|
||
රට මා හඳුනාගත්තේ සම්මානය නිසා
නන්දා මාලිනී 1964 වසරේ අභිමානවත් සිනමා සම්මාන උලෙළක අසිරිය මෙරට ජනතාවට ගෙන දෙමින් පළමු වැනි සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. සරසවිය තවත් අභිමානවත් සිනමා සම්මාන උලෙළකට සූදානම්වන මේ අවස්ථාවේදී එදා සිට අද දක්වා තම පළමු නිර්මාණ කාර්යය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ඇගයුම් ලද්දෝ සොයා යන ගමන අදින් ආරම්භ වේ. 1962 වසරේ අගෝස්තු මස තිරගත වූ මෙරට ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’ වෙනුවෙන් ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය ගැයූ නාරද දිසාසේකර හොඳම ගායකයාට හිමි සම්මානයත් විශාරද නන්දා මාලිනිය ගායිකාවට හිමි සම්මානයත් දිනා ගැනීමට සමත් විය. ‘ගලන ගඟකි ජීවිතේ ගීතය’ විශාරද නන්දා මාලිනිය සිය චිත්‍රපට ගායන දිවියේ ගැයූ මුල්ම ගීතයයි.
ගලන ගඟකි ජීවිතේ එදා සරසවිය සම්මාන උලෙළේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ ඈ අනතුරුව සරසවිය මෙන්ම ජනාධිපති සම්මාන ඇතුළු තවත් සම්මාන රාශියකට හිමිකම් කීවාය. ජනතා සම්මානයටද පාත්‍ර වූ ඇය තම ප්‍රථම සම්මාන අත්දැකීම හෙවත් පළමු වැනි සරසවිය සම්මාන උලෙළේ මතකය සිහිපත් කරන්නේ අපිරිමිත සෙනෙහසකින්. “ඇත්තටම සරසවියට සම්මාන උලෙළ වෙනුවෙන් සහභාගි වන ලෙස දන්වා එවූ ආරාධනා පත්‍රය ලැබුණු වෙලාවේ මට ඒ පිළිබඳ එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. එදා මම අති ආධුනික ගායිකාවක්. හැබැයි මට ඒ වෙලාවේ දරා ගනන බැරි තරම් විශාල සතුටක් ඇති වුණා. බොහොම සුන්දරව ඒ අවස්ථාවට සහභාගි වෙන්න ඕනි කියලා හිතුණා. ” බොහොම උනන්දුවෙන් එදා ඒ උත්සව අවස්ථාවට සූදානම් වෙන්න ඇති? කොහොම වුණත් ඒ වෙනකොට මම හරියට සාරියක්වත් අඳීන්න දැනගෙන හිටියේ නැහැ. මම ඉස්සරවෙලාම සාරියක් හොයා ගන්න එක තමයි කළේ. කවුරුහරි මට ඒක ඇන්දුවා මතකයි. මම එදා සදාරියෙන් හැඩ වුණේ ඉන්දියානු ක්‍රමයටයි. සම්මාන උලෙළක් නිසා ටිකක් වැඩිපුර හැඩවෙන්න දිග කරාබු දෙකකුත් අඩි උස සෙරෙප්පු කුට්ටමකුත් පළඳීන්න අමතක කළේ නැහැ. එම උත්සව අවස්ථාවේ සුන්දර අත්දැකීම් ආයෙමත් සිහිපත් කළොත්? සම්මාන උලෙළක් කියන්නේ අද බොහොම සුලබ දෙයක්. ඒ වුණත් එදා එහෙම නැහැ. කලාකරුවන්ට වගේම ජනතාවටත් මේ අවස්ථාව බොහොම විශේෂිත එකක් වුණා. කලාකරුවන් හැමෝටම එදා ලේක්හවුස් ආයතනයට එන්න කියලා දැනුම් දීලා තිබුණේ. ලේක්හවුස් එකේ ඉඳන් අපි හැමෝම අලංකාර ලෙස සැරසූ විවෘත රථ පෙරහැරකින් ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි අශෝක සිනමා ශාලාවට කැඳවාගෙන ගියා. ගාමිණි ෆොන්සේකා, ජීවරාණි කුරුකුලසූරිය, ක්ලැරිස් ද සිල්වා, ලීනාද සිල්වා, විජිත මල්ලිකා, රොබින් ප්‍රනාන්දු ආදී නළු නිළියන්ගේ ආකර්ෂණය රසික හදවත් පුදුමාකාර ලෙසින් දිනාගෙන සිටි ආකාරය එදා මට අත්විඳගන්න ලැබුණා. ගාමිණිගෙයි ජීවරාණිගෙයි රංගනයෙන් ඔප වැටුණු රන්මුතු දූව චිත්‍රපටයත් ඒ කාලයේ පුදුම ආකර්ෂණයක් දිනාගෙන තිබුණේ. පාර දෙපැත්තේ ජනතාවගේ උණුසුම් සුබ පැතුම් මැද්දේ ගියත් කවුරුවත් මාව අඳුනා ගත්තේ නම් නැහැ. ඒ අත්දැකීම හරියට කෙනෙක් ජීවිතයේ පළමුවතාවට මඟුල් ගෙදරකට ගියා වගෙයි. රන්මුතු දූව චිත්‍රපටයේ පසුබිම් ගායනයට අවස්ථාව ලැබීම ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මට ඒ වගේ හීනයක්වත් තිබුණේ නැහැ. ඒ වෙනකොට මගේ වයස අවුරුදු දහනවයක් විතර ඇති. මට චිත්‍රපට පසුබිම් ගායනට ආරාධනාව කළේ පණ්ඩිත් අමරදේවයන්. එතුමා මා ගැන ලොකු විශ්වාසයකින් තමයි මේ අවස්ථාවට දායක කර ගත්තේ. හොඳම ගායිකාව ලෙසින් ඔබේ නම නිවේදනය කරන විට දැණුනු හැඟීම? ඒ වෙලාවේ කොහොම වේදිකාවට ගොඩවුණාද කියල හිතාගන්නවත් බැහැ. නුහුරු සාරිය විතරක් නොවෙයි අඩි උස සෙරෙප්පු කුට්ටමයි දිග කරාබු දෙකයි එක්ක මම සාමාන්‍ය තත්ත්වයට එන්න ගොඩක් උත්සහ කළා. දරාගන්න බැරි තරමේ විශාල සතුටකුත් හිතට දැණුනා. අදත් එක්ක බලනකොට ඒ සතුටේ ලොකු වෙනසක් තියෙනවා. අද නම් සම්මාන උලෙළක සම්මායක් පිරිනැමීම ගැන පුංචි හරි ඉඟියක් දෙනවා. එදා එහෙම නැහැ. අනික මගේ පළමු ගායනය. හීනෙකින්වක් හිතුවේ නැති අවස්ථාවක තමයි මට මගේ පළමු වැනි සම්මානය හිමි වුණේ. ඔබ ජනතාව අතරේ ජනප්‍රිය වුණෙත් එදාමයි? සම්මානය අතට ගත්ත මොහොත වෙනකල් කවුරුවත් මාව හඳුනාගෙන හිටියේ නැහැ. ඒ වුණත් සම්මානය අතට ගත් පසුව ‘කවුද නන්දා මාලිනි කියන්නේ’ කියලා හැමෝම හඳුනා ගත්තා. ඊට පස්සේ බෙන්තොටට තරු පායනවා නමින් දවස පත්තරේ ලොකු ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුණා. එහිදී මම ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය ගායනා කරනවිට බොහෝ දෙනෙක් මා හඳුනා ගෙන තිබුණා. නන්දා මාලිනි කියන්නේ කවුද කියලා රටටම හඳුන්වා දුන්නෙත් පළමු වැනි සරසවිය සම්මාන උලෙළයි. එදා මමයි නාරද දිසාසේකරයි රන්මුතු දූව චිත්‍රපටය වෙනුවෙන් ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතයේ ගායනය වෙනුවෙන් සම්මාන ලබද්දී පණ්ඩිත් අමරදේවයන් ගම්පෙරළිය චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ වෙනුවෙන් වගේම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ රන්මුතු දූව චිත්‍රපටයේ ‘පාරමිතා බල පූජිත’ ගීතය රනය වෙනුවෙන් සම්මානනීය වුණා. නමුත් රන්මුතු දූව චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළෙත් අමරදේව සර් වගේම ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය රචනා කළෙත් මානවසිංහයන් වීම විශේෂයි. මා මැදිකරගෙන අපි සිව්දෙනා පෙනී සිටින ලස්සන පින්තූරයක් සරසවිය පත්තරේ පළ වුණා. ඒ අවස්ථාව ගැනත් හරි අවබෝධයක් මට තිබුණේ නැහැ. ඒ වෙලාවෙත් මම මොනවා හරි කෑමක් කන ගමන් සිටියේ. ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය පටිගත කළ අවස්ථාව? එදා ආධුනික මා සමඟින් ඒ ගීතයේ යුග ගායනයට එක් වුණේ නාරද දිසාසේකර. ඔහු ඒවන විට ඉතාම ජනප්‍රිය ගායකයෙක්. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශබ්ද පරිපාලකවරයෙක් ලෙසත් සේවය කළා. මා පිළිබඳ වූ ලොකු විශ්වාසයෙන් පණ්ඩිත් අමරදේවයන් එදා මේ ගීතයට මා දායකකර ගත්තා. ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය පටිගත කළේ කොල්ලුපිටියේ පිහිටි සරසවි ශබ්දාගාරයේදීයි. එදා ශබ්දාගාර අද වගේ සවුන්ඩ් ෆෘෆ් නැහැ. ඒ නිසා රාත්‍රියේදී තමයි පටිගත කිරිම් කළේ. එතකොට වාහනවල ශබ්දයක් තියා කුරුල්ලෙක්ගේ හඬක්වත් ඇහෙන්නේ නැහැ. ඒ කාලයේදී මම මයික්‍රෝෆෝනයටවත් උස නැහැ. මර්වින් රොද්‍රිගු ශබ්ද පරිපාලකවරයා පොඩි පෙට්ටියක් ගෙනවිත් මයික්‍රෝෆෝනය ළඟින් තිබ්බා. ඒක උඩ නැගලා තමයි මම ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය ගායනා කළේ. ගීතය ආරම්භයට පෙර බෙල් එකක් වගේ වාදන භාණ්ඩයක් වාදනය කළා. මම ඒ වගේ එකක් ඊට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ. මම ඇස් දෙක ලොකු කරගෙන ඒක දිහා බලාගෙන හිටියා. “මේ වාදන භාණ්ඩය තියෙන්ගේ නාවික හමුදා වාදන කණ්ඩායමේ විතරයි. මේ ගීතය වෙනුවෙන්ම අපි ඒක ගෙනාවා ” කියලා අමරදේව සර් කිව්වා. එදා ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය පටිගත කරනවිටදී කිසිම බියක් දැනුණේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් ගීතය ගායනා කළා. දැන් නම් පරිණතකමත් එක්ක ගීතයක් ගායනයට පෙර පුංචි හෝ බයක් ඇති වෙනවා. අති සාර්ථක පටිගත කිරීමක් කියලා අමරදේව සර් කිව්වා. මේ වෙනුවෙන් පුහුණුවීම් කටයුතු කළේ රාජගිරිය මාදින්නාගොඩ පාරේ ශේෂා පළිහක්කාර සතුව තිබූ අලංකාර නිවෙසක. පළමු ගීතය වෙනුවෙන් සම්මානනීය වීමේ සතුට බෙදා හදා ගත්තේ කොහොමද ? අපේ පවුල වත්පොහොසත්කම්වලින් පිරි පවුලක් නොවෙයි. අම්මයි තාත්තයි අපි ජීවත්කරවන්න ගොඩක් දුක් වින්දා. මගේ ගායන හැකියාව ගැනත් ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ. ඉස්කෝලෙදි මම කවි කියනව අහලා අපේ පන්තිභාර ගුරුතුමිය එන් මාග්‍රට් පෙරේරා තමයි මා ගුවන්විදුලියේ සරස්වතී මණ්ඩපයට එක්කරගෙන ගියේ. එතැන්දී අමරදේව සර් වගේම කරුණාරත්න අබේසේකර අයියා මගේ ගායන හැකියාව හඳුනා ගත්තා. මේ අවස්ථාවට මඟ පෑදුනේ ඒ නිසා. සම්මානය ගත්තට පස්සේ අශෝක සිනමා ශාලාවේ සිට මම කොටහේනේ පිහිටි අපේ ගෙදරට ගියා. සම්මානය දැක්කම අම්මටයි තාත්තාටයි දැනුණේ පුදුමාකාර සතුටක්. එයින් පසුවත් සරසවිය සම්මාන ඇතුළුව තවත් සම්මාන රාශියකින් මා පිදුම් ලැබුවා. එහි ආරම්භය සනිටුහන් කළේ පළමුවන සරසවිය සම්මාන උලෙළවීම විශේෂයි.
|
||