වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය එදත් මගේ පිහිටට ආවා

සරසවිය එදත් මගේ පිහිටට ආවා

රංගන ශිල්පී චින්තක වාස්

පියාණන් වූ වින්සන්ට් වාස් චරිතාංග රංගවේදියකු ලෙස සිනමා ක්ෂේත්‍රයේ කොතෙකුත් රංගනයේ නියැලෙමින් දස්කම් පෑවද පුතණුවන් කිසි විටෙකත් රංගනයට අත්පොත් තබන්නට උත්සුක වූයේ නැත. තමන් රංගවේදියකු වූවා කියා කිසි විටෙකත් තම පුතු රංගනයට ගෙන යාමේ හුදු ආශාවක් පියාට ද නොවීය. එහෙත් දෛවය ඒ සියල්ල උඩු යටිකුරු කරමින් පුතණුවන් රංගනයට කැන්දාගෙන ආවේ චින්තක වාස් නම් රංග ශිල්පියෙකු අපේ කලා ක්ෂේත්‍රයට දායාද කරමිනි. මේ වන විට කලා ක්ෂේත්‍රය පුරා මෙන්ම පේ‍්‍රක්ෂක හදවත් තුළද කතාබහට ලක් වී ඇති මනෝජ් චින්තක වාස් හා කතාබස් කරමු.

ඉතිං චින්තක දවසින් දවස ප්‍රේක්ෂක හදවත් තුළට විවිධ චරිත ඔස්සේ ළෙන්ගතු වන ඔබ මේ දවස්වල කොයි ආකාරයෙන්ද ප්‍රේක්ෂක නෙතට සමීප වෙලා ඉන්නේ?

ඔක්ෂන් විජේරත්නගේ ගොළු තාත්තා ටෙලි නාට්‍යයේ වේරන්ගේ කොලුවා චරිතය ඔස්සේ මම පුංචි තිරයට ඇවිත් ඉන්නවා. පසුගියදා නිමාව දුටු ජැක්සන් ඇන්තනීගේ දස්කොන් ටෙලි නාට්‍යයේ අලගනායිදු කියන දෙමළ සංගීතඥයාට රඟපෑවෙත් මම.

අද වන විට ඔබ පුංචි තිරයේ පමණක් නොව සිනමාවේත් රංග ශිල්පියෙක් වී හමාරයි?

මේ දවස්වල සංජීව පුෂ්පකුමාරගේ බර්නිං බර්ත් මදර් චිත්‍රපටයේ ෂූටිං කරනවා ත්‍රිකුණාමලය, කන්තලේ ප්‍රදේශයේ.

ඔබේ සිනමාගමනය ඇරැඹුම කොයි ආකාරයෙන් ද සිද්ධ වුණේ?

මට මතක හැටියට 2008 වසරේ ජැක්සන් ඇන්තනි මහත්තයා අධ්‍යක්ෂණය කළ අබා චිත්‍රපටය තමයි මගේ සිනමා ගමනයේ තිඹිරි ගෙය. ඒ චිත්‍රපටයේ ගුම්බකබූතාට සිතින් ආලකම් පාන තෙදමු චරිතය තමයි මගේ මුල්ම චිත්‍රපට රංගනය.

චිත්‍රපටය තිරගත වන අවධියේ ඔබට ආරූඪ නමකුත් පටබැඳුනා?

ඔව්, ඔව්. තෙදමු ගුම්බකබූතාට ආල හැඟුම්පාන්න බටනලා වාදනයේ යෙදෙනවා. මේ නිසාම මට වස්දණ්ඩා කියලා නමකුත් පටබැඳුණා.

ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපට කීපයකම ඔබ කතාබහට ලක්වෙන චරිත නිරූපණයක නියැළෙනවා?

ජැක්සන් ඇන්තනීගේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ අපේ සමාජයේ සත්‍ය පුද්ගලයකුගේ චරිතයක් මම කරනවා. රම්බෝ කියලා ටියුබ් ලයිට් කන, කළුගල් උස්සන. මේ වගේ චරිතයක් චිත්‍රපටය තිරගත වෙන කොට රම්බෝගේ වැඩ කාටත් බලාගන්න පුළුවන්. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ සයිලන්ට් කෝට් චිත්‍රපටය අපේ රටේ සිදු වූ සත්‍ය සිදුවීමක් පදනම් කොට නිර්මාණය වූ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ මම කරන ඒ චරිත නිරූපණය මම කියනවාට වඩා චිත්‍රපටය තිරගත වෙන කොට කාටත් බලාගන්න පුළුවන්. යුක්තිය වෙනුවෙන් නීතිය අතට ගත් සැමියෙක්ගේ සැබෑ ජීවිත කතාව.

සිනමාවේ වගේම පුංචි තිරයේත් ඔබ රංගනයට එක් වුණේ සීමිත නිර්මාණ කීපයකට?

මම මුලින් කිව්ව නිර්මාණවලට අමතරව අනුරුද්ධ ජයසිංහගේ මායා රූ, යකඩ පහන් තිර, චාමර පීරිස්ගේ අයාල්, පියවි, යාය හතර, නාලන් මෙන්ඩිස්ගේ අංගනා, ජැක්සන් ඇන්තනීගේ යෙහෙළි.

යෙහෙළි තමයි ඔබේ රංගනයේ තිඹිරි ගෙය?

ඔව්. මගේ රංගන ජීවිතයේ ඇරැඹුම යෙහෙළි. අපේ රටේ සිරගත වූවන්ගේ සැබෑ පවුල් ඛේදවාචකය තිරයේ ප්‍රතිනිර්මාණය කළ යෙහෙළි තුළ මම කළ ඒ රංගනය ඇත්තටම මිනිස්සු තුළ දැඩි කම්පනයක් ඇති කළා. මත්කුඩු බොන, තමන්ගේ බිරිඳට ගහන, හදා වඩා ගත්ත අම්මට ගහන, මත්කුඩු බොන්න සල්ලි හොයන්න සමාජ විරෝධී දේවල් තුළින් තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කර ගන්නා මහා සමාජ ඛේදවාචකයක් සිද්ධ කරන පුද්ගලයෙක්ගේ චරිතයක් හරහා තමයි මම රංගනයට ආවේ.

යෙහෙළි විකාශය වන කාලයේ චින්තකට පාරෙ යන එකත් ප්‍රශ්නයක් වුණාලු නේද?

යෙහෙළි රඟපාන මම දිහා එදා මිනිස්සු බැලුවේ ඒ චරිතයේ මුහුණුවරින්. දවසක් මම බස් එකට නැග්ගා. දේවි බාලිකා විද්‍යාලය ළඟින් මම බස් එකේ ඉඳගත්ත සීට් එකේ අනික් පැත්තෙන් දුවෙක් එක්ක අම්මා කෙනෙක් වාඩි වුණා. ටික දුරක් ගියේ නැහැ, අම්මා මා දිහා පුදුමයෙන් බැලුවා කීප විටක්. දෙපාරක් හිතුවේ නෑ මම ළඟ වාඩි වෙලා හිටිය දුව එයා ළඟට ඇදලා ගත්තා මම මහ නරුමයෙක් කියලා හිතලා. සමහරු මගෙන් ඇහුවා ඇත්තටම උඹ ඔය විදියට රඟපාන්නේ ගෑනුන්ට ගහන්නේ ඇත්තටම කුඩු ගහලද කියලා. ඒ තරමට මම ඒ කළ රංගනය තාත්ත්වික වුණා. ඒ හින්දම ද කොහෙද මම දිහා ඒ දවස්වල සමාජය බැලුවෙත් වැරැදි ඇහැකින්.

කිසිදා රංගනයට නොයන්න සිටි ඔබ රංගනයට එක් වූ මතකය සිහිපත් කළොත්?

එඩ්වඩ් ජයකොඩි මහත්තයා ළඟ මම ටික කලක් සංගීතය ඉගෙන ගනිමින් සිටින අතරේ 2003 වසරේ සිංහල අලුත් අවුරුද්දට ස්වර්ණවාහිනිය මඟින් එහි මැදිරියක අලුත් අවුරුදු ගීත වැඩ සටහනක් පටිගත කළා. ඒ සඳහා එඩ්වඩ් ජයකොඩි මහත්තයාට ආරාධනා ලැබී තිබුණා. රෝහණ බැද්දගේ මහත්තයත් ඒ වැඩ සටහනට ඇවිත් හිටියා. එඩ්වඩ් සර් ළඟ සංගීතය හදාරන ළමයි තමයි වැඩි දෙනෙක් ඒ වැඩ සටහනට ගී ගයන්න ඇවිත් හිටියේ. ඔය අතරේ රෙකෝඩින් පටන් ගත්තා. මමත් අත්වැල් ගායනට එක් වෙලා ඉන්න කොට ජැක්සන් ඇන්තනි මහත්තයා කීප විටත් එතනට ඇවිත් මා ගැන විපරම් කරන්න වුණා. කිසිවක් ඔහු මට පැවසුවේ නැති වුණත් මා ගැන අවධානයකින් පසු වෙනවා කියන දේ මට වැටහුණා. ජැක්සන් මහත්තයා මම ඉගෙන ගත්ත ශාන්ත ජෝසප් විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ගුරුවරයාව සිටි නිසා එතුමාව මම පාසල් කාලයේත් දැක තිබුණා. හැබැයි කවදාවත් කතා කරලා එහෙම තිබුණේ නැහැ. පටිගත කරමින් සිටි වැඩසටහන ඉවර වුණාට පස්සේ මට හිතුණා අපේ ඉස්කෝලේ හිටිය සර්ව හමු වෙලා යන්න ඕනෑ කියලා.

මම එතුමා ළඟට ගිහින් වැඳලා මම කිව්වා සර් මම වින්සන්ට් වාස්ගේ පුතා. සර් අපේ ඉස්කෝලේ හිටියනේ, මම එඩ්වඩ් සර් එක්ක අවුරුදු වැඩසටහනක රෙකෝඩින්වලට ආවා කියලා. ඔය වෙලාවේ ජැක්සන් සර්ගේ ඇහැ තිබුණේ එක එල්ලේ මගේ මුහුණ දෙසට. මම සර්ගෙන් සමුගෙන එදා ගෙදර ගියා. පහුවදා එඩ්වඩ් සර්ගේ පන්තියට ආපුවහම එඩ්වඩ් සර් කිව්වා චින්තක ක්ලාස් එකෙන් පස්සේ පොඩ්ඩක් හමු වෙලා යන්න කියලා. මම ඉතිං සර් හමුවෙන්න හිටියා. ඒ පාර එඩ්වඩ් සර් කිව්වා චින්තක රඟපාන්න කැමැති නැද්ද කියලා. මම කිව්වා සර් අනේ මට ඕව බෑ, මම රඟපාලත් නැහැ කියලා. ඔය අතරේ චරිතා මිසුත් ඔතනට ආවා. චින්තක, සර් කියනවට කැමැති වෙන්න. ඔයාට බැරි වෙන එකක් නෑ. කෙනෙක් ඔයා ගැන අහනවා කියලා කිව්වා. පස්සේ චරිතා මිස් කිව්වා ජැක්සන් ඇන්තනි ඔයා ගැන අහලා තියෙනවා. ඔයාවම ඕනෑ කරන චරිතයක් තියෙනවලු. පිස්සු නැතුව ජැක්සන් හමුවෙලා බලන්න කියලා මට කිව්වා. රඟපාන්න මම අකැමැති වුණත් එඩ්වඩ්, චරිතා දෙපළගේ ඉල්ලීමට, අපේ ඉස්කෝලේ හිටිය සර් නිසාත් මම ජැක්සන් සර් හමුවන්න ස්වර්ණවාහිනියට ගියා. එතකොට තමයි මම දැනගත්තේ මේ වගේ ටෙලි නාට්‍යයක චරිතයකට මගේ හැඩරුව තියෙන කෙනෙක් අවශ්‍ය වෙලා තියෙනවා කියලා. කොහොම හරි පිටපත මට දුන්නා. කියවන කොට මට කරන්න පුළුවන් කියන සිතුවිල්ල ආවා. ජැක්සන් සර්ට බෑ කියන්නත් බැරිකමට මම කැමැති වුණා.

ඔබේ පියා මෙරට ප්‍රවීණ රංගවේදියෙක් වීම ඔබේ රංගනයට එය ආශිර්වාදයක් නොවෙයිද?

තාත්තා වින්සන්ට් වාස් කියලා මම කාගෙන්වත් රඟපාන්න ඉල්ලිම් කරලා නැහැ. මම කොහේවත් ගිහින් කියන්නෙත් නැහැ මගේ තාත්තා අහවලා කියලා. තාත්තාගේ හැකියාවට මාව කවදාවත් සම කරන්නත් බැහැ. මම එහෙම හිතන්නෙත් නැහැ.

ඔබ කුඩා කාලයේ සරසවිය පුවත්පත ඔබේ පිහිටට ආවා කියන කතාව මොකක්ද?

මට අද වගේ මතකයි. සරසවිය පත්තරයේ මගේ පින්තූරයක් දාලා ‘සරසවිය’ පුවත ඵල දරයි. වාස්ගේ පුතාට සහනයක්' යනුවෙන් කුඩා ලිපියක් පළ වී තිබුණා. මම මුලින්ම ඉගෙන ගත්තේ දියලගොඩ ශාන්ත සෙබස්තියන් කනිෂ්ඨ විද්‍යාලයේ. පස් වෙනි ශ්‍රේණියේදී අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් මා සමත් වෙලා කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට තේරුණා. 1988 දී මම කොළඹ අවේ කෝච්චියේ. එදා බේරුවල ඉඳලා කොළඹට කෝච්චියේ සීසන් එකට රුපියල් පනස් හතයි. මට මේ මුදලවත් නැති කරම්. අපේ තාත්තටත් මාව කොළඹ එවලා උගන්වන්න තරම් ආදායමක් තිබුණේ නැහැ. තාත්තා මේ බව කියලා ලිපියක් සරසවිය පත්තරයට එවලා තිබුණා. ඒක සරසවියේ පළ වුණා. ටික දිනකින් මගේ පාසල් ගමනට උදව් කරන්න කෙනෙක් ඉදිරිපත් වුණා. ඒ ප්‍රවෘත්තිය තමයි ඔය විදියට සරසවියේ පළ වී තිබුණේ. මගේ පන්තියේම හිටියා ශෙහාන් කියලා යාළුවෙක්. එයාගේ තාත්තා තමයි මට බේරුවල ඉඳලා කොළඹ එන්න හැම මාසෙම සීසන් එක අරන් දෙන්න ආධාර කළ පුද්ගලයා.

බේරුවලින් කොටිකාවත්තට පදිංචිය වෙනස් කරන්නෙත් ඔබ නිසාම නේද?

කොළඹ ඉස්කෝලේ එන්න පාන්දර මම නැගිටිනවා. තාත්තා හුළුඅත්ත බැඳගෙන කළුවරේ කෝච්චියට ඇරලවනවා. තාත්තා නළුවා නිසාම ස්ටේෂන් මාස්ටර් පවා තාත්තාව දන්නවා. මම ආපහු ගෙදර යනකොට පාන්දරින් ඇහැරෙන නිසා කොච්චියේම නින්ද යනවා. සමහරදාට මම බහින ස්ටේෂන් එකට ආවත් ඇහැරෙන්නේ නැහැ. කොහොම හරි දවසක් ස්ටේෂමේ කෝච්චිය නවත්තලා අද්දන්න හදන කොට මම යන්තම් එළියට පැන ගත්තා. මාව විසි වෙලා ගියා. මේක දැක්ක ස්ටේෂන් මාස්ටර් පහුවදා පාන්දර කෝච්චියට මාව එක්ක ආව තාත්තාට සිද්ධිය කිව්වා. ඒ පාර තාත්තා එහෙ ගෙවල් විකුණලා කොටිකාවත්තෙන් ඉඩමක් ගත්තා. මෙහෙ පදිංචියට ආවේ ඔය විදියට. අද ඒ ගෙදර මම ජීවත් වෙනවා.

චින්තකට තිබුණ ගොත ගැසීම සුව කළෙත් තාත්තා කියන්නේ ඇත්තද?

තාත්තා අපි පස් දෙනාම පල්ලියට කැප කරලා ආගම දහමට අනුගත විදියට තමයි හැදුවේ, වැඩුවේ. රෑ වෙන කොට අපි පස් දෙනා තාත්තා එක්ක ඔරසන් කියන්න ඕනෑ. ඔන්න තාත්තා මුලින් කියනවා. ඊට පස්සේ අපි කියන්න ඕනෑ. කොහොම හරි අනිත් හතර දෙනා අගේට කියනවා. මට නම් ගොත නිසා එක පාරට වචන එන්නේ නැහැ. ඒ අස්සේ අනික් අය මට හිනා වෙනවා. තාත්තාම හොරසන් කියලා චින්තක කියන්න කියනවා . එතකොට මම වචන එන්නේ නැතිව තටමන කොට තාත්තා කියනවා උඹට වචන එන වෙලාවට කියාපන් කියලා. ඔය විදියට කාලයක් හොරසන් තාත්තා එක්ක කියන කොට මගේ කටේ ගොතය ඉබේම නැති වුණා.

එඩ්වඩ් චරිතා යුවල වගේම ජැක්සන් ඇන්තනි මහත්මාත් ඔබගේ ජීවිතය උඩු යටිකුරු කළ පුද්ගලයන් විදියට ඔබ දකින්නේ කොයි ආකාරයටද?

මේ තුන් කට්ටුව මට මහා වස්තු තුනක්. හොඳ බහුශ්‍රැත දැනුමක් තියෙන මේ පුද්ගලයන්ගේ ඇසුර ලැබීම මා තුළ හොඳ හැදියාවක්, හොඳ සමාජගතවීමක් මට ලබා ගන්න උපකාර වුණා. මගේ අම්මා තාත්තා හැරුණු කොට මේ තුන් කට්ටුව මට දෙවිවරු. මේ අය නිසා මට බොහෝ පිරිස් හඳුනගන්න ලැබුණා. පණ්ඩිත් අමරදේව, නීලා වික්‍රමසිංහ, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, නන්දා මාලිනී. මේ අයගේ අත්වැල් ගායනයට පවා මට එක්වන්න ලැබුණේ එඩ්වඩ් සර්ගේ ආශ්‍රය නිසාමයි. මේ එඩ්වඩ් - චරිතා යුවල මට සැලකුවේ එයාලගේම දරුවෙක් විදියට.

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ බිරිය ආශා මධුශානි. ඇය මට හමු වුණේ පල්ලියේ ගීතිකා කියන්න ගිහින්. ඇයත් පල්ලියේ නිත්‍ය ගායිකාවක්. අපි දෙන්නාගේ ප්‍රේම සම්බන්ධයක් උඩ විවාහ වුණා. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ගීනෝද් ජෝසප්, මිනෝද් රෆායල් පුතාලා දෙන්නත්, විඳලි මරියේටා දුවත් මගේ දරු පැටව්.

චින්තක මේ වන විට දක්ෂතා පෙන්නා තිබුණද අඩු නිර්මාණයන් ගොන්නකට නේද ඔබ දායක වී සිටින්නේ?

ඒක ඇත්ත. මට ගණන් මිනුම් ප්‍රශ්න තියෙනවා. අපිට කතා කරන කවුරුත් කියන්නේ මල්ලි මේක කරන්නේ ලෝ බජට් එකකින්. පට්ට ලෝ බජට් එකකින් කරන නිසා පොඩි ගාණකට වැඩේ කරමුද කියලා අහනවා. මම එතකොට ඇහුවා අයියේ ඕක කරන්නේ පට්ට ලෝ බජට් එකකින් නම් අපි ගාණක් දෙන්න ඕනෙද රඟපාන්න කියලා.

මම කියන්නේ මේකයි. පරිප්පු කිලෝවකටත් මිලක් තියෙනවා. එහෙම නම් මටත් මිලක් තියෙන්න ඕනේ. නළු නිළියෝ වැඩි වුණාට ගාණ වැඩි වෙන්නේ නෑනේ. මේක අතින් දීලා රඟපාන අය ඉන්න කාලයක්. මම කැමැති නැහැ ටෙලි කම්කරු වෙන්න.

ඔබේ රංගනයට මිලක් තියෙනවා කියන එකද ඔය කියන්නේ?

මගේ ගාණට අඩුව මම මොනවත් දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මට දීල තියෙන මේ තලෙන්තුව මට ආභරණයක්. මේ ආභරණය නොමිලේ දෙන්න ඕනෑ තැනට මම අවංකව නොමිලේ දෙනවා. හැබැයි බොරුවට කවදාවත් අඩුවට නම් දෙන්නෙම නැහැ.