වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




නොදනිමු කාගේ දෝසා

නොදනිමු කාගේ දෝසා

මෙරට කලාකරුවන් දෙපිරිසකගේ වැදගත් කටයුතු දෙකක් මේ සතියට යෙදී ඇත. මෙයින් එකක් අද පවතින ටෙලිවිෂන් නිර්මාණකරුවන්ගේ එකමුතුවයි. දෙවැන්න ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ එකමුතුවෙන් 31දා පැවැත්වෙන ගී ප්‍රසංගයයි. මේ අවස්ථා දෙකම එක් කාරණාවකින් වැදගත්ය. ඒ හරහා ගොඩ නැඟෙන ක්ෂේත්‍රයේ සමගියයි.

ටෙලිවිෂන ක්ෂෙත්‍රයේ ඇති වී තිබෙන මෙම අර්බුදය පිළිබඳ ප්‍රසිද්ධ කතාවක් අද ඇතිවීම අප අගය කරමු. එහෙත් මෙකී කාරණා පිළිබඳ මෙම ලිපි මාලාව ඔස්සේ මෙයට පෙර කිහිප වරක්ම පෙන්වා දුනිමි. එහිදී සමහරු නිහඬව සිටියහ. සමහරු අපට දොස් කීහ. එහෙත් අන්තිමට බෙල්ලටම තොප්පිය වැටෙන විට සියල්ලම අවදි වී සිටිති. කෙසේ හෝ වේවා බහුතරය කරන මෙම අවදිවීම අපි ගෞරවයෙන් අගය කරමු.

මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවේ. සෝප් ඔපෙරාවලට එහා නොයන නිර්මාණ බිහි නොකළ හැකි යැයි මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීන් එකල මත දැරූහ. ඔවුන් එලෙස මත දරන්නට එක හේතුවක් නම් ටෙලිවිෂන කැමරාව චිත්‍රපට කැමරාව තරම් ගැඹුරු රූපයක් ඉදිරිපත් නොකිරීමත්, ටෙලිවිෂනය යනු ගෘහ භාණ්ඩයක් යන ආදි කල්පිත මත දැරිමය. ඒ වන විට ලෝකය රූට්ස් වැනි මාලා නාටක පවා නිපදවා අවසන් බව ඔවුහු නොදැන සිටියහ. ටෙලිවිෂනය පිළිබඳ මිථ්‍යා මත ඉවත් කිරීමට කටයුතු කළෝ එහි පුරෝගාමීන්ට පමණක් දෙවැනි වූ පරම්පරාවය. පුදුමය නම් ඒ සියල්ල ජාතික රූපවාහිනියේ නිෂ්පාදනයන් වීමය. පරාක්‍රම නිරිඇල්ල, ධම්ම ජාගොඩ, ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ ආදීහු එහි සිටිති. ටෙලිවිෂනය කලාවක් යැයි මුල්වරට මෙරට හඳුන්වාදීමට පුරෝගාමී වූයේ ඔවුන්ය.

ඔවුන් එහි පුරෝගාමීන්ගේ මත බිඳ හෙලූහ. අනතුරුව ටෙලිවිෂන කලාව පෝෂණය කරවීමට ඉදරිපත් වූවෝ රූපවාහිනියට බැහැරින් සිට එයට එක් වූවන්ය. මේ බහුතරය සිනමාකරුවන් වීමට අත් පොත් තබන ලද්දේ ටෙලිවිෂනය හරහාය. රූපය සිය ප්‍රකාශන මාධ්‍ය ලෙස හඳුනා ගත් මේ ගැටවරයෝ එවකට පැවැති සිනමාවට ද අභියෝග කළහ. ඔවුන් මේ නිර්මාණ බිහි කරන ලද්දේ ජාතික රූපවාහිනිය නම් තෝතැන්න ඔස්සේය. ආනන්ද අබේනායක, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, සුදත් මහදිවුල්වැව, ජැක්සන් ඇන්තනි, නාලන් මැන්දිස් වැනි නිර්මාණකරුවන් රැසක්ම එලෙස හඳුන්වා දිය හැක්කේය. ජාතික රූපවාහිනියේ තිලක් ගුණවර්ධන, විමලරත්න අධිකාරි, සුදත් දේවප්‍රිය, ජනක මල්ලිමාරච්චි, සුදත් සේනාරත්න ආදීන් ද අප මතකයට නැඟේ. එපමණක් නොව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, ධර්මසේන පතිරාජ, තිස්ස අබේසේකර වැන්නෝ පවා ටෙලිවිෂනය ඔස්සේ අග්‍රගණ්‍ය මාධ්‍ය මෙහෙවරක් කළහ.

එකල මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රංගනයට දායක වූ බහුතරය වේදිකාව හෝ සිනමාවේ පන්නරය ලැබුවන් වූහ. ඇහින්දාස්ලාට ඉඩක් නොවීය. එමෙන්ම ටෙලි නාට්‍ය සඳහා අනුග්‍රහය දැක් වූයේ ද, ඒවාට ආයෝජනය කරන ලද්දේ ද බැංකු. රක්ෂණ ඇතුළු මුල් පෙළ මූල්‍ය සමාගම් සහ ප්‍රධාන පෙලේ ව්‍යාපාරයන්ය. ඔවුන් සිය ව්‍යාපාරයට ප්‍රචාරයක් ලබා ගන්නා ගමන් විශිෂ්ට කෘතියකට ආයෝජනය කිරිමේ ගෞරවය ද සිවිල් සමාජය හරහා ආරක්ෂා කර ගන්නට එමඟින් සමත්විණ. මේ තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේ 2000 වසර සමයේය. විශේෂයෙන් රාජ්‍ය නාළිකා ටෙලිවිෂන් නාටක මිළ දී ගෙන ඔවුන් හරහා ආයෝජකයන් සොයා දීමට පටන් ගැනීම අදාල ආයතනවලට කෙසේ වෙතත් ටෙලි නාට්‍ය කලාවට නම් යහපතක් වූයේ නැත. එවකට හොඳ ටෙලි නාට්‍ය රැසක් නිෂ්පාදනය කළ ටෙලි සිනේ, සිනෙ වීඩියෝ, ටෙලිවිව් ඇතුළු සමාගම් පවා නාට්‍ය නිෂ්පාදනයෙන් අනු ක්‍රමයෙන් බැහැර විය.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හුදු ජවාරමක් වන්නට පටන් ගත්තේ එයින් පසුවය. ඕනෑම ව්‍යාපාරයක් ලාබ ඉපැයිය යුතුය. එහෙත් එය විය යුත්තේ ව්‍යාපාරිකයන් අතය. එය ජාවාරමක් බවට පත් වූ කළ එහි සියළු ගුණාංග වැනසී යයි. අපේ ටෙලි නාට්‍ය කලාවටත් වූයේ ඒ සන්තෑසියමය. මෙගා නමින් කියැවිණද (මෙගා නම් දැවැන්ත විය යුතුය) වැල් මාලා නාටක බෝ වූයේද මේ අතරවාරයේය. ඒ අතරවාරයේ අප අපගෙන් විමසිය යුතු ප්‍රශ්නය නම් විදෙස් ටෙලි නාට්‍ය ජනප්‍රිය වූයේ මන්ද යන්නය. ඇතැම් ඉන්දියානු කතාවක් මේ මිහිමත කිසිදු භද්‍ර කල්පයක සිදුවන කතන්දර නෙවේ. එබඳු විපත් පටාචාරා කතාවේවත් ඇතිවන ඒවා ද නොවේ. ඇස් දල්වාගෙන, කට ඇරගෙන ගෙදර වැඩ පාලු කරගෙන එම ටෙලි නාට්‍ය බලන්නට තරම් එකී නාටකවල ඇති ගුණාංගයක් නොවන්නේද? ඒ වූ කලී සෑම කතාංගයක් පුරාම ඇති නාටකීය ගුණයයි. ටෙලි නාට්‍යයක පැය භාගයක් යනු විනාඩි 18 කි. බොහෝ විදෙස් ටෙලි නාට්‍ය ප්‍රබන්ධකරණයෙන් සහ නාටකීය ගුණයෙන් සමන්විතය. අප කළේ ඇවිදින්නට හා තේ බොන්නට කාලය යැවීමය. පෙම් කිරීමට නොව අර්ශස් රෝගයේ ලකුණු පෙන්වීමය.

විදෙස් ටෙලි නාට්‍ය රංගන ශිල්පීන් කව්රුන්දැයි කිසිවකු නොදනිති. එහෙත් ඇත්ත නම් ඔවුන් ගෙන් සමහරු අද ලංකාව ඇතුළත ෂාරුක් ඛාන්ටත් වඩා ජනප්‍රියය. වර්තමානයේ ටියුෂන් කඩ සඳහා අලෙවි කරන්නේ කොරියානු නළු නිළියන්ගේ ඡායාරූපයන්ය. එම තත්ත්වය උදා කරදීම ගැන මෙරට ටෙලි ක්ෂේත්‍රයට ඇති වගකීම අතහැර දැමිය නොහැක. ටෙලිවිෂනය යනු විලාසිතා පැක්ටරියකි. අපේ ඇතැම් ටෙලි නාට්‍ය එම ප්‍රතිභාව මතු කළ අවස්ථා විය. මෙරට රසිකයන් ඈත රටක නළු නිළියන්ගේ වගතුග සොයද්දී ඛේදවාචකය නම් මෑත භාගයේ ටෙලි නාට්‍ය කෂේත්‍රයට අවතීර්ණ වූ බොහෝ නළු නිළියන් තමා රඟපාන චරිතය කොයි සැටි වෙතත් රඟපාන ටෙලි නාට්‍යයේ නම හෝ අධ්‍යක්ෂවරයා ගැන පවා නොදැන සිටිමය.

මෙය අතිශයෝක්තියක් නොවේ. ඉතා මෑතක මා ඇමතූ එක් නවක ශිල්පිනියක් රඟපාන ටෙලි නාට්‍ය කිහිපයක් ගැන සඳහන් කොට ඇය ගැන විස්තරයක් පුවත්පතේ පළ කළ හැකිදැයි විමසුවාය. මා ඇගෙන් විමසුවේ මේ දිනවල රඟපාන නාට්‍ය ගැනය. එහි නම පැවසූ කළ මගේ ඊළඟ පැනය එහි අධ්‍යක්ෂවරයා කවුද යන්නය. පරාක්‍රම ඇගේ පිළිතුර විය. පරාක්‍රමලා රාශියක් ක්ෂේත්‍රයේ ඉඳිති. ඉඳින් මා එක් එක් පරාක්‍රමලාගේ නම කියමින් අදාල පරාක්‍රම කවුරුන්දැයි විමසීමි. ඇය පරාක්‍රමගේ ඉතුරු නම නොදත්තාය. බැරිම තැන මා ඇසුවේ ඔහු දහ වැනි පරාක්‍රමබාහු නෙවේද යන්නය. මඳක් කල්පනා කළ ඇගේ පිළිතුර හරියටම දන්නේ නෑ. එයාට කියන්නේ පරාක්‍රම කියලා. ඒ නිළියක හා අධ්‍යක්ෂවරයකු පිළිබඳ එක් අත්දැකීමක් පමණකි.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් මහත්වරුනි, මගේ හිතවත් මිත්‍රයිනි, මේ ක්ෂේත්‍රයේ එක පැත්තක් පමණි. සියල්ලෝම එබඳු යැයි පවසන්නට මම අකමැත්තෙමි. එහෙත් ඇතැමෙකු එබඳුය.

එක්තරා යුගයක ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය මෙරට සිනමාව අභිබවා යන ලකුණු පහළ කළේය. විශේෂයෙන් වර්තමාන සිනමාව පෝෂණය කරන තරුණ පරම්පරාවේ රාශියක් ටෙලිවිෂනයෙන්ම පෝෂණය ලැබුවන්ය. එහෙත් වර්තමානයේ තත්ත්වය එය නෙවේ. එය ඉතා බාල භාවිතාවක් බවට පරිවර්තනය වී ඇත්තේය. වර්තමානයේ පවා අති දක්ෂ නළු නිළි පරම්පරාවක් ද විදග්ධ නිර්මාණ ශිල්පිහු පිරිසක් ද අපට සිටිති.

මෙම අර්බුදය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත ටෙලිවිෂන මාධ්‍ය හරහාම විටින් විට දැක ගත හැක්කේය. තරගකාරී ව්‍යාපාර භාවිතාවකදී වඩාත්ම යහපත් ඵල ග්‍රාහකයන්ට ලබා ගත හැකි වීම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් අපේ රටේ එබඳු දේ දුලබය. ටෙලිවිෂන ක්ෂේත්‍රයේදී එය පැහැදිලිව පෙනෙන්නකි. මෑත භාගයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ජාවාරමක් වූ පසු එය තුට්ටු දෙකේ අශ්වයාගෙන් ගඟ තරණය කර ගැනිමට ක්‍රමවේද සොයා ගන්නට පටන් ගත්හ. අනතුරුව බොහෝ තරුණ නිර්මාණකරුවන් නැවත ටෙලි නාට්‍ය නිර්මාණයට අත තැබීමට දෙවරක් සිතා බැලූහ. අතිශය දුබල නිර්මාණ මාධ්‍ය හරහා විකාශය වූයේ දේශපාලන අත තැබීම් මත බව නොරහසකි. ටෙලි නාට්‍ය අනුමත මණ්ඩලවලට ඉහළින් එම අදිසි හස්ත ක්‍රියාත්මක විය. ක්ෂේත්‍රයේ නියැලී බොහෝ දෙනා ද තමාගේ නිර්මාණ කෙසේ හේ රිංගා ගැනීමේ අරමුණින් නෑසූ කන් ඇති ඉවත බලා ගත්හ. සිනමාවේ මෙන්ම ටෙලිවිෂනය කෙරෙහි ද වර්තමානයේ රසිකයනට විකල්ප ඇත්තේය. ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍යයන් මෙරට විකාශය වෙද්දීම එරට දැනටමත් විකාශය වන කොටස් නරඹා කතා ගලපා ගන්නා රසිකයන් එමටය. අන්තර් ජාලය, ටෙලිවිෂනය අභිබවා ඉදිරියට ඇදෙමින් පවතියි.

කලකට ඉහත මෙරට අතිශය ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය යුගය අද අනු ක්‍රමයෙන් පහළ බසිමින් පවතී. තවමත් ටෙලි නාට්‍ය කෙරෙහි දැඩි උනන්දුවක් ඇත්තේ ගම්බද ප්‍රදේශවලය. ඒ එහි වෙනත් විනෝදාස්වාද ඉතා අල්ප බැවිනි. අලුත් මාධ්‍ය ගම්බද හරහා ගමන් කරද්දී ටෙලි නාට්‍ය සඳහා එල්ල වන අභියෝගය සුළුපටු එකක් නොවනු ඇත. එදාට ජාවාරම්කරුවන් එයින් ඉවත් වෙති. වෙනත් පරමාර්ථ සඳහා ක්ෂේත්‍රයට ළං වූවන් ද ඉවත් වෙති. එහෙත් වෘත්තිකයන් හමුවේ ඇති වනුයේ ජිවත්වීමේ අභියෝගයයි. සිනමාව ඇද වැටෙද්දී එහි නියැලෙන්නන්ට ටෙලිවිෂනය ජීවත්වීමට විකල්පය විය. ටෙලිවිෂනය ඇද වැටුණහොත්? එක් අතකින් දවස් කුලියට කටයුතු මෙහෙයවීමට තරම් ලඝු තත්ත්වයට පත් වූවකුට වෙනත් කටයුත්තක නියැලෙන්නට බැරි වන එකක් නැත.

ටෙලිවිෂන ක්ෂේත්‍රය හරහා ඇති අර්බුද විසඳිය යුත්තේ අතනින් මෙතනින් කෑලි අමුනමින් ඒ ඒ සිද්ධිවලට පැලැස්තර දැමීම නොවේ. ටෙලිනාට්‍ය කපන මණ්ඩලයක තබන්නට ඉල්ලීම ප්‍රශ්නයට විසඳුමක් නොවේ. එය අමන ඉල්ලීමකි.

එය නැවත මහජන විශ්වාසය දිනාගත යුතුය. එයට වෘත්තීය තත්ත්වය ළඟා කරගත යුතුය. පොත්ත සුදු පලියට නංගිලා ද සල්ලි ටිකක් දාපු පලියට මල්ලිලාට ද ටෙලිවිෂනයේ මූණ පෙන්වීම නතර කළ යුතුය. වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගත යුතුය. අධ්‍යක්ෂවරයකු නිර්මාණකරුවකු මිස, දර්ශන තලයේ ගේට් කීපර් කෙනෙකු නොවිය යුතුය. සියල්ල එක් කළ හැකි නිර්මාණ ගුණයක් එයට තිබිය යුතුය. ඒ සියල්ල මෙන්ම එයට සරිලන ආදායමක් තිබිය යුතුය. පසුගිය දස වසර ඇතුළත මෙරට මිළ අඩු වූ එකම වෙළඳ භණ්ඩය ටෙලි නාට්‍ය කතාංග විය යුතුය. එයට පිළියම් තිබිය යුතුය. එය ඇත්තේ චැනල් පාලකයන් අතේය. අප රැකගත යුත්තේ ඔවුන්ය.

රසිකයාට බලහත්කාරකම් නොකළ යුතුය. නැත්නම් රසිකයා අත දුරස්ථ පාලකයක් ඇත. එය ක්‍රියාත්මකවීම ඇත්තේ ඔවුන් අත ය.