඔහුට තිබුණේ හරිම ආදරණීය මුහුණක්. ඔහු මට වගේම දරු දෙන්නට, ඥාතීන්ට, හිත මිතුරන්ට සමීපව ආදරේ කරපු මිනිසෙක්. ඒ වගේම තමයි පවුලේ සියළු දෙනාට අම්මට, තාත්තට යුතුකම් ඉෂ්ට කරපු කෙනෙක්. එයා හුඟාක් සන්තෝෂෙන් ජීවත් වෙන කොට හිටපු ගමන්ම තමයි පෙනහළු පිළිකාව පිළිබඳ දැනගන්නට ලැබුණේ. මාස 02 - 03 ක් වගේ කෙටි කාලයක් තමයි ජීවත් වුණේ. අන්තිමට වාහල්කඩ හාමුදුරුවෝ ළඟටත් අරගෙන ගියා. පත්තිනි මෑණියන්ගේ පින්තූරෙට වැඳ නමස්කාර කරලා මට පින් දීලා තමයි ඇස් දෙක පියා ගත්තේ. පණ ටික සැඟවුණාට පස්සේ එයාගේ මුළු සිරුරම රත්තරන් පාට වුණා. ඒ සිරුරේ රස්නේ යනකම්ම මම එයාව වැලඳගෙන හිටියා. එයාගේ අවසන් මොහොත ගෙවුණේ ඒ විදියට. ඇය සිහිපත් කරන්නීය. ඇයත් ඔහුත් අතර පැවති අසීමිත ආදරයක තතු හොඳින් දත් උපේන්ද්‍ර දිනේෂ් ඒ සියළු බැඳීම් ගීතයට පරිවර්තනය කළේ එහෙයිනි. උපේන්ද්‍ර ද චන්ද්‍රිකාගේ සිසුවෙකු ලෙසින් ඇගේ සංගීත පන්තියට කැඳවාගෙන විත් ඇත්තේ ඇන්ටන් අල්විස් විසිනි. මෙය උපේන්ද්‍රගේ කුලුඳුල් ගීතය වන අතර ඔහු ඉන් පසු නිර්මලා රණතුංගට, ජගත් වික්‍රසිංහට හා දුල්ෂාරා දසන්තිට ද ගීත රචනා කර ඇත. 'මට කලා ජීවිතයක් විතරක් තිබුණාට මගේ මහත්තයාට පත්තර කලා ජීවිතයක්, දේශපාලන ජීවිතයක් තිබුණා. ඔහුට ඉතාම ලස්සනට ලියන්න පුළුවන්. ඒ වගේම සෑම දෙයක් සම්බන්ධයෙන්ම පුළුල් දැනුමක් අවබෝධයක් ඔහුට තිබුණා. ඒක මගේ ජීවිතේට විශාල එළියක් ගෙනාවා. ඔහුගේ දේශපාලන ජීවිතේට මගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ. නමුත් ඔහු ඒකෙන් විශාල සේවයක් සමාජයට කළා. විවිධ තනතුරු දැරුවා. ඒ හැම තනතුරකටම ඔහු ඉතාම සුදුසුයි. දැනුුම බුද්ධිය පළපුරුද්ද තිබුණා. ඒ සා සුවිසල් වෘක්ෂයක සෙවණ තමයි අපට නැති වුණේ. වෙලාවකට මමයි දුවයි දෙන්නම කියනවා අනේ තාත්තා නැති ලෝකයක අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. දැන් අපි ඒකට මුහුණ දීලා ඉන්නේ. හැම තත්පරයකම ඔහුගේ අගය වැඩි වැඩියෙන් අපට දැනෙනවා. ගෙවුණු ඉමිහිරි මතක මැද අතීතය බදා වැළඳ ගනිමින් ඈ හෙට දිනක් සොයන්නීය. සාගරයේ දිය තිබෙන තුරාඅහසේ ඉර හඳ නැඟෙන තුරාමගෙ හද පන නල ගැහෙන තුරාආදරෙයි . . .
|