|
බොම්බාය හදන්න ලංකාවේ අක්කර පහක්
‘ද ෆිල්ම් ටීම්’ අභියෝගය ගැන එරල් කෙලී - එන්ස්ලි ද සිල්වා කියන කතාව
බොම්බේ වෙල්වට් හෙට (15) සිට ලොවපුරා තිරගත වන සුන්දර හින්දි සිනමා නිර්මාණයක්. රන්බීර් කපූර්, අනුෂ්කා ශර්මා සමඟින් කරන් ජොහාර් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බොලිවුඩ් අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප්. ගායිකාවක සහ බොක්සිං ක්‍රීඩකයෙකු අතර ඇති වන ප්‍රේම කතාවක් සමඟ සබැඳුනු සිදුවීම් පෙළක් ගෙන එන බොම්බේ වෙල්වට් රූගත කෙරුණේ ශ්‍රී ලංකාවේදී. ඒකේ තවත් විශේෂත්වයත් තියෙනවා. ඒ වෙනුවෙන් අපේ රටේ බොම්බාය නගරය ඉදිකළා. ඒ නිර්මාණ කටයුත්ත භාරව කටයුතු කළේ ප්‍රවීණ කලා අධ්‍යක්ෂ එරල් කෙලී. වෝටර්, මිඩ්නයිට් චිල්රන්, ඉන්දියානා ජෝන්ස්, මදර් තෙරේසා වැනි ජාත්‍යන්තර නිර්මාණ රැසක් සඳහා තම නිර්මාණ දායකත්වය ලබා දෙමින් බොම්බේ වෙල්වට් හැඩකළ එරල් කෙලී සමඟින් හම්බන්තොට ඉදිකළ බොම්බායේ කතා පුවත ගැන කතා කරමු. බොම්බේ වෙල්වට් කියන චිත්‍රපටයේ දර්ශන තල බලන්න කැමැත්තෙන් පසුවන බව ඔවුන් අපට දන්වා එවා තිබුණා. පැරණි බොම්බාය නගරයේ වීදි ටිකක් ඔවුන්ගේ නවතම නිර්මාණයට අවශ්‍ය බවත් අපට දැන්වූවා. අපි ඡායාරූප ටිකක් ඔවුන්ට ලැබෙන්නට සැළැස් වූවා. බොම්බාය නගරය ඔවුන් ඉන්දියාවේ නිර්මාණය කරන්න යන අපි දැන ගත්තා. ඇයි අපට බැරි නගර නිර්මාණය කරන්න. ‘ද ෆිල්ම් ටීම්’ ආයතනය ලෙසින් අපි කිව්වා බොම්බාය නගරය නිර්මාණය කරන්න අපිටත් හැකි බව. අප දායක වූ ‘වෝටර්’ සහ ‘මිඩ්නයිට් චිල්ඩ්රන්’ සිනමා නිර්මාණ නරඹා මනා අවබෝධයක් ලබා තිබුණා. අපේ විස්තර වලට අනුව ඔවුන් පැමිණ ලංකාවේ දර්ශන තල නැරඹීමෙන් අනතුරුව බොම්බාය ලංකාවේ හදන්න තීරණය කළා. * බොම්බාය කියන්නේ විශාල නගරයක්. අපේ රටේ කොනැතද ඒ වෙනුවෙන් වෙන් කළේ? අපි බොම්බාය නගරය ඉදිකරන්න තෝරා ගත්තේ හම්බන්තොට රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය. ඊට අමතරව තවත් ස්ථාන කිහිපයක් රූගත කිරීම් සඳහා යොදා ගත්තා. කොළඹ කොටුව දුම්රිය ස්ථානය, කොළඹ කොටුව, ගාල්ල කොටුව ආශ්‍රිතව රූගත කළා. ඊට අමතරව බෙන්තොට පැරණි පාලමත් යොදා ගත්තා. බොම්බායේ ෆෝක්ලන්ඩ් වීදිය රන්මිහිතැන්නේ නිර්මාණය කළා. * මේ සඳහා රන්මිහිතැන්න තෝරා ගත්ත විශේෂ හේතුවක් වුණාද? මාස දහයක්ම අව් රශ්මිය සහිත දේශගුණය විශාල හේතුවක් වුණා. රන්මිහිිතැන්න ටෙලි සිනමා ගම්මානයේ බොහොම නිදහස් පරිසරයක් තිබුණා. * බොම්බාය නගරය මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙන්න නොදී බොම්බේ වෙල්වට් ඉන්දියාවේ රූගත කරන්න තිබුණා නේද? ඉන්දියාවේ පැරණි වීදි තිබුණත් චිත්‍රපට කණ්ඩායමකට වැඩ කරන්න අපහසු තත්ත්වයක් තමයි ඒ පරිසරයේ තියෙන්නේ. පාරවල් වහන්න හැකියාවක් නැහැ. පැරණි දැන්වීම් දමන්න අපහසුයි. පැරණි ආකාරයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසෙන්න ඕනි. මේ හැම දෙයක්ම වර්තමාන බොම්බායේ කරන්න අපහසුයි. නිදහස තමයි නැත්තෙම. සිනමා නිර්මාණයකට නිදහස් පරිසරය තමයි වැදගත්ම දෙය වන්නේ. ලංකාවේ ඒ නිදහස උපරිමයෙන් තියෙනවා. රූගත කිරීම සඳහා බාධක නැහැ. ඒ නිසා ඔවුන් මේ පරිසරය බොම්බේ වෙල්වට් නම් මේ අපූරු සිනමා නිර්මාණය සඳහා යොදා ගන්න එකඟ වුණා. ඉන්දියාවට වඩා ලංකාවේ වැඩ කරන්න ලෙහෙසි බවත් ඔවුන් වටහා ගෙන තිබුණා. * මෙහි නිරූපණය වන්නේ බොම්බාය නගරයේ කුමන අවධියද? බොම්බායේ එක්දහස් නවසිය හැටේ දශකය මෙහිදි නිරූපණය කෙරෙනවා. ඒ අනුව ගැළපෙන වටපිටාව. ඇඳුම් පැළඳුම්, දැන්වීම්, වාහන ආදි සියලුම දේ අපේ බොම්බාය නගරයේ දැක් වුණා. * හැටේ දශකයේ බොම්බාය නිර්මාණ කරන්න එකතු කළ විශේෂ සළකුණු? පැරණි බොම්බේ වෙල්වට් සමාජ ශාලාව මෙහිදී මූලික වුණා. ඒ හැරුණාම බොම්බායේ පැරණි වීදි අපි නිර්මාණය කළා. මේ පැරණි ගොඩනැගිලි, වීදිවල ඡායාරූප ගෙනත් ඒ අයුරින්ම ඒවා අපි නිර්මාණය කළා. * රන්මිහිතැන්නේ කොහොමද බොම්බාය නිර්මාණය කළේ? රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ අතහැරදමා තිබූ අක්කර පහ හමාරක භූමි ප්‍රමාණයක් අපි මේ සඳහා යොදා ගත්තා. වල් බිහිව තිබූ ඒ භූමිය එය මට්ටමකට සකසා බොම්බාය නගරය නිර්මාණය කළා. ඊට අමතරව රන්මිහිතැන්නේ තිබුණු පැරණි වීදියක් අපි යොදා ගත්තා. * පසුතලයේ විශේෂ වූ දේ? අපට බොම්බාය නගරය 1960 දශකය ඒ අයුරින්ම නිර්මාණය කරන්න උවමනා වුණා. ඇඳුම් පැළඳුම් වගේම මේ සඳහා පැරණි වාහන රැසක් අපි යොදා ගත්තා. එහි විශේෂ වුණේ ට්‍රෑම් කාර් එක. අපි බොම්බේ වෙල්වට් චිත්‍රපටය වෙනුවෙන් තට්ටු දෙකේ ට්‍රෑම් කාර් එකක් නිර්මාණය කළා. නවතම චැසියක් යොදාගෙන එය නිර්මාණය කළා. හැබැයි ඒක රොද වලින් තමයි එය ධාවනය වන්නේ. නමුත් ඒක ඔබට චිත්‍රපටයේ පෙනෙන්නේ පීලි මතින් ධාවනය වෙනවා වගෙයි. ඒ නිර්මාණය මේ කාර්යය තුළ සාර්ථකව කළ නිර්මාණයක්. ඊට අමතරව තවත් පැරණි වාහන දෙසීයක් විතර යොදා ගත්තා. * මේ කාර්යයේදී අභියෝග ගැටළු රැසක් එහෙමත් ඇති වෙන්න ඇති? ඒ ආසන්නයේ වැවක් තියෙනවා. පොළව යටින් වතුර ගලා ඒම තමයි ලොකුම ගැටළුව වුණේ. එය වළක්වන්න අපිට විවිධ ක්‍රියාමාර්ග ගන්න සිදු වුණා. නමුත් අපි ඒ අභියෝගය අපි ජය ගත්තා. වර්ෂා කාලයකටත් අපට මුහුණ දෙන්න සිදු වුණා. සොබා දහම වෙනස් කරන්න අපට බැහැනේ. එවුණත් එය අපට ඒ තරම් කරදරයක් ගෙන දුන්නේ නැහැ. * මේ නිර්මාණ කටයුත්ත අපේ රටට විශාල ආයෝජනයක් නේද? ඔව්. ඇත්තෙන්ම එය අපේ සිනමාව වෙනුවෙනුත් වන විශාල ආයෝජනයක්. විශාල බොම්බාය නගරය අලුතින්ම ඉදිකිරීමට අමතරව එහි තිබූ පැරණි වීදියකුත් යොදා ගැනීම පහසු වුණේ එහි පෙර නිර්මාණයයි. රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ඉදිකිරීම් සඳහාත් මගේ දායකත්වය ලැබුණා. එහිදී එම වීදිය ඉදිකිරීමේදි ගොඩනැගිලි වල මුහුණත් වෙනස් කළ හැකි අයුරින් නිර්මාණය කරන්න මම වගබලා ගත්තා. ඒ නිසා එම ගොඩනැගිලිවල මුහුණත් ගලවා බොම්බායට ගැළපෙන පරිදි නිර්මාණය කළා. ඉදිරියේදී එය තවත් වෙනස් ආකාරයකට වුණත් අපිට යොදා ගන්න පුළුවන්. සිමෙන්ති වලින් නිර්මාණය කළා නම් අපට ඒක වෙනස් කරන්න බැහැ. ජලයට ඔරොත්තු දෙන ෆ්ලයිවුඩ්වලින් තමයි එය නිර්මාණය කළේ. ඒ නිසා විවිධාකාරයෙන් ඉදිරි අනාගතයේදී අපට එය භාවිත කරන්න පුළුවන්. බොම්බාය නගරයත් දැන් අපට තියෙනවා. * මේ සඳහා ලාංකිකයන්ගේ දායකත්වය? අපේ පිරිස 250ක් විතර මේ ගොඩනැගිලි හදන්න දායකත්වය ලබා දුන්නා. ඉන්දියාවෙන් කලා අධ්‍යක්ෂවරයෙක් ඇතුළුව කිහිප දෙනෙක් මේ සඳහා දායක වුණා. මෙහිදී මම සමඟින් තවත් දක්ෂ ප්‍රවීණ නිර්මාණකරුවන් කිහිප දෙනෙක් සම්බන්ධ වුණා. කලා අධ්‍යක්ෂවරුන් වන වෙලේගෙදර රණසිංහ, ලාල් හවීන්ද්‍රනාත්, කේ. පී ජස්ටින්, ධර්මසේන හේමපාල වැනි දක්ෂ ශිල්පීන් මෙහිදී මා සමඟින් කටයුතු කළා. * ඉන්දියාවේ පරිසරය සමඟ කොහොමද අපේ පරිසරය ගලපා ගත්තේ? ඇත්තටම ඉන්දියාව සහ ලංකාව අතරේ ලොකු වෙනස්කමක් නැහැ. එය වෙනස් වෙනවා නම් වෙනස් වන්නේ ඇඳුම් පැළඳුම්, වීදිවල දැන්වීම්, වාහනවල අංක තහඩු වගේ දේවල් තමයි. පරිසරය ගොඩක් සමීපයි. මිනිසුන් අතර ලොකු වෙනසක් නැහැ. ඒ නිසා නිර්මාණ කරන්න පහසුයි. * මෙරටදී නිර්මාණ කටයුතුවල යෙදෙන විටදී ඉන්දීය නිර්මාණකරුවන්ගේ අදහස වුණේ? ඔවුන් ලංකාවට පැමිණ වැඩ කරන්න හරිම කැමැතියි. අපිත් සමඟ නිර්මාණ කරන්න සම්බන්ධ වූ හැමෝව වගේ සඳහන් කළේ අපේ රටේ නිදහස ගැන තමයි. මදර් තෙරේසා වගේ චිත්‍රපටයක් කරන්න විශේෂ වුණෙත් එයයි. ඒක හොලිවුඩ් චිත්‍රපටයක් වුණත් ඔවුන් එය කල්කටාවේදී රූගත නොකර ලංකාවට ආවා. කොළඹ පිට්ටනියක පොඩි කොළණියක් හදලා එහි සිට තමයි මදර් තෙරේසා චිත්‍රපටය රූගත කළේ. බොම්බේ වෙල්වට් කණ්ඩායමත් ඒ නිර්මාණයත් මනාව අධ්‍යයනය කරලා විශාල පැහැදීමකින් හිටියේ. * අනුරාග් කාශ්‍යප් නම් අධ්‍යක්ෂවරයා සමඟ කටයුතු කළ ප්‍රථම අවස්ථාව මෙයයි? අනුරාග් කියන්නේ ඕනිම කෙනෙකුට පහසුවෙන් වැඩ කරන්න පුළුන් අධ්‍යක්ෂවරයෙක්. අනුරාග් එක්ක වැඩ කරන්න හරිම ලෙහෙසියි. ඔහු තමන්ට අවශ්‍ය දේ මුලින්ම කියනවා. අදහස් හුවමාරු කරගන්න හරිම පහසුයි. අවබෝධය, තේරුම් ගැනීම ඉහළයි. නළු නිළියන් පවා ලංකාවට බෙහෙවින් කැමැති වුණා. මේ නිදහස්, නිස්කලංක පරිසරයටයි ඔවුන් වශී වුණේ. * කරන් ජොහාර් නම් අධ්‍යක්ෂවරයාත් මේ කටයුත්ත සමඟ ලංකාවට පැමිණියා. ඔහුගේ නිර්මාණයකටත් ඉදිරියේදී ලංකාව පසුබිම් වේවිද? ඒක බොහෝවිට වෙන්න පුළුවන් දෙයක්. බොම්බේ වෙල්වට් නිර්මාණය සඳහා දායක වෙන්න පැමිණි ඉන්දියානුවන් හැමෝම තුළ පැහැදීම තිබුණා. ඒ නිසා කරනුත් එහෙම වෙන්න ඕනි. අපේ සුන්දර පරිසරය අනිවාර්යයෙන් ඔහු කැඳවාවි. * රටවල් දෙකක දෙපිරිසක් එකතුව නිර්මාණයකට දායකවීම මොනවගේ අත්දැකීමක්ද? රටවල් දෙකක් වුණත් අරමුණ එකක්. ඒ නිසා ගැටළු මතු වෙන්නේ නැහැ. අදහස් අතර මත ගැටුම් තිබුණේ නැහැ. බොම්බාය නගරය ඉදිරිකරලා චිත්‍රපටය රූගත කිරීමයි අපේ එකම අරමුණ වුණේ. සියල්ලන්ම කැප වුණේ ඒ වෙනුවෙන්. ඒ අනුව ඉතාම සාර්ථක අයුරින් සිනමා නිර්මාණය කළා. * මේ දැවැන්ත කර්තව්‍යයේදී ‘ද ෆිල්ම් ටීම්’ මූලික වුණා? මෙහි සියලුම කටයුතු සංවිධානය කෙරුණේ ද ෆිල්ම් ටීම් ආයතනය විසින්. දර්ශන තල සොයා ගැනීම, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, නළු නිළියන් සඳහා නවාතැන් පහසුකම්, ආහාර පාන සැපයීම, ඔවුන් නවාතැනේ සිට රූගත කෙරෙන ස්ථානයට ගෙන යාම රැගෙන ඒම, රූගත කිරීම් සඳහා අවසර ගත යුතු තැන් සඳහා අවසර ගැනීම් ආදි සියලු කටයුතු භාරව කටයුතු කළේ අපි. රන්මිහිතැන්නේදි රූගත කෙරුණත් නළු නිළියන් කොළඹ සිට අප රැගෙන යා යුතු වෙනවා. ඒ සියලු කටයුතු නිසි වෙලාවට සිදු වුණේ නැති නම් මුළු නිර්මාණ කාර්යයම අවුල් සහගත වෙන්න පුළුවන්. වෙලාවට ක්‍රමානූකූලව වැඩ කිරීම අපේ වගකීමයි. එය අපි සමඟ කටයුතු කළ නිර්මාණකරුවන් හොඳින් අවබෝධ කර ගත්තා. ඒ වගේම බාහිර ජනතාවට අවහිරයක් වෙන ආකාරයෙනුත් කටයුතු නොකරන්න අපි වග බලා ගන්නවා. කොළඹ රූගත කිරීම් සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ එක් දර්ශනයක් ඇතුළත් වුණා. ඒ සඳහා අපි නිවාඩු දිනයක කාර්යබහුල නොවූ දුම්රිය වේදිකාවක් යොදා ගත්තා. ඒ වෙනුවෙන් අපිට පැරණි දුම්රිය එන්ජිමක් සහ මැදිරියක් යොදා ගන්න සිදු වුණා. දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව එන්ජිම සමඟ පිළිසකර කළ මැදිරියක් ඒ සඳහා අපි භාවිත කළා. එහිදි කිසිවෙකුට බාධාවක් නොවන අයුරින් මේ සියලු කටයුතු ඉටුකිරීමට ‘ද ෆිල්ම් ටීම්’ අපි වගබලා ගත්තා. මේ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම සතුටක්. බොම්බේ වෙල්වට් මෑතකදී බොලිවුඩයෙත් කළ දැවැන්ත නිර්මාණයක්. අපි ගැන විශ්වාසය තැබූ හොලිවුඩ් නිර්මාණකරුවන් පවා අප සමඟ මෙරටදී නිර්මාණ කටයුතු සඳහා දායක වෙනවා. ඔවුන් දන්නවා ‘ද ෆිල්ම් ටීම්’ වැඩක් භාර ගත්තොත් ඒක අකුරටම ඉටු කරන බව. ඒවගේමයි ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ කටයුතු කළහැකි නිර්මාණකරුවන් රැසක් අපේ රටේ සිටිනවා. * ‘ද ෆිල්ම් ටීම්’ ආයතනයේ එකමුතුව? ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය ‘ද ෆිල්ම් ටීම්’ ආයතනයේ සභාපතිවරයා ලෙසින් වගකීම ගෙන සිටිනවා. මම, එන්ස්ලි ද සිල්වා සහ ගෝපි ධර්මරත්න මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරනවා. මම කලා අංශය භාරව සිටිනවා. එන්ස්ලි නිෂ්පාදන අංශයත් ගෝපි ගිණුම් අංශයත් භාරව කටයුතු කරනවා. * මේ සුවිශේෂ නිර්මාණ කටයුත්තේ අවසානයේ ඔබට දැණුනේ කුමක්ද? ඇත්තටම අති සාර්ථක අයුරින් සිදු වුණා කියන හැඟීම දැනෙනවා. ඉතාම අලංකාර අයුරින් බොම්බේ නගරය අපි ඉදි කළා. බොම්බේ වෙල්වට් ශාලාවත් ඉතාම විචිත්‍රවත්. එ පමණක් නොවෙයි එය ඉදිරියටත් අපට භාවිත කරන්න හැකි වීම ගැනත් තියෙන්නේ සතුටක්. * මේ කටයුත්ත අපේ සිනමාවට කුමන ආකාරයේ බලපෑමක් කළාද? අපේ ශිල්පීන් රාශියකට මේ සඳහා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ප්‍රවීනයන්ට චරිත තිබුණේ නැතත් සුළු සුළු චරිත වෙනුවෙන් විශාල පිරිසකට දායක වෙන්න ලැබීම වටිනා අවස්ථාවක් බවයි මගේ හැඟීම. මේ දර්ශන තලයත් අපට විශාල ආයෝජනයක්. * ද ෆිල්ම් ටීම් ලංකාවේ නිර්මාණ සඳහා දායක වෙන්නේ නැතිද? එහෙම තීරණයක් නැහැ. අපි ඉදිරියේදී ලංකාවේ අපේ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. තවමත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ හැරුණාම ඉදිරියේදී ද ෆිල්ම් ටීම් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දැවැන්ත කාර්යය පුරාවට ද ෆිල්ම් ටීම් වෙනුවෙන් නිෂ්පාදන අංශයෙන් දායක වුණේ ඒන්ස්ලි ද සිල්වා. සරසවිය ඔහු සමඟිනුත් කතා කරන්න අමතක කළේ නැහැ. * බොම්බේ වෙල්වට් චිත්‍රපටයේ නිර්මාණ කටයුතු සමඟින් ඔබටත් වගකීම් රාශියක් පැවරුණා? ඇත්තෙන්ම මේ කාර්යය විශාල වගකීමක්. නිෂ්පාදන අංශය භාර වුණේ මට. හැම දේම වෙලාවට නිසි ආකාරයෙන් ඉටු විය යුතුයි. ඒ වගකීම අප සතුයි. මේ සඳහා පසුතල නිර්මාණ වගේම, වාහන පහසුකම්, නළු නිළියන්ට නවාතැන්, වගේම ආහාරපාන ඇතුළු අනෙකුත් පහසුකම් සැපයිය යුතුයි. රූගත කිරීම් සඳහා අවසර ගැනීම් ආදිය වගකීමෙන් කළ යුතු වෙනවා. අපි ඒ වගකීම අකුරටම ඉටු කරනවා. එක දවසක් බොම්බේ වෙල්වට් ශාලාවේ රූගත කිරීමකට ශිල්පීන් දෙසියක් සහභාගි විය යුතු වුණා. අළුයම සිට ඔවුන් වෙස් ගන්වා, අදාළ ස්ථානයට රැගෙන යාම වැනි දේ වෙලාවට කිරීම අභියෝගයක් වුණා. නමුත් අපේ ක්‍රමානූකූල බව නිසා සාර්ථකව ඔවුන් හසුරවා ගන්න අපට හැකි වුණා. ඒ වගේම 1960 දශකයට අදාළ වාහන වගේම විවිධ අවි අයුධ පවා යොදා ගත යුතු වුණා. ඒ සඳහා ජර්මනියෙන් අපට විශේෂ අයුධ පවා ගෙන්වා ගන්න සිදු වුණා. ඒවා ගෙන්වීම රේගුවෙන් නිදහස් කිරීම නැවත යැවීම වැනි දේ සඳහා වගකීමෙන් කටයුතු කරන්නත් අපි වගබලා ගත්තා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඇතිව අපි මේ සියල්ල සාර්ථකව ඉටු කළා. * මේ වැනි කාර්යයක් අපේ රටේ සිදු කිරීම ඔබ දකින්නේ කෙළෙසද? මෙවැනි නිර්මාණ අපේ රටේ සිදු කිරීම අපේ ආර්ථිකයට විශාල විදේශ විනිමයක් එකතු කරනවා. මෙහි පසුතල නිර්මාණය හැර අනෙක් වියදම් සඳහා පමණක් ඔවුන් අමෙරිකානු ඩොලර් මිලියන පහක් පමණ වියදම් කළා. ඒක විශාල ආදායමක්. ඒක අපේ සිනමාවට පමණක් නොවෙයි රටටම වාසියක්.
|