|
මහා පුරුෂයකුට මාතු භාර්යාව වූ ඇය සිනමා කිවිඳියට සුබ උපන් දිනයක්
කවි ලියන්නට නම් අකුරු වුවමනා වූයේ අතීතයේය. එහෙත් අද රූපයෙන් පවා කවි ලිවිය හැක්කේය. ඒ බව අපට කියාදෙන ලද්දේ ඇය විසිනි. ඇය සිය ජීවිත ගමනේ අසූ වැනි වියට එළැඹෙනුයේ එන අඟහරුවාදාය. එනම් ලබන විසි හතර වැනි දාය.ඇය සුමිත්‍රා පීරිස් නමින් ලොව හඳුනන නමක් දිනා ඇත්තීය. ඇය උපන්නේ 1935 වසරේ දීය.සුමිත්‍රා. ඇය ලද නාමයයි. රූපසිංහ ගුණවර්ධන ඇය පෙළපතින් ලද නාමයයි. රූපසිංහ ගුණවර්ධන යනු මෙරට වාමාංශික ව්‍යාපාරයේ මෙන්ම නිදහස් ව්‍යාපාරයේ ද කියැවෙන අවිස්සාවේල්ලට නොදුරු බොරළුගොඩ ගම්මානය කේන්ද්‍ර කොට ගත් සුප්‍රකට පෙළපතෙහි සාමාජිකයකු වීමේ වාසනාව නිසා ලද නාමයයි. පීරිස් යනු මෙරට මහා පුරුෂයෙකුට බිරින්දෑ වු හෙයින් ලබා ගත් නාමයයි. ඒ මහා පුරුෂයානන් වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ට ආර්යාවක් නොව මාතු භාර්යාවක් ව පසුගිය වසරට පනස් වසරකි. එහෙත් ඇය කිවිඳීයක වනුයේ ගුණවර්ධන පෙළපතෙහි ජන්ම දායාදය කොටගත් හෙයින් හෝ මහා පුරුෂයකුට පතිනිය වූ හෙයින් හෝ නොවේ. ඇය රූපය සිය අවිය කොට එයින් මනා ලෙස කවි සිත්තම් කළ බැවිනි. අසූ වසරක ජීවිතය විමසා බලන කල්හි ඇය සිනමාව නම් පෙනුමට සුකුමාල එහෙත් දෘඩ කර්මාන්තයෙහි විප්ලවිය චරිතයක් වන්නීය. සිනමාවෙන් කිවිඳීය නොවූවානම් ඇය නොඅනුමානවම දේශපාලන ලෝකයේ පෙරළි කළ ඇගේ ඥාති වර්ගයාට අයත් වන විවියන් හෝ කුසුමා ගුණවර්ධන වැන්නියක් වන බව ඈ ගැන දන්නා බොහෝ දෙනා දන්නා කාරණයකි.ඇය දේශපාලන කරළියට ඇදී එන්නේ හිතුවක්කාර ළමා වියේදීමය. ඡන්ද බලය උරුමව නොතිබුණ දස හැවිරිදි වියෙහි දී ඇය සිය නැන්දනියක වන කුසුමා ගුණවර්ධන වෙනුවෙන් අවිස්සාවේල්ල ආසනයේ එක් ඡන්ද පොළක නියෝජිත වරියක් ලෙස කටයුතු කළාය. විවියන් ගුණවර්ධන නැන්දනිය සමග ඇගේ තනියට සමසමාජ රැස්වීම් වලට ගියාය.ඇය හැදී වැඩුණේ පිලිප් ගුණවර්ධන,ලෙස්ලි ගුණවර්ධන වැනි සිය බාප්පලා සමග පමනක් නොවේ. ළමා වියේදී නිතර ගෙදර එන කඩවසම් ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා හමුවූ අවස්ථා අපේ දේශපාලන ඉතිහාසයේ සැඟවුණ කතාන්දර හෙළි කරන්නන් වැනිය. විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ඇගේ ඇතැම් ගුරුවරියක ඇයව හැඳින්වූයේ සමසමාජකාරිය හැටියටය. අපේ සිනමා ඉතිහාසය ලියන්නෙකුට සුමිත්‍රා පීරිස් නම අමතක කොට නොලියැවිය හැකි බව ඇත්තය. එමෙන්ම වාමාංශික දේශපාලනයේ දී ද ඇය දන්නා අප නොදන්නා ඉතිහාස කතා රාශියකි. මෙරට සිනමා ඉතිහාසයේ තවමත් සිනමාකාරියන් සිටිනුයේ අතලොස්සකි. සිනමාකරණය කෙරෙහි විශාල බලාපොරොත්තු සහ කුසලතා පූර්ණ තරුණියන් සිටියත් එහි ලා ඔවුන්ට සිදුව ඇති ප්‍රධාන බාධකය නම් ගැහැනුකමයි. දේශපාලනයේ දී වනිතා නියෝජනය වැඩි කරන්නැයි බෙරිහන් දෙන කාන්තාවෝ සෙසු කේෂත්‍රයන්හි නියැළි කාන්තාවන්ගේ ඉරණම පිළිබඳ ඇත්තේ අඩු තක්සේරුවකි. ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය තිර ගත කොට වසර හැට හතක් ගත ව ඇතත් මෙරට චිත්‍රපට නිර්මාණයට පිවිසුන කාන්තාවන් සංඛ්‍යාව තවමත් අට දෙනෙකුට සීමාව ඇත්තේය. එයින් ද පස් දෙනෙක් සිනමා නිළියන් වීම විශේෂයකි. එයින් පරිබාහිරව සිනමා අධ්‍යක්ෂණය වැනි භාරදූර කාර්යට අත ගසන්නට ඇති ඉඩ කඩ සීමා සහිතය. සංස්කරණය හෝ කැමරාකරණය වැනි අංශ සඳහා ඇති දායකත්වය එයටත් වඩා අල්පය. අපේ සිනමාවේ මුල්ම සිනමාවේදිනිය බිහි වීමට මුල්ම කතානාද සිනමා කෘතිය බිහි වීමේ සිට වසර දහ අටක් ගතවිණ. ඒ 1965 වසරේ තිර ගත වුන ෆ්ලෝරිඩා ජයලත් නිර්මාණය කරන ලද ස්වීප් ටිකට් චිත්‍රපටයයි. ෆ්ලෝරිඩා අපේ සිනමාවේ මුල්ම තාරකාව වන අතර ඇය චිත්‍රපටයක් නිර්මාණය කරනුයේ සිනමාවෙන් සමුගැන්ම ආසන්නයේය. එය ද ඇයගේ තනි සිනමාකරණයක් ලෙස නොපළ වන අතර සම අධ්‍යක්ෂණය කරන ලද්දේ රාජා ජොෂුවා විසිනි. තනිව චිත්‍රපටයක් තනන අධ්‍යක්ෂවරිය ලෙස නාමාවලියේ සදහනු වනුයේ රූබි ද මෙල් නිර්මාණය කරන ලද 1968 වසරේ තිර ගත වන පිපෙන කුමුදු චිත්‍රපටය සමගය.ඒ කෙසේ වෙතත් සුමිත්‍රා පීරිස් සිය අසූ වැනි ජන්ම දිනය සමරන මේ වසරේ දී අපේ මුල්ම සිනමා අධ්‍යක්ෂවරිය බිහි වී වසර පනහක් සපිරිම ද අහඹු සිදුවීමක් වීම සුවිශේෂ කරුණකි. බොහෝ මිනිසුන්ගේ ජීවිත ඉරණම වෙනස් කරලන සාධක ඉතා අහම්බයක් වෙයි.සුමිතා පීරිස් සිය ජීවිතයේ අතීතාවර්ජනයක් කරද්දී ඇය ගේ ජීවිත ඉරණම වෙනස් කරලන සාධකය වන්නේ ඇයගේ මවගේ හදිසි මරණයයි. ‘මේ පුවත ඇසුවාම ඉස්සසෙල්ලාම දුව ගෙන ආවේ ජේ.ආර්.ජයවර්ධන මහත්තයා සහ එතුමන්ගේ භාර්යාව එලිනා රූපසිංහ මොකද ඇයත් අපත් අතර ඉතා ළඟ ඥාති සම්බන්ධයක් තිබුණා. කලකට ඉහත ඇය සමග සුහද කතාබහක යෙදී සිටියදී සුමිත්‍රා පීරිස් කිවිඳීය මට අනාවරණය කළාය.මේ මරණයේ කම්පාව ඒ වනවිට තාරුණ්‍යයේ එළිපත්තේ සිටි ඇයට මෙන්ම ඇගේ සොහොයුරාට ද බෙහෙවින් බලපෑවේය.ඇය සිය සොහොයුරා සමග ප්‍රංශයට ගියේ එබැවිනි. ලාංකික සිනමාවේ හැරවුම් ලක්ෂයක් වන රේඛාව කාන් සිනමා උළෙලට තෝරා ගැනුනේ ඒ අවදියේමය. කාන් උළෙලට පැමිණි ලෙස්ටර් හා සුමිත්‍රා සමඟ මුල් වරට මුණ ගැසෙද්දී අපේ සිනමා දෛවය හැසිරවීමේ අනාගත වගකීම ඔවුන් වෙතට පැවරී ඇතැයි මේ දෙපොළම සිහිනෙන් වත් නොසිතන්නට ඇත. ආචාර්ය ලෙස්ටර් ගේ මග පෙන්වීම යටතේ ලන්ඩනයේ දී සිනමාකරණය හැදැරීමට පෙළඹෙන ඇය ඉතා ඉක්මනින් යළි පෙරළා මව්බිමට පැමිණුනාය. ඇය සංදේශය චිත්‍රපටයට දායක වනුයේ එයට කාර්මික අංශයෙන් දායක වන එකම කාන්තාව හැටියටය.යුරෝපා රටක ජීවත්ව සිටි ඇය ලංකාවට පැමිණ සිනමා කර්මාන්තයට දායක වනුයේ අති දුෂ්කර ජීවන අත්දැකීමකට මුහුණ පෑවාය. කාර්මික අංශයේ නියැලුණ එකම කාන්තාව ඇය වුව ද ඒ සඳහා ලද විශේෂ වරප්‍රසාදයක් නොවිණ. සිය ඥාති දියණිය සිනමා කර්මාන්තයේ නියැලෙමින් දුෂ්කර කි‍්‍රයා විඳීන අයුරු සියැසින් දැක ගන්නට ඇගේ විප්ලවීය බාප්පා පිලිප් ගුණවර්ධන චිත්‍රපටය රූ ගත කළ බෙලිහුල්ඔයට පැමිනි අයුරු ඇය තවමත් සිහිපත් කරන කාරණයකි. සහාය අධ්‍යෂිකාවක ලෙස වෘතාන්ත සිනමාකරණයට පිවිසි ඇය එයින් පසු සිනමා කේෂත්‍රයට දායක වනුයේ සම නිෂ්පාදනයෙන් සහ සංස්කරණ ශිල්පයෙනි. ගම්පෙරළිය චිත්‍රපටය නිර්මාණය කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලාංකික සිනමාව ජාත්‍යන්තර තලයේ රැඳවීමට සමත් වුවත් එය පසුපස සිටි දැවැන්ත චරිතයක් ලෙස සුමිත්‍රාවන්ට අත් පත් විය යුතු ගෞරවය තවමත් අත් පත් වී නොමැත. ඇත්ත නම් ගම් පෙරළිය නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති වූ සියලු දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් එය බිහි කිරිම උදෙසා ආචාර්ය ලෙස්ටර් වෙත සියළු සහාය ලබා දුන්නේ සුමිත්‍රාවීමය.එපමනක් නොව චිත්‍රපටය නිෂ්පාදනය උදෙසා ඇය තමා සතු අවිස්සාවේල්ලට නුදුරු ඉඩමක් ද විකුණා දැම්මාය. චිත්‍රපටය නිෂ්පාදනයෙන් පැමිණි සියලු දුක් ගැහැට උසුලමින් සිනමාකරුවාට ඇවැසි නිදහස ලබා දෙන්නට සුමිත්‍රා කටයුතු කළාය.ඒ සමයේම ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සහකාරිය වූවාය. ඒ යුග දිවියට ගිය වසරේ පනස් වසර සපිරිණ. අපේ සිනමා ඉතිහාසයේ වඩාත්ම ආදර්ශමත් යුවල කවුරුන්දැයි විමසූ කළ ලෙස්ටර් සුමිත්‍රා යැයි කියන්නට කිසිවිටෙකත් දෙවරක් සිතිය යුතු නැත. ජීවිතයේ පමණක් පංගුකාරියක නොවී නිර්මාණකරණයේ ද මේ යුවළ පරම්පරා ගණනාවකට ආදර්ශයකි. ගම්පෙරළිය,දෙලොවක් අතර, පරසතුමල්, වැනි චිත්‍රපට රාශියකට සංස්කරණයෙන් දායක වන ඇය සිනමා නිර්මාණයට පිවිසෙනුයේ. ගැහැණු ළමයි චිත්‍රපටය නිර්මාණය කරමිනි. සිනමා සංස්කරණයේ දී ඇය දැක්වූ ප්‍රතිභාව විශිෂ්ට එකකි. සිනමා සංස්කරණය විධිමත් ව හැදෑරු ඇය එහි නිර්මාණශීලී ගුණය ගුරු මුෂ්ටි නොතබාම කියා දුන් වගට හොඳම සාක්ෂිය වනුයේ පසුකලක විශිෂ්ටතම සංස්කරණ ශිල්පියෙකු ලෙස සම්මානයට පත් වූ අභාවප්‍රාප්ත ලාල් පියසේන දැක්වූ ප්‍රතිභා ගුණයයි. ආධුනික සමයේ ලාල් විසින් සිය කේෂත්‍රය අරබයා අසන දහසකුත් එකක් ප්‍රශ්ණ වලදී එය කිසිදු වදයක් කොට නොගත් සුමිත්‍රා පීරිස් ගුරුතුමිය සංස්කරණයෙහි සියළු ශිල්පය දායාද කරන්නට මැලි වූයේ නැතැයි ලාල් පියසේනයන් ජිවත්ව සිටියදී කිහිප විටක්ම පැවසුවේය. ගඟ අද්දර චිත්‍රපටය උදෙසා ජනාධිපති සිනමා සම්මාන උළෙලක දී හොඳම සංස්කරණ ශිල්පියා ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ සුමිත්‍රා පීරිස් ගේ නාමයයි. එහෙත් වහා වේදිකාවට ගොඩ වූ ඇය එහි නියම සංස්කරණ ශිල්පියා ලාල් බව පවසමින් විනිශ්චය මණ්ඩලයට සිදු වූ වරද නිවැරදි කළාය. එපමනක් නොව සම්මානය වේදිකාවේදීම ලාල් පියසේන ගේ අතට ලබා දුන්නාය. සුමිත්‍රා පීරිස් මේ වන තෙක් නිර්මාණය කරන ලදුව තිර ගත වූයේ චිත්‍රපට නවයකි. ගැහැනු ළමයි,ගඟ අද්දර,යහළු යෙහෙළි,මායා,සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා,ලොකු දුව,දුවට මවක මිස,සක්මන් මළුව,යහළුවෝ මේ චිත්‍රපට නවයට අයත්ය. වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිර්මානය කරන ලද කාන්තාව ලෙස පමණක් නොව ඒ චිත්‍රපට බහුතරය විචාරක අවධානය දිනා ගැන්මෙහි සමත් වීමෙන් ද සුමිත්‍රා පීරිස් මෙරට සිනමා ඉතිහාසයේ ස්වකීය මුද්‍රාව තබා ඇත්තීය.එබැවින්ම ජාත්‍යන්තර සිනමා කරළියෙහි ද සුමිත්‍රා පීරිස් නම් සිනමාවේදිනිය ස්වකීය ස්ථානය රැක ගැන්මෙහි සමත්ව ඇත්තාය. ජාත්‍යන්තර සිනමා විනිශ්චයන් රාශියකටම ඇය සිය දායකත්වය ලබා දුන්නාය. ඇය නිර්මාණය කරන ලද ගග අද්දර කෙතරම් විශිෂ්ට අවධානයක් දිනා ගත්ත ද යත් එය තිර ගත වන සමයේ බොහෝ යෞවන යෞවනියන් සිහින මැව්වේ එහි පෙම් යුවළ ලෙස ගැනුණු රංජිත් හෝ නිර්මලා වන්නටය. ඇය ගේ අතින් රූපයට නැගුණ වනිතාවන් සියල්ල ජිවිතයට මුහුණ දෙන ගැහැනුන්ය.කුසුමා, මුදිතලතා. හීන් කෙල්ල මේ ආදී වූ බොහෝ චරිත අරබයා ඇයගේ ආත්ම ප්‍රකාශනය බලවත්ය. එමෙන්ම චරිත ගොඩ නැගීමේදී සහ සංරචනයේ දී ඇය විසින් ගොඩ නගනු ලබන රිද්මය සිනමාකරණයෙහි ඇයගේ ශකි‍්‍රයතාව මනාව සනාථ කර ඇත. එමෙන්ම ඇයගේ සිතුවිලි මෙන්ම ඇය අපට හදුන්වා දෙන චරිත ද අපේ රටේ අප දකින චරිත විනා ආගන්තුක නොවේ. ඇයගේ සිනමාව මෙන්ම පොදු ජිවිතය පිළිබඳ දීර්ඝ විවරණයක යෙදෙන්නට පුවත්පතේ ඉඩ කඩ ද කාලය ද ප්‍රමාණවත් නොවෙයි.ඇයගේ සිනමා මෙහෙය පුළුල් එකකි.ජීවිතය විචිත්‍රවත්ය. ඉඳීන් අපේ සිනමාවේ කිවිඳීයට නීරෝගී සම්පත සමග දීර්ඝායු ලැබේවායැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නට අපට අවස්ථාවයි. ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා එහෙත් ඇයගේ දස වැනි සිනමා නිර්මාණය වෛශ්ණාවී තවමත් තිර ගත වන්නට මගක් නැත.සිනමාකරුවකු අතින් සිනමාවට කළ මෙහෙයට ස්වකීය නිර්මාණය එළි දක්වනාව හැරෙන්නට කළ හැකි තවත් ගෞරවයක් නොමැති තරම්ය. එබට සුබ උපන් දිනයක් වේවා
|