වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




විජය පිළිබඳ මගේ මතක සැමරුම්

විජය පිළිබඳ මගේ මතක සැමරුම්

අප හදවත් තුළ සදානුස්මරණීය මතකයක් ශේෂ කොට, එකසිය විස්සක් ඉක්ම වූ සිනමා නිර්මාණ ඔස්සේ ස්වකීය අනුහාසාත්මක (Charisma) රූපණ පෞරුෂය, ගැඹුරු ළයාන්විත රන් ස්වරය ජීවමාන කළ විජය කුමාරතුංගයන් කයෙන් සමුගෙන දැන් දශකත්‍රයකට අඩු තවත් තෙවර්ෂයකි. ඔහු අද ජීවත්ව සිටියා නම් හෙට දින (ඔක්තෝබර් 9) 70 වැනි වියට එළඹෙනු ඇත. එසේ වී නම් ඒ සොඳුරු රූපකාය කෙබඳු ස්වරූපයකින් අද්‍යතනයෙහි දිස් වේද? මම මොහොතක් කල්පනා කරමි. විජය අවසන් වරට රඟපෑ ‘මධු සිහින’ චිත්‍රපටයේ දිස් වූවාක් මෙන් (ඔහු එහි රඟපෑවේ වයස 70 ක පමණ වැඩිහිටි චරිතයකි) හිස දෙපස පලින් පල දක්නා ලැබෙන නර කෙස්වලින් ඔප වැටුණු පරිණත පියකරු රූපකාය ම සිත් හී මැවී පෙනිණ. මගේ පරම්පරාවෙන් විජය සමීපව ඇසුරු කිරීමට භාග්‍යය ලැබුණේ මට පමණක් විය හැකි යැයි සිතේ. එසේ සිතද්දී මා තුළ අපරිමිත සොම්නසක් සේ මැ දොම්නසක් ද දැනේ.

සොම්නස දැනෙනුයේ මගේ පරම්පරාවෙන් මේ උත්තම කලාකරුවා ඇසුරු කිරීමේ භාග්‍යය මට ලැබුණු නිසාය. දොම්නස මගේ පරපුරේ සෙස්සන්ට ඒ සුපෝෂණය, සෙනෙහස නොලැබුණු බැවිනි. විජය මා පියාණන්ගේ (ඒ. ඩී. රංජිත් කුමාර) සමීප මිතුරකු නොවන්නට මට ද ඒ භාග්‍යය නොලැබී යන්නට ඉඩ තිබිණි. ගාමිණි ෆොන්සේකා හැරුණු විට එදත් මෙදත් කවදත් මා වඩාත් ප්‍රිය කළ, මගේ කලා ජීවිතය කෙරෙහි වඩාත් බලපෑ රූපණවේදියා විජය කුමාරතුංග යැයි මෙහිලා පැවසීම අතිශයෝක්තියක් නොවේ. මා චිත්‍රපට නැරඹීමට මුලින් පෙලඹුණේ ද ඔහු නිසාය. විජයගේ චිත්‍රපට ගොන්නෙන් මා පළමුවෙන්ම නැරඹූ චිත්‍රපටය ‘සංගීතා’ය. ඒ 1981 මේ චිත්‍රපටය මුල්වරට ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වූ අවස්ථාවේදීය.

එවකට මා යාන්තම් පස් හැවිරිදි කුඩා දරුවෙකි. එකල මා ඔහුට කොතරම් ප්‍රිය කළා දැයි කිවහොත් චිත්‍රපටයේදී මැරවරයන් විජයට පහර දෙනු බලා සිටින්නට නොහැකි විය. එබඳු දර්ශන නරඹද්දී අසල සිටි තාත්තා වරින්වර මගේ දෙනෙත් වසමින් මා කුප්පනු පිණිස වෑයම් කරද්දී අර කී කෝපය දෙගුණ තෙගුණ වේ. මා අසුන්ගෙන සිටි කුඩා පුටුව ඔසවා මැරවරයන්ට පහර දීමට ඇත් නම් යැයි වරෙක මට සිතිණ. චිත්‍රපටයෙන් මා ප්‍රිය කළ මේ අසහාය නළුවා සැබැවින්ම මට දැක ගැනීමට අවකාශ ලැබුණේ 1980 වසරේදීය. එනම් විජය ධර්ම ශ්‍රී ගේ ‘ආරාධනා’ චිත්‍රපටයේ මගේ මවුන් (දමයන්ති ජයසූරිය) සමඟ ඔහු ගැයූ ‘සිනාවකින් පුතුගෙ මුවේ’ ගීතය දලුගම සරසවි චිත්‍රාගාරයේදී පටිගත කළ අවස්ථාවේදීය. විජය කුඩා මා වඩාගෙන මුල්වරට සුරතල් කළේ එදිනය. එවක් පටන් ඔහු ‘ආදරණීය විජය අංකල්’ විය. 1981 මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ පැවැති නළු නිළි ක්‍රිකට් තරඟය ද මගේ සැමරුම් අතර තිබේ.

 එදින තරඟය පැවැතියේ විජය කුමාරතුංගගේ පිල හා රවීන්ද්‍ර රන්දෙණියගේ පිල අතරය. කුඩා දරුවන්ට පුදුමාකාර සෙනෙහසක් දැක් වූ විජයගේ ඒ ආදරය එකල මටත් නොඅඩුව ලැබිණ. ‘මේ ඉන්නේ කවද හරි මගේ අනිවාර්ය ඡන්දයක්’ යැයි බොහෝ තැන්වලදී ඔහු මා තුරුලට ගනිමින් පැවසුවේය. එහෙත් මට ඡන්ද බලය හිමි වන විට විජය කුමාරතුංගයන් ජීවතුන් අතර නැත. කුඩා කාලයේ සිටම මා ඔහු අනුකරණය කිරීමට පෙලඹිණ. එනම් මම විජය මෙන් කොණ්ඩය පීරා ගැනීමට, ඇවිදීමට, දෙබස් කීමට, ගී ගැයීමට උත්සුක වීමි. මේ පුරුදු කෙතරම් දුර දිග ගියා ද කීවොත් පාසලේදී මගේ මිතුරන් ‘විජය’ යන අන්වර්ථ නාමය මා හට පටබැඳ තිබිණි. පන්තියේ ගුරුවරයකු නොමැති කල්හි විජයගේ චිත්‍රපටවල දර්ශන මිතුරන් ඉදිරියේ රඟපා පෙන්වීම මගේ පුරුද්දක් විය. අඩි 6 ක් පමණ වූ විජය මෙන් උස යන්නට මටත් හැකිනම් කියා සිතා මම කුඩා කාලයේ නිවසේ බාල්කවල එල්ලෙමින් උස යෑමට ප්‍රයත්න දැරීමි. දැන් මගේ උස අඩි 6 ක් වූයේ ඒ නිසා දැයි නොදනිමි. කුඩා කාලයේ මා පෝෂ්‍යදායක ආහාරයක් ගැනීමට මැළි වූ අවස්ථාවලදී අම්මා උපක්‍රමශීලීව මෙලෙස පැවසුවාය.

‘විජය අංකල් වගේ වෙන්න නම් මේ ගුණ කෑම ජාති කන්න ඕනෑ’. අම්මා එසේ කී කල මම ඕනෑම අහරක් ගැනීමට එකල මැළි නොවීමි. විජය කුමාරතුංගයන් පිළිබඳ සිහිපත් කරන කල්හි නිරන්තරයෙන් මා මතකයට නැඟෙන සිදුවීම් ද්වයක් තිබේ. එකක් 1986 වසරේ මැද භාගයේ පමණ සිදුවූවකි. එදවස ඔහු මා පියාණන් හමුවීමට එවකට අප පදිංචි වී සිටි දෙමටගොඩ ඩැනිස්ටර් ද සිල්වා මහල් නිවාසයට පැමිණියේ වීඩියෝ කැසට් පටයක් ද අතැතිවය. එවකට පැවති ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීමේ අවංක අරමුණෙන් විජය යාපනයේ සංචාරය කොට පැමිණ දින දෙකක් ගත වූවා පමණි. සිය යාපනය සංචාරයේ සම්පූර්ණ වීඩියෝ පටය ඔහු පළමුවරට නැරඹුවේ අප නිවසේදීය. විජය එහි දර්ශනයෙන් දර්ශනයට සියල්ල විග්‍රහ කළ ආකාරය දැනුදු මට මැවී පෙනේ.

එවකට දස හැවිරිදි කුඩා කොලු ගැටයකු වූ මා විජය පවසන දෙයින් ඔබ්බට යමක් ප්‍රශ්න කිරීමට තරම් මුහුකුරා ගොස් නොසිටීම ගැන අද දැනෙනුයේ කනගාටුවකි. අද ව්‍යාජයක්, කළුනික සෙවීමක් බවට පත් වී තිබෙන ‘ජනප්‍රියත්වය’, ‘සුපිරි තරුව‘ යන යෙදුම්වල සැබෑ අරුත් මා පසක් කොට ගත්තේ විජය කුමාරතුංගයන්ගේ ඇසුරෙනි. ඔහු අප නිවසට පැමිණි බොහෝ අවස්්ථාවලදී අසල්වැසි ජනතාවගෙන් හා සමරු පොත්වලින් ඔහුට ගැලවුමක් නැති විය. විජයගේ සිරුර අතපත ගෑමට, ඔහු සමඟ ඡායාරූප ගැනීමට ජනයා පොර කෑහ. වදෙන් පොරෙන් විජය කාරයට ගොඩ වී අප නිවසෙන් පිටත් වූයේ ද ඉතා අපහසුවෙනි.

එදා මෙදා මා ඇසුරු කළ කිසිදු නළුවකුට මෙබඳු ජනප්‍රියතාවයක් නොතිබූ බව මා පැවසීම ඔවුන්ගේ අමනාපයට හේතු නොවනු ඇත. විජය සහභාගී වූ ‘සමනල සිහින’ (1983 - බොරැල්ල රිට්ස් සිනමාහලේදී), ‘රන්දම්වැල්’ (1987 - බොරැල්ලේ රිට්ස් සිනමාහලේදී) යන චිත්‍රපටවල මංගල දර්ශනවලටත් ‘ජය අපටයි’ චිත්‍රපටය දින 100 ක් තිරගත වීම වෙනුවෙන් (1986 වැල්ලවත්තේ රොක්සි සිනමාහලේදී) පැවැති විශේෂ දර්ශනයටත්, වැල්ලවත්තේ සිලෝන් ඉන් හෝටලයේ පැවති ප්‍රිය සාදයටත් සහභාගිවීමෙන් මම ඔහුට තිබූ අසීමිත ජන ප්‍රසාදය පසක් කොට ගතිමි. සිනමා ශාලාවේ  O. D. C ආසනවල අසුන් ගෙන සිටි ප්‍රේක්ෂකයන් අසුන්වලින් නැඟිට තිරය සමීපයට ගොස් නොඉවසිල්ලෙන් උඩ බලා සිටින්නේ බැල්කනියට ප්‍රවේශ වන දොරටුවෙන් විජය එන තුරුය. විජය ප්‍රේක්ෂකයන්ට ආචාර කරමින්ම එහි පිවිසෙත්ම විනාඩි කිහිපයක් යන තෙක්ම සිනමා ශාලාව ප්‍රේක්ෂක අත්පොළසන් හඬින්, විසිල් හඬින් ඒකනින්නාද වේ. චිත්‍රපටය තිරගත කිරීමට විදුලි පහන් නිවා දමත්ම එය ඝෝෂාවකට පෙරළෙන්නේ තව තවත් විජය දකිනු රිසි ප්‍රේක්ෂකයන්ගේ උමතුව නිසාවෙනි.

මේ මා ඇස්පනා පිට දකිනුයේ දේශීය සිනමාවේ අවසාන සුපිරි තරුව (The Iast Super Star)  හා අවසාන සිනමා අධිරාජ්‍යයාගේ (The Last Emperor in cinema) ජනකාන්ත බව යැයි එදා මම කිසි ලෙසකිනිදු නොසිතිමි. අද මට සිතෙන්නේ මගේ ජීවිත කාලයේදී එවන් ජනකාන්ත නළුවකු, වචනයේ පරිසමාප්ත අරුතෙහිම සුපිරි තරුවක් යළි දැක ගත නොහැකි වන බවය. (මේ සිතුවිල්ල වෙනස් කිරීම නව පරපුරට පැවරෙන අභියෝගයකි) විජය පිට පිටම සය වරක්, (මිය ගිය පසුව ද වරක්) සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය.

ඔහු කිසි විටක තමාගේ මනාපය තමාට පළ කොට ගෙන ජනප්‍රිය නළුවකු වූයේ නැත. අද්‍යතනයෙහි ඇතැම් ජනමාධ්‍ය මඟින් එළිදක්වන ‘ව්‍යාජ’, ‘ඊනියා’ සුපිරි තරු තමන්ම තමන්ට S. M. S දමා ගනිති. නොඑසේනම් අන්‍යයන්ගෙන් S. M. S සිඟා ගනිති. මෙබඳු ව්‍යාජ උපක්‍රමවලින් විජය කුමාරතුංගලාට, එච්. ආර්. ජෝතිපාලලාට අභියෝග කළ හැකි, අතික්‍රමණය කළ හැකි සුපිරි තරු පහළ කොට ගත හැකි වීද? නව පරපුර ඊට අසමත් යැයි මම නොසිතමි. ව්‍යාජ ඔසවා තැබීම් පසෙකලා ඔවුන්ට නිවැරදි මඟ පෙන්වාදීමක් ලැබෙන සමාජ යාන්ත්‍රණයක් එහිලා අවැසිය. සමස්ත කලාවටම අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක්

විජය ලේඛකයා සමඟ

සැකසුණහොත් මේ ගැටලුවලට ද පිළියම් ලැබෙනු ඇත. සිනමා කලාවේ ජ්‍යේෂ්ඨ පරපුර හා නව පරපුර අතර ශක්තිමක් පාලමක් ඉදිවීම ද මෙහිලා අවැසිය. පෙර පරපුර නිවැරදිව කියවීම, හැදෑරීම ඉදිරියට යන නව පරපුරක අත්‍යවශ්‍ය කාර්යභාරයකි.

අමරසිරි කලංසූරිය නමැති ජ්‍යේෂ්ඨ රූපණවේදියා වෙනුවෙන් පසුගියදා පැවැති උපහාර උත්සවයට නව පරපුරෙන් සහභාගී වී සිටිනු මා දුටුවේ එක් නළුවකු පමණි. ඒ හේමාල් රණසිංහය. පෙර පරපුර ඇසුරු කිරීමට හා ඔවුන් නිවැරදිව කියැවීමට හේමාල් දරන තැත ඔහුගේ මතු දියුණුවට හේතු වනු නිරනුමානය. ගාමිණි ෆොන්සේකා තමාට ජ්‍යේෂ්ඨ, මහා රූපණ පෞරුෂයක් වූ ලැඩී රණසිංහ හොඳින් හැදෑරුවේය. විජය කුමාරතුංග නමැති මහා රූපණවේදියා තමාට වඩා ජ්‍යේෂ්ඨ ගාමිණි ෆොන්සේකාගෙන් ආභාසය ලැබුවේය. ‘මා නළුවකු වූයේ ගාමිණි නිසා’ යැයි විජය කුමාරතුංගයන් ප්‍රසිද්ධියේ සෘජුවම පැවසුවේ මා පියාණන් ලියූ ‘ගාමිණි හෙළ සිනමාවේ සක්විති’ ග්‍රන්ථය 1986 අප්‍රේල් මාසයේ කොළඹ නව රඟහලේදී දොරට වැඩිදා පැවැත් වූ දේශනයේදීය. මේ නළු පරපුර එකම දම්වැලක පුරුක් සේ එකිනෙකාට යා වී ඇත. මොන යම් හේතුවකින් හෝ දම්වැල බිඳී ගියහොත් ප්‍රාදුර්භූත වනුයේ ආතක් පාතක් නැති ආකස්මික නළු නිළියන්ය. එකල ඔවුන්ට අක් මුල් නැත. අක් මුල් නැති කල්හී උපන් මහ පොළොවට සවි නොවේ. බොලිවුඩයේ අමීර් ඛාන්ලා, ෂාරුක් ඛාන්ලා තමන්ගේ ස්වාධීන රූපණ අනන්‍යතාව උද්දීප්තිමත් කරගනු පිණිස පෙර පරපුරෙන් ලබන අනුප්‍රාණය මෙරට නව පරපුරේ අධ්‍යයනයට ලක් වනු වටී.

එකල කුඩා මා 1983 සිට 1987 දක්වා සෑම සරසවිය සම්මාන උලෙළකටම සහභාගි වූයේ විජය කුමාරතුංගයන් සම්මානයට පාත්‍ර වන ආකාරය සියැසින් දැක ගැනීමේ ඉමහත් අභිරුචියෙනි. වසරේ ජනප්‍රිය නළුවා ලෙස විජයගේ නම කියැවෙන තැන් පටන් සම්මානය ලබා ගෙන ඔහු යළි අසුන් ගන්නා මොහොත දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගිගුම් දෙන අත්පොළසන් හඬ තවමත් මා දෙසවනෙහි රැඳී තිබේ. නා නා විධ පැහැයේ කුර්තාවන්ගෙන් (සාටකය සහිත) සැරසී සිනාමුසු මුහුණින් ඔහු වේදිකාවට නැඟුණු කළ එය පිරුණු ස්වභාවයක් දිස් වේ.

විජය තරම් දැකුම්කලු, ආකර්ෂණීය නළුවකු මෙතෙක් මගේ ජීවිත කාලය තුළ මා දැක නැත. ඔහුගේ රූපකායට කාන්තාවන් වශීකෘත වීමෙහි කිසිදු අරුමයක් නැත. බාල, තරුණ, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව සෑම දෙනාම පාහේ ඔහුට ආකර්ෂණය වූ බැවිනි. විජය මල් යහනාවක සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ නළුවකු නොවේ. ඔහු සිනමා ජීවිතය හා දේශපාලනය වෙනුවෙන් අපරිමිතව කැප වූයේය. එකල්හී විජය නිසි කලට ආහාර ගැනීම, අව්ව, වැස්ස පවා නොතකා දුෂ්කර ක්‍රියා කළේය. ඔහු කළ දුෂ්කර ක්‍රියා වෙනත් නළුවකු කළේ නම් ඔහුගේ සිරුර වැහිරී යනු නියතය. එහෙත් විජය මිය යන තුරු විජයගේ බාහිර රූපකාය පැවතුණේ අධි සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කළ, කිසිදු වෙහෙසක් දිස් නොවූ ප්‍රබෝධවත් මිනිසකු පරිද්දෙනි. එතරම්ම රන්වන් පැහැයෙන් බැබළෙන, අසාමාන්‍ය සුන්දරත්වයක් විජයගෙන් පිළිබිඹු වූයේ ඔහු අකල් මරණයක් උරුම කොට ගත් නිසාදැයි මම නොදනිමි.

වරක් මා පියාණන් හා ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක නැසීගිය පීටර් පෙරේරා සමඟ එදා පොල්හේන්ගොඩ පිහිටි විජයගේ නිවසට ගිය ගමන ද මට අමතක නොවේ. ඔහු උපතින් කතෝලික ආගමට අයත් වුවත්, සෑම ආගමකට දහමකටම ඉතාමත් ගරු කළේය. ගාමිණි ෆොන්සේකාගේ 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් 1986 කොළඹ ගංගාරාම විහාරයේ පැවැති බෝධි පූජාවට ඔහු පැමිණි දා බුද්ධ වන්දනාව කළ ආකාරයෙන් ඒ බැව් මට පසක් විය. විජය මෙන් ජාති, ආගම්, කුල භේදයකින් තොරව ජනතාවට ආදරය කළ මානව හිතවාදී කලාකරුවකු මා තවමත් දැක නැත. විජය තුළ තිබූ ශූර උපහාස කතා කීමේ හැකියාව දැන සිටියේ සමීපතමයන් පමණකි. විවේකීව සිටි බොහෝ අවස්ථාවල ඔහු අසීමිතව පොත පත කියැවූයේය. එක් දිනක් මාරි සීටන් ලියූ A Portrait of a Director Satyajit Ray නමැති ග්‍රන්ථය ඔහු කියවනු මම දුටුවෙමි. විජය කුමාරතුංගයන් අවසන් වරට මට හමු වූයේ 1986 නොවැම්බර් 28 වැනිදාය. එදින එවකට අප විසූ නිවසේ රාත්‍රී සාදයකට ඔහු සහභාගී වූයේය. හිටපු සරසවිය ප්‍රධාන කතුවරියක වන දීප්ති ෆොන්සේකා හා ඇගේ සැමියා වූ ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකා ද මීට එක් වූහ. එවකට දස හැවිරිදි වියෙහි පසු වූ මම දෙවැනි මහලේ පිහිටි සදලු තලයෙන් විජය එනතුරු නොඉවසිල්ලෙන් මඟ බලා සිටියෙමි.

මඳ වේලාවකින් කාරයක් පැමිණ මිදුලේ නතර විය. රියැදුරු අසුනින් බැස්සේ එතුමාය. කළු සිහින් ඉරි සහිත සුදු කමිසයකින් හා කළු කලිසමකින් සැරසී (ඝාතනයට ලක් වූ 1988 පෙබරවාරි 16 වැනිදා විජය සැරසී සිටියේ ද මේ ඇඳුමෙනි. එදා මුළුමනින්ම රත් පැහැයට හැරී තිබුණේ ඒ සුදු කමිසයමදැයි සිතූ කල්හි ජීවිතයේ අනියත බව පසක් වේ.) ඔහු තමාටම ආවේණික වූ අපූර්ව ගමන් විලාසයෙන් අපේ නිවස දෙසට පැමිණෙමින් සිටියේය. මා වහාම සඳලුතලයෙන් මෑත් වී නිවසෙහි දොර දෙසට දිව ගියේ විජය පිළිගැනීමේ අටියෙනි. මඳ වේලාවක් ගත වූ නමුදු ඔහු පෙනෙන්නට නොමැත. නැවතත් මම සඳලුතලයට ගොස් පහත බැලීමි. අප නිවසට පහළ නිවසේ එක් අවුරුදු වයසැති කුඩා දැරියක් සිටි අතර ඇය මුවෙහි සූප්පුවක් ගසාගෙන සිටියාය. විජය ඇයගේ මුවෙන් වරින් වර සූප්පුව උදුරමින්, ඇය වඩා ගනිමින්, සුරතල් කරමින් සිටිනු මම දුටුවෙමි. ඔහු කෙතරම් ඉක්මනින් කුඩා දරුවන් හා සමීප වීද? උපාලි අයියාගේ කැමරා කාචයට පින් සිදු වන්නට විජය කුමාරතුංගයන් මා තුරුලු කොට ගෙන සිටින ඡායාරූපයක් (මෙහි පළ කොට ඇත්තේ ඒ සේයාරුවයි) මට ත්‍යාගයක් ලෙස ලැබිණ.

1988 පෙබරවාරි 16 වැනිදා මහා සිව රාත්‍රී දිනයක් වූ හෙයින් එදින පාසල් නිවාඩු දිනයකි. මිතුරු කැල දෙළොස් හැවිරිදි මා සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී වරින්වර මට දක්නට ලැබුණේ දෙමටගාඩ මහල් නිවාසයේ පිහිටි නිවාසවල වැඩිහිටියන් තැන් තැන්වල කණ්ඩායම් සැදී බරපතළ කරුණක් සාකච්ඡා කරමින් සිටින බවය. කුමක් හෝ අනතුරක සේයාවක් ඉව වැටුණු බැවින් මම සෙල්ලම් කිරීම නවතා නිවස වෙත ගියෙමි. අම්මාගෙන් මට දැන ගැනීමට ලැබුණේ කිසිදා ඇදැහිය හැකි දෙයක් නොවේ. එනම් මා සදාදරණීය ‘විජය අංකල්’ ඝාතනයට ලක් වී ඇති බවය. විජය වෙනුවෙන් සරසවිය විශේෂ කලාපයක් නිකුත් කිරීමට සිදු වූ බැවින් තාත්තා එදින නිවසට පැමිණියේ රාත්‍රියේය. තාත්තාත්, අම්මාත්, මාත් කිසිවක්ම කතා නොකොට ගල් පුවරු 3 ක් සේ සිටි එවන් දිනයක් මට තවත් මතක නැත. අපට එදින ආහාර ගැනීමට පවා අවශ්‍යතාවක් නොතිබුණි.

නිවසේ දැඩි නිහඬතාව වරින් වර බිඳ වැටුණේ දිගු සුසුම්වලින් පමණි. විජය කුමාරතුංගයන් කෙරෙහි මා සිත තුළ පැවැති අපරිමිත ගෞරවය, ආදරය අදත් එසේමය. ‘ඔහු ජීවත්ව සිටියා නම්’ කියා නොසිතුණු දින පසුගිය 27 වසර පුරා තිබුණේ නම් ඒ ඉතා අඩු ගණනකි. ඒ රික්තය පිරවිය හැක්කක් ද? විජය කුමාරතුංග නමැති රූපණවේදියා හා ඔහුගේ රඟපෑම් පිළිබඳව මම මින් ඉහත නොයෙක් තැන්වල කියා ඇත්තෙමි, නොයෙක් ලිපිවල ලියා ඇත්තෙමි. විජය හා මා අතර පැවති සමීප ඇසුර ගැන මෙලෙස මා ලීවේ පළමු වතාවටය. කුඩා කාලයේ සෙල්ලමට සිනමා පුවත්පත් සැකසීම මගේ සිරිතකි. මුළු සිනමා පුවත්පතම මගේ අතින් ලියැවේ. ඊට උචිත සේ ඡායාරූප යෙදීම, රූ රටා සැලසුම් මගේ අතින් නිමැවිණ. එම සිනමා පුවත්පත්වල පිට කවරය බහුල ලෙස සැරසෙන්නේ මගේ ප්‍රියතම නළු විජයගේ සේයාරුවකිනි. මෙලෙස අතින් ලියූ පත්‍ර ඔහු අප නිවසට පැමිණි අවස්ථාවක මම පෙන්වීමි. විජය මා තුරුලු කොට ඒවා කියවා බලමින් මට මෙසේ කීවේය.

‘නුවන් පුතා කවද හරි මට සල්ලි දීලා ගන්න පුළුවන් පත්‍රවල ලියන්න. මිලදී ගන්න පුළුවන් පොත් ලියන්න’

විජයගේ ආශිර්වාදය එදා ලත් මම පසු කාලයේ මිල දී ගත හැකි පුවත්පත්වල අනේකවිධ ලිපි ලීවෙමි, ග්‍රන්ථ 10 ක් ලියා පළ කළෙමි. එහෙත් ඒවා මිලට ගෙන කියවීමට මා සදාදරණීය ‘විජය අංකල්’ මා ළඟ නැත.