වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




අපි නොදකින හිඟන ලෝකය

අපි නොදකින හිඟන ලෝකය

ලංකාවේ සිනමාව උපදින්නේ ම මුලාශ්‍ර සහිතවයි. පසුගිය වකවානුවේ ජනප්‍රිය වුණේ ඉතිහාසය මූලාශ්‍ර කර ගත්ත සිනමාපටයි. ඒ වංශ කතා ඉතිහාසය හා ජනශ්‍රැතික ඉතිහාසය වශයෙන් මූලාශ්‍ර ගතවුණා. ජාතක කතා, බෞද්ධ සාහිත්‍යය හා බුද්ධ චරිතය මූලාශ්‍රකර ගත්ත නිර්මාණත් ඒ අතර තිබුණා. ඒ වගේ ම ඩබලිව්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, ගුණදාස අමරසේකර ආදී දේශීය සාහිත්‍යධරයන්ගේ පමණක් නොවෙයි දොස්තොවුස්කි, ගෝර්කි හා පුෂ්කිං ආදී විදේශ සාහිත්‍යධරයන්ගේ නවකතා හා කෙටිකතා ඇසුරින් අද දක්වාමත් චිත්‍රපට නිර්මාණය වෙනවා.

ඒ අතර කිසිදු මූලාශ්‍රයකට ආභාසයක් නොවී තම ජීවිත පරිඥානය මත ම ගොඩනැඟුණු පූර්ණ ස්වතන්ත්‍ර නිර්මාණ ගොන්නකුත් සිංහල සිනමාවේ තිබෙනවා. ප්‍රවීණ නළුවෙක් වගේ ම අධ්‍යක්ෂවරයෙක් වුණු ජැක්සන් ඇන්තනීගේ ‘ඇඩ්‍රස් නෑ’ කියන්නේත් ඒ ගණයට අයත් වන චිත්‍රපටයක්.

“ පූර්ණ ස්වතන්ත්‍රයක්. මේ නිර්මාණය සඳහා පදනම් වුණේ මගේ අත්දැකීම්. මගේ හැදෑරීම් සහ මගේ ම පරිකල්පන. පුංචි කාලයේ ඉඳලා මං අහිංසක හිඟන මිනිස්සුන්ට ළං වෙන්න කැමැති වුණා. මං ඒ ගුබ්බෑයම්වල ඇවිදින්න ගිහින් තියෙනවා. ඔවුන් සමඟ කතිකා කරලා තියෙනවා. ඒ මූණු දිහා බලන් ඉන්න මං ප්‍රියයි. ඒ මූණුවල හැඟීම් උතුරනවා. පොඩි කාලේ ඉඳලා මං ඒ මූණු කියවන්න පුරුදු වුණා. මා හිඟන ප්‍රජාව අධ්‍යයනය කළා. සමාජ විද්‍යාව මං ප්‍රිය කළ විෂයයක්. ලංකාවේ සමාජ විද්‍යා අධ්‍යයනවල දුර්වල බව හෝ සිඟන ජන ප්‍රජාව නියැදි කර තිබෙනවා. මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ පර්යේෂණ ඉතා වැදගත්. එතුමන් සිඟන්නන් පිළිබඳ කළ සහභාගීත්ව නිරීක්ෂණය මගේ ජීවිතාවබෝධය පුළුල් කළා.”

‘ඇඩ්ඩ්‍රස් නෑ’ ගැන ජැක්සන් ඇන්තනී කිව්වේ එහෙම කතාවක්.

අපි නො දකින හිඟන ලෝකය, අපි හිතනවාටත් වඩා භයානකයි. සිඟන්නන් අහිංසකයි. ඔවුන්ව සමාජ අපචාරවලට යොදවන තැරැව්කරුවන් විෂමචාරයි. ඒ නිසා ආලෝකය ඉපදුණ දා අන්ධකාරය ඉපදුණා. ඇත්ත ඉපදුණ දවසේ ම බොරුව ඉපදුණා. පොහොසක්තම ඉපදුණ දාම දුප්පත්කම ඉපදුණා.

මේ නිසා
මේ බජාර් එකට මල්ලි,
අහසත් නෑ.
පොළවත් නෑ.
ඇඩ්ඩ්‍රස් නෑ.

ජැක්සන් මේ රස්තියාදු වචනයට ලොකු සමාජ, දේශපාලන අර්ථයක් දෙනවා.

කවුද මේ ඇඩ්ඩ්‍රස් නැති මිනිස්සු. ඒ විදියේ අදහසක් ඔබගෙත් සිතේ ඇති වෙන්න පුළුවන්. සිඟන්නන්, වීදි දරුවන්, වීදි වෙසඟනන්, කුලියට මිනී මරන්නන්, සොරුන්, මංකොල්ලකරුවන්, ගැට කපන්නන් මේ කියන හැමෝමට ම ඇඩ්ඩ්‍රස් නෑ. මේ අයව ජන සංගණනවලට අහු වෙන්නේ නෑ. ඡන්ද ලැයිස්තුවලට ඇතුළත් වෙන්නේ නෑ. මන්ත්‍රීලා නෑ. ග්‍රාමසේවකලා නෑ. පල්ලි නෑ. පන්සල් නෑ. ඉස්කෝලේ නෑ.

මේක රස්තියාදු වචනයක් තමයි.

ලුම්පන් පන්තියට හෙවත් නන්නත්තාරික නිර්ධන පන්තියට හෙවත් පාදඩ පන්තියට අලුත් වචනයක් ඇඩ්ඩ්‍රස් නෑ.

නාසිවත්තේ හිට්ලර්, පින්සාර මුදලාලි, චැප්ලින්, සුභා, කපිල, සන්ධ්‍යා, ගෝරිං, ඇඹිලිපියේ කරා ඇඩ්ඩ්‍රස් නැති කතාවේ ප්‍රධාන චරිත කිහිපයක්. ගොඩ්ඩිං, සිරිමල්, සුන්දර, ගංගියා සහ සේන මල්ලියා මල පොතේ අකුරක් නොදන්න අහිංසක වීදි දරුවන්. අනාගත පාතාලයේ උරුමක්කාරයන්. විස්කි, රම්බෝ, මුම්ටාස්, අබ්ලික් උපාසක ගුබ්බෑයමේ ළඟින අහිංසක හිඟන්නෝ ටිකක්. අබිලික්ගේ අබලි වාහනේ උන්ව නියමිත තැනට අරගෙන යනවා.

සියලු ම අහිංසකයන්, මැරයන්, පෙම්වතුන්, ශිෂ්‍යයන්, තැරැව්කරුවන්, එක ම කතාවේ පැටලෙනවා. මේ අහිංසකයන්ව විනාශකාරි රූකඩ ලෙස නටවන්නේ අදෘශ්‍යමාන හස්තයක්. ඒ සද්ගුණවත් දානපතියෙක්. මේ කට්ටියේ ඉන්න සුන්දරම කෙල්ලෙක් වුණු සුභාගේ පියා චැප්ලින් නොවන වග හෙළි වෙනවා. ඉතිං ඊට පස්සේ මොකක් වේවිද?

ඒක දැන ගන්නම් නම් ඔබට මේ මාසේ පහළොස් වැනිදා වෙනතුරු ම ඉන්න වෙනවා. ඒ ඇඩ්ඩ්‍රස් නෑ තිරගත වෙන්න ආරම්භ වෙන්නේ ඒ දවසේ නිසා.

එන්න ඔබත් එදාට ඒ ගැන දැන ගන්න පුළුවන්.

ඇඩ්‍රස් නෑ.

ඇඩ්ඩ්‍රස් නැති කතාවේ ඇඩ්ඩ්‍රස් නැති අය

කතාව, දෙබස්, තිරරචනය සහ අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනී

සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල

ඇඳුම් ආයිත්තම් නිර්මාණය - නිමල් සෝමරත්න

කොණ්ඩා සැකසුම් - රුචිර දිනේෂ් කහඳ

වේශ නිරූපණය - හර්ෂ මංජුල

කලා අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න

සහය අධ්‍යක්ෂණය - සරත් සේනාරත්න

කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

ගේයපද රචනා - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීත නිර්මාණය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනා - නිරෝෂා විරාජිනී, නෙලූ අධිකාරී, ගයාන් පෙරේරා

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

විධායක නිෂ්පාදනය - නිලූකා මාරසිංහ

නිෂ්පාදනය - ජනිත මාරසිංහ