වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




වේදනාව උරුම කලාකරුවෝ රසිකයන්ට වින්දනය ලබා දෙති

ශ්‍රී ලාංකේය ගායික ගායිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පැවැත්වෙන ‘යුග යුග හද රැඳි ගී’ ප්‍රසංගය 31දා B.M.I.C.H හි දී

ශ්‍රී ලාංකේය ගායක - ගායිකා සංගමයේ නිල ගීතය

සකුණ විජිතයේ කෝකිල සැළලිහිණී
විහඟ රෑන අපි සත්සර සුව රඳනා
සුළඟේ නලවා මධුර තරංගා
දෙසවන් පිරිමදිනා හදවත සතපවනා පැණසර රස මවනා

මනරම් ගේය කාව්‍ය පදමාලා බන්දා
මනලොල් නාද රටා පලන්දා
පද්ම තටාකෙන් සරසවිගේ
තාල ලතාවට ගඟන සරා
හද මඬුළු කරා පියාඹන්න අවසරයි
පෙර පර බේද නැතී අපි එක අත්තක කිරිල්ලියෝ
පෙර පර බේද නැතී අපි එක අත්තක කුරුල්ලෝ

සුවිපුල් රාග ශාස්ත්‍ර රස ධාරා නංගා
සුනිමල් ගීත කලා ප්‍රබන්දා
රිද්ම රටාවෙන් මන බඳිනා
නේක සුගායන අරුත් දරා
අතිනතින් බැඳි බෙදා දෙන්නේ අපි තමයි
පෙර පර බේද නැතී අපි එක අත්තක කිරිල්ලියෝ
පෙර පර බේද නැතී අපි එක අත්තක කුරුල්ලෝ

සකුණ විජිතයේ කෝකිල සැළලිහිණී
විහඟ රෑන අපි සත්සර සුව රඳනා
පෙර පර බේද නැතී අපි එක අත්තක කිරිල්ලියෝ
පෙර පර බේද නැතී අපි එක අත්තක කුරුල්ලෝ

ගී පද මාලාව - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

තනු නිර්මාණය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය - ශ්‍රී ලාංකේය ගායක - ගායිකා සංගමය

 

වේදනාව උරුම කලාකරුවෝ රසිකයන්ට වින්දනය ලබා දෙති

ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයට වසර 25 ක් පිරීම නිමිති කොට ගෙන 2016 ජනවාරි 31 වන දින B.M.I.C.H හිදී දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත්තෙමු. මේ සඳහා 50 දශකයේ සිට අද දක්වා සිංහල ගීතයේ අතීත මතකය සමඟ ප්‍රවීණ, නවීන සියක් ශිල්පීන් එකතු වන අතර ඒ යුග යුග හද රැඳි අසන්න, දකින්න, රස විඳින්න ඔබත් එන්න. මෙම ලිපිය එම ප්‍රසංගය වෙනුවෙනි.

ක්‍රිස්තු පූර්ව 2500 කට පෙර වූ වෛදික යුගයේ සිට ගාන්ධර්ව (ගායක) කින්නර (වාදක) හා අප්සරාවන් (නර්තකීන්) ලෙස සංගීතයෙහි දක්වා තිබුණ ද ලෝකයෙහි වැඩිම අවධානය දිනාගෙන ඇත්තේ ගායක - ගායිකාවෝ බව මගේ හැඟීමයි. ගායකයාට කලින් - ගේය පද රචනාව, සංයෝජනය සිදු වුවද ගීත රස වින්දනයේදී පළමුව රසිකයා ආකර්ෂණය කර ගන්නේ ගායකයායි.

මේ ලොව මිහිරිතම කටහඬ පිහිටියේ බුදුන් වහන්සේටයි. එය අෂ්ඨාංග සමන්වාගත බ්‍රහ්ම ස්වරය යැයි සඳහන්ය. උන් වහන්සේගේ අෂ්ඨාංග සමන්වාගත බ්‍රහ්ම ස්වරය වනාහි උත්තම ගණයේ ගායකයකු තුළ තිබිය යුතු බොහෝ ගුණංගවල සම්පිණ්ඩනයකි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසන පරිදි ගොළුවන් නොවන බොහෝ මනුෂ්‍යය ප්‍රාණීන්ට කිසියම් මට්ටමකින් ගීයක් ගයන්නට බැරිකමක් නැත. එහෙත් ඔවුන් ගායකයෝ නොවෙති. ගායන ප්‍රතිභාව වූ කලී නිසර්ඝ සිද්ධ වාසනා ගුණයකි. මේ වාසනා ගුණයෙන් පමණක් ගායන ලොවෙහි දිග් විජය ලබන්නෝ විරලය. ගාන විද්‍යාව වනාහි හදාළ යුතු ප්‍රගුණ කළ යුතු විෂයකි. උපතින් ලත් හැකියාව උද්දීප්තියට ලක් වනුයේ මේ හැදෑරීම තුළිනි.

මහාචාර්යවරයා මෙසේ ද පවසයි. එදා මෙදා තුර ග්‍රැමෆෝන් තැටි, ගුවන් විදුලි තැටි, චිත්‍රපට, කැසට් පට, සංගීත තැටි සහ පෞද්ගලික නාළිකා ආදිය ඔස්සේ සංගීත ක්ෂේත්‍රයට ගායක ගායිකාවන් ප්‍රවිෂ්ඨ වී ඇත්තේ සිය ගණනිනි. එහෙත් අවුරුදු හැත්තෑවකට පමණ ඉහත දී රුක්මණී දේවි හා මොහිදීන් බෙග් ගෙන් ආරම්භ වී අද මේ මොහොත දක්වාත් දිග්ගැස්සෙන දීර්ඝ ගායක ගායිකා ලැයිස්තුවෙහි දීප්තිමත් අකුරින් නම් සඳහන් වී ඇත්තේ කීයෙන් කී දෙනාගේ ද? අවම වශයෙන් දස වසකට දස දෙනෙක් බැගින් විශිෂ්ට හෝ ජනප්‍රිය ගායක ගායිකාවෝ හැත්තෑ දෙනෙක්වත් බිහි වී සිටිත්ද? නැත! බොහෝ දෙනා පැමිණියහ. බොහෝ දෙනා නික්ම ගියහ. කිහිප දෙනෙක් පමණක් රසික සිත් සතන් හි නවාතැන් ගත්හ. ඒ වනාහි ප්‍රතිභා සම්පන්න ගායක ගායිකාවන්ගේ පැවැත්මත් තාවකාලික හෝ ක්ෂණික ජනප්‍රියත්වයත් ලබන ගායක ගායිකාවන්ගෙන් ගිලිහී යාමත් පිළිබඳ නියාම ධර්මයයි.

මෙම සටහන අවසන් කිරීමට මහා කවි ශේක්ෂ්පියර්ගේ කියමනක් මෙසේ ගෙනහැර දක්වමි. 'යම් මනුෂ්‍යයෙකු තුළ ගායනය පිළිබඳ රුචියක් නැතිද? එහි ස්වරයන් කෙරෙන් මෝහනය නොවේද? ඔහු පතීතයෙක්, විශ්වාසඝාතකයෙක් හා ද්‍රෝහියෙක් ද වේ. ඔහුගේ හදවත ආත්ම අන්ධකාරමය රාත්‍රියකට වඩා භයංකාරය' ඉහත සඳහන් ප්‍රකාශයන් තුළින් සාක්ෂාත් වන්නේ උත්තම ඝණයේ ගායක ගායිකාවෝ රටකට මොන තරම් වටිනවාද යනුයි.

ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ