වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ තාත්තාගේ සතුට දැක්කේ ඇස්දෙකෙන්

මගේ තාත්තාගේ සතුට දැක්කේ ඇස්දෙකෙන්

හිමාෂි විතානගේ හොඳම කෙටිනාට්‍යකාරිය සමඟ කතාබහක්

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ කෙටි නාට්‍ය අංශයේ හොඳම කෙටි නාට්‍ය ලෙස සම්මාන හිමිවූයේ ‘කාටත් හොරෙන්’ කෙටි නාට්‍යයටය. ඊට අමතරව හොඳම නිෂ්පාදනය, හොඳම පිටපත් රචනය දෙවැනි ස්ථානය, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය, හොඳම රංග වින්‍යාසය, හොඳම පසුතල නිර්මාණය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම නළුවා, හොඳම නිළිය යන සම්මාන අටම හිමි වන්නේ ද මේ නාට්‍යයටම ය.

ඒ නිර්මාණය වේදිකාවට රැගෙන පැමිණියේ හිමාෂි විතානගේ නම් තරුණ නාට්‍ය අධ්‍යක්ෂවරියයි. නාට්‍ය අධ්‍යක්ෂණයට පමණක් නොව රඟපෑමට, වේදිකා පරිපාලනය ඇතුළු වේදිකාවේ කෙරෙන අනෙකුත් කාර්යය සඳහා ද දක්ෂතා දක්වන, සම්මාන දිනා ඇති ඇගේ නාට්‍ය දිවිය පිළිබඳත්, අධ්‍යක්ෂවරියක් දක්වා ඇගේ ගොඩනැගීමත් පිළිබඳත් හිමාෂි අප සමඟ කතාබහක යෙදුණේ මේ අයුරිනි.

* ‘කාටත් හොරෙන්’ කෙටි නාට්‍යයට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන්නේ කොහොමද?

මුලින්ම මම මේ නාට්‍ය නිර්මාණය කරන්නේ 2003 වසරේ දී. ඒ යොවුන් නාට්‍ය උලෙළටයි. එය ඒ කාලයේ නොතිබුණ නිසා මම මේ නිර්මාණය රාජ්‍ය නාට්‍ය උලෙළට ඉදිරිපත් කළා. මට මෙතැනදි ඕනෑ වුණේ පවුල පිළිබඳ කතා බහ කිරීමටයි. ඒ හා සම්බන්ධ ගැටලුවක් මධ්‍යම පාන්තික පවුලක් හරහායි මා මෙහිදි විග්‍රහ කරනු ලැබුවේ.

එහිදි මම දැක්ක කාරණයක් වුණේ පවුලකදි ගැහැනිය ගැන පිරිමියාත්, පිරිමියා ගැන ගැහැනියත් තේරුම් නොගන්නා බවයි. කුඩා කාලයේ පටන් අපි යම් ප්‍රතිපත්ති මාලාවක සිටිනවා නම් විවාහයත් සමඟ ඒ සියල්ල යම් ප්‍රමාණයකට හෝ වෙනස් කර ගත යුතු වෙනවා.

මේ තත්ත්වය තේරුම් නොගත්ත නිසා ඇති වන සිද්ධි දාමයක් තමයි නාට්‍යය ඔස්සේ කතාබහ කරන්නේ. ඒ වගේම අද තිබෙන ආර්ථික, සමාජීය වටපිටාවත් සමඟ අදහස් සමඟ ගනුදෙනු කරන්න තරම් වෙලාවක් ඔවුන්ට නැහැ. පුරුෂයා පවුල නඩත්තු කරන්න මුදල් පසුපස යනවා. ගැහැනිය මුදල් පසුපස යන ගමන් පවුල එක තැනක තියා ගන්න බලනවා. ඇය තමයි පවුල කියන සාධකය ආරක්ෂා කර ගැනීමේ මූලික පුරුක වෙන්නේ.

ඒ ගෙවෙන කාලය ඇතුළේ ඇතිවන විවිධ ගැටලු ආදී බොහෝ දේ සිත ඇතුළේ තෙරප ගෙන ඉදලා පිට කරන අවස්ථාවයි මෙහි ප්ලොට් එක වෙන්නේ. එහිදි මොවුන් දෙදෙනා මේ විදියට තමන්ගේ සිතේ ඇතිවුණු අදහස් ප්‍රකාශ කර ගන්න පුංචි තැනකට යනවා. එතැනදි ඔවුන් කලින් ආදරය කළ හැටි කියවනවා. ගහ ගන්නවා. ආදරය කරනවා.

ඒ ගැන අමතක වෙලා ආයෙත් ගහ ගන්නවා. එහෙත් ඔවුන්ට නැවතත් මේ තිබෙන ආර්ථික, සමාජීය වටපිටාවට අනුගත වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කියන දෙය ප්‍රකාශ කරන්න මා වේදිකාවේ දි භාවිත කළේ එකම සෙට් එකක්. ඉන් තැන් දෙකක් ගැන කියැවෙනවා. නිවස හා නිවෙසේ උදේ කාලයේ සිදුවන සිද්ධි රැසක් දෙබස් නැතිව මෙහිදි නිරූපණය වෙනවා. ඒ විදියටයි නාට්‍යය පෙළ ගැසෙන්නේ. ඒ වගේම කියන්න ඕන මේක පර්යේෂණාත්මක නාට්‍යයක්. ඒක සාර්ථක වී ඇති බව සිතෙන්නේ ලැබුණු සම්මානයෙන්.

* ඔබ මෙවැනිම කාරණයක් ඔබගේ නිර්මාණයේ ප්ලොට් එක තෝරාගන්න හේතුවුණේ ඇයි ?

වර්තමානයේ විවාහ වන බොහෝ තරුණ අය ඉක්මනින්ම දික්කසාදය දක්වා යන ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේ කාරණාවලට හේතු විමසලා බලද්දී එක් හේතුවක් ලෙස මට පෙනුනේ ඔවුන් අතර විශ්වාසය නැතිකමයි.

ගැහැනු අය සමඟ කතාබහ කරද්දි හෙළිවුණු අනෙක් කාරණය නම් ඇය තමන්ට එල්ල වෙන පීඩාව දිගින් දිගටම සිතේ දරාගෙන ඉදලා පිට කරන විට ඇතිවන තත්ත්වය දෙදරීමක් දක්වා ගමන් කරන බවයි.

පවුල සංස්ථාව බිදී යන්නේ එවිටයි. ගැහැනියට ඉවසීමේ සාධකය ඉක්මවා ගියොත් පවුලේ දෙදරීම ඒකාන්තයි. පුරුෂයාට ඒ සිතේ ඇතිවන පීඩාව පිට කරලා යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් වුණත් ගැහැනියට එහෙම බැහැ.

ඒ නිසයි මම කලින්ම පවුල ආරක්ෂා කරන සාධකය ලෙස ගැහැනියව නම් කළේ. මේ ආකාරයෙන් සමාජයේ දී පවුල කියන සංස්ථාවේ තිබෙන ගැටලු මගේ අවධානයට ලක්වුණා. ඒවා පිළිබඳ කරන කල්පනාවලදි සිතේ මතුවන සිතුවිලි මා නිර්මාණවලට රැගෙන ආවා.

* ‘කාටත් හොරෙන්’ නැරැඹූ ප්‍රේක්ෂකයන් ඔබ මේ කියන්න හදන කතාව වටහා ගත් බව ද සිතන්නේ?

එහෙම කියන විට මගේ මතකයට පැමිණෙන්නේ නාට්‍යයට ලැබුණු ප්‍රතිචාරයි. මොකද නාට්‍යය නරඹලා බොහො දෙනෙක් ඔවුන්ගේ සිතේ ඇතිවුණු අදහස පිළිබඳ මට කිව්වා. ඒ සමහර අය මේ නාට්‍යයට තමන්ගේ ජීවිතය ඈදාගෙන තිබුණා. විවිධ සංසන්දනවල යෙදී තිබුණා.

සමහරෙක් ඇහුවේ අපේ ජීවිතවල කතාව කොහොමද මේ තරම් හොඳට ප්‍රතිනිර්මාණය කළේ කියලා. ඔවුන් කොයිතරම් නාට්‍යයට සංවේදී වුණාද කිව්වොත් සමහර අවස්ථාවල අඬමින් තමයි මා සමඟ කතා කළේ.

* ඔබගේ අධ්‍යක්ෂණය යටතේ මෙහෙය වුණු මේ නාට්‍යයට සම්මාන රැසක් ලැබෙනවා.

මටම සම්මාන පහක් ලැබෙනවා. ඒ හොඳම නිෂ්පාදනය, හොඳම පිටපත් රචනය දෙවැනි ස්ථානය, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය, හොඳම රංග වින්‍යායසය, හොඳම පසුතල නිර්මාණය කියන සම්මානයි. ඊට අමතරව හොඳම වේදිකා පරිපාලනය සඳහා අකලංක ප්‍රභාෂ්වර හා සමීර කුලතුංගටත්, හොඳම නළුවා විදියට සරත් කරුණාරත්නටත්, හොඳම නිළිය විදියට කැළුම් ගම්ලත්ටත් සම්මාන හිමි වෙනවා.

මේ විදියට සම්මාන අටක් ලබා ගන්නට අපට හැකියාව ලැබෙන්නේ මම වගේම අනෙක් සියලුදෙනාම මේ නාට්‍යය වෙනුවෙන් කළ කැප කිරීම නිසා කියලා පවසන්නත් මා පසුබට වෙන්නේ නැහැ. මම එහෙම කියන්නේ මේ නිර්මාණය විනාඩි කිහිපයක කෙටි නාට්‍යයක් වුණත් අපි මාස හය හතක ඉඳලා කරන ලද පුහුණුවීම් නිසයි.

* ඔබ ගමෙන් නගරයට පැමිණිය කෙනෙක් විදියට කාන්තාවක් කලා ක්ෂේත්‍රයේ නියැළීම බොහෝ අය දකින්නේ නොවිය යුත්තක් විදියටයි. මේ අභියෝගය ජය ගත්තේ කොහොමද?

සමහර අවස්ථාවලදි ඔය කියන කාරණය නිසා විවිධ ගැටලුවලට මුහුණ පෑ අවස්ථා තිබුණා. එහෙම වුණත් මගේ පවුලේ අයට මා පිළිබඳ තිබුණේ දැඩි විශ්වාසයක්. විශේෂයෙන්ම මා ඒ විශ්වාසය පළමු කොටම ආරක්ෂා කළා. මෙතෙක් පැමිණි සියලුම අභියෝග ජය ගන්නට මට හැකියාව ලැබුණේ ඒ නිසා කියලා මම විශ්වාස කරනවා. ඒ ඔස්සේ වේදිකා පරිපාලනය, රඟපෑම කියන අංශ කිහිපයේම මා සැරිසරනවා. එතැනදි‘මනමේ’, ‘සිංහබාහු’අත්වැල් ගායක පිරිසෙත්, ‘ජගන් මා’, ‘රත්නාවලී’ කියන නාට්‍යවලත් මා රඟපානවා. ‘මකරට’ නාට්‍යයේ වේදිකා පරිපාලනයේ නියැළී සිටිනවා.

* ඔබගේ වේදිකාවට පිවිසීමේ ගමන ආරම්භ වන්නේ පාසල් කාලයෙන් ද?

මෙහෙමයි මම පාසල් ගිය සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දී කිසිම නාට්‍යයක රඟපාලා නැහැ. ගීතයක් ගයන්නවත් වේදිකාවකට නැගලා නැහැ. නමුත් පාසලේ දි මගේ ප්‍රියතම විෂය වී තිබුණේ කී‍්‍රඩාවයි.

මා උසස් පෙළ වාණිජ අංශයෙන් කරන්න හිටියත් තාත්තා කිව්වේ කලා අංශයෙන් විභාගය කරලා කැම්පස් යන්න කියලා.

තාත්තාට ඕන වුණා තාත්තාගේ පවුලෙන් කැම්පස් ගිය පළමු වැනියා බවට මාව පත් කරවන්න. ඒ අනුව මම කලා අංශය තෝරා ගත්තා. නාට්‍ය හා රංග කලාව කියන විෂයය එක් විෂයයක් විදියටත් තෝරා ගත්තා. මේ විෂයයට මගේ පුංචි ඇල්මක් නොතිබුණාත් නොවෙයි.

ඒ ඇල්ම ඇතිවුණේ මු.දු. රංජිත් සර් නිසා. නාට්‍ය කරණයට මගේ කැමැත්ත නොදැනුවත්වම නිර්මාණය වෙන්නේ ඒ විදියට බවයි මට හැඟෙන්නේ. ඒ සඳහා එකල වැඩිපුර කැමැත්තක් මගේ සිතේ නොතිබුණත් මේ සඳහා කැමැත්ත මුලින්ම නිර්මාණය වෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පැමිණියාට පස්සේ. ඒ එහි ඉන්න අවසාන වසරේ සිසුන්ගේ නාට්‍ය පුහුණුවීම් නරඹන්න යෑමෙන්.

ඊළඟට ඒ නිර්මාණවලට උදව් කරන්න අවස්ථාව හිමිවීමෙන්. මුලින්ම මම ඔවුන්ට උදව් වෙන්නේ තේ හදන්නයි. කෑම ටික අරගෙන ඇවිල්ලයි. ඉන් පස්සේ ඔවුන් මට වේදිකා පරිපාලනය කියන අංශය බාර දෙනවා. මම මමම නිර්මාණය ගර ගත්ත නීති මාලාවක් යටතේ ඒ කාර්යය කරගෙන යනවා.

එහිදි මගේ වැඩකටයුතුවල පිළිවෙළ දකින බොහෝ අය මට ඒ අයගේ වැඩවලට කතා කරනවා. අශෝක අයියා මාව ශී‍්‍රයන්ත මෙන්ඩිස්ට හඳුන්වලා දෙන්නේ ඒ හඳුනා ගැනීමකදි ඇතිවන පැහැදීමකින්.

එතැන් පටන් ඔහුගේ නාට්‍ය නිර්මාණ රැසකටම මගේ දායකත්වය ලබා දෙන්න මට ආරාධනා ලැබෙනවා. මේ වනවිට එවැනි නමගිය බොහෝදෙනෙකුගේ නිර්මාණවලට වේදිකා පරිපාලනයෙන් දායක වෙලා තිබෙනවා.

* වේදිකාවේදි කාන්තාවක් වේදිකා පරිපාලකවරියක් ලෙස දිගු ගමනක යෙදීම දුලබ කාරණයක්. මේ ගමනේදි කාන්තාවක් ලෙස ඔබට බලපෑම් ඇතිවුණාද?

වේදිකා පරිපාලකවරියක් විදියට මට අනන්‍ය වූ නීති මාලාවක් තිබෙන නිසා වැඩක් කරද්දි ඒවා නොතිබුණොත් මම කෑ ගහනවා. සමහරු නම් මා ගැන දන්නවා. මම හිතන්නේ මගේ අතින් පිරිසුදු නොවුණු වේදිකාවක් කොළඹ නොමැති තරම්. ඒ තරමටම මගේ භූමිකාවට පැවරුණු වගකිම් ඉටු කරන්නට මා පෙලඹිලා.

මේ සියල්ල බොහොම ඉවසීමෙන් කළ මට කියන්න තවත් කාරණයක් තිබෙනවා. ඒ මේ ගමන මම ආවේ මගේ මහන්සියෙන්. බොහොම කට්ටක් කාලා.

හැබැයි මට හැඟුණ කාරණය තමයි අදක්ෂයාට තමයි අද තැන තියෙන්නේ. දක්ෂයාට එන්න පාරක් මෙහේ නැහැ කියන කාරණය. දක්ෂයාගේ පාරට බාධක දමන අය නම් අනන්තයි. මේ නිසා ඒ දක්ෂ බව මතුකර ගතයුතු පාර නිර්මාණය කරගත යුත්තේ තමා විසින්මයි.

* ඔබගේ සාර්ථකත්වයේ රහස රැඳීලා තිබෙන්නේ ඔබ වින්ද අත්දැකීම් මතද?

මම මගේ නාට්‍යය කරන විට නාට්‍යයක විය යුතු සියල්ල දැනගෙන සිටියා. නාට්‍යයක් නිෂ්පාදනය කරන එකේ පටන් පුහුණුවීම් සඳහා දින දැමීම දක්වාත්, ඒ නිර්මාණය වේදිකා ගත කිරීම දක්වාත්, නාට්‍ය දර්ශනයකට ගිහින් පැමිණීම දක්වාත් සිදුවිය යුතු දේ සියල්ල ඊට ඇතුළත් වුණා.

මේ සියල්ල ගැන හිතලා තමයි මගේ නිර්මාණය සැළසුම් කළේ. ඒ පෙර දැනුවත් වීම මගේ නාට්‍යය සාර්ථක වීමට බලපාන්න ඇති බවක් සිතෙනවා. ඒ සියල්ල මා නිර්මාණය කර ගත්තේ මා මෙතෙක් ලැබූ අත්දැකීම් මගින්.

* මේ සම්මානයත් සමඟ ඔබගේ පියා දැක්ක හීනය සැබෑ වෙලා. ඒ හීනය තවත් ඉදිරියට අරගෙන යන්න ඔබ? අලුතෙන් මොනවද කරන්න සිතාගෙන ඉන්නේ ?

ඇත්තටම තාත්තාට කියා ගන්නබැරි තරම් සතුටක් තිබෙන බව මම දැක්කේ ඔහුගේ ඇස් දෙකෙන්. ඔහු නොඉන්න මම කියලා කෙනෙක් අද මෙතැන නැහැ. මේ කටයුතුවලට ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය වගේම නුවර ඉන්න සුදු අම්මාගෙන් ලැබුණු සහයෝගයත් මෙහිදී මම මතක් කළ යුතු කාරණයක්. ඒ විතරක් නොවෙයි මට මෙතනට එන්න උදව් කළ සියල්ලන්ටමත්, කැම්පස් එකේදි මගේ නාට්‍යවලට උදව් කරන නංගිලා, මල්ලිලා කිහිපදෙනාවත් සිහිපත් කළ යුතුයි.

මේ දවස්වල මම යාළුවෙක් එක්ක කෙටි නාට්‍යයක් ලියාගෙන යනවා. ඉදිරි දවසක දිගු නාට්‍යයක් කරන්න හිතාගෙන ඉන්නවා. මේ හැම දෙයක්ම කරන්න ආර්ථිකය කියන සාධකයත් බලපානවා. කෙටි නාට්‍යවලට සංවිධායකවරයෙක් සොයා ගන්න එකත් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මම මේ දවස්වල නියැළිලා ඉන්න අනෙක් කාරණය වන්නේ කෙටි නාට්‍ය වේදිකා ගත කිරීමට අවශ්‍ය නිෂ්පාදකවරයෙක් සොයා ගැනීමේ ගැටලු වෙයි.