වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




නාමෙල් එක්ක වෙලාවට ගමනක් යන්න බැහැ

නාමෙල් එක්ක වෙලාවට ගමනක් යන්න බැහැ

නාමෙල් - මාලිනී කැදැල්ලට යමු

බොහොම කලබලයෙන් එහා මෙහා යන මිනිසුන්ගේ හිස්වලින් හා රථ වාහනවලින් පිරුණු බොරැල්ල නගරය සිතට ගෙන දෙන්නේ විඩාවකි. ගමන් වෙහෙසින් හෙම්බත්ව සිටින අප සෙමෙන් ඇවිද ගියේ බොරැල්ල නගරයේ තියෙන විශාල තුඹස සොයාගෙන ය. අන් ගොඩනැගිලි අබිබවා අහස් කුස සිප ගන්නා තුඹසක ආකාරය ගත් ගොඩනැගිල්ල බොරැල්ල නගරයට පැමිණෙන කාගේ වුවද සිත් ගනියි. සිව් මහලකින් යුතු මේ තුඹස නිමවා ඇත්තේ මැටියෙනි. නාමෙල් - මාලිනී පුංචි තියටර් නමින් නම්කර ඇති මේ තුඹසට අප පැමිණියේ සැදෑ සමයේ සිටිය ද බොහොම ආදරයෙන් සිටින යුවළක් මුණ ගැසීමේ අටියෙනි.

‘නාමෙල් - මාලිනී’

ඔබ නම කියූ පමණින් හඳුනන, හදවතින් තවමත් තරුණ වීරමුණි යුවළ වසන නිවෙස පිහිට ඇත්තේ එහි තෙවන මහලේ ය. ඉබේ ම මෙන් විඩාව නිවන මේ සොඳුරු කැදැල්ල අබියසට පිවිසි අපව පිළි ගත්තේ නුපුරුදු මුහුණකි.

“ එන්න....... එන්න........”

මේ නුහුරු නුපුරුදු තරුණිය දෙස ම බලාගෙන නිවෙසට ඇතුළ් වුණු මා වටපිට බැලුවේ වෙනදා පිළි ගන්නට පැමිණෙන මාලිනී වීරමුණිගේ රැව දැකීමට ය. දකින කුමන වේලාවක වුවද කවර හෝ කාර්යයක නිරතව සිටින මාලනී වීරමුණි කඩිසර ලියකි. ඒ කඩිසර ගමනින් ම ඇය අප වෙත ආවා ය.

“ ඔයාලව පිළි ගත්තේ මගේ දුව ස්ලෂ්නා වීරමුණි.”

අප අසල ම සිටින දියණිය හඳුන්වා දෙන මාලනී වීරමුණිගේ උවනේ ඇත්තේ පෙර නුදුටු විරූ සිනහවකි. වීරමුණි පවුලේ ලොකුදුව වන ස්ලෂ්නා වීරමුණි පදිංචිව සිටින්නේ නවසීලන්තයේයි.

“ කාලයකට පස්සේ අම්මගේත්, තාත්තාගේත් දුක සැප බලන්න ඇවිත් වගෙයි. ”

අහම්බයෙන් මුණ ගැසුණු ස්ලෂ්නා වීරමුණි බොහොම කැමැත්තෙන් කතාබහට එක්වූවා ය.

“ ඉඩකඩ වෙන්වන විදියට අම්මාත්, තාත්තාත් අපිව බලන්න එනවා. ඒ වගේ ම අපිත් එහෙමයි. මෙවර පැමිණියේ මා පමණයි. ඒ මගේ පුතාටත්, දුවටත් විභාග කටයුතු තිබෙන නිසා. මහත්තයා එයාලව බලාගෙන ඉන්නවා. මේ ලිපිය පළවන විට මා නැවතත් නවසීලන්තයේ ඉඳීවි. ”

නවසීලන්තයේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන ස්ලෂ්නාගේ සැමියා සයිමන් ය. දියණිය ශිකාරා ය. පුතා නොවා නාමෙල් ය. පුතුගේ නම අගට ‘නාමෙල්’ යන නාමය එකතු කරන්නේ සයිමන් ය. ඒ සයිමන් කොපමණ ස්ලෂ්නාගේ මව්පියන්ට ගරු කළේ ද යන්නට අපූරු සාධකයකි. ස්ලෂ්නා හා සයිමන් විවාහ වන්නේ ඔවුන් කෙරේ ඇති වූ අවබෝධයෙනි. එහෙත් ඒ බැඳී හාදයට මුලින් ම නාමෙල්ගේ සිතේ ඇති වූයේ අකැමැත්තකි. ඔහුගේ අකැමැත්ත දුරුවීමට ගතවූයේ බොහොම ටික කලකි. ඒ සයිමන් නාමෙල්ගේ සිත් ගැනීමට තරම් අපූරු තරුණයෙකු වූ බැවිනි.

“ඔබගේ නිවෙසෙත් නිතර ම වගේ උයන්නේ සිංහල ආහාර ද?”

සිංහල කම තවමත් අමතක නොකළ ස්ලෂ්නාගෙන් මම විමසුවෙමි.

“සයිමන් වගේ ම දුවත්, පුතත් සිංහල කෑම කන්න බොහොම කැමැතියි. සතියේ බොහෝ දවස්වලට අපි කන්නේ බත් සමඟ වෑංජනයි. අල බැඳලා, වම්බටු පැහිය හදලා, කුකුළු මස් කරිය කන්න එයාලා ගොඩක් ආශා කරනවා. ඒ අතර ඉංග්‍රීසි කෑමත් හැදෙනවා. ”

“ඇයි පුතේ මම ගියාට පස්සේ හදන විශේෂ කෑම ඔයාට අමතක වුණා ද?”

මාලිනී වීරමුණි අමතක වූ යමක් ස්ලෂ්නාට මතක්කර දෙන්නී ය.

“ මම එහේ ගියාට පස්සේ හදන උයන කෑමවලට මිනිබිරියත්, මුනුබුරත්, බෑණත් බොහොම කැමැතියි. එයාලා ඉස්සෝ හා පරිප්පු හදලා, වම්බටු පැහි සමඟ අල තෙල් දාලා, බත් කන්න තිබෙන කැමැත්ත මට අද වගේ මතකයි.”

අප අතරට පැමිණෙන නාමෙල් වීරමුණිත් මේ සොඳුරු කතාබහට එක්වන්නට අමතක නොකරයි.

“ඒ විතරක් නොවෙයි එහේ ඉදිද්දී නොවා හා ශිකාරා ඔයාගේ අතින් කෑම කවා ගන්න නම් අමතක කරන්නේ නැහැ. ඒ දෙන්නා මේ වනවිට තරුණ, තරුණියන් වුණත් ඒ පුරුද්ද නම් තවමත් එහෙමමයි.”

එලෙස ඔහු බිරියටත්, දුවටත් අමතක වූ යමක් මතකයට නඟමින් ම අප අතර අසුන් ගනියි.

“මේ නිවෙසේත් ඉවුම් පිහුම් කටයුතු සිදුන්නේ ඔබගේ දෑතෙන්මද?”

“ මගෙන් නාමෙල්ට විය යුතු සියලු ම දේ ඉටු කරනවා. මස්, මාලු කන්නට නාමෙල් අකැමැතියි. ඒ නිසා නාමෙල් වැඩිපුර ම කන්නේ පලතුරු හා එළවළුයි. විශේෂයෙන් ම උදේට එයාගේ පලතුරු ජූස් එක නම් වරද්දන්නේ නැහැ.”

මාලිනී වීරමුණි මේ නිවෙසේ දක්ෂ, කඩිසර මීමැසි රැජනයි. නිවෙසේ සියලු ම කටයුතු කෙරෙන්නේ ඇගේ අනුදැනුම ඇතිව ය. වැඩකටයුතු සමඟ අවිවේකී මාලිනීගේ පෙනුම මේ දිනවල අපට සිහිපත් කරන්නේ නිදහස ලැබූ කිරිල්ලියකි.

“ එහෙම නම් දුව ආව නිසා මේ දවස් ටික දෙන්නට ම පුංචි නිවාඩුවක් ලැබිලා වගෙයි”

“මම නාමෙල්ට කිව්වා දුව ආව නිසා මේ තියෙන සෑම වැඩකින් ම නිදහස් වෙලා මේ දවස් ටිකේ අපි නිදහසේ දුවත් එක්ක ම ගත කරමු කියලා. ඒ වුණත් මුල් දවස් කිහිපයේ නම් එයා එහෙම හිටියත් අයෙත් නාට්‍ය පුහුණු වීම් ආරම්භ කළා. මම නම් ඉතිං දුවත් එක්ක ම කාලය ගත කළා. ”

ස්ලෂ්නා සිය මවගේ අදහස අනුමත කළා ය. මේ අතර අප අතරට රැගෙන එන්නේ කට්ලස් පිරුණු බන්දෙසියකි.

“ මේ කට්ලට් හැදුවේ අපේ අම්මා. ඔයාලා එන්න ටික වෙලාවකට කලින්.”

ස්ලෂ්නා සිනා සී ඒ කට්ලට් බන්දේසිය අප වෙත පාමින් පවසන්නේ ඈ ද කට්ලට් එකක් සුරතට ගනිමිනි. කට්ලට් එකේ රස විඳීමින් අපි කතාබහට තිත නොතැබුවෙමු.

උදෙන් ම අවදි වන නාමෙල්ගේ මූලික රාජකාරිය දවසේ පත්තර ටික කියැවීම ය. නැත්නම් ලොකු පුතාත්, පොඩි පුතාත් හා ඔහුගේ පවුලේ අයත් සමඟ ස්කයිප් එකෙන් කතා කිරීම ය. ඒ අතර ඉඳහිට ව්‍යායාමයටත් එක්ක ඇවිදින්න යෑම ද ඔහුගේ සිරිතකි. එහෙත් නාමෙල්ගේ ගමන් බිමන් ගැන මාලිනී කියන්නේ මෙවැනි කතාවකි.

“ඒ තරමට ම ගමන් බිමන් යන්න නාමෙල්ගෙන් කරදරයි ද?”

“ඒ කරදරේ තියෙන්නේ ගමනක් බිමනක් යද්දි වෙලාවට නොයෑම නිසයි. කිසියම් වෙලාවක කිසියම් දෙයකට වෙලාවකට යන්න උවමනා වුණොත් නාමෙල් එක්ක නම් ඒ තැනට කවදාවත් ම යන්න ලැබෙන්නේ නැහැ. ඒක එයාට පුරුද්දට ගිහින්. එහෙත් ජීවිතේ පළමු වතාවට මේ ඊයේ පෙරේදා දවසක තිබුණු ගාමිණී ෆොන්සේකාගේ උත්සවයට හරියට වෙලාවට නාමෙල් ගියා. ඒ ඊට ඉස්සෙල්ලා අපට හිරු එකේ පටිගත කිරීමක් තිබුණ නිසයි. ඒ එයාගේ හැටියි. ඒවා කිසිම දවසක හදන්න පුළුවන් දේවල් නොවෙයි. අඩු ම ගණනේ ඒ පුරුදු කෝවක දමලා වත් හදන්නට බැහැ. ඒක මට හොඳට ම විශ්වාසයි. හැබයි මේ මම කරන්නේ චරිත ඝාතනයක් නොවෙයි. ”

මාලිනී පවසන දේ අසා සිටිමින් සිනාසෙන නාමෙල්ට ද යමක් කියන්නට ඇති වග පෙනෙයි.

“ඒ වුණාට කොයිතරම් පරක්කු වුණත් වැඩේ කෙරෙනවා. මනමාලි මඟුල් ගෙදරින් යන්න සූදානම් වුණු වෙලාවට හරි මම එතැනට යනවා.”

නාමෙල් පවසන්නේ සියල්ලන් ම සිනහ සයුරේ ගිල්වමිනි. ඒ අතර මාලිනී දනට පිනට ද ළැදි ය. කැම්බල් ප්ලේස් එකේ තිබෙන මහින්දාරා පන්සලේ කඨින පිංකමට ඇය දායක වී ඇත්තේ ඒ නිසාම ය.

ඉදිරියේ දී වේදිකා ගත වීමට නියමිත නාමෙල්ගේ වේදිකා නාට්‍යයක පුහුණු වීම් සඳහා නළු නිළියන් පැමිණ ඇති වග සැල වෙන්නේ ඒ අතර ය. ඒ නිසා අපට නික්මෙන්නට කාලය පැමිණ ඇති වග පෙනෙයි. සුන්දර ලෙස සැකැසුණු තුඹස් කැදැල්ලේ දැනෙන්නේ අපූරු සිසිලසකි. ඒ සිසිලස විඳීමින් නාමෙල් - මාලිනී යුවළට නිරෝගී සුව පතමින්, ඔවුන්ගෙන් අපි සමුගතිමු.