වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




පියස මගේ වෙනම නිර්මාණයක්

පියස මගේ වෙනම නිර්මාණයක්

සුනිල් කොස්තාට සවන් දෙමු

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 9.30ට විකාශය වන ‘පියස’ ටෙලි නාට්‍යය ඔබ හමුවට පැමිණෙන්නේ සුනිල් කොස්තාගේ අධ්‍යක්ෂණයෙනි. මීට පෙර ඔහු අප හමුවට පැමිණෙන්නේ ‘පින්සර දොස්තර’, ‘සිරි සිරිමල්’, ‘ෂ්ලොක් හෝම්ස්’ ඇතුළු ටෙලි නිර්මාණ රැසක් සමඟිනි. මේ ලිපිය සැකසෙන්නේ ඔහුගේ මේ අලුත්ම ටෙලි නාට්‍යය පිළිබඳත්, මේ වනවිට ටෙලි නාට්‍ය කලාව මුහුණ දී සිටින අර්බුද පිළිබඳත් ‘සරසවිය’ට කළ සාකච්ඡාවකිනි.

‘පියස’ කියන්නේ මෙගා ටෙලි නාට්‍යයක් ද?

නැහැ. ‘පියස මා නිර්මාණය කළේ දිනපතා විකාශය වන විකාශන කාලයක් සඳහා නොවෙයි. සති අන්තයේ විකාශය වීම සඳහායි. නමුත් ස්වාධීන රූපවාහිනියේ ආරාධනයෙන් අපි මේ ටෙලි නාට්‍යය දිනපතා නාට්‍යයක් බවට පත්කළා. එහෙම වුණත් අපේ අරමුණ වුණේ කොටස් අසූවක නිර්මාණයක් විදියට මේ ටෙලි නාට්‍යය අවසන් කිරීමටයි. ඒ අරමුණ වෙනස් නොකරමින්ම මේ කටයුත්තේ තවදුරටත් නියැළීමට ලැබීම සතුටට කරුණක්.

එහෙත් අප දැක ඇත්තේ යම් කොටස් ගණනක පදනමට පැමිණියත් නැවතත් දිගින් දිගටම ටෙලි නාට්‍ය විකාශය වීම දීර්ඝ කරන බවයි. මේ කාරණය ඔබට බලපෑම් කළේ නැද්ද?

අද ටෙලි නාට්‍ය විනාශ වීමට එක් හේතුවක් වන්නේ මේ තත්ත්වයයි. නාට්‍යයක් හොඳ නම් ඉල්ලුමක් එනවා. ඒ ඉල්ලුමට සපයන්න පටන් ගන්නවා. එතැනදි මේ නිර්මාණය දිගු කරන්න නම් මූලික සන්දර්භයෙන් පිටට පනින්න වෙනවා. එවිටයි මේ නිර්මාණයේ පරිහානිය පටන් ගන්නේ. අපි නරඹන මෙතෙක් විකාශය වුණු බොහෝ දිගු නාට්‍ය මුලදි හොඳයි. ගුණාත්මකව යම් යම් අඩුපාඩු මතුවෙන්නේ පස්සෙයි. අපේ ටෙලි නාට්‍යයේ මූලික සැලසුම නිර්මාණය වෙලා තිබුණේ කොටස් අසූවකටයි. ඒ නිසා එතැනින් එහාට යන්නේ නැහැ කියන අදහසේ අපි හිටියා. ඒ වගේම මේ විදියට හිතන අයත් ඉන්න ඕන. නැත්නම් මේ ගහගෙන යන රැල්ලටම යෑම නොවෙයි විය යුත්තේ. එයයි අපේ මූලික අරමුණ වුණේ. ස්වාධීන රූපවාහිනියත් ඒ කාරණයට එකඟ වුණා. මෙය ආරම්භයේම අපි දෙගොල්ලෝ අතරම තිබුණු අවබෝධයෙන් සකසා ගත්ත වැඩපිළිවෙළක්.

ඔබගේ ‘පින්සර දොස්තර’, ‘සිරිසිරිමල්’, ‘රෝද හතරේ මනමාලයා’වැනි ටෙලි නාට්‍යය ඇතුළු නිර්මාණ කිහිපයක් විමසීමේදී අපට ‘පියස’ ගැන දැනෙන්නේ අඩු තක්සේරුවක්. එහෙම දැනෙන්නේ වර්තමානය වනවිට ඔබ ඇතුළු බොහෝ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකුම මොකක් දෝ පසුගාමී තැනක හිරවෙලා නිසා ද?

ඔය කියන කතාවේ යම් ප්‍රමාණයක සත්‍යයක් තිබෙනවා. අපිව අත්තටු කපලා ඉගිල්ලෙන්න දාලා වගේ ප්‍රශ්නයකුයි මෙතැන තියෙන්නේ. වසර තිහක් තිස්සේ අපි නියැළෙන්නේ මේ කටයුත්තේමයි. ඒ නිසා අවර ගණයේ නිර්මාණ කරන්නත් අපට බැහැ. හිතන විදියට වැඩකටයුතු කරන්නත් අපට බැහැ. මේ වගේ අතර මැදි තැනකයි අපි හිරවෙලා ඉන්නේ. අනෙක් කාරණය නම් ‘පියස’ ටෙලි නාට්‍යයේ දි මා යම් දෙයක් අත්හදා බලනවා. ඒ අත්හදා බැලීම සාර්ථක වන්නේ නරඹන්නන්ගේ අයගේ ප්‍රතිචාර මතයි.

ඒ කියන්නේ ‘පියස’ පයේෂණ නාට්‍යයක්?

මා මෙතෙක් කළ නිර්මාණ දෙස හැරිලා බලන විට මට හිතෙන්නේ මේ මා කළේ චිත්‍රපට ද යන්නයි. දැවැන්ත රූප, දැවැන්ත සෙට් සමඟයි මේවා නිර්මාණය වුණේ. ඒ නිසා මා මෙහිදී කළ පර්යේෂණය වන්නේ ටෙලි විෂන් එකට හරියන විදියට හැඩ ගැසීමයි. ඒක ඇතුළේ යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. පිටපත ඇතුළේ යම් යම් ගැටලු තියෙන්නත් පුළුවන්. මේ ඔස්සේ පිරිහීමක් ඇතිවුණා ද කියලා මා දන්නේ නැහැ. ඒත් මා වෙනත් පර්යේෂණය කාර්යයකට උත්සාහ කළා. එහිදි මේ නිර්මාණය සංකෝචනය වීමක් සමඟයි නිර්මාණය වුණේ. එය කොපමණ හොඳ ද නරක ද යන්න තීරණය කළ යුත්තේ නිර්මාණය නරඹන්නන්.

පවුලේ කතාවක් ඇති මෙවැනි පිටපතකට ඔබගේ සිත යොමු වන්නේ ඇයි?

කැප්ටන් ප්‍රියන්ත ද සිල්වා මහත්තයා ලිව්ව මේ පිටපත මට ලැබෙන්නේ අපේ ප්‍රකට පුවත්පත් කලාවේදියෙකු හරහායි. ඊට මා කැමැති වුණේ මෙවැනි නිර්මාණයක මීට පෙර මා යෙදී නොසිටි නිසයි. ඒ වගේම මේ පිටපතේ තිබෙන වටිනාකම් නිසයි. සමාජයේ අපි දකින්නේ සාධාරණ ධනපතියන් නොවෙයි. නමුත් මේ නිර්මාණයේදි ඉහළට එන්නේ පොඩිතැන ඉඳන් සාධාරණ අයුරින් ධනය උපයන මනුස්සයෙක්. එයගේ ජීවිතයයි මා මේ නිර්මාණය ඔස්සේ විග්‍රහ කරන්නේ. අර්බුද ඇතිවන අය ලෝක ධර්මය අනුව යම් යම් ගැටලු ඇතිවෙලා අවරට යද්දි මේ චරිතය විවිධ අර්බුද මැද ඉන්ද්‍රඛීලයක් වගේ යම් නිස්කලංක තැනකට පැමිණ නවතිනවා. අන්න ඒකට මා කැමැති වුණා. පිටපත් රචනයෙන් වගේම නිෂ්පාදනයෙන් ද ප්‍රියන්ත මේ නිර්මාණයට දායක වෙනවා. ඔහු මෙන්ම නිෂ්පාදනයෙන් දායක වන අනෙක් පුද්ගලයා වන්නේ සුරේෂ් විග්නරාජායි.

ඔබගේ නිර්මාණවලට චරිත තෝරාගැනීමේදී මෙතෙක් පිටපතම ඉල්ලන නළු - නිළියන්වයි යොදා ගැණුණේ. නමුත් මෙවර ඔබ වෙනස් ඉමක් කරා පිය නඟනවා?

ජනප්‍රියත්වය මේ කර්මාන්තයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මෙහි ප්‍රධාන චරිතයට කිසිම කෙනෙකු නොසිතන නළුවෙකු තෝරා ගත්තා. ඒ මේනකයි. ජනප්‍රියත්වය කියන කාරණයත් සමඟ කොහොමද මිනිස්සු අතරට යන්නේ කියලා මා සිතුවා. මා මේ කළ දේ සුදුසු ද නැද්ද යන්න තීරණය කළ යුතු වන්නේ ජනතාවයි. අනෙක් වාරවලට වඩා වෙනස් විදියකට මා මෙවර සිතූ බව ඇත්තයි. එහිදී සමහර අය තමන්ගේ රාජකාරිය හරියටම කළා. සමහර අය ගැන විවේචන තිබෙනවා.

මෙහි සංගීතය ගැන කතා කිරීමේදී අප අසා හුරුපුරුදු කවිවලින් නිමැවුණු නාට්‍යයේ තේමාගීතය ගැන සඳහන් කළ යුතුමයි?

මේ සඳහා වෙන ගීතයක් භාවිත කරන්න තීරණය කරලා තිබුණත් ඒක හරි ගියේ නැහැ. ඊට පස්සේ මගේ හිතවත් පුවත්පත් කලාවේදියායි මේ ගීත ටික යොදමු යැයි යෝජනා කළේ. ඒකට හොඳ තනුවක් දැම්මේ ආචාර්ය රෝහණ වීරසිංහයි. ගීතය ගයන්නේ ලක්ෂ්මන් විජේසේකර හා දමයන්ති ජයසූරියයි. මේ සියල්ලන්ගේම දායකත්වය නිර්මාණයට ගෙනාවේ ආලෝකයක්.

මේ නිර්මාණයෙන් පස්සේ ඔබ තවත් අලුත් නිර්මාණයකට පිවිසීමට ද සූදානම් වෙන්නේ?

සාමාන්‍යයෙන් මම එක නිර්මාණයක් අවසාන වනතුරු වෙනත් නිර්මාණ තුන, හතරක් භාර ගන්නේ නැහැ. මේ වනවිට වාර්තා වැඩසටහන්, ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා තිබෙනවා. ඒ වුණත් මම ඒ එකක්වත් ගැන තීරණයකට ඇවිත් නැහැ. මගේ මූලික අරමුණ මේ දවස්වල නිර්මාණය වෙලා තියෙන්නේ ‘පියස’ එක්කයි. එහෙම වුණත් ඒ කාරණය ආර්ථික අතින් යහපත් නොවෙන්න පුළුවන්.

මේ වනවිට රූපවාහිනි ආයතන විදේශීය ටෙලි නාට්‍ය විකාශය කරනවා යැයි පවසමින් විවිධ චෝදනා නඟනවා. එහෙත් අපේ ටෙලි නාට්‍යවලට වඩා ඒ ටෙලි නාට්‍යවල තිබෙන ආකර්ශනීය බවයි නරඹන්නන් ඒවාට යොමු කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නයේ මූලයට ප්‍රතිකර්ම නොකර යම් යම් චෝදනා නැඟීම නුසුදුසුයි?

මේ සියල්ලම තීරණය වෙන්නේ මිල අනුවයි. විදේශවලින් අපේ රටට එන නිර්මාණ නිෂ්පාදනය කිරීමට යන පිරිවැය මිලියනයකට වඩා වැඩියි. එච්.එම්.අයි.ලයිට්, ක්‍රේන්, ජිබ්ජිම් ඇතුළු තාක්ෂණයෙන් ඉහළ මට්ටමක තිබෙන තාක්ෂණික උපකරණ භාවිත කරමින් තමයි ඔවුන් මේ නිර්මාණ කරන්නේ. තාක්ෂණය අතින් දියුණු විශාල කැමරා යොදා ගනිමින් ආකර්ශනීය ආලෝකකරණය එක්ක කරන මේ නිර්මාණ බොහොම ආකර්ශනීයයි. ඒ ආකාරයෙන් ටෙලි නාට්‍ය නිර්මාණය කරන්න ගියොත් මම පැවසුව කැමරා බඩු ටික පමණක් කුළියට ගන්නත් අපට දවසකට ලක්ෂ දෙකක වියදමවත් යනවා. මේ විදියට යන වියදම නිෂ්පාදකවරුන්ට ගෙවනවා ද කියන ප්‍රශ්නයයි ඊළඟට පැන නැඟෙන්නේ. ඒ නිසා විදේශීය නිර්මාණවලට හරියන විදියේ නිර්මාණ කරන්නට පෙර එවැනි ගැටලු රැසකට අපට මුහුණ පාන්නට වෙනවා.

එහෙම නැතිව අපට නිර්මාණ කරන්න බැරිකම නොවෙයි තියෙන්නේ. අපේ රටට දරන්න පුළුවන් මිලක් තියෙනවා. ඒ මිල ඇතුළෙයි අපේ අය වැඩ කරන්නේ. ඒ වගේම මේ අතර හොඳ වගේම ආකර්ශනීය විදියට ටෙලි නාට්‍ය කරන්න උවමනාව තිබෙන නිර්මාණකරුවන් ඉන්නේ බොහොම සුළු දෙනෙකුයි. ඒ අය අතේ ඇඟිලි ගණනට ගණන් කරන්නත් පුළුවන්. වැඩ කරන්න ගියාට පස්සේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ නිරතුරුවම ප්‍රශ්නවලටයි. කාලයක් අපි ටෙලි නාට්‍ය එක් කොටසක් ලක්ෂ හතරට, හතරහමාරට විකුණුවා. ‘ෂර්ලොක් හෝම්ස්’ වගේ නිර්මාණයක් අනුග්‍රාහකයකුත් එක්ක විකුණුවේ ලොකු ගණනකටයි. එහෙත් අද පොදු මිල නියම වන්නේ අනූදහසේ සිට ලක්ෂ දෙක හමාරක් දක්වායි.

ඒ අතරින් ලක්ෂ දෙකට, දෙකහමාරකට ගන්නේ අපේ නාට්‍ය විතරයි. රූපවාහිනි නාලිකා අතරින් ස්වාධීන රූපවාහිනියේ පමණයි තරමක් හෝ මිල වැඩිපුර ගෙවන්නේ. අනෙක් ඒවා අනූ දහසේ පටන් එක්ලක්ෂ විසි දහසක්, එක්ලක්ෂ තිස්දහසක් ආදී වශයෙන් වූ මිල ගණන්වලටයි විකිණෙන්නේ. ඒ මිල ඇතුළේ වෙන්නේ මොකක් හරි නිර්මාණයක් ඇටවීමයි. ඒක හරි නොවුණොත් තවත් එකක් අටවනවා. මෙවැනි ගැටලු රැසක් මේ කාරණය හා බැඳී පවතිනවා. අධ්‍යක්ෂණය පිළිබඳ සමහර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ දැනුම ගැන අපට ඇති වන්නේ විමතියක්. එපමණක් නොවෙයි ඔවුන් කරන නිර්මාණවල කිසිම ආකර්ශනීය බවක් ඇත්තේත් නැහැ.

එහෙම නම් ඔය කියන අධ්‍යක්ෂවරු බිහි වන්නේ කොහොම ද? අපේ රටේ අධ්‍යක්ෂවරු මෑතක බිහිවුණේ මෙහෙමයි. කාලයක් අපේ රටේ ගුණාත්මක නාට්‍ය කලාවක් තිබුණා. පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, ධම්ම ජාගොඩ, ටයිටස් තොටවත්ත වැනි නිර්මාණකරුවන් ආරම්භ කළ ශ්‍රේෂ්ඨ, විශිෂ්ට නාට්‍ය කලාවක් තිබුණා. මේ නාට්‍ය කලාවට පූර්වාදර්ශය දෙන්නේ ජාතික රූපවාහිනි ආයතනයයි. මේ ගමන යද්දී පිටස්තර නිෂ්පාදන ආයතන බිහි වෙනවා. ටී.වී.ටී, ටෙලි ස්ටාර්, ටෙලිවීව්, ශිරාන් ටෙලි සිනේ ආදී ආයතන ඉන් කිහිපයක්. ඒවායේ නිෂ්පාදකවරු අපේ රටේ ටෙලි නාට්‍ය වගේම අනෙක් නිර්මාණ සඳහා දායක වන්නේත් මුදල මූලික කරගෙන නොවෙයි. පසු කාලීනව ඇතිවන ආර්ථික, සමාජීය, පෙරළියත් සමඟ එතැන සිටි අය ඉවත් වී ඒ වෙනුවට පැමිණෙන්නේ මුදල මූලික කරගත් නිෂ්පාදකවරුන් සමූහයක්.

ඒ අයට අර සිටිය ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් මෙහෙය වන්න බැහැ. ඔවුන් දඩබ්බරයි. ඔවුන් ගුණාත්මක දේවල් ඉල්ලනවා. ඒ නිසා මේ නිෂ්පාදකවරුන් කරන්නේ ඔවුන් වෙනුවට එතැන සිටින සහයකවරුන්ව හෝ තවත් අයව අධ්‍යක්ෂවරුන් බවට පත් කිරීමයි. දැන් මේ ක්ෂේත්‍රයේ අයගෙන් සියයට හැත්තෑපහක් විතරම ඉන්නේ අන්න ඒ විදියට අධ්‍යක්ෂවරුන් වුණු අයයි. අධ්‍යක්ෂවරයාගේ බලය, අභිමානය ඒ අය දන්නේ නැහැ. දිනපතා ටෙලි නාට්‍යයක් කරාට පස්සේ ඔවුන්ගේ අතට පැමිණෙන මුදල විශාලයි. ඒ නිසා නිෂ්පාදක කියන්නේ මොකක්ද ඔවුන් ඒ නාට්‍ය කරගෙන යනවා. නාලිකාව කියන්නේ මොකක්ද ඒ නාට්‍ය කරගෙන යනවා.

ඒ වගේම විශ්වාසය තහවුරු කර නොගත් රේටින් ක්‍රමයකුත් මේ අතර තිබෙනවා. එහි පදනම මොකක් ද කියලාවත් අපි දන්නේ නැහැ. ඒවා විනිවිද නැහැ. මේ ඇතුළේ ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙළත් විශාලයි. ඒ රේටින් ක්‍රමයේ ඇතුළෙයි සියලුම ඒජන්සි හා වෙළෙඳ ආයතන දැන්වීම් දෙන්නේ. අපි කොයිතරම් නෑ යැයි පැවසුවත්, හරි හෝ වැරැදි වුණත් ඒ දැන්වීම් දෙන්නේ ඒ රේටින්වලටයි. ඒ රේටින් තියෙන්නේත් අවර ගණයේ නිර්මාණවලටයි. එවිට පිකප් වෙන්නේ අවර ගණයේ නිර්මාණයි. මේක සරල කාරණයක් නොවෙයි. ඒත් මේ කාරණය වෙනස් කරන්නත් උවමනායි. ඒ මේ විදියට දිගටම යන ගමන ඒ තරමට සුබ නොවන නිසයි.