වර්ෂ 2015 ක්වූ මැයි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ටයි මහත්තයා නමට පිදෙන හඬ කැවීම් මැදුරේ විත්තිය

ටයි මහත්තයා නමට පිදෙන හඬ කැවීම් මැදුරේ විත්තිය

ශිෂ්‍යත්වයක් ලැබ ජර්මනියට ගිය ටයි මහතා සුපුරුදු රාජකාරි කටයුතු සඳහා යළි රූපවාහිනියට පැමිණ සිටියේය. ඔහුගේ සෙවණෙහි වැඩකිරීමට මසිත තිබූ භීතිය මේ වන විට ද පහව නොතිබිණ. හඬකැවීම් අංශයේ ඇති වැදගත්කම එවකට ජාතික රූපවාහිනියේ සිටි බලධාරීන්ට කියාපෑමෙන් පසුව ටයි මහතා විසින් ලබා ගත් අලුත් අංශයට මා අනුයුක්ත කළ විට එහි රාජකාරි කටයුතු භාර ගැනීම සඳහා මා ගියේ මරන්නට දක්කගෙන යන වස්සෙකු පරිද්දෙනි. “ඔය කේන්තියට කෑ ගැහුවට ඕක නිකං සෝඩ බෝතලේ ඇරියා වගේ. ඉන් පස්සෙ හිතේ මොකවත් නෑ” ටයි මහත්තයා ළඟට ඔහුගේ සහායක වශයෙන් සේවයට යන්නට මා මැළිවන විට එවකට නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් පුටුවේ සිටි හෙන්රි ජයසේන මහතා විසින් මා දිරි ගන්වන ලද්දේ ඒ අයුරිනි.

තත්කාලීනව රූපවාහිනී මාධ්‍යයට නවමු අත්දැකීමක් වූ විදේශීය වැඩසටහන් සිංහල බසින් හඬකැවීමේ ප්‍රාරම්භය එසේ සිදු වෙද්දී එහි පුරෝගාමියා වැඩ පටන් ගත්තේය. මේස පුටු, ලිපිගොනු, කැබිනට්, ලිපි ද්‍රව්‍ය, ටයිප් රයිටර් වැනි භෞතික සම්පත්වලින් අලුත් අංශය පිරී ගියේය. ටයි මහත්තයා හඩකැවීම් අංශයට පිවිසෙන විටම තිබූ පුටුවෙහි විරාජමාන විය. “කතා කළොත් වචන ඔබනවා” යන වදන් පෙළ හඩ කැවීම් අංශයෙහි දොරහි ඇලවිණි.

'මල්ලි මං ජර්මනියට ගිහින් එනකොට වැඩසටහන් වගයක් ගෙනාවා. මේක අපි සිංහලෙන් ඩබ් කරලා රූපවාහිනී ඇනවසරි දවසෙ දාමු' ටයි මහතා උථචබඪජ කැසට් පට දෙකක් මා වෙතට දෙන ගමන් පැවසීය. එතුමා සමහර විටෙක අප ඇමතුවේ මල්ලී කියාය. සමහර විටෙක පුතා කියාය. කේන්ති ගිය විටකදීත් ඉතා සුහද වෙලාවන්හිදීත් ඔහු අපට උඹ කියා ද ඇමතුවේය. මම කැසට් පට දෙක රැගෙන ප්‍රධාන පාලක මැදිරියට ගොස් එහි අන්තර්ගත වැඩසටහන් දෙක නැරඹුවෙමි. හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කාටුන් වැඩසටහන් දෙකක් විය. ඉතා මනරම් පසුතලයන්හි ඉංග්‍රීසියෙන් කතා කරන චරිත කිහිපයක් එහෙ මෙහෙ සැරිසැරුවෝය. මම තේරෙන ඉංග්‍රීසියෙන් එම චරිතයන් පවසන දෙබස් සටහන් කර ගැනීමට උත්සුක වූ වෙමි.

'පුතා මේක ඩබ් කර ගන්න හොඳ වොයිසස් ටිකක් ඕන, කුරුවල් වෙච්ච නැති'

ටයි මහතා මා පිටුපස පෙනී සිටියේය.

'මං දන්න හොඳ හඬක් තියෙන යාළුවෙක් ඉන්නවා. මිනිහට කිව්වොත් නම් මේ වැඩේ කර ගන්න පුළුවන් වෙයි'

මට එක්වරම සමන් අතාවුදහෙට්ටි මගේ පාසල් මිතුරා සිහිපත් විය. සමාකාලීනව සමන් රාජකිය විද්‍යාලයේත් මම ආනන්ද විද්‍යාලයේත් උසස් පෙළ හදාරන සිසුහු වූවෙමු. අප දෙදෙනා එකල මුණ ගැසුණේ පුංචි බොරැල්ල පරනවාඩිය හන්දියේ පිහිටා තිබූ සරසවි විද්‍යපීඨ පියස යටදීය.

'එහෙනම් උඹ ගිහිල්ලා ඒ පූසව එක්ක ගෙන වරෙන්' සමන්ව කැඳවා ගෙන ඒමට ටයි මහතා විසින් අවසර දෙන ලදී. ටයි මහතා එක්වරක්වත් තමා මුණ නොගැසුණු පුද්ගලයෙකුට පූසා කියා අමතන්නට පුරුදු වී සිටියේය. පසු කාලෙකදී ඔහු විසින් සිංහලෙන් හඬ කවන ලද කාටුන් චිත්‍රපට මාලාවකට 'පිස්සු පූසා' යනුවෙන් ද නම් තබන ලදී. මම සැනෙකින්ම රූපවාහිනී සහ ගුවන් විදුලි ගොඩනැගිලි මායිම්වලට ඉඩ දෙමින් දිව යන පාර මාරු වී සමන් සොයා ගුවන් විදුලියට ගොඩ වැදුණෙමි. ඔහු එකල ක්‍රීඩා අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විය. පටිගත කිරීම් කටයුතු නිමා කර ගුවන් විදුලි කොරිඩෝව දිගේ පැමිණි සමන් මා ඉදිරියේ පෙනී සිටියේය. මම ඔහුට ටයි මහත්තතයා ගේ අලුත් වැඩය ගැන පැහැදිලි කර දුන්නෙමි. ඔහුගේ සුරත දෙවුර ළඟට වැටී තිබූ කෙස් වැටිය වෙතට ළඟා වෙන අයුරු මම බලා සිටියෙමි.

'හරි අපේ වැඩේ කරමු. ලන්දේසි දූපතේ මගේ සගයන් පරාක්‍රම පෙරේරා කරුණාතිලක හඳුවලත් තව ඕන නම් ලෙස්ලි රාමනායකත් අපි මේ වැඩේට සම්බන්ධ කර ගමු'

මම සමන්ගේ යෝජනාව ජයග්‍රාහී ලෙසට ටයි මහත්තයාට ඉදිරිපත් කළෙමි.

'එහෙනම් උඹ ඔය පූසල ටික එක්කරගෙන වරෙන්කො'

ටයි මහත්තයා උපැස් යුවළ පිස දමමින් පැවසුවේය.

දින දෙක තුනක් ගත විය. දැන් සියල්ල සූදානම්ය. ප්‍රධාන පාලක මැදිරියේ කෙළවර පිහිටි කුඩා මැදිරියේ තාවකාලිකව අටවා ගත් මයික් දෙකක් ඉදිරියෙහි සමන් පරාක්‍රම හඳුවල ලෙස්ලි පෙනී සිටියහ. ඉංග්‍රීසි පිටපතෙන් අනුවර්තනය කරන ලද සිංහල දෙබස් ඛණ්ඩ ටයි මහතා විසින් හඬ ශිල්පීන් අතරෙහි බෙදා දෙන ලද්දේ චරිතයන් පිළිබඳ ව උපදෙස් ද ලබා දෙමිනි.

ජාතික රූපවාහිනියේ එවකට සිටි දක්ෂ කාර්මික ශිල්පීන් දෙදෙනෙක් වූ පාලිත ප්‍රනාන්දු සහ ගාමිණී මාතරආරච්චි කාටුන් චිත්‍රපටය අඩංගු කැසටපටය ධාවනය කරමින් එකිනෙකට පෙළ ගැසි තිබූ දර්ශන ශිල්පීන් ඉදිරියෙහි ප්‍රදර්ශනය කිරීමට යුහුසුලු වූහ. (ජාතික රූපවාහිනියට සම්පතක් වූ ගාමිණී මාතරආරච්චි වියෝ වූයේ ද තම රාජකාරි කටයුතු කළ රූපවාහිනී භූමියේදීම බව ඔහුව සිහිපත් කරමින් මෙසේ ලියා තබමි).

අපගේ සංස්කෘතියට ගැළපෙන අයුරින් ටයි මහතා ඉංග්‍රීසි කථාව සිංහල බසට මනා ලෙස අනුවර්තනය කර තිබුණේය. හඬ ශිල්පීහු හතර දෙනාම හරි හරියට තමන්ගේ කටහඬවල් මුසු කරමින් රූපවාහිනි මාධ්‍ය ඉතිහාසයේ සිංහල බසින් හඬ කවන ලද පළමු කාටුන් චිත්‍රපටය ජාතියට දායාද කිරීමට පෙළ ගැසී සිටියහ. එකල අද මෙන් තාක්ෂණය දියුණු තත්ත්වයකට පත් වී නොතිබුණි.

අදාල දර්ශනය සඳහා එක්වරක් තම හඬ මුසු කිරිමට හඬ ශිල්පියාට නොහැකි වුවහොත් එම දර්ශනය තත්පර දහයක කාලයක් පිටුපසට ගොස් කැසට පට යන්ත්‍රයට අවශ්‍ය පරිදි ධාවනය වී තමන් ඉදිරියේ එය ප්‍රදර්ශනය වන සැනෙකින්ම මුල් හඬට සමපාත වන ආකාරයෙන් තම දෙබස් ඛණ්ඩය මුසු කිරීමට සිදු වීම එදවස ඔහුට පැවරුණ අසීරු රාජකාරි කටයුත්තක් විය. එම ඓතිහාසික අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් රූපවාහිනී ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබීමට සමන් හඳුවල ලෙස්ලි සහ පරාක්‍රම සමත් වූහ. ඔවුන් සමඟ අවන්හලේ කෙළවරක හිඳ තොලගාන ලද මධුවිතක් හරහා ටයි මහත්තයාගේ නිරාමිස සතුට ඉතිරී ගියේය. අනිමිස ලෝචන පූජාවෙන් යුතුව එදෙස බලා සිටියේ මා ද සම්බන්ධ වූ ඓතිහාසික මෙහෙවර පිළිබඳව උදම් වෙමිනි.

ඒ 1987 පෙබරවාරි මස 14 වන දිනය විය. 'ලොකු බාස් පොඩි බාස්' සහ 'අහළ පහළ' සිංහල බසින් හඬ කවන ලද පළමු විදේශිය කාටුන් චිත්‍රපට දෙක රූපවාහිනී සංවත්සර දිනයේදී ජාතික රූපවාහිනියෙන් විකාශය විය. ටයි මහතා ළමා මනසට ගෝචර වන වෙනත් භාෂාවන්ගෙන් නිෂ්පාදනය වූ වැඩසටහන් චිත්‍රපට සොයා බලමින් ඒ පිළිබඳ නිරන්තරව විමසිලිමත්ව සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ ස්විස් නිෂ්පාදනයක් වූ දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාව අපගේ සංස්කෘතියට බද්ධ කරමින් ළමා මනස ඉදිරියේ දිගැලි කිරීමය. මෙම කාල වකවානුවේදීම හඬ කැවීම් අංශය මානව සහ භෞතික යන ද්වි පක්ෂයෙන්ම පෝෂණය වෙමින් තිබිණ. මඩවල එස්. රත්නායක නම් ප්‍රවීණ කලාකරුවාණන් අංශ ප්‍රධානී වශයෙන් කටයුතු කළ වාර්තා වැඩසටහන් අංශයට අනුයුක්තව රාජකාරි කටයුතු කළ අතුල රන්සිරිලාල් ටයි මහත්තයාගෙන් කරන ලද බලවත් ඉල්ලීම පිට හඬ කැවීම් අංශයට බැඳුණේය. හඬ කැවීම් අංශයට අතුලගේ තිබෙන බැඳීම ටයි මහතා ද මවිත කළ අවස්ථාවන් බොහෝ වේ.

දොස්තර හොඳ හිත මිමී 16 කාටුන් චිත්‍රපට මාලාවක් විය. අවම පහසුකම් යටතේ වුව ද විදේශීය රූපවාහිනී වැඩසටහන් Lip Sync Dubbing Over Lay Dubbing Off Commentary යන හඬ කැවීම් විෂය අරඹයා සිංහල බසෙන් හඬ කැවීම් සඳහා එදවස ජාතික රූපවාහිනියට හැකියාව තිබුණත් මිමී 16 මිමී 35 චිත්‍රපට හඬ කැවීමට හැකියාවක් නොතිබුණි. මේ හේතුවෙන් දොස්තර හොඳ හිත චිත්‍රපට මාලාව හඬ කැවීමේ කටයුතු සඳහා රජයේ චිත්‍රපට අංශයට අපට යාමට සිදු විය. එම චිත්‍රපට මාලාව හඬ කැවීම සඳහා තව තවත් හඬ කැවීමේ ශිල්පීන් ටයි මහත්තයාට අවශ්‍ය විය. ඒ සඳහා පෙර දවස ඔහුගේ සිනමා නිර්මාණවලට දායක වූ කලා ශිල්පීහු කිහිප දෙනෙක්ම හඬ කැවීම් අංශයට ගොඩ වැදුණහ. ගැමුණු විජේසූරිය, වික්ටර් මිගෙල්, ධර්ම ශ්‍රී මුණසිංහ, රත්නාවලී කැකුණවෙල, එල්සන් දිවිතුරගම ඒ අතරින් ප්‍රධාන වූහ.
 

මුහුද මගේ ගොඩ බිමයි නැව මගෙ නිවහන තමයි

සියලු සතුන් මගෙ තමයි දොස්තර හොඳ හිත මමයි

පරම්පරාවෙන් පරම්පරාවට සවන්පත් හි රැඳෙන මෙම ගීතයේ පදවැල් එකිනෙකට ගළපමින් ප්‍රේමකීර්ති ද අල්විස් නමැති දක්ෂ ගේය පද රචකයාත් එහි තනුව නිර්මාණය කළ ජාතික රූපවාහිනි සංගීත අංශයේ එවකට අංශ ප්‍රධානියා වූ සෝමසිරි ඉලේසිංහයනුත් දොස්තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාවේ මුල්ම කථාංගය වූ බෑයි කියල බෑ චිත්‍රපටය සඳහා අනුපමේය දායකත්වයක් ලබා දුන්හ. ප්‍රේම් මිය යන තෙක්ම ටයි මහතාගේ බඩ බැඳගත් එකම ගීත රචකයා විය. මා බඩ බැඳගත් යනුවෙන් විශේෂණ පදයක් ප්‍රේම් වෙනුවෙන් ලියා තබනුයේ ඔහු ටයි මහතා හමුවන සෑම විටකදීම පාහේ ටයි මහතාගේ ඉදිරියට නෙරා ආ බඩ වටා අත යවමින් බැරි බරගාතේ වුව ද ඔහුව තමන් දෙසට ඇද ගනිමින් තම දත් පෙළෙහි දෙපස පිහිටුවා තිබූ නල දත් දෙකම ප්‍රදර්ශනය වන සේ සිනහවීමට ප්‍රේම් පුරුදු වී සිටි බැවිනි.

දොස්තර හොඳ හිත කථා මාලාවට අන්තර්ගතව කාටුන් සංගීත කණ්ඩායමක් විය. ටයි මහතා විසින් එය නම් කරන ලද්දේ ලා තණ කොළ පෙත්තාස් යනුවෙනි. ප්‍රේම්ගේ පද්‍යවලට සෝමපාල රත්නායක ගේ තනු වලට එම කණ්ඩායම් ගීත ගායනා කරන ලද්දේ දීපිකා පි‍්‍රයදර්ශනී ප්‍රමුඛ අතුලගේ කළුබෝවිල ගෝල බාල පිරිස විසිනි. දීපිකාගේ ප්‍රථම ගායන ප්‍රවේශය ද මෙය විය. පසු කලෙක දී ප්‍රාසංගික කලාව ජනතාව අතරට ගෙන යාම සඳහා රූප රචනාවෙන් සුරු විරුකම් පෑ රවීන්ද්‍ර මුණසිංහ ද එම ගායනා අත් වැලෙහි නිත්‍ය ගායකයෙකු විය.

මිමී 16 චිත්‍රපටය හඬකැවීම් අංශයට අයත්ව තිබූ ර්ධමඥතඪච යන්ත්‍රයේ එහාට මෙහාට යවමින් එහි ඇති කුඩා මොනිටරයෙන් ප්‍රදර්ශනය වන දර්ශනයන් නරඹමින් චිත්‍රපටයේ චරිතයන් ඉංගී‍්‍රසි බසින් කියාපාන දෙබස් ටයි මහතා විසින් ලියා ගන්නා ලදී. පසුදින ඔහු සංස්ථාවට පැමිණෙන්නේ ඔහු විසින් ම නම් ප්‍රසිද්ධ කළ දොස්තර හොඳ හිත, චව්චව්, දියරකුස්, ටොම් වැනි චරිතයන්ගේ මුවඟට සරිලන ලද දෙබස් අන්තර්ගත සිංහල පිටපත ද රැගෙනය. ලා තණ කොළ පෙත්තාස් ගායක කණ්ඩායම විසින් ගායනා කරන ලද ගීතයේ තේමාව ප්‍රේම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අදාළ කථාංගය ලූප්වලට කැඩීම ටයි මහතා අතින්ම සිදුවේ. එක් කථාංගයක් ලූප් 16 කින් පමණ සමන්විත වේ. එසේ කොටස් කර ගත් දොස්තර හොඳ හිත කතාව පෙට්ටියක බහාලමින් කලට වේලාවට ශීලා කටුගම්පල මෙනෙවිය විසින් ටයිප් කර දෙනු ලැබූ සිංහල පිටපත ද රැගෙන අදාළ හඬ ශිල්පීන් සමඟ රජයේ චිත්‍රපට අංශයට යාම එකල අතුලගේත් මගේත් දෛනික රාජකාරිය විය.

දොස්තර හොඳ හිතෙන් පසුව හා හා හරි හාවා, පිස්සු පූසා, ගලිවර්ගේ සිව්සැරිය වැනි කාටුන් චිත්‍රපට සේම සම්භාව්‍ය ගණයේ චිත්‍රපට සේ සැලකෙන විදේශීය චිත්‍රපට පෙළක් ද සිංහල බසින් හඬ කැවීම් සඳහා පෙළ ගැසුණි. සිටුවර මොන්ත ක්‍රිස්තො, මල්ගුඩි දවස ඒ අතරින් ප්‍රධානවේ. පිටරට දේ අපේ දේ කර ගැනීමට ටයි මහතාගේ ප්‍රාග්‍රණ්‍යයට හේතු වූයේ ඔහු සතු වූ ද්වි භාෂා දැනුම වේ. ඔහුගේ දෙබස් සරල සුගම වේ. ඒවායේ මුල් දෙබස් ඛණ්ඩයන් තිබුණේද යන්න ගැනවත් ප්‍රේක්‍ෂකයන්ට නොසිතෙන අයුරින් එම වදන් අපේ කර ගැනීමට ටයි මහතා සමත් විය. ජපන් සංස්කෘතියේ පරම්පරා ගැටුම ප්‍රතිම්භනය කරන ලද ඕෂීන් චිත්‍රපට මාලාව මෙයට දිය හැකි කදිම නිදසුන වේ. කුසුම් පීරිස්, සුනන්දා හෙට්ටිආරච්චි, නිහාල් ජයවර්ධන, පබෝධා සංදීපනී, ගීතා කාන්ති ජයකොඩි වැනි ප්‍රවීණ හඬකැවීම් ශිල්පීන්ගේ දායකත්වය ඕෂීන් ප්‍රාණවත් ජීව ගුණයෙන් ආඪ්‍ය වූ ටෙලි නාට්‍ය මාලාවක් හැටියට ප්‍රේක්‍ෂකයන් වෙතට ගෙන යාමට මහෝපකාරී වූහ.

හඬකැවීම් ශිල්පය වෙනුවෙන් මෙසේ පුරෝගාමී මෙහෙවරක් සඳහා තම නිසඟ ප්‍රතිභාව ජාතියට දායාද කරන ලද ටයිටස් තොටවත්ත නම් අග්‍රගණ්‍ය කලාකරුවා, ගුරුවරයා සිහිපත් කර අතුල රන්සිරිලාල් මහතාගේ පුරෝගාමීත්වයෙන් ජාතික රූපවාහිනිය සතු හඬකැවීම් මැදිරිය ටයිටස් තොටවත්ත හඬකැවීම් මැදිරිය යනුවෙන් නම් කිරීම ප්‍රශංසනීය කරුණකි. එම උත්සවයට ටයි මහතාගේ නිර්මාණකරණයේ යෝධ සෙවණැල්ල සුජාතා තොටවත්ත මහත්මියට ඇරයුම් කිරීම ද, එතුමා වෙනුවෙන් මේ භවයේ දී කළ හැකි මහා පුණ්‍ය කර්මය සඳහා හඬකැවීම් ශිල්පය සමාජගත කිරීම වෙනුවෙන් තමන්ගේ ප්‍රතිභාව විහිදුවා ලූ එහෙත් අප අතහැර ගොස් සිටින කරුණාතිලක හඳුවල, ගැමුණු විජේසූරිය, ධර්ම ශ්‍රී මුණසිංහ, වික්ටර් මිගෙල්, එල්සන් දිවිතුරුගම, මර්සි එදිරිසිංහ, නිහාල් ජයවර්ධන, ලෙස්ලි රාමනායක, රෝයි ජයවර්ධන, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු සමඟ ප්‍රේමකීර්ති ද අල්විස් යන ශ්‍රේෂ්ඨ කලාකරුවන් ටයි මහතා සමඟ මධු විතක් තම සුරතෙහි රඳවා ගෙන එලොව සිට බලා සතුටු වෙනු නියතය.