|
ටයි මහත්තයා නමින් හඬ දෙකැවි මැදිරිය අද නම් කෙරේ
ලෝකයේ විශිෂ්ටතම චිත්‍රපට හා ටෙලි නාට්‍ය රාශියක් සිංහලෙන් දෙබස් කවා, හඬ ගන්වා මෙන්ම ටෙලි විෂන් හඬ ගැන්වීම් කලාවේ පුරෝගාමියාව සිට අභාවප්‍රාප්ත වූ ටයිටස් තොටවත්තයන්ට ගරු කිරීමක් වශයෙන් ජාතික රූපවාහිනියේ හඬ දෙකැවි මැදිරිය අද දින පස්වරු 3.00ට ටයිටස් තොටවත්ත නමින් නම් කෙරෙයි. ඒ මැදිරිය සුජාතා තොටවත්ත සුරතින් විවෘත කිරීමට නියමිත අතර මේ අවස්ථාවට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, ප්‍රවෘත්ති අමාත්‍යංශ ලේකම් කරුණාරත්න පරණවිතාන, රූපවාහිනි සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක, අධ්‍යක්ෂ ජනරාල් සුනිල් සාන්ත ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිතය. හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක විශේෂ දෙසුමක් ද පැවැත්වෙයි. රජයේ චිත්‍රපට අංශයට සංස්කරණ ශිල්පියෙකු ලෙස බැඳෙමින් වෘත්තීය ජීවිතය අරඹන ටයිටස් තොටවත්තයන් ‘රේඛාව’ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා සහ සංස්කරණ ශිල්පියා වෙමින් වෘත්තාන්ත සිනමාවට එක්විය. ‘සංදේශය’, ‘පරසතු මල්’, ‘රන්මුතු දූව’, ‘තුංමං හන්දිය’ ඇතුළු චිත්‍රපට රාශියක් සංස්කරණය කළ ඔහු අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වන්නේ ‘චණ්ඩියා’ ය. ‘තෙවත’, ‘කවුද හරි’, ‘හාර ලක්ෂය’, ‘මරුවා සමඟ වාසේ’, ‘ සාගරිකා’, ‘මංගලා’, ‘සිහසුන’, ‘ හඳයා’ යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ද ටයිටස් තොටවත්තයන් ය. ඔහු අධ්‍යක්ෂණය කළ ‘හඳයා’ චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය, සංස්කරණය යන සිව් අංශ සඳහාම සරසවිය සම්මානය දිනා ගනිමින් වාර්තාවක් පිහිට වීය. පසුව ජාතික රූපවාහිනිය ආරම්භයේම එහි සේවයට සම්බන්ධ වන ටයි මහත්තතයා විවිධ විදෙස් වැඩසටහන් සිංහලෙන් හඬ කවා ලෝකයේ මහා නිර්මාණ ටෙලි විෂන් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට අනූපමේය මෙහෙයක් කළ අයෙකි. ‘හඬ දෙකැවි’ මැදිරිය යන වචනය හඳුන්වා දෙන ලද්දේ ද එතුමන් විසිනි. - තිලානි |