වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




සංස්ථාවේ සභාපතිතුමන් වෙතටයි

සංස්ථාවේ සභාපතිතුමන් වෙතටයි

ජාතික චිත්‍රපට සංස්ථාව යනු ලංගම හෝ විදුලිබල මණ්ඩලය හෝ තෙල් සංස්ථාව හෝ ජල සම්පාදන මණ්ඩලය වැනි සාමාන්‍ය මහජනතාව සමඟ සෘජු ගනුදෙනු කරන ආයතනයක් නොවේ. එහෙත් ඒ එකදු ආයතනයක හෝ සභාපතිවරුන් කවුරුන්දැයි නොදන්නා සාමාන්‍ය ජනයා පවා චිත්‍රපට සංස්ථාවේ සභාපති පිළිබඳව දනිති. ස්කාගාර සංස්ථාවක් රටේ ඇතිදැයි නොදන්නා තැනැත්තා පවා චිත්‍රපට සම්බන්ධයෙන් සංස්ථාවක් ඇති වග ද දනිති. එයට හේතුව ලංකාවේ ඇති සංස්ථා අතරින් වඩාත්ම තරු ගුණය සහිත රාජ්‍ය සංස්ථාවක් වනුයේ ජාතික චිත්‍රපට සංස්ථාව බැවිනි. එබැවින් එහි නව සභාපති පදවියට පත් වූ දීපාල් චන්ද්‍රරත්න මහතාණන්ට අපි පළමුව සුබ පතමු.

අලුත් සභාපතිතුමන් චිත්‍රපට සංස්ථාව බාර ගනු ලබනුයේ ප්‍රේක්ෂකයන් වශයෙන් සිනමාවේ ස්වර්ණමය යුගය අත් විඳින සමයේය. එය ඇසූ බොහෝ දෙනාගේ ඇස් උඩ අරවන ජාතියේ කතාවක් වනු නොඅනුමානය. එහෙත් චිත්‍රපට සංස්ථාව පිහිටුවාලූ සමයේ මෙන්ම එයට පෙර අතීතයේදී පේ‍්‍රක්ෂකයා සලකන ලද්දේ තුට්ටුවට දමාගෙනය. මෙන්න අපේ චිත්‍රපට, ඕනෑ නම් ශාලාවට ඇවිත් බලාපල්ලා එදා න්‍යාය විය. එහෙත් අද ප්‍රේක්ෂකයන් වූ අපේ යුගයයි. සිනමාහලක හතර මායිමට නොයෑම ප්‍රේක්ෂක අපට ප්‍රශ්නයක් නැත. අපට ඕනෑ චිත්‍රපටය, අප කැමැති වෙලාවක නැරඹීමේ අයිතිය දැන් අපට තිබේ. එමෙන්ම එදා වාර්ෂිකව සිනමා ශාලාවලින් චිත්‍රපට නැරඹූ සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රේක්ෂක සමූහයක් එක දවසකදී රට පුරා ඇති ටෙලිවිෂන්, හෝම් වීඩියෝ, කේබල් ඩී. වී. ඩී., බ්ලුරේ ආදිය මඟින් චිත්‍රපට නරඹති. එය ද තමන් කැමැති පරිදිය. ජීවිත කාලය පුරා හරිහම්බ කළ මුදල් චිත්‍රපට නිෂ්පාදනය වැනි දෙයකට නොයොදා චිත්‍රපට නැරඹීම සඳහා පමණක් වැය කරන අප වැනි ප්‍රේක්ෂකයන්ට සිනමාවේ ස්වර්ණමය යුගය යැයි උදම් ඇනිය හැක්කේය.

සංස්ථාව පැත්තෙන් මෙරට සිනමාවේ අල්පේශාක්‍ය, මහේශාක්‍ය බොහෝ බහුශ්‍රැතයෝ එතෙක් පැවති සම්ප්‍රදායික සිනමා වෙළෙඳ පොළ බිඳ දමා බිහි වූ අලුත් වෙළඳපොළෙහි ශක්‍යතාව හඳුනා ගෙන නැත. අනාගතයේ දිනයක සිනමාව නෙගටිව් පටය බැහැර කොට ඩිජිටල් තාක්ෂණය වැළඳ ගන්නා බවත් එබැවින් සිනමා කර්මාන්තය යාවත්කාලීන විය යුතු බවත් මා සරසවිය පුවත්පතට ලිව්වේ මෙයට දස වසරකට පෙරය. එදා බොහෝ සිනමා බලධාරීහු මා අමතා අවඥාවෙන් කතා කළහ. ලෝකයේ සිදුවන කවර හෝ දේශපාලන සාමාජීය, ආර්ථික, තාක්ෂණික විපර්යාසයන් කිසිවකුටවත් නොසලකා හැරීම ඉතිහාසයේ කවදාක හෝ කළ නොහැකිය. අද අලුත් සභාපතිතුමාට කර ගසන්නට වන මුල්ම කාරණය නම් දස වසරක් මුළුල්ලේ මෙරට සිනමා කර්මාන්තය මඟින් පස්සට කල් දැමූ ඩිජිටල්කරණයයි. අපේ ළමා වියේදී බස් රථවල අලවා තිබුණ එක් පෝස්ටරයක තිබුණේ ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි යනුවෙනි.

ඒ එවකට පැවැති රාත්තල් හා සැතපුම් වැනි ඉංග්‍රීසි මිනුම් ක්‍රමය වෙනුවට ජාත්‍යන්තර මෙට්‍රික් ප්‍රමිතියට හැඩ ගැසීම වෙනුවෙනි. එවකට සිටි කවුදෝ කඩප්පුලින් පිරිසක් හැරෙයි යන්නෙහි හැ යන්න ඉරා දමා තිබිණි. අපේ සිනමාව ඩිජිටල්කරණයට හැරෙයි යන්නෙන් හැ යන්න ඉරා දමා ඇති යැයි මම චෝදනා නොකරමි. එහි හැ යන්නක් තිබුණේම නැත. තිබුණා නම් අද මේ වනතුරු අපේ සිනමාහල් E සිනමාව ද නැත්නම් 4K ද නැත්නම් 2Kද යනුවෙන් නිශ්චිත තීන්දුවක් නොගෙන කල් මරන්නට වුවමනා නැත. සිනමා කර්මාන්තය වැඩි ලාභය සඳහා තුට්ටු දෙකේ අශ්වයයන් ගෙන් අජානීය පිම්මක් අපේක්ෂා කළ ද මේ වන විට සාමාන්‍ය වෙළෙඳපොළේ 4K ටෙලිවිෂන් යන්ත්‍රයක විකුණුම් මිල රුපියල් ලක්ෂ දෙකටත් අඩුවෙමින් පවතී. එම යන්ත්‍රයට ඇස පුරුදු කළ ප්‍රේක්ෂකයා සිනමාහලට යා යුත්තේ එයට වඩා වැඩි වින්දනයක් ලබා ගැනීමටය. එහෙත් අපේ සිනමා බලධාරීන් ද, නිෂ්පාදකවරු ද, ශාලා හිමිවරු ද එකිනෙකා තවම පොර වැද සිටිති. ඒ ගැන ප්‍රේක්ෂක අපට නම් ඉතින් මොකෝ යැයි දැන් අසන්නට පුළුවන.

ලෝකයේ ඩිජිටල් තාක්ෂණය උපයෝගී කොට ගෙන සිනමාව ප්‍රේක්ෂකයා වෙත වඩා සමීප වුණේ රූපයේ හා ශබ්දයේ වැඩි දියුණුවත් ඇති කරමිනි. කොටින්ම සිනමා සිහින ඇස් ඉදිරිපිට මවාපාමිනි.

එහෙත් අප ඩිජිටල් තාක්ෂණය සිනමාවට භාවිත කරනුයේ වියදම් අවම කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් උදෙසා පමණය. ඉතා අවර ගණයේ චිත්‍රපට මෙහි තැනෙනුයේ තොග ගණනිනි. ඒ හැම චිත්‍රපටයක්ම නිෂ්පාදනය සිදු වූවාට අපට ගැටලුවක් නැතත් එබඳු බොහෝ චිත්‍රපටවලට ලෝකයේ සිනමා ශාලාවල දොර නොඇරේ. පසුගිය වකවානුවේ සංස්ථාවට තිරගත කරන්නට සිදු වූ ඇතැම් චිත්‍රපට සමාගම් මඟින් ප්‍රතික්ෂේප කරන ලද වර්ගයේ චිත්‍රපට විනා සිනමා ප්‍රකාශනයක් ලෙස හෝ කලාත්මක වශයෙන් හෝ තඹ දොයිතුවක වටිනාකමක් තිබුණේ නැත.

වර්තමානයේ තම චිත්‍රපට තිරගත කර ගන්නට නොහැකි වූ සිනමා මාධ්‍ය ඉතා හොඳින් හැදෑරූ තරුණ පරම්පරාවක් අපට ඇත. ඔවුන් පෙර පරම්පරාව මෙන් ඇට්ටකුණා වූ පිරිසක් නොවේ. චිත්‍රපට සංස්ථාවේ රිද්මා මණ්ඩලය මේ පරම්පරාවට වෙන් කර ගත හැකි වෙතොත් අලුත් වෙළෙඳපොළකට මඟ පාදා ගත හැකි වෙතැයි අපි විශ්වාස කරමු. කලකට ඉහත මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ වඩාත්ම ලාභදායී මණ්ඩලය වූයේ සම්භාව්‍ය පස්වැනි ප්‍රදර්ශක මණ්ඩලයයි. එය අපේ බුද්ධිමත් ප්‍රේක්ෂකයාට ලබා දුන් ගෞරවයකි. එහෙත් එම වෙළෙඳපොළ අතුරුදහන් කෙරිණි. තරුණයන්ගේ සිනමාව සඳහා සිනමා ශාලා වෙළෙඳපොළ ද එයින් පරිබාහිර අලුත් වෙළෙඳ ඉඩකඩ ද වැඩි දියුණු කිරීමේ හැකියාව ඇත්තේ චිත්‍රපට සංස්ථාවටමය. ඇත්ත නම් අපේ රටේ වර්තමානයේ දී චිත්‍රපට කර්මාන්තයේ වෙළෙඳපොළෙන් ලබා ගත හැකි ආදායමෙන් සියයට හැත්තෑ පහක්ම නොසලකා හරින්නකි.

අද මෙරට චිත්‍රපට නිෂ්පාදකයන් ආනයනකරුවන් හා ප්‍රදර්ශකයන් වෙලාගත් විශාලම ගැටලුවක් වනුයේ අනවසර චිත්‍රපට වෙළෙඳපොළය. එය මාෆියාවකි. ඉතා විශාල මිල ගණන් ගෙවා නිපදවන, ආනයන කරන ඕනෑම චිත්‍රපටයක් තිර ගත වූ සැනින් විවෘත වෙළෙඳපොළට පිවිසෙයි. අලුත් චිත්‍රපට විවෘත වෙළෙඳපොළට පිවිසීම ප්‍රේක්‍ෂකයා පැත්තෙන් ඉතා වාසිදායකය. එහෙත් එයට නීතියක් තිබිය යුතුය. නීත්‍යානුකූලව ආනයන කරනු ලබන චිත්‍රපටයට මහමඟ ඇති සාමාන්‍ය ඩී. වී. ඩී. වෙළෙඳපොළට හොර පාරෙන් එන්නට ඉඩකඩ සලසා ඇස් පියා සිටින එකම රට ලංකාවය. එමඟින් විශාල මුදල් වැය කළ ආයෝජකයාද අමාරුවේ වැටෙයි. ජාත්‍යන්තර සිනමා උත්සවයක් අපේ රටේ පැවැත්මේ වැදගත්කම සරසවිය මඟින් පෙන්වා දෙන ලද්දේ වතාවක් දෙවතාවක් නොවේ. පසුගිය වසරේ මේ සිහිනය සැබෑ කරන ලද්දේ ශ්‍රී ලාංකේය අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය මඟිනි. වර්තමානයේ එම කටයුත්ත ඉදිරියට ගෙන යාමට ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත් වීම අවශ්‍ය වෙයි. සිනමාවට ජාත්‍යන්තර වෙළෙඳපොළක් හදන්නට නම් අන්තර්ජාතික සිනමා උත්සව ඉතා වැදගත්ය. අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් යනු මෙරට පිළිබඳ දේශපාලනික මෙන්ම සංචාරක වශයෙන් ද අවධානය යොමු කරන කාර්යයකි.

චිත්‍රපට නිෂ්පාදන, බෙදාහැරීම, ආනයනය, ප්‍රදර්ශනය ඒ සැමටම වඩා සිනමා ප්‍රේක්‍ෂකයා පිළිබඳව ද සංස්ථාවට ඇත්තේ විශාල වගකීමකි. දිනෙන් දින සිනමාශාලා තුළින් ඈත්වන ප්‍රේක්‍ෂකයා යළි දිනා ගැනීම සිදු නොකළහොත් දැනට පවත්නා සිනමාශාලා ද වැසී යනු නිසැකය. එයටත් වඩා ඒ සියල්ල යාවත්කාලීන කළ යුතු වෙයි. චිත්‍රපට කර්මාන්තයට තවමත් ආයෝජනයෙන් එක්වන බහුතරය, කර්මාන්තය පිළිබඳ නිසි අවබෝධයෙන් එක් වන්නේ නැත. අවම වශයෙන් නිෂ්පාදක හෝ ආයෝජකයා අතර වෙනස පවා ඔවුන් හඳුනන්නේ නැත. අවසානයේ තම චිත්‍රපටය අතින් පාඩු කරගෙන, උන් හිටි තැන් පවා අහිමි කර ගත් නිෂ්පාදකවරු එමටය. මේ හේතුවෙන් අද අලුතෙන් චිත්‍රපට සඳහා ධනයෝජකයකු සොයා ගැන්ම පවා දුෂ්කරය. එය චිත්‍රපට නිෂ්පාදනයේ දී පමණක් නොව චිත්‍රපට ශාලා ගොඩ නැඟීමේදී පොදු කාරණයකි. ඉතා ජනාකීර්ණ නගරවල, බුලත් විට, විකිණීමෙන් ලබන ආදායමවත්, නවීන සිනමාශාලා උපයා ගන්නට අසමත් වෙයි. මේ ගැටලු අතරින් එකක්, දෙකක් පමණකි. මේ එකින් එක පවසන්නේ අලුත් සභාපතිතුමන් අධෛර්යමත් කිරීමට නොවේ. පවත්නා තත්ත්වයේ ඇති අභියෝගය සිහිපත් කරන්නටය. දිනෙන් දින පල්ලම් බහින ප්‍රේක්‍ෂක සංඛ්‍යාවත්, පරිබාහිරව අහිමි වන ආදායම අලුත් ක්‍රම රටාවකින් උපයා ගැනීමත් වර්තමානයේ ප්‍රධාන ගැටලුවක් සඳහා විසඳුමක් ලෙස අපි විශ්වාස කරමු. තවමත් සිනමා කර්මාන්තය ලොව පළමු පෙළේ කර්මාන්තයකි. අපේ රටේ සිනමාව සංස්කෘතික හා වාණිජමය වශයෙන් ජයගත යුතුව ඇත. කොටින්ම වෙනත් සංස්ථා සභාපතිවරුන් මෙන් නොව චිත්‍රපට සංස්ථා සභාපතිතුමන් සරස්වතිය මෙන්ම සිරිකත ද, දෙවුරෙන් රඳවාගෙන එගොඩ පිහිනිය යුතුව ඇත.

සිනමා මාධ්‍යවේදීන් වෙනුවෙන් කලකට ඉහත සංස්ථාව මඟින් ප්‍රවේශ පත්‍රයක් ලබා දෙනු ලැබීය. මුලින් ආසන දෙකක් හිමිව තිබූ මේ ප්‍රවේශ පත්‍රයක් වාර්ෂිකව අනතුරුව එක් අසුනකට පමණක් සීමා විය. එහෙත් ගැටලුව එය නොවේ. වර්තමානයේ එම ප්‍රවේශ පත්‍රය බොහෝ සිනමාශාලා මඟින් තුට්ටුවකට හෝ නොසලකා හරින මට්ටමට ඇදවැටී ඇත. ඒ සංස්ථාව අද අත්පත් කොට ඇති ඉරණමය. මෙරට සිනමාව හා බැඳුණු සරසවිය සමඟ චිත්‍රපට සංස්ථාවට ඇත්තේ දීර්ඝ සම්බන්ධයකි. ප්‍රශංසා කරන්නට මෙන්ම අවශ්‍ය තැන රළු විවේචනයක යෙදෙන්නට ද සරසවිය මැළි වන්නේ නැත. පැසසුමේදී හිස උදුම්මා නොගැන්මට මෙන්ම විවේචනයේ දී වරද නිවැරදි කරන්නට තරම් දීපාල් චන්ද්‍රරත්න මහතා කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. කලක සිටි එක්තරා සභාපතිවරයෙක් විවේචනය දුටු තැන දුම්මල වරම අතට ගෙන කන්තෝරුවේ යකා නටා නතර නොවී හොටු පෙරා ගෙන අමාත්‍යාංශ ලේකම්තුමා හමුවේ හඬා වැටෙමින් පැමිණිලි කරන්නට පුරුදුව සිටියේය. එහිදී ඔහු ගේ පැමිණිල්ල සරසවිය යනු ආණ්ඩු විරෝධී ප්‍රකාශනයක් ලෙස කරුණු දැක්වීමය.

සිනමාව හා කලාව සමඟ එක්වුණ සරසවිය හොඳ කිවයුතු තැන හොඳ යැයි කියන්නටත්, නරක නම් දොස් පවරන්නටත් මැළි වන්නේ නැත. එබැවින් අලුත් සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතාණන්ට අපේ සිනමාව යහ මඟ යවන්නට ශක්තිය ලැබේවා යයි අපි ප්‍රාර්ථනා කරමු. එම ප්‍රාර්ථනා පෙරදැරිව අපි බලා හිඳිමු. එය අපේ පමණක් නොව සිනමා කර්මාන්තයේ නියැළි බොහෝදෙනාගේ අද දවසේ ප්‍රාර්ථනාව වී ඇත.