වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රථම නිවේදක ආරියදාස පීරිස් අතීතය සිහිපත් කරයි
වෙළෙඳ සේවයට හැට පස් වසරයි

ප්‍රථම නිවේදක ආරියදාස පීරිස් අතීතය සිහිපත් කරයි

මේ මාසයේ වනවිට වෙළෙඳ සේවයට වසර 65ක් සපිරෙනවා. එහි වෙළෙඳ සේවයේ පළමු නිවේදකයා ලෙස ගැනෙන්නේ ආරියදාස පීරිස් මහත්තයා. ඒ අතීතයේ සිදු වූ බොහෝ දේ පිළිබඳ ඔහු මෙසේ ආවර්ජනයක යෙදුණේ ය.

ලැඩී රණසිංහ, ආරියදාස පිරිස් කියන යහළුවෝ දෙන්නා මුණ ගැහෙන්නේ නාට්‍ය නිසා. රඟපාන්න ගිහින් හිතවත් වුණු මේ මිතුදම නිසා ම පසු කාලයේ ගුවන් විදුලියට සම්බන්ධ වුණ ලැඩීව සොයාගෙන ආරියදාසත් එහි නිතර ආවා ගියා. ඒ වනවිට රංගන ශිල්පියෙක් විදියට නාට්‍ය කිහිපයකට ම දායක වෙලා හිටිය ආරියදාස පීරිස්ට ගුවන් විදුලියට පාර පෙන්නන්නේ මේ මිතුදම. වෙළෙඳ සේවයේ ඔහුව සේවයට ගත්තේ වැඩසටහන් සහයක විදියට.

ඒ වනවිට වෙළෙඳ සේවයේ ගුවන් කාලයෙන් විකාශය වුණේ හින්දි හා ඉංග්‍රීසි වැඩසටහන්. එහෙන් මෙහෙන් සිංහල වැඩසටහන් ගියේ එකයි. දෙකයි. වෙළෙඳ සේවයට කොයිතරම් බාධා පැමිණියා ද කිව්වොත් ඒ දවස්වල තිබුණු පත්තරත් ඊට හරහට හිටියා.

“ ලංකාවට වෙළෙඳ සේවයක් උවමනා නැහැ. එකේ වෙළෙඳ දැන්වීම ගියාට පස්සේ හුළඟේ ගියා වගෙයි. අවසානයි. එහෙත් පත්තරේ දැම්ම ම හැමදාම තියෙනවා. ”

ඒ වනවිට වෙළෙඳ ප්‍රජාවගේ සිතේ මවලා තිබුණේ මේ වගේ මතයක්. මේ මතය ලැව් ගින්නක් වගේ යන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒ අවාසිය අවාසනාවට අවසන් වුණේ වෙළෙඳ සේවයෙන්. ඉඳලා හිටලවත් එන වෙළෙඳ දැන්වීමටත් තිත තැබුණේ ඒ විදියට. එහි අධ්‍යක්ෂ වුණේ ඕස්ට්‍රේලියානු ජාතික ක්ලිෆර්ඩ් ආර්. ඩොඩ්. ආරියදාස පිරිස් තරුණයට ඔහු දවසක් කතා කරලා කිව්වේ පුදුම කතාවක්.

“මට ඇමතිතුමා දුරකථන ඇමතුමක් දුන්නා. ඔහු කිව්වේ තවත් පැය හතළිස් අටක් දෙන්නම්. දැන්වීම් ලැබුණෙ නැත්නම් වෙළෙඳ සේවය වහන්න කියලා. ”

මේ කතාව ඇහුව ගමන් ආරියදාසටත් එලොව පොල් පෙනුණා.

“ ආරියදාස මොකක් හරි එක දැන්වීමක් අරගෙන එනවා. ඉතිරි ටික මම බලා ගන්නම්.”

ඩොඩ්ගේ කතාවට මොකක් හෝ කළ යුතුයි. ඔහු දස අතේ කල්පනා කළා. සුපුරුදු විදියට ගුවන් විදුලියට එන ගමන ඊළඟ දවසේ පාන්දර ම ආරියදාස අවසන් කළේ පිටකොටුවෙන්. එකක් නෑර එකික් එක සෑම කඩයකටම ඇවිද්දත් ඔහුට නොවෙයි වෙළෙඳ දැන්වීමක් ලැබුණේ.

“මොකක්ද මහත්තයා අර පත්තරවල කියලා තිබුණේ සම්පූර්ණ ඇත්තනේ. ඉතිං කොහොම ද අපි දැන්වීම් දෙන්නේ.”

මේ එක ම කතාව සෑම වෙළෙඳ සැලකින් ම ඇහුණා. ගෝල්ෆේස් එකේ මූදු වෙරළෙන් ඉර බැහැලා ගියා. එහෙත් තවමත් ආරියදාස පිටකොටුවේ. එදා දවසත් අවසන්. ඒ කියන්නේ පැය විසි හතරක්. තව තියෙන්නේ පැය විසිහතරයි. කාන් ක්ලොක් ටවර් එක ළඟ හිටිය ඔරලෝසු ව්‍යාපාරික වීරරත්න බ්‍රදර්ස් ආරියදාසට මතක් වුණේ අහම්බයෙන් වගේ. තරමක් හිතවත් කමක් තිබුණ නිසා ඔහු ඒකේ අයිතිකරුට මේ සිද්ධියේ ඇත්ත ම කිව්වා. කියලා ඉල්ලුවේ දැන්වීමක්.

“ ඊළඟ දවසේ නවයට එනවා.”

ආරියදාසගේ කතාව ඇහුව වීරරත්න බ්‍රදර්ස් ව්‍යාපාරයේ ලොක්කා කිව්වා. ආරියදාසගේ හිසේ මල් හතයි. ඊළඟ දවසේ හරියට ම නවයට ඔහු එතැන.

“ දැන් ලොක්කා නෑ. එකොළහට එනවා.”

පිටකොටුවේ රවුමක් ගහපු ආරියදාස ආයෙත් එතැනට ගියා.

“ හතරට එනවා. ”

ඒ අය ගැන තරමක් සැකයක් ඇති වුණත් ආරියදාස ඒ ගැන අමතක කළා. නැවතත් ඔහු හරියට ම හතරට ගියා.

“ වැඩේ හරිනය පාටක් නෑ වගෙයි ”

ඔහු ඔහුටමයි කොඳුර ගත්තේ. ඒ පාර නම් ආරියදාස නොවෙයි එතැනින් කොහේටවත් ගියේ. රෑ හත වුණා. අට වුණා. ලොක්කා තවමත් නෑ. රාත්‍රී දහයයි තිහයි. දැන්වීම ලැබුණා.

“වචන විසි පහක දැන්වීමක්.”

ආරියදාස හිතෙන් සිය පාරක් විතර කිව්වේ සතුට වැඩිකමට. වෙළෙඳ සේවයට එනවිට රාත්‍රී දොළහයි.

“ මිස්ටර් ඩොඩ් ඔන්න වචන විසිපහේ දැන්වීමක් ලැබුණා.”

ආරියදාස අධ්‍යක්ෂතුමාට පැවසුවේ රටක් රාජ්‍යයක් ලැබුණ කෙනෙක් වගේ.

“දැන් ඉතිං මං බලා ගන්නම්.”

ඔහු කිව්වේ එපමණයි. තවත් මොහොතකින් වහන්න හිටිය වෙළෙඳ සේවය යළිත් ඉපැදුණේ ඒ විදියට.

“පාවේ ලූබා ඔරලෝසුව විකිණීමට තිබේ. මේ වැඩසටහන බලාපොරොත්තු වන්න.”

වරින්වර වෙළෙඳ සේවයේ යන අපූරු දැන්වීම හැමෝගෙම සිත් අරගත්තා. ටිකෙන් ටික දැන්වීම් ආවා. ඒත් දැන් වැඩසටහන් උවමනයි. කිසිම දෙයක් වෙළෙඳ සේවයේ ඇත්තේ නෑ. අඩු ම ගණනේ ගීත ටිකක්වත්. පටිගත කිරීම් කරන ශිල්පියට කතා කළ ආරියදාස ස්වදේශීය සේවයේ යන ගීත පටිගත කරන්නැයි කිව්වා. ඒ වනවිට ඔහුගේ ඔළුවේ යමක් පිළිරැව් දුන්නා. ඊට පස්සේ වෙළෙඳ සේවයේ සංගීතයක් තිබෙනවා කියලා ප්‍රචාරය කළා. එදා ස්වදේශීය සේවයට වඩා හොඳ සින්දු ගොඩක් වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වුණා. ටිකෙන් ටික වෙළෙඳ සේවය අසන්නන්ගේ ගණන එන්න එන්න ම වර්ධනය වුණේ බලා ඉඳීද්දී.

“ මෙහෙම බලාගෙන ඉඳලා බෑ. තවත් මොනවා හරි කරන්න ඕනෑ.”

ආරියදාස තරුණ කොලු ගැටයා විවිධ විදියේ වැඩසටහන් නිර්මාණය කළේ තමන්ගේ හපන්කම් හැමෝටම ප්‍රදර්ශනය කරමින්. ඒ අතර තිබුණේ ආධුනික පැය, සුහද පැතුම්, ඔව් නෑ බෑ, මිනිත්තුවක් පමණයි, ජයග්‍රාහක පෙළපාලිය, අම්බිගා ගීතයෙන් ගීතය, පිබිදෙන ගායක පරපුර, එඩීගෙන් අහන්න, සමස්ත ලංකා මහා බයිලා තරගය ආදී වැඩසටහන් රැසක්.

මේ අතරින් ‘පිබිදෙන ගායක පරපුර’ කියන්නේ අද ඔබ බොහෝ ආදරය කරන ගායන ශිල්පීන් දොරට වැඩිය වැඩසටහනක්. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, රෝහණ බෝගොඩ, එඩ්වඩ් ජයකොඩි, මල්කාන්ති නන්දසිරි කියන්නේ ඉන් කිහිපදෙනෙක්. පිබිදෙන ගායක පරපුරෙන් තේරුණු හය දෙනෙක් එකතු කරලා කළ ‘ජයග්‍රාහක පෙළපාලිය’ ත් මේ වගේම දක්ෂයන් උපරිම තලයට ගෙනා වැඩසහනක්. ඉන් තෝරන්නේ එක් අයෙක්. ඒ හොඳම ගායකයා විදියට තේරෙන කෙනාට පාකර් පෑනක් තෑගි දුන්නා. ඒ විතරක් නොවෙයි මේ දිනුව කෙනාට ගුවන්විදුලියේ විනාඩි පහළොවක වැඩසටහනක් ලබා දුන්නා. මිල්ටන් වගේ ම ජෝතිත් ඒ අතර සිටිය වග ආරියදාස පීරිස්ට අද වගේ මතකයි.

විහාර මහාදේවි උද්‍යානයේ කළ ‘ගීතාංජලී’ කියන්නෙත් මේ වගේ සාර්ථක වුණු ගීත වැඩසටහනක්. ඇතුළ්වීමට අය කළේ රුපියලක ටිකට් එකක්. ඒ දවස අවසානයේ දාසය දාහක මුදලක් එකතු වෙලා තිබුණේ හැමෝම පුදුමයට පත් කරමින්.

මේ විදියට ඒ කාලේ වේදිකාවේ ජනප්‍රිය වුණු තවත් වැඩසටහනක් තමයි සමස්ත ලංකා බයිලා තරගය. මේ තරගය පැවැත්වුණේ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ. ඒ සඳහා තරගකරුවන් රැසක් ඉදිරිපත් වෙලා හිටියා. වොලී බැස්ටියන්, කොටුවේ රූබන්, කුසුම්පාල කියන ශිල්පින් මේ අය අතරින් විශේෂයෙන් කැපී පෙනුණා.

“ජයග්‍රාහකයා විදියට වොලීව තෝරන්න යනවලු. අපි අදිමු බාල්දියක්.”

තරගය පටන් ගන්නට පෙර ආවේ මේ වගේ බය හිතෙන ආරංචියක්. ඒ දැන් තරගය නවත්වන්නත් බැහැ. ප්‍රේක්ෂාගාරය කටකපලා. ආරියදාස පීරිස් වේදිකාවට ආවේ වේදිකාවේ දෙපැත්තෙම තිරය භාගයට ඇරැගෙන.

“ ඒයි ....... තිරය සම්පූර්ණයෙන් ම අරිනවා. අපට මුළු වේදිකාව පේන්න ඕනෑ. ”

තරගය නරඹන්න ආව අය අතර සිටිය මැරයන් පිරිසක් කෑ ගැහුවා. ආරියදාස පීරිස් තිරය ඇරියේ දෙපාරක් නොසිතාම. ඒත් හැමෝගේම හොඳට වගේ තරගයෙන් ජයග්‍රහණය කළේ වොලී නොවෙයි. ඒ නිසා එදා හැමෝමම වැලි බෝතල් වරුසාවෙන් යන්තමට බේරුණා.

“ ආරියදාස නෝ මෝ බයිලා, නෝ මෝ ෆිනිෂ් බයිලා.”

බොහොම බිය වෙලා සිටිය අධ්‍යක්ෂ ඩොඩ් ආරියදාස කිව්වා. ඒත් මේ කිසිම දේකින් නොවෙයි ආරියදාස පීරිස් අධෛර්යවත් වුණේ.

සතියේ මනාලිය වැඩසටහන ප්‍රචාරය වුණේ හවස දෙකට. පටිගත කිරීම් දහයට. ආරිදාස පීරිස් ඇතුළු පටිගත කිරීම් ශිල්පීන් බලාගෙන හිටියේ මනාලිය එනතුරු. පැය භාගයක් ගියා. පැයක් ගියා. මනාලිය පැත්ත පළාතකවත් නැහැ. මේ පැය දෙකට මනාලියක් හොයන්න යෑ.

“ දැන් මොකද දෙකේ වැඩසටහනට කරන්නේ.”

ආරියදාස පීරිස් දසඅතේ කල්පනා කළා. දෙකේ පැය ළංවුණා. ආරියදාස පීරිස් බීම් එකට ගියේ අසන්නන් ගැන සැබෑම ශෝකයෙන්. ඔහු සුපුරුදු විදියට වැඩසටහන ආරම්භ කළා.

“ අද මනාලියට හදිසි අසනීපයක් නිසා වැඩසටහනට එන්නේ නැහැ. ඒ නිසා ඔයාලට හොඳ සින්දු ටිකක් ලබා දෙන්නම්.”

එහෙම කියලයි එදා ආරියදාස පීරිස් යන්තමට ජාමේ බේරා ගත්තේ.

“ ඒ ආව ගමන ගැන සිහිපත් වනවිට මට අද දැනෙන්නේ බොහොම සංතෝෂයක්. එදා මම තමයි වැඩසටහන නිර්මාණය කළේ. නිෂ්පාදනය කළේ. නිවේදන කටයුතු කළේ. පිටපත ලිව්වේ. ඒ තනි මගේ උත්සාහයෙන් කළ කාර්යයයි අද දක්වා මේ පැමිණ තිබෙන්නේ.”

අතීත සිතුවිලි අතර ගිලිලා හිටිය ආරියදාස පීරිස් කියන සොඳුරු සිතැත්තා සමුගන්නට මත්තෙන් අවසාන මොහොතේ පැවසුවා. ඒ වෙළෙඳ සේවයට හදවතින් ම සුබ පතන ගමන්.