වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි නාට්‍යයටත් ප්‍රමිතිකරණයක් අවශ්‍යයි

ටෙලි නාට්‍යයටත් ප්‍රමිතිකරණයක් අවශ්‍යයි

- කැළුම් පාලිත මහීරත්න

කැළුම් පාලිත මහීරත්න අපේ රූපවාහිනි ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ චරිතයක්. අපේ රටට රූපවාහිනිය පැමිණි මුල් සමයේ සිටම එය හා සම්බන්ධ වෙමින් නිර්මාණ කටයුතුවල යෙදුනු ඔහු අගනා නිර්මාණ රැසක් රූපවාහිනිය හරහා ඔබට තිළිණ කරන්නට කටයුතු කළා. ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයෙන්ද විශේෂ වූ නිර්මාණ බිහි කළා වූ කැළුම්ගේ නවතම ටෙලි නිර්මාණය වුණේ ‘ස්නේහා’. හිරු නාළිකාව කළ ආරාධනයක් අනුව කළ ‘ස්නේහා’ කොටස් 250ක ටෙලි නිර්මාණයක් වුණත් නාළිකාවේ ඉල්ලීම අනුව කොටස් 300ක් දක්වා දීර්ඝ වුණා.

කැළුම් මේ වන විට ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ද භාරදූර කටයුත්තකට මුල පුරමින් සිටින්නේ. ඒ පිළිබඳව වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගැනත් සරසවිය කැළුම් සමඟින් කතා කළා.

* ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙක් ලෙසින් වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔබේ අදහස ?

මේක හරිම නරක තැනක්. මෙගා ටෙලි නාට්‍ය හරහා මෙම කර්මාන්තය ඉතාම නරක තැනකට පත් වෙලා. ඒ අත්දැකීමත් අඩු වැඩි වශයෙන් මටත් අත්විඳින්න සිදු වුණා.

ඇත්තටම දැන් මේ ක්ෂේත්‍රය කුලී රස්සාවක් බවට පත් වෙලා. හමෝම වැඩ කරන්නේ දවසේ පඩියට. මෙගා සංස්කෘතිය තුළ රටට සිදු වූ ලොකුම අපරාධය මෙයයි. මේ වගේ සෝප් ඔපෙරා ලෝකයේ බොහෝ රටවල තිබෙනවා. ඉන්දියාව ගත්තොත් කොටස් දහස දෙදහස වගේ දක්වා විකාශය කෙරෙනවා. සෝප් ඔපෙරා කන්සෙප්ට් එක යටතේ මේ වගේ දැවැන්ත නිර්මාණ ලෝකය පුරාම බිහි වෙනවා. ඒවා ප්‍රමිතිගතයි. ඒවා වෘත්තිය ගති ලක්ෂණ ඇතුළත් විශිෂ්ට නිර්මාණ. නමුත් ලංකාවේ සිදුවුණේ එයට පරිභාහිර දෙයක්.

මෙගා නිර්මාණ සංස්කෘතිය තුළ නිර්මාණයකට ලැබෙන මිල මේ සඳහා බලපෑමක් වෙලා. ඒ මිල නිර්මාණය කර ගත්තෙත් අපිමයි. විෂය ක්ෂේත්‍රයේ සිටින නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු එයට වගකිව යුතුයි. උදාහරණයක් ගත්තොත් මම දැන් රුපියල් ලක්ෂ දෙකකට ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න එකඟතාවය පළ කරනවා. ඒ සමඟම තවත් කෙනෙක් ඒක ලක්ෂ එකහමාරට කරන්න වගේම ලක්ෂයකට කරන්නත් බලාපොරොත්තුවෙන් තවත් අයෙක් ඉන්නවා. දැන් නිර්මාණය වෙලා තියෙන තත්ත්වය මේක තමයි. මේ විදියට ලෝකයේ මිල අඩු වූ එකම භාණ්ඩය බවට අපේ රටේ ටෙලි නාට්‍ය පත් වෙලා තියෙනවා.

දැනට අවුරුදු විස්සකට විතර පෙර මම රූපවාහිනියේ සේවය කළ කාලයේ ටෙලි නාට්‍යයක එක් කොටසක් දුන්නේ රුපියල් ලක්ෂ හතරක් වැනි මුදලකට. ඒ කාලයේ අඩුම ටෙලි නාට්‍යයත් දැනට වඩා ඉහළ මිලකට නියම වුණා. මේ මිල අඩුවීම නිසා වන හානිකර තත්ත්වය මත ටෙලි නාට්‍ය මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එවිට අදාළ දිනයට නළුවෙක් හොයා ගන්නවා. සහය අධ්‍යක්ෂවරයෙක් හොයා ගන්නවා. එදා දවසට අදාළ කණ්ඩායම හොයා ගන්නවා. දැන් මේ මිල අනුව තමයි හැමදේම සූදානම් කෙරෙන්නේ. මේක හරි අපරාධයක්. මෙහි ඛේදවාචකය නිර්මාණය වෙන්නේ ඊට එහා තැනකින්.

පසුගිය කාලයේ නිර්මාණ වෙනුවෙන් පගාව දිය යුතුවීම කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්. ලක්ෂ එකහමාරක් ගෙවන ටෙලි නාට්‍යයකට පනස් දහසක් පගාව දෙන්න ඕනි. එතැනින්ම ඒ නිෂ්පාදනයේ ගුණාත්මක බව තුනෙන් එකක් බාල කරලා ඉවරයි. දේශපාලනයේ ඉහළ බලාධිකාරිය පවතින පුද්ගලයන්ගේ සහය මතයි මේවා සිදු කෙරුණේ. නිෂ්පාදකයාටත් තව රුපියල් විසිපන්දහසක් වෙන්කළාම නිර්මාණයේ අගය රුපියල් හැත්තෑපන්දහසයි. මේ නිසා එකට එකක් නිර්මාණයේ ගුණාත්මක බව බාල කරලා ඉවරයි. මෙය ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට බරපතළ ලෙසින් බලපෑවා.

ඒ හරහා ඉතා ඉහළ ප්‍රමිතීන් සහිතව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු ක්ෂේත්‍රයෙන් ගිලිහුණා. හොඳ නිර්මාණ බිහි කළ නිර්මාණකරුවන් අද ක්ෂේත්‍රයෙන් පිටත සිට බලාගෙන සිටිනවා. මේ හරහා ටෙලි නාට්‍ය කරන්න සූදානම් වන්නේ දේශපාලන සම්බන්ධතා තිබෙන පිරිස්. ඔවුන් තමයි නිෂ්පාදකවරු. මෙතැන තමයි වරද. වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසම් ඒ අමාරුව.

* නමුත් ටෙලිවිෂනය ඉදිරිපිට අද විශාල ප්‍රේක්ෂක පිරිසක් රැස්ව සිටිනවා?

ලංකාවේ ටෙලිවිෂන් ප්‍රේක්ෂකාගාරයේ විශාල පිරිසක් රාත්‍රි 7.00 සිට 9.30 අතර කාලය ටෙලිවිෂනය ඉදිරිපිට රොක්වී සිටිනවා. සරුම ගුවන් කාලය ඒක තමයි. මේ කාලය තුළ මොකක්ද අපි අවසාන වශයෙන් කරන්නේ. මේ කාලය තුළ ජනතාවට දෙන්නේ මොන වගේ නිර්මාණද. මුදල් මත බාල ගනුදෙනුවටකට අනුව නිර්මාණය වූ ඉතාම බාල ගණයේ ටෙලි නිර්මාණයක්. ඇත්තටම මේක ටිකෙන් ටික සිදුවෙමින් පවතින විශාල සංස්කෘතික පරිහානියක්. ගෙදර සිටින ප්‍රේක්ෂකාගාර මොට කිරීම මේ ව්‍යසනය හරහා සිදු වූ ඛේදවාචකය යි. මිනිසුන්ගේ සිත් තුළින් තුරන් කළ යුතු ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ද්වේෂය තමයි මේ පැය දෙක හමාර පුරාවට ලබා දෙන්නේ.

* වර්තමානයේ බිහිවෙන නිර්මාණ ගැන පොදුවේ සැලකුවොත් අන්තර්ගතය එක හා සමානයි?

එකම නළු නිළියෝ. එකම කතාව. මොන චැනල් එක බැලුවත් එකවගේ කතා තමයි නරඹන්න ලැබෙන්නේ. ඒකට හේතුව මොකද මේ දේවල් කරන්නේ එකම පිරිසක්. ඔවුන් කරන හැම නිර්මාණයක්ම එකවගේ. ජනප්‍රිය රැල්ලේ විකිණිය හැකි ලාබ නිර්මාණ නිසා මෙවැනි තත්ත්වයක් අද උදාවෙලා.

එක කාලයක් අපි වෙද හාමිනේ බලනවා. දූ දරුවෝ බලනවා. දඬුබස්නාමානය, කඩුල්ල බලනවා. ඒ ප්‍රේක්ෂකාගාරය ඉතාම පොහොසත්. ජනතාව ඒ නිර්මාණ රස වින්ඳා. අන්තිමේ එය අද ඉතාම බාල තැනකට තල්ලු වෙලා.

* මේ තත්ත්වයට හේතුව විදියට ඔබ දකින්නේ?

මේ වගේ තත්ත්වයකට වගකිව යුත්තේ නිසි රාජ්‍ය පරිපාලනයක් නොවීමයි. රජයක් නිසි වගකීමෙන් කටයුතු කරනවා නම් මේ වගේ බාල බොළඳ සිදුවීම් වෙන්නේ නැහැ.

* ඉන්දීය වගේම කොරියානු ටෙලි නාට්‍ය වටාත් අද ලාංකේය පේ‍්‍රක්ෂකයන් රාශියක් රොක් වෙලා?

මිනිසුන් ඒ වටා රොක් වෙලා තියෙන්නේ ඇයි? මොකද ඒ නිර්මාණවල තියෙන ගුණාත්මක බව නිසා. ලංකාවේ මේ තරම් ටෙලි නාට්‍ය තියාගෙන මිනිස්සු මේ ඉන්දියානු කොරියානු නිර්මාණවලට ආකර්ශනය වෙන්නේ ඇයි. ඔවුන් එම නිර්මාණ කරලා තියෙන්නේ වෘත්තීමය වගේම නිසි ප්‍රමිතිකරණයන්ට යටත්වයි. ඒ නිසා ඒවා දකින දකින මිනිස්සු ඒ දෙසට ආකර්ශනය වෙනවා. අපට ආගන්තුක වුණත් අපි ඒවා වැලඳ ගන්නවා. හින්දි සිනමාව බොහොම ඉක්මනට සමීප වීමටත් ඒක හේතු වුණා. වෘත්තිය නිර්මාණකරුවන් නැතිවීම නිසා අපට ඒ තත්ත්වයට එන්න නොහැකි වෙලා තියෙනවා.

* නිසි ප්‍රමිතියකින් යුතු නිර්මාණ කරන්න අපට බැරිද?

ඇත්තටම පුළුවන් මගේ මේ උත්සාහය එයයි. ප්‍රමිතිගත කටයුත්තක් බවට පත් කළ යුතුයි. රජය විසින් මේ ඛේදවාචකයෙන් ක්ෂේත්‍රය බේරා ගැනීමට කටයුතු කළ යුතුයි. පැහැදිලිවම රජයේ මැදිහත්වීම අවශ්‍යය යි. මිනිසුන්ගේ මනස හදන්න හොඳම තැන එයයි. ඉතාම සරු පේ‍්‍රක්ෂකාගාරය වගේම ගුවන් කාලය නිරපරාදේ නාස්ති කරන්න කටයුතු කරන්න හොඳ නැහැ. මේ හරහා අපට මොන තරම් දේ ගෙන යන්න පුළුවන්ද. සමාජය, සංස්කෘතිය, ආදරය ගැන මොනතරම් දේ කතා කරන්න පුළුවන්ද. අද ආදරය ගැන මොනවද කියන්නේ. රණ්ඩු සරුවල්, අනියම් සම්බන්ධතා මේ වගේ දේවල්. මේ තැනින් අපි ගලවා ගත යුතු වෙනවා. මේ ගලවා ගැනීමට රජයේ මැදිහත්වීම අත්‍යාවශය යි.

මේ වෙනුවෙන් මම පෞද්ගලිකව ප්‍රබල උත්සාහයක නිරත වෙනවා. මේ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් නිසි ප්‍රමිති ආයතනයක් තිබිය යුතු වෙනවා. අපි සිනමා ශාලාවකට ගිහින් වාඩිවෙලා බලන චිත්‍රපට වලට රැඟුම් පාලක මණ්ඩලයක් තියෙනවා. ඇයි ටෙලි නාට්‍යවලට එවැනි වූ ප්‍රමිතිකරණයක් නැත්තේ. ඇත්තෙන්ම නිසි ප්‍රමිතිකරණයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යය යි. ඒ වෙනුවෙන් ආයතනයක් තිබිය යුතුමයි. එසේ නොවුනහොත් වැඩි කල් නොගොස් අපට බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදු වෙනවා.

* එවිට වාරණරයකට ලක්විය හැකියි නේද?

වාරණයට මමත් එකඟ නැහැ. ඒ වුණත් බෝක්කු කටෙන් එන්නා වගේ ගෙවල් හරහා ගලා එන මේ දෙයට යම් ප්‍රමිතියක් තිබිය යුතු වෙනවා. අපි සමාජයට යහපත් පූර්වාදර්ශ ලබා දියයුතුයි. යහපත් දේ වාරණයට ලක්වෙන්නේ නැහැ.

* සාර්ථක ටෙලි නාට්‍යයකට එහි ප්‍රමිතිය පමණක් සෑහේද?

ටෙලි නාට්‍යයේ ප්‍රමිතිය පමණක් නෙවෙයි. ඒ සඳහා දායකවන නිර්මාණකරුවන් පවා ඒ සඳහා වෘත්තිය වශයෙන් සුදුසුකම් ලැබිය යුතුයි. වර්තමානයේ මේ ක්ෂේත්‍රයේ කිසිම කෙනෙකුට වෘත්තිය තත්ත්වයක් නැහැ. වාසනාවකට මට වසර පහක් ටයිටස් තොටවත්තයන් සමඟ කටයුතු කරන්න ලැබෙනවා. ඔහුගේ ආභාසයෙන් මම මේ විෂය ඉගෙන ගත්තා. ඒක අත්දැකීමෙන් ලද පුහුණුවක් වුණත් වෘත්තිය සුදුසුකමක් නොවෙයි. ඒ වගේම දැන් බිහිවෙන බාල නිර්මාණ තුළින් ක්ෂේත්‍රයට පැමිණෙන අයට නිසි දැනුමක් ලැබෙන්නේ නැහැ.

* රූපවාහිනි අභ්‍යාස ආයතනය වැනි ආයතන හරහා මේ දේ ඉටු වෙන්නේ නැතිද?

රූපවාහිනි අභ්‍යාස ආයතනය හරහා මෙය බොහොම පටු පරාසයක් තුළ සිදු වෙනවා. නමුත් මම කියන මේ කාරණය ඊට වඩා පුළුල් පරාසයක සිදු වෙන්නක්. මේ විෂය තුළට රාජ්‍ය අනුග්‍රහය ඇතුව පාසලක් අවශ්‍ය වෙනවා.

* වර්තමානය වනවිට මේ සම්බන්ධයෙන් ආයතන බිහිවෙලා තියෙනවා නේද?

තැන් තැන් වල තියෙන කඩ නොවෙයි. එය විශ්වවිද්‍යාල මට්ටමේ සහතිකයක් ලැබෙන වෘත්තිය මට්ටමෙන් පුහුණුකරුවන් බිහි කෙරෙන පාසලක් විය යුතුයි. නිසි ප්‍රමිතියෙන් සෑම අංශයක්ම ආවරණය කෙරෙන පරිදි එය ක්‍රියාත්මක විය යුතුයි. දැන් බලන්න අපේ අසල්වැසි රට ඉන්දියාව ගත්තොත් එහි කලා ක්ෂේත්‍රයට පිවිසීමට ඒ සම්බන්ධ පාසලක ඉගෙනීම අත්‍යවශ්‍ය දෙයක්. සුදුසුකම අරගෙන තමයි ඔවුන් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඇයි අපට එතැනට එන්න බැරි. බොහෝ දේ සඳහා වියදමි කරන රටේ ඇයි අපි රසවින්දනය වෙනුවෙන් කුඩම්මාගේ සැලකිළි.

* මේ වෙනුවෙන් වූ ඔබේ පියවර?

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ශිල්පීන් වෙනුවෙන් නිසියාකාර පුහුණුවීමක් ලබා ගත හැකි පාසලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම ක්ෂේත්‍රයට එය විශාල අඩුවක්. ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය ඇතුව එය ක්‍රියාත්මක කරන්නයි මගේ සූදානම වත්මන් රජයෙන් එය ඉටුවේවි කියන බලාපොරොත්තුව ඇතිව ඒ වෙනුවෙන් සියලු යෝජනා මූලික සැලසුම් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනවල ඒ සඳහා මූලික අඩිතාලම ගොඩ නඟමින් සිටින්නේ. එසේ නොවුණහොත් මේ ටෙලිනාට්‍ය ශිල්පීන් දවස් කුළියට වැඩ කරන පුද්ගලයන් පිරිසක් බවට පත් වෙනවා.

* අධ්‍යාපන ආයතනයක් මඟින් මෙහි සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්ද?

කුහකයන් පිරිසක් සමඟ මෙය නොවුනහොත් සත්‍යවශයෙන්ම එය සාර්ථක වෙනවා. යම් කාලසීමාවකින් වෘත්තිය අධ්‍යාපනයක් ලද ශිල්පීන්ගේ සහභාගිත්වය නිර්මාණයකට අනිවාර්ය කිරීමෙන් එහි ගුණාත්මක බව ඉහළ නංවාගත හැකි වෙනවා. ඇතැම් අය මේ කොන්දේසියට එකඟ නොවෙන්නත් පුළුවන්. අපේ රටේ කිසිම දෙයක් සියයට සියයක් එකඟ කරගෙන කරන්න අපහසුයි.

මටත් තියෙන්නේ ක්ෂේත්‍රයේ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සම්භාරයක් පමණයි. මමත් වෘත්තීය වශයෙන් ඉගෙන ගත යුතුයි. මේ පාසල ආරම්භ කළොත් එහි පළමු ශිෂ්‍යා වෙන්න මම කැමැතියි.