වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




‘මා දුටු ලොව ලස්සනම මිනිසා’

‘මා දුටු ලොව ලස්සනම මිනිසා’

විජය ශ්‍රීමතාණන් මට හමු විය . . .!

සිත අලවන - කර්ල් කෙහුරු විලාසිතාවෙන් ද . . .

මන බන්ධන - එක බැල්මෙන් ද . . .

අල්ලි හයක - උසකින් ද . . .

නළලේ සිට - පාදාන්තය දක්වා චර්ම වර්ණය රන් - කහ පැහැයෙන් ද . . .

කාන්තාවන් පමණක් නොව - පුරුෂ පක්ෂය ද . . .

දපනේ වැටෙන, මන මෝහනීය සිනහාවෙන් ද . . .

දුටුවන් වශීකෘත කරවන රිද්මයානකූල ගමන් විලාසයකින් ද හෙබි,

මේ උත්තුංග දේහධාරී - කඩවසම් බවින්

අගතැන්පත් වූ, ඒ සියල්ලටම වඩා නිහතමානීත්වයෙන් අනූන - 'මා දුටු ලොව ලස්සනම මිනිසා' - විජය කුමාරණතුංග නොව, විජය කුමාරතුංගයි.

එතුමා 'විජය කුමාරතුංග' බව මා සැකහැර දැනගත්තේ, විජය කුමාරතුංග ගෙන්මයි.

ඒ 1983 දී 'පෙරළිකාරයෝ' රූ ගන්වන ගම්පොළ සිට ඉහළට යන පුපුරැස්ස පාරේ, මදහාසේ ගෑවෙන, සීතල කඳු මුදුනක පිහිටා ඇති දර්ශන තලයේදීය.

ඉන් වසර හයකට පෙරාතුව - එනම් 1977 වසරේ ලංකා චිත්‍රාගාරයේදී විජය ශ්‍රීමතාණන් මට හමු විය. එදා පටන් කිට්ටුවන්ත ඇසුරක් පැවැත්වීමට තරම් අවකාශයක් නොලද මා හට, ලංකා චිත්‍රාගාරයේ මෙන්ම හැඳල විජය චිත්‍රාගාරයෙත්, දලුගම සරසවි චිත්‍රාගාරයේත් විජය මහතා වරින් වර මුණ ගැසුණු වාර ගණන් කළ හැකිය.

විජය මහතාගේ රූගැන්වීමක් හෝ දෙබස් කැවීමක් වෙතොත්, මගේ වැඩසටහන පසෙකට දමා, මා එතැන පැල පැදියම් වීම වැළැක්විය නොහැකි විය.

එහෙත්, ඔහු සමඟ දීර්ඝ වශයෙන් ඇසුරක් පැවැත්වීම උදෙසා නිවැරැදි අත්තිවාරමක් දමා ගැනීමට මාගේ 'ශූර බුද්ධිය' අපොහොසත් විය. ඔහු අල්ලා ගැනීම ගාමිණී ෆොන්සේකා මහතාව අල්ලා ගත්තා තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. විජය මහතාව අල්ලා ගැනීමට මා 'දැල්' පමණක් නොඑලුවා පමණි.

ඒ මන්ද යත්, එම වකවානුව සැබවින්ම විජය මහතාට කාර්යබහුල කාලයක් වූ බැවිනි. ඒ විජය - මාලිනී යුගයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයයි.

සියලු නළු - නිළියන් ගොඩ බහින - චිත්‍රපටකාරයන්ගේ විනෝද සාගරයක් වූයේ, විශේෂයෙන්ම ලංකා චිත්‍රාගාරයයි. එහි දිනකට චිත්‍රපට හයක හෝ හතක වැඩ කටයුතු කෙරෙන්නේ 'කඩිගුලක්' ඇවිස්සුණු ආකාරයෙනි.

රූගන්වන දර්ශන තල දෙකක් ද - සංස්කරණ මැදිරි දෙකක් ද ශබ්දාගාරයක් ද - කළු - සුදු රසායනාගරයක් ද ලංකා චිත්‍රාගාරය සතුව ඇති අතර - විජය මහතා කෙතරම් කාර්යබහුල ද යත්, යම් දිනවල දර්ශන තල දෙකේම චිත්‍රපට රූගැන්වීම් සඳහා පෙනී සිටින අතර - තවත් පැය කිහිපයක් - වෙනත් චිත්‍රපටයක දෙබස් කැවීම් සඳහා වෙන් කොට දී - ශබ්ද පරිපාලක නිමල් වීරක්කොඩි මහතාගේ ශබ්දාගරය වෙත, අඩියට දෙකට දුවනවා මා දැක ඇත. එමෙන්ම, එතුමා රඟපෑ චිත්‍රපටයක, සංස්කරණය වෙමින් පවතින ගීත ජවනිකාවක් - මේ අල්ල - පනල්ලේ සංස්කරණ මැදිරියට රිංගා නැරැඹීමට ද විජය අමතක නොකරයි. ඊළඟ ජනිකාවට, වේශ නිරූපණ ශිල්පී ඩෙරික් ද සිල්වා මහතා විජය මහතාට 'ටච්-අප්' කරන්නේ විජයගේ පස්සෙන් පන්න පන්නා යමිනි.

හදිසියේම - 1983 වසර විජයට අඳුරු යුගයක් උදා කළේය. ඒ එතුමාට සිපිරිගෙයි ලගින්නට සිදු වූ බැවිනි. පෙරළිකාරයෝ රූගැන්වීමට නොහැකිව, එතුමා ගෙදර එනතුරු නිෂ්පාදක තිලක් අතපත්තු මහතාත් මාත් මඟ බලා උන්නේ දෙගිඩියාවෙනි. එම ප්‍රමාදයෙන් වූ අගතිය නම් දිනෙන් දින, ලබා ගත් දින අහවර වී යාමෙන්, මහා නිළි මාලිනිය පෙරළිකාරයන්ට අහිමි වීමය.

විජයගේ නොපැමිණීම හේතුවෙන්, කෘත්‍යාධිකාරී නිෂ්පාදක රාජ් රණසිංහ මහතාගේ බල කිරීම මත අකමැත්තෙන් වුව ද රවීන්ද්‍ර රන්දෙණිය මහතා සොයා යෑමට අපට සිදු විය.

'රවි අයියා' කෙරෙහි මා හට සිත් පැහැදුණේ එතැනදීය. ඒ ඔහු විජය පිළිබඳ කළ ප්‍රකාශයකිනි. රවීන්ද්‍ර රන්දෙණිය මහතා අප සමඟ කිවේ, විජය කරන්නට ඉන්න චරිතයක් - මා කවර ආකාරයකින්වත් කරන්නේ නැති බවත්, යම් හෙයකින් - පවතින තත්ත්වය මත මේ චරිතය මට කරන්නටම සිදු වුවහොත් මා හිර ගෙදරට ගොස්, විජයගෙන් සම්පූර්ණ කැමැත්ත සහ ආශිර්වාදය රැගෙන මිස එය නොකරන බවයි.

එවන් විශිෂ්ට ගණයේ මිනිසෙකු ප්‍රකාශ කළ විශිෂ්ට වූ වගන්තියක්, කවර ආකාරයකින් හෝ වැළලී යාමට ඉඩ නොතැබිය යුතුය.

එවන් මිනිසුන් කිහිප දෙනෙක් හෝ අප සිනමාව තුළ සිටීම - අප ලද භාග්‍යයකි. තවත් සති කිහිපයකින් විජය නොසිතූ ලෙස හිරෙන් නිදහස් විය.

'මාලිනිය' වෙනුවට - බොලිවුඩ් සිනමාවේ 'තනුජා' ආදේශ විය. එහෙත් කඩාකප්පල්කාරින්ගේ ප්‍රයත්නය සාර්ථක වීමෙන් තනුජාගේ 'වීසා' ප්‍රතික්ෂේප විය.

ඒ මොහොතේ ගාමිණී ෆොන්සේකා මහතාට 'වීසා' ප්‍රශ්නය සැලකර සිටීමෙන් - ගාමිණී මහතාගේ පිළිතුර වූයේ 'වීසා' කැන්සල් කොරල නම් . . . අපි යාපනේට ගිහිල්ලා බෝට්ටුවක දාගෙන එමු 'තනුජව' යන්නය. මේ බැරෑරුම් ප්‍රශ්නය පසෙකින් තබා, රාජ්, තිලක්, මම මහ හයියෙන් කොක් හඬලා සිනාසුණෙමු. සියලු කඩාකප්පල්කාරින්ව පරාජය කරමින් - වීසා ප්‍රශ්නයට ගාමිණී ෆොන්සේකා මැදිහත් නොවන්නට, පෙරළිකාරයෝ හී තනුජා රඟ නොපානු ඇත.

පෙරළිකාරයන්ව තුන්වන දින රූ ගන්වද්දී, චිත්‍රපටයේ විජය භාවිත කළ,පෙට්‍රල් බොන රුසියානු ජීප් රථය මහමඟදී නතර විය. ඒ මොහොතේ බන්දු සමරසිංහ මහතා පෙට්‍රල් ගෙන ඒමට විදුලි වේගයෙන් ගම්පොළ ටවුමට ගියේ තිලක් ගේ බෙන්ස් රථයෙනි.

විජයත් - මමත් ගිනි අව්වේ ගසකට මුවා වී සිටිද්දී . . . මල්ලී මොකක්ද මේ ෆිල්ම් එකෙන් පස්සේ කරන්නේ? යනුවෙන් විජේ අයියා මගෙන් අහද්දී - පෙරලා මගේ පිළිතුර වූයේ . . . විජේ අයියා . . . මේ ෆිල්ම් එක පෙන්නන්න ඕනනේ නිෂ්පාදකයෙක් මාව හඳුන ගන්න . . .

මේක පෙන්න පෙන්න ඉන්න ඕන් නෑ . . . මං ඔයාව හඳුනගෙන ඉවරයි . . . පෙරළිකාරයෝ Print එක ගහපු ගමන් . . . අලුත් ෆිල්ම් එකක් පටන් ගන්න . . . මං සල්ලි දෙන්නං . . . යනුවෙන් විජය මහතා දැඩි ස්ථිරසාර පිළිතුරක් මුදා හැරියේය.

පසුව, දර්ශන රූගත කිරීම් අතර වාරයේදීත්, නැවත මතක් කරමින් විජය මහතා Plot  එකක් හිතුවද අපේ වැඩේට? යනුවෙන් ද කිහිප වරක් පැවසූ අතර මම ද වරක් . . . ඔව් විජේ අයියා . . . මරු Plot එකක් තියෙනවා - කියන්නං . . . කීවත් - මා ළඟ කිසිදු Plot එකක් නොවීය. මන්ද මගේ සර්වාංගයම මා මේ මොහොතේ පූජා කර තිබෙන්නේ - පෙරළිකාරයන්ට වූ බැවිනි. පෙරළිකාරයෝ රූ ගැන්වීමෙන් අනතුරුව මේ බව ටෙනීට (ටෙනිසන් කුරේ) සැල කර සිටියත්, ඔහුගෙන් ද නිසි පිළිතුරක් නොවූයේය. සියයකට ආසන්න අධ්‍යක්ෂවරු ගණනක් සමඟ කටයුතු කළ විජය වන් කෙනෙකු - ඔහුගේ ප්‍රථම චිත්‍රපටය නිර්මාණය කිරීමට දිනේෂ් ප්‍රියසාද් වැන්නෙකුට භාර දෙයි ද යන සැකය, කා හටත් ඇති වීම සාධාරණය. කෙසේ හෝ කථා තේමාවක් පිළිබඳ ටෙනීගෙන් මූලික අදහසක් ලබාගත් මා අතින් - පයින් දමා විජයට කථාවක් කියා දැමීමෙන්, විජයගේ ආශිර්වාදය මාහට ලැබිණ.

අනතුරුව ටෙනීත්, මාත් කතාව - දෙබස් - තිර නාටකය ගොනු කළ අතර, පද්මසිරි කොඩිකාරයන් ද කථා ශරීරයට වැදගත් අනුපාන ගෙනාවේය.

නිෂ්පාදකවරයා , අධ්‍යක්ෂවරයාට නිසි තැන ලබාදෙමින්, අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි චිත්‍රපටය නිම කිරීමට පූර්ණ නිදහස ලබා දීම විශේෂයෙන් අගය කළ යුතුය.

දේශපාලනික වශයෙන් - විජයගේ දේශපාලන අභිමතයට එවකට, කිසිසේත් නොගැළපෙන 'මාලිනී ෆොන්සේකා නිළි රැජින' මා චිත්‍රපටයට ගැනීම විජයට නම් කිසිම ප්‍රශ්නයක් නොවීය. එහෙත් ඒ පිළිබඳ මහජන පක්ෂ කමිටුවට විජය කුමාරතුංගයන් විසින් උත්තර - පත්තර බැඳිය යුතුය. මම චිත්‍රපටයේ නිෂ්පාදක පමණි. චිත්‍රපටයේ නිර්මාණකරු අහවලාය. චිත්‍රපටයක නිර්මාණය සඳහා තීන්දු, තීරණ ගැනීම සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂවරයාට අයිති කාරණාවක් බව අදින් පස්සේවත් දැනගන්නා ලෙස කමිටුව දැනුවත් කරමින් - මා නිෂ්පාදකවරයා වශයෙන් මුදල් වියදම් කරනවා පමණි. අධ්‍යක්ෂවරයා මට රඟපෑමට ආරාධනා කළොත් පමණක් මා එහි රඟපානවා යනුවෙන් ද ඉතා උණුසුම්ව ප්‍රකාශ කරන ලදී.

වරදට දඬුව්ම් රූගැන්විම් ආරම්භ කිරීමට විජයගේ මූල්‍යමය ශක්තිය - වඩා යහපත් නොවුණද - විජය නාමයට සියලු නිෂ්පාදකවරු උදව් - පදව් කිරීමට පසුබට නොවුණු වග ඉතා ගෞරවයෙන් සටහන් තැබිය යුතුය. චිත්‍රපට නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා ද, සුනිල් ටී. ප්‍රනාන්දු මහතා ද, තිලක් අතපත්තු මහතා ද, ප්‍රීතිරාජ් විරරත්න මහතා ද මේ අතර කැපී පෙනෙන චරිත විය.

ගුණ යහපත්කමින් පරිපූර්ණ වූ විජයගෙන් - කිසිවෙකු හෝ ගිවිසුමක් ඉල්ලා සිටියේ නැත. කළු - සුදුවෙන් පටන් ගත් 'වරදට දඬුවම්' සිනමාපටයට මගදී - විජය නව අදහසක් ගෙන දෙමින් ප්‍රශ්නයක් පැන නැඟුවේ, අපි සින්දු ටික කලර් කරමුද? යනුවෙන් අසමිනි. මා එකහෙළාම බෑ බෑ කියමින් හේතුවක් ඉදිරිපත් කළ මා එතකොට විජේ අයියා මේක 'සූකිරි කෙල්ල' වගේ වෙනවනේ කියා මා පැවසුවේ, වරදට දඬුවම් කතා පුවතට වර්ණය කෙතරම් දුරට ගැළපෙනවා ද යන්න මට හිතා ගත නොහැකි වූ නිසාය. එහෙත්,විජයගේ හිත රිදවීමට බැරිකම නිසා මා විජේ අයියා කැමති නම් එක Point එකක් තියෙනවා කරනවා නම් එතැනින් වර්ණය ආරම්භ කරමු.

බ්‍රිෆ් කියමින්, අවසාන සටන් ජවනිකාවේ (Climactic Scene)  බෝම්බයක් සහිත කේසයක් 'විජය' රැගෙන යාමත්, එම බැගය මුදල් බෑගයක් ලෙස, දුෂ්ටයින් අතරට විසි කිරීමත්, කළු-සුදු තිරය මත බැගය පුපුරා යෑමත්, ඉන් විහිදී යන ගිනි කදම්භය වර්ණයෙන් පැතිරීමත්, එතැන් පටන් සමස්ත දර්ශනයම වර්ණ ගැන්වීම තාක්ෂණිකව සිදු කළ හැකි බව පෙන්වා දුන්නෙමි.

නිර්මාණකරුගේ අදහසට ගරු කළ විජය 'වරදට දඬුවම්' අවසාන මිනිත්තු දහසය (16) වර්ණ කිරීමට මා හට මූල්‍ය පහසුකම් ලබා දුන් බව මෙහිලා ගෞරවයෙන් සඳහන් කළ යුතුය.

එහි ඇතුළත් ප්‍රයෝග දර්ශන සඳහා මා - මාස ගණනාවක් කළුවර රසායනාගරවල සහ මා විසින් සාදාගත් ඇනිමේශන් - රෙටෝස්කෝප් කාමරවල තැප්පේය.සරසවි චිත්‍රාගාරයට දෙබස් කැවීමට පැමිණි 'නිළි රැජන' වින්සන්ට් වාස් තම ශරීරයට ගිනි තබා ගන්නා දර්ශනය දැක මවිත වී, දින්නා මේක කළේ කොහොමද? යනුවෙන් මගෙන් විමසුව කළ 'පැනලා දෙමින්' ඊට පිළිතුරු දුන්නේ මා පසුපස සිටිි විජය මහතාය. විජය මාලිනියගේ උරහිසට තට්ටුවක් දමා 'නංගී, ඒවා ඔක්කොම 'අලින්ගෙයි - අපෙයි වැඩ, ඒවා අපි කාටවත් කියලා දෙන්නෑ, හරි ද . . .' යනුවෙන් විහිළුවක් ද කළේය. මාලිනියගේ නිර්ව්‍යාජ සිනහ හඬ ශබ්දාගාරය පුරා පැතිර ගියේය.

එහි එන තවත් ප්‍රබල ක්‍රියාදාම ප්‍රයෝග දර්ශනයක් වන ටෙලිෆෝන් බූත් එක කුඩු පට්ටම් කරගෙන මර්වින් ජයතුංග ලොරිය ධාවනය කිරීමත්, ඉදිරි බෆරයේ එල්ලී සිටින විජය ධාවනය වන ටිපර් ලොරියේ යටින් එල්ලී යමින්, පිටුපසට පැමිණ ටිපර් තට්ටුවට ගොඩ වී විල්සන් කරුට පහර පිට පහර දී ධාවනය වන ලොරියෙන්, කරුව එළියට විසිකර දැමීමත්, විජය ලොරියෙන් බිමට පැන නැගිටනවාත් සමඟම එම රූප රාමුවේ ඈතට යන ලොරිය වාහන පෙළක හැපී පුපුරා යාමත් නරඹන්නන් තුළ කිළිපොලා යන ත්‍රාසය හා අභියෝගාත්මක ත්‍රාසය උත්පාදය වන්නට රංගන කාර්යයේදී විජය දුන් ප්‍රබල සහයෝගය සහ ඔහුගේ කැපවීම ඉතා අගය කළ යුතුය.

වේගයෙන් ධාවනය වන ලොරිය යටින් - විජය පසුපසට ඇදී යන ජවනිකාව මා කළේ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ 'රේඩාර්ස් ඔෆ් ද ලොස්ට් ආර්ක්' චිත්‍රපටයේ හැරිසන් ෆෝර්ඩ්ගේ එවන් වූ ත්‍රාස ජවනිකාවක් අනුසාරයෙනි.

විජය කුමාරතුංග කෙතරම් නිහතමානී චරිතයක් ද යත්, අනෙකුත් රංගන ශිල්පීන් දෙස වෘත්තීය මට්ටමින් බලන කාරුණික කෝණය ඉතා ප්‍රශස්තය. හැම විටම තමන්ගේ චරිතය පසෙකලා, සෙසු නළු - නිළියන්ගේ චරිත චිත්‍රපටය තුළ ඉහළට ගෙන එමින්, ආරක්ෂා කර ගැනීමෙහිලා වගකීමකින් විජය රැඳී සිටි බව කිව යුතුය.

නළු - නිළියන්ගේ ප්‍රමාදය විජයට ප්‍රමාදයක් නොවීය. එතරම්ම ඉවසීමෙන් කටයුතු කරන නිෂ්පාදකවරුන් විරලය. වරදට දඬුවම් හි එක් ගීතයක් පමණක් විජය ලවා මා පටිගත කළේ සෝමපාල රත්නායකගේ මියුරු තනුවකට ගැළපූ සංගීතයටය. පසුව ගීතයට සවන් දුන් විජය ඔහුගේ හඬ ඔහුට ගැළපෙන්නේ නැති බව නිහතමානීව පවසා එම ගීතය ජෝතිපාලයන් ලවා නැවත පටිගත කිරීමට කටයුතු සලස්වා දීම කෙතරම් වටිනා කාරණයක් ද යන්න චිත්‍රපටය නැරැඹූ රසිකයා හට වැටහෙනවා ඇත. (මාලිනියගේ උපන් දින උත්සවය 'අනේ දවසක් බැටලු වෙස්ගත් සිංහ රජිඳෙක්).

තවත් දර්ශන පෙළක් රූ ගන්වන අතර වාරයේදී එක් මොහොතක මා ටෙනිසන් කුරේ ගේ දෙබස් කිහිපයක් දර්ශන තලයේදී කපා හරින විට එය දිව්‍ය ඥානයෙන් මෙන් දැනගත් විජය එතැනට සෙන්දු වී, මොනවද 'කට්' කෙරුවේ යැයි මනමෝහන සිනහව දාගෙන මගෙන් විමසුවේය. කරුණු දැනගත් විජය මහතා හා . . . හා . . . ටෙනීගේ දෙබස් එකක්වත් කපන්න එපා . . . යනුවෙන් කියමින් ටෙනීගෙන් චිත්‍රපටයට වෙන සේවය අගයා ටෙනීව වර්ණනා කරමින්, මගේ ඡන්ද ටික කවදා හරි ගන්නෙත් ටෙනී තමයි . . . කියමින් සියල්ලන්වම සිනහ ගැස්සුවේය. දෙබස් ටික අනූ නවයෙන් බේරුණ නිසා ටෙනී තවමත් සිනහවනු ඇත.

මාලිනී, සොමී, නදීකා, මර්වින්, කරු, ටෙනී, හියුගෝ, ඇන්තනි සී., ඩී. ආර්., පර්ල් වාසුදේවි, මැණිකේ අත්තනායක, ජීවන්, නිහාල්, දයානන්ද ජයවර්ධන, ලාල් පීරිස්, මහේෂ් ජයසිංහ සහ විජය කුමාරතුංග ඇතුළු නළු නිළියන් මා හට දැක් වූ සහයෝගය මා ඉතා අගය කරමි.

ඔවුන්ගේ මනා කැපවීම මාගේ නිර්මාණ කාර්යයට විශිෂ්ට වූ අත්වැලක් විය.

ඇන්ජලින් ගුණතිලක, රූකාන්ත ගුණතිලක, ආනන්ද පෙරේරා, ලතා වල්පොල, සුනෙත් වල්පොල සහ ඩෙරික් ද සිල්වා ඇතුළු එච්. ආර්. ජෝතිපාලයන් විජයගේ සිනමාපටයට දැක් වූ අපිරිමිත සෙනෙහස මිල කළ නොහැකිය.

විජයගේ නිෂ්පාදන කාර්යයට ඉතා ළඟින් සිට උපරිම සහාය දැක් වූ නිෂ්පාදන කෘත්‍යාධිකාරී හර්මන් වීරසූරිය ද නිෂ්පාදන කළමනාකරු පද්මසිරි කොඩිකාර ද ඇතුළු විජය හිතවතුන් මෙහිදී ගෞරවයෙන් සඳහන් කළ යුතු අතර, කැමරා අධ්‍යක්ෂ නිමල් රෝසා ගේ ද සංගීත අධ්‍යක්ෂ සෝමපාල රත්නායකගේ ද, සියලු කාර්මික ශිල්පීන් සමඟ 'වරදට දඬුවම්' අකුරු කට්ටලය නිර්මාණය කළ සේනක නවරත්න ගේ ද ශක්තියෙන් චිත්‍රපටයට වැඩි ආලෝකයක් ගෙන දුන් බව කිව යුතුය.

නළු - නිළි නම් වැලේ අවසානයට ප්‍රධාන නළුවාගේ නම දැක්වෙන එකම සිංහල චිත්‍රපටය වරදට දඬුවම්ය.

එකසිය පනහකට අධික චිත්‍රපට සංඛ්‍යාවක ද, සියයට ආසන්න අධ්‍යක්ෂවරු ගණනාවක් සමඟ ද කටයුතු කළ විජය කුමාරතුංගයක් එතුමාගේ පළමු චිත්‍රපට නිෂ්පාදනයේ - නිර්මාණ කටයුත්ත මා හට පැවරුව් ලංකාව තුළ අධ්‍යක්ෂවරයෙකු සොයා ගැනීමට තිබූ බාධාවක් නිසා නොව,

ඇරත් චිත්‍රපට නිෂ්පාදකයෙකු වී මුදල් කන්දරාවක් උපයා ගැනීමට හෝ අලුත් නමක් සාදා ගැනීමට හෝ දරන වෑයමක - ඉලක්කයක් ද නොවන අතර දුර දක්නා විජයගේ පිරිසිදු චේතනාව වූයේ 'දිනේෂ් ප්‍රියසාද් නැමැති අංකුර අධ්‍යක්ෂවරායාව' කෙසේ හෝ පිටව යෑමට ඉඩ නොදී සිනමාවට සේවය ලබා ගැනීමටය.

මේ වන විට - විජය කුමාරතුංග නමැති මානව හිතවාදියාගේ එවන් වූ, අභිප්‍රාය කෙතරම් ප්‍රතිශතයකින් ඉටු වී ද යන්න මා නම් දන්නේ නැත.