|
ලස්සන මල් පිපිලා බලන්න නන්දා මාලිනී ආරාධනා කරයි
මගේ මල් වත්තේ සිටිසන් කේන් චිත්‍රපටයේ ජීවත්වන චාල්ස් ෆොස්ටර් කේන් නම් කෝටිපතියා ඔහුගේ මරණ මංචකයේ මුමුනන්නේ රෝස කැකුළ නම් වචනයයි.මේ රෝස කැකැළ ඔහුගේ ජීවිතයේ හමුවූ සියළු වස්තු ධනයට වඩා ළබැඳී දෙයක් වනුයේ එය ළමා වියේ දී ලද තිළිණයක සටහනක් නිසාය.මේ ගීතයත් මට ඒ ආකාරයෙන් ගීතයකි. මේ ගීතය මා මුලින් ඇසුවේ අවුරුදු තුනක් හෝ හතරක් වැනි වයස ගෙවන කාලයේ දී යි.ඒ කාලයේ අප ජීවත් වූයේ කැබිතිගොල්ලෑවට නුදුරු මහනැටියාව නම් ගම්මානයේ ය. එම පාසලේ වත්ත පුරා ලස්සනට මල් වවා අලංකාරව තිබිණ.පාසලේ මුළු ගුරු මණ්ඩලයම දෙදෙනෙකි.ඒ අපේ අම්මාත් තාත්තාත්ය. අම්මා බොහෝ හැන්දෑවල මා උකුලේ තබා ගෙන ලස්සන ගීත කියා දුන්නාය.මගේ මල් වත්තේ ගිතයත් මා මුලින් ඇසුවේ එහෙමය. පාසල් වත්තේ මල් පිපී තිබුණ හෙයින් ඒ ගීතයෙන් කියැවුනේ අපේ පාසල් වත්තටයැයි මම සිතා උන්නෙමි. ඒ දවස්වල තාත්තා මට ගෙනැවිත් දුන් ගී පොත ක ද මේ ගීය තිබිණ.මම පොතේ ඇති අකුරු අමුනමින් ගීය මුමුනන්නට පුරුදු වුනෙමි.පොත ලියා තිබුනේ සමන් තිලකසිරි ය. එහෙත් මේ ගීතය ගායනා කරනුයේ කවුරුන් විසින් ද යන්න මා දැන සිටියේ නැත.සාරි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් බැඳ ගෙන දීග පොඩිත්තක් යන්නට කතා කරන්නේ විශාරද නන්දා මාලිනියැයි අම්මා මට පසුකලක පැවසුව ද මගෙ මල් වත්තේ ගීතය ගයනු ලබනුයේ ද එම ගායිකාවකයැයි මා දැන සිටියේ නැත. අවුරුදු ගණනාවකට පසු නන්දා මාලිනිය සිය සංගීත දිවියේ අංශක තුන්සිය හැටක් ආපසු කැරකැවී ඇය එදා ගැයූ ළමා ගිතයන්ම ගායනා කරන්නිය.ළමා වියේ සිට ඇයගේ රසිකයකු වුව ද පසුකලක බොහෝ හිතවත් කම් පෑවද මේ ළමා ගීතය ඇයගේ ගායනාවක් යැයි මා දැන සිටියේ නැත. එබැවින්ම ලස්සන මල් පිපිලා නමින් ඇයගේ ගීත සමුච්ඡයක් එළි දකිද්දී එයට අඩංගු ගී ගැන පවසද්දී මගෙන් ඇසුණු මුල්ම පැණය නම් මගෙ මල් වත්තේ ගීතය ගැයුවේ නන්දා අක්කා ද යන්නය.එය ඇය අපහසුතාවයක්ට පත් කිරීමට නොව මේ ගීතය මා කිසිකලක ගුවන් විදුලියෙන් ශ්‍රවණය කර නැති නිසාය. ‘ඔව්. මේ ගීතය විතරක් නොවේ.මෙවර මා තෝරා ගත් බොහොමයක් ගීත මට අවුරුදු පහළොවක් ලබන්නත් කලින් ගායනා කළ ළමා පිටියේ ගීත මේ ගීත නැවත ගායනා කරන්නට සිතා මා එම ගීත හොයා ගියේ 2001 අවුරුද්දේ විතර.එවකට ගුවන් විදුලියේ හිටියේ ජනදාස පීරිස් මහත්තයා.මා දවස් හතරක් විතර ගුවන් විදුලි තැටි ගබඩාවට ගිහින් මේ ගී තැටි සෙව්වා .මහින්ද අල්ගම වගේම ගුවන් විදුලියේ නිෂ්පාදිකාවක් වන දමයන්ති නානායක්කාරවසම් මට බෙහෙවින් උදව් කළා. “නන්දා මාලිනිය සිය ළමා වියේ ගී ගයන්නට ළමා පිටියට එළැඹෙද්දී අද මෙන් වැඩ සටහන් පටිගත කිරීමක් නොවිණ.වැඩ සටහන විකාශය වනුයේ සජීවිවමය. ‘මට මතකයි.අපේ පාසලේ හිටපු මාග්‍රට් පෙරේරා ගුරුතුමිය මාවත් කැටුව ගුවන් විදුලියට ගිය දවස.ඒ දවස් වල කරුණාරත්න අබේසේකර මහත්තයා කියන්නේ තරුවක්.ගුරුතුමිය ගිහින් කරු අයියා හම්බ වෙලා කිව්වා.අපේ ඉස්කොලේ දුප්පත්.මේළමයත් දුප්පත්.මේ ළමයට කවි කියන්න පුළුවන් කියලා.” එකල ගුවන් විදුලිය යනු සුපිරිසිදු වාතවරණයක් පැවැති සිද්ධස්ථානයකි. නන්දා මාලිනිය මාග්‍රට් පෙරේරා නම් කරුණාබරිත ගුරුතුමිය විසින් ගුවන් විදුලියට ගෙන යන විට ඇයගේ වයස අවුරුදු නවයක් පමණ වන්නට ඇත. ගිය ගමන් ගුවන් විදුලියේ ගී ගයන්නට අවස්ථාව නොලැබිණ.මුලින් කවි කියන්නට නැත්නම් කතාවක් කියන්නට සමුහ ගායනයක අත්වැල අල්ලන්නට ඉඩ ප්‍රස්ථාව ලැබිණ. ඒ දවස් වල සතියේ දින පහේම පස්වරු පහයි පහලොවේ සිට පහයි හතලිස් පහ දක්වා විකාශය වූයේ ළමා මණ්ඩපයයි. ඒ එක් එක් දවස්වලට නියමිත වෙනම නම් තිබිණ. නන්දා මාලනිය ඇතුළත් වූයේ සරස්වතී මණ්ඩපයටයි. ළමා පිටියේ සිටි අජන්තා රණසිංහ,ප්‍රිම්රොස් ජයසිංහ,උපුල් විජේවර්ධන,පැට්‍රික් ප්‍රනාන්දු,අශෝක කොළඹගේ,මල්ලිකා කහවිට,එස්.ලියනගේ,චන්ද්‍රාණී ගුණවර්ධන ආදීන් නන්දා මාලිනියට වඩා ජ්‍යෙෂ්ටයන් විය.අවුරුද්දක් විතර පරිවාස කාලයක් ගෙවුණ නන්දා මාලිනියට මුල්ම ගීතය ගයන්නට ලැබෙන්නේ බුදු සාදු බුදු සාදු සමන් වැලක් වෙන්නම් යනුවෙන් ගායනා කරමිනි. ‘ඒ දවස් වල ගීත පටිගත කිරීමක් නැහැ.වැඩ සටහන සජීවි විකාශයක්. ඒ හින්දා වැරදීම් අතපසුවීම් රාශියක් අපේ අතින් සිද්ධවුණා.කොහොම උනත් මේ වැඩ සටහන් පටිගත වුනා.“ නන්දා මාලිනිය 2001 වසරෙ දී යළි ගුවන් විදුලියට ගොඩ වැදී සොයා ගත් මහා නිධානය වූ කලී මේ මියුරු වැඩ සටහන්ය.එයින් එක එක පිරික්සමින් ඇය ගීත තිහකට වඩා සොයා ගත්තාය. ‘සමහර තැටි අහන්න බෑ.සමහර ඒවා කඩතොලු වෙලා.සමහර ගී ලිව්වේ කවුද කියලා කවුරුවත් සටහනක් යොදළා නැහැ.ඒ හින්දා මේ ගීත අහන ශ්‍රාවකයන්ට පුළුවන් අපට හොයා ගන්න බැරි වුණ ගීත රචකයන් පිළිබඳ තොරතුරු අපට ලියා එවන්න.ඒ අනුව ඉදිරියේ දී එය නිවැරදි කරන්නත් පුළුවන්.“ පැරණි ගුවන් විදුලි තැටි ගබඩාවේ ළමා මණ්ඩපය අමාරුවෙන් හෝ යළි ශ්‍රවණය කරන්නෙක්ට එදවස එහි වූ අපූරු සිදුවීම් ද අසන්නට ලැබෙයි. ඒ අවදියේ සජීවි වැඩසටහන් වල දී හරියට කවි නොකිව් අවස්ථා වචන වැරදුණ අවස්ථා එමටය. සජීවි වැඩසටහන් බැවින් අසන්නන් වෙත එය ශ්‍රවණය වනුයේ එම වැරදි සමගය. නන්දා මාලිනිය එදා ගැයූ ගීයක් අතරමග ඇය විසින්ම අපොයි වැරදුණා යනුවෙන් පැවසූ අවස්ථාව ක් ද මේ නිදන් ගබඩාවේ තිබිය දී ඇයට හමුවිණ. ‘ඒ කාලේ මයික් තිබුනෙත් එකයි.දෙකයි. ඉතින් වාදක මණ්ඩලයයි,ගායකයොයි මී පොදිය වගේ එකටමයි වැඩ කළේ.ඒ දවස් වල චිත්‍රපට ගීතය පවා පටිගත කළේ වාදනයත් සමග එක්වර. මා මුලින්ම සංගීත ට්‍රැක් එකකට ගිතයක් ගායනා කළේ 1978 අවුරුද්දේ විතර පොඩි මල්ලි චිත්‍රපටයටයි.“ ළමා පිටියේ දී කරුණාරත්න අබේසේකර,ආනන්ද සරත් විමලවීර,ඇතුලු රචකයන් අතින් ලියැවුණු ළමා ගීත අපේ ගීත සාහිත්‍යයේ ලියැවුණ එක් යුගයක් වැන්න. කරු අය්යා අතින් ල ‘අපේ අම්මා කොළඹ ගිහිල්ලා මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා, ඉද්ද පිපුණ හද්ද කැලේ - දැක්කද කිරි කොක්කු බොලේ, කළු මැණිකෙගේ ගල්ලෑල්ල කළුම කළු වගෙයි, ලේන ගේ පිට මැද ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ-ලස්සන කිරි සුදු හංස පැටව් ටික ඇයි වතුරට දැම්මේ,සුරතල් පොඩි හාවා මහ රෑටත් හඳහාමිගේ උකුලේ ඉන්නේ ඇයි,සුරතල් අපේ පෙනීලා වනමල් කැලේ පිපීලා. ආදී වශයෙන් ළමා ගීත රාශියක් ලියැවිණ. මේ ගී ළමයින්ගේ සිතුවිලි විනා වැඩිහිටියන් විසින් ළමයින්ට බලහත්කාරයෙන් පොවන ලද වර්ගයේ අදහස් නොවේ.අදට වඩා ලෝකය දෙස මනරම් ලෙස බලන්නට පුරුදු දරුවන්ගේ සිහින කරු අය්යාගේ ගී බවට පරිවර්තනය විය. ‘ඒ කාලේ වැඩ සටහන ඉවර වුනාම කරු අය්යා අපි ඔක්කොම එක්කා ගෙන කැන්ටිමට ගිහින් තේ අරන් දෙනවා.ඒවා කරු අය්යාගේ අතේ සල්ලි, අද වගේ රියැලිටි වැඩ සටහන් වගේ තරගයක් නැහැ.“ පුරා තිස් වසරක් සිය සංගීත ඥාණය බෙදා දෙන නන්දා මාලිනිය වර්තමානයේ ළමා ලෝකය පිළිබඳ මෙසේ පවසා සිටින්නීය. ‘දරුවන්ගේ ලෝකය උඩු යටිකුරු කරලා. ඔවුන් නොසලකා හරින කාරණයක් වෙලා.පසුගිය වසර දහය පුරා මට පෙනුන දෙයක් තමයි.ළමයින් සෞන්දර්යයෙන් ඈත් කරනවා. ගණිත පංතිය විද්‍යා පංතිය වෙනස් කරන්නේ නැත්නම් සංගීත පංතියෙන් ඉවත් වෙනවා.සෞන්දර්ය පිළිබඳ හැඟිමක් නැති වුනාම ජීවිතයේ අනුන්ගේ දුක වේදනාව හඳුනන්නේ නැති පරම්පරාවක් බිහි වෙනවා. සාරධර්ම ගිලිහෙනවා. අදටත් මා අලුත් කටයුත්තක් පටන් ගන්න කලින් අමරදේව සර්ට වැඳලා තමයි ඒ කටයුත්ත පටන් ගන්නේ.” වසර තුනකට අධික කාලයක් නන්දා මාලිනිය ද ළමා මණ්ඩපය මෙහෙයවූවාය.ගීතා කාන්ති ජයකොඩි,මංජුලා නානායක්කාර,දමයන්ති ජයසූරිය.නිරංජලා සරෝජනී,රෝහණ සිරිවර්ධන ආදීන් දොරට වැඩියේ එයිනි. වර්තමානයේ නව තාක්ෂණය හොද ගීත කලාවේ මං පෙත අහුරන බාධකයක් වැන්න.විශිෂ්ට ඝනයේ ගී නිෂ්පාදකවරුන් උකටලී ව සිටිනුයේ කෙතරම් වෙහෙස මහන්සී වී කටයුතු කළ ද ගීතය එළි දැක්වූ සැනින් එය කොල්ල කන පිරිසක් බිහිවීමත් සමගය.එවන් අවදියක නන්දා මාලිනියගේ නව තම ගීත එකතුව සදහා බර පැණ දායකත්වය දරන්නේ රජීව් ගුණසේනය.ඔහු සුප්‍රකට පොත් සමාගමක් වන එම්.ඩී.ගුණසේන සමාගමේ වත්මන් හිමිකරුය. එම්.ඩී.ගුණසේනයන්ගේ මුණුබුරෙකි. ඔහු විසින් දැනට වසරකට පෙර නව ගී එකතුවක් පිළිබඳ යෝජනාවක් සමග නන්දා මාලිනිය හමුවනුයේ ඇගේ නිවසට පැමිනෙමිනි.ඇය මුලින්ම පැවසුවේ ගීත කෙෂත්‍රයේ වර්තමාන අභියෝග පිළිබදවය.ගීත වෙළද පොලේ නිශ්චිත ආදායම් ඉලක්ක සියල්ල දැන් බිඳ වැටී අවසානය.එහෙත් වඩා හොඳ ගි එකතුවක් රජීව් ගේ අරමුණ විය.අභියෝගය ජය ගන්නට ඔහු කැමැති විය.නන්දා මාලිනිය මෙයට පෙර ගුවන් විදුලිය ට ඇය ගැයූ ගී තාරකා ඇස් නමින් ද ඇය තනු නිර්මාණය කරන ලද ගී සාරි පොඩිත්තක් නමින් ද එළි දැක්වූවාය. එබැවින් පසුගිය පසලොස් වසරකට ආසන්න කාලයක් ෆයිල් කවරයක දමා තිබූ ගී එළිදැක්වීමට ඔහු ඉදිරිපත් විය.රෝහණ වීරසිංහ එහි සංගිතය මෙහෙයවීය. මේ නන්දා මාලිනියගේ තිස් හත් වැනි ගී එකතුවයි. ‘මා ළමයෙක් හැටියට එදා ගැයූ ගීත අද වැඩිහිටියෙක් හැටියට ළමයින්ටම ගායනා කරනවා,“ නන්දා මාලිනිය සිය නවතම ගීත එකතුව ලස්සන මල් පිපිලා පිළිබද පූර්වාපර සන්ධි ගැලපූවාය.ළමයින්ට අහිමි කළ ළමා විය යළි ඔවුන්ට පවරා දීමේ වගකීමක් අපට ඇත්තේය.අතීතයේ දවසක මේ ගී ඇසූ අප අද දුරුවන්ට දෙනු ලබන්නේ කවරෙක්ද ? දරුවන්ට හොඳ දේ දිය යුතුයැයි යන නියාමනයට අකුල් හෙලනුයේ මාපියන් වන අප ම නොවන්නේ ද ? යෝධයා ගේ මල් උයන නමින් ඔස්කා වයිල්ඩ් ලියන ලද කෙටිකතාවක් මගේ මතකයට එයි.යෝධයාට අයිති උයනේ මල් පිපෙනුයේ ළමයින් ඇති විටය.ළමයින් නොරුස්සන යෝධයා පිවිසි විට ළමයින් එයින් පළා යති. උයනෙහි එක් තැනක මලක් පිපී ඇත.ඒ දරුවෙකු එතැන සිටි හෙයිනි.මේ දවස්වල නිතර දෙවේලේ දකින වෙළඳ දැන්වීමක කුඩා දැරියක් තාත්තාට කියනුයේ දුව දෙස නොබලන කාමරයක් ගෙයට හදන්නට එපායැයි යනුවෙනි.අපේ කාර්ය බහුලත්වය දරුවා ගේ ආදරයෙන් ඈත් කර ඇත. නන්දා මාලිනිය ගයන්නීය.යෝධයා ගේ මල් උයනේ අතර මං වන පොඩි එකෙකු සේ ඒ ගී අසන අපේ හදවත මල් පිපෙනු දැනේ.ඒ මල් නෙළා දරුවන් ගෙළ සැරසිය යුතුයැයි මම ඔබට ආරාධනා කරමි.අප විඳී සුවඳීන් අපේ දරුවන්ගේ හදවත් සනසමු
ලස්සන මල් පිපිලා මුළු මිදුලම පිරිලා
|