|
||||||||
අහිමි මව් සෙනෙහසක සංවේදී කඳුළු කතාවසංජානා
හේමසිරි සෙල්ලප්පෙරුමගේ ආදරණීය චිත්‍රපටයක්...
ගේට්ටුවෙන් එළියට පැමිණියේ කුඩා ළමුන් කිහිපදෙනෙකි. ඔවුන් පසුපස පැමිණි තවත් ළමයි කිහිපදෙනෙකු මව්පියන් සොයා දිව ගියේ තරගයට මෙනි. මේ සියල්ලන් දෙසම බලා උන් යුවතිය තවමත් එලෙසම ය. නොඉවසිල්ලෙන් ඈ පෙරමඟ බලා සිටින්නේ කවුරු හෝ පැමිණෙන අපේක්ෂාවෙන් බව නම් දැන් කිසිවෙකුටත් නොරහසකි. “ සංජානා ආන්ටි....” කුඩා දැරියක් එක්වරම දුවගෙන ආවාය. එසැනෙන්ම අර සොඳුරු යුවතිය පෙර මඟට පා නැඟුවේ ඇය මෙතෙක් අපේක්ෂාවෙන් සිටි කාරණය කුමක්දැයි වටහා දෙමිනි. සොඳුරු දඟකාර දියණිය පැමිණ යුවතිය අතේ එල්ලී වට කිහිපයක් කර කැවුණේ මේ අතර ය. කුඩා දියණියගේ උවන සිපගත් යුවතිය කතාබහක නිරත වෙමින්ම මෝටර් රථයට නැඟුණාය. අනෙක් පසෙන් දැරිය රථයට ගොඩවූයෙන්, රථය ඉදිරියට ධාවනය විය. ජනාකීර්ණ නගරයේ වාහන පෙළ අතරෙන් ඇදී ආ රථය නතර වූයේ මධ්‍යම පාන්තික නිවෙසක් අසලිනි. නිවෙසේ ඉදිරිපස දොරෙන් මතුවූයේ මැදිවියේ කාන්තාවකි. “ ආත්තම්මා. සංජානා ආන්ටි මාව එක්ක ගෙන ආවා.” දුවගෙන පැමිණි දැරිය සාරි පොටේ එල්ලුනෙන් ඇය දැරියව තම තුරුලට ගත්තාය. සිනහවක් මුවඟට නගාගත් ඕ දැරියගේ උවන සිප ගත්තේ දැඩි ආදරයෙනි. “ තාත්තා .....” ඔවුන් අසලට පැමිණි තරුණයා දුටුවනම දැරිය ඔහුගේ අතේ එල්ලුණාය. ඔවුන් අසලට මදහස පාමින් සිටියේ සංජානා ය. “ තෑන්ක්ස් සංජානා ” තරුණයා ඒ සොඳුරු යුවතියට ස්තූති කළේ සිනහවක් මුවඟට නගමිනි. “ ඕක මොකක්ද සමීර අයියා එහෙනම් මම යන්නම්. සචිනි දූ මම යන්නම්. ඔයාව ගන්න මම හෙටත් එන්නම්කෝ ” සංජානා ඔවුන්ගෙන් සමුගත්තත් නැවතත් දිනෙක දැරිය හමුවන වගට පොරොන්දු වූවාය. ශාලාවේ ලැගුම් ගෙන උන් සියලු දෙනා අතර ඉඳගත් සමීර හා සචිනිගේ නෙත් යොමුව තිබුණේ නොබෝ වේලාවකින් ආරම්භ කිරීමට නියමිත නර්තනයට දෙසටය. මේ අතර සංජානා වේදිකාවට පැමිණියේ පිරිවර ද සමඟිනි. නර්තනය ආරම්භ වූ වේලාවේ පටන් සියල්ලෙන්ගේම නෙත් පැහැරගෙන තිබුණු සංජානා ඇතුළු නර්තන කණ්ඩායම නර්තනයේ යෙදුණේ සැහැල්ලු බවකිනි. ඒ අතරම එකා, දෙන්නා ශාලාව වෙත පැමිණෙමින් සිටිති. ඒ එන අය අතර උන් සොඳුරු යුවතියක් කෙරෙහි සචිනිගේ නෙත යොමුව තිබිණි. මේ කුඩා දැරිය ඇයට අත වැනුවාය. ඒ සොඳුරු යුවතියද මේ කුඩා දැරියට අත වැනුවේ දෙවරක් නොසිතමිනි. “ කවුද මේ දැරිය ” ඕ කල්පනා කළේ මීට පෙර මේ දැරියව මුණ ගැසී තිබේදැයි යන්නය. වරින්වරම ඇය දෙසට හැරී අත වනන දැරිය ගැන මතකයක් ඇය සතුව නොවේ. නර්තනය වෙත සිත යොමු කළ ඕ සොහොයුරාත්, නර්තනයේ නියැළෙන යුවතිය දෙසත් බලා සිටියාය. මද වේලාවකින් ඈ වටපිට බැලුවේ ඒ ශාලාවේ හඳුනන කිසිවෙකුත් සිටීදැයි විමසන්නට මෙනි. ඇයට අත වනන දැරිය හැරුණු විට කිසිවෙකුත් තමා නොහඳුනන බව වටහා ගත් මේ යුවතිය ඉක්මන් ගමනෙන් පියගැට පෙළ බැස්සේ එතැන තවත් මොහොතක් හෝ නොසිටය. “ අම්මා..... අම්මා...... ඔහොම පොඩ්ඩක් ඉන්න. ඇයි ඔයා අපිව දාලා යන්නේ. ” යුවතිය ආපසු හැරී බැලුවේ දැරියකගේ හඬක් ඇසුණු බැවිනි. ඇය දුටුවේ ශාලාවේ තමාට අත වැනූ දැරිය තමා පසුපස පැමිණෙමින් සිටින බවකි. “ අම්මේ..... අම්මේ...... ඇයි ඔයා යන්නේ ” ඇයගේ අත අල්ලා ගත් දැරිය නොනවත්වාම හඬන්නට වූවාය. යුවතිය මේ කුඩා දැරිය දෙස බලාගෙන සිටියේ විස්මය රැඳී දෑස්වලිනි. “එන්න දුව එන්න....ඔය ආන්ටිට කරදර කරන්න එපා. ” සචිනි සොයාගෙන පැමිණි සමීර කෑ ගසා පැවසුවේ දුව නිසා කරදරයට පත්ව සිටින යුවතිය දැකීමෙනි. මෙහෙකාරිය පැමිණ දැරියව ඉවතට රැගෙන යනතුරුම සචිනි සිටියේ හඬමිනි. “ හරියටම ඔයා සචිනි දුවගේ අම්මා වගේමයි. ඒකයි දුව රැවටෙන්න ඇත්තේ. ” සමීර පැවසුවෙ තම බිරියගේ රුව හා සමාන රුවකට උරුමකම් කියන නන්නාඳුනන යුවතිය දෙස විමසුම් සහගත බැල්මන් හෙළන අතරතුරය. “ සැබවින්ම ඇය බිරිය වගේ නොවේද? ” සමීර කල්පනාවට වැටුණේ ඉබේටමය. ඇය කොහි සිටින්නේ දැයි අසන්නට සැරැසෙත්ම යුවතිය එතැනින් නික්ම ගොස් සිටියාය. අද දියණිය වෙනදාටත් වඩා මව පිළිබඳ කතා කරන වගක් සමීරට හැඟී ගියේය. අත්තම්මාත්, මිනිපිරියත් කරන කතාබහ ඔහුගේ සවනත ගැටෙයි. කුමක් කළ යුතුදැයි සමීරට නොවැටහේ. ඔහුගේ නෙත ගැටුණේ බිරියගේ රුව සහිත පින්තූරයයි. ඈ තමා දෙසම සිනාසෙමින් බලා සිටිනවා නොවේදැයි සමීරට සිතුණේ එක්වරමය. විවිධ සිතුවිලි ඔස්සේ විහිද ගිය සිත එක්තැන් කිරීම ලෙහෙසි පහසු නැත. රෝහලේ යහන මත සිටින දියණිය දෙසම ඔහු බලා සිටියේ ඇය ගැන මෙන්ම තමා ගැනද උපන් අනුකම්පාවෙන් යුක්තවය. දියණියගේ ජීවිතය පිළිබඳ විවිධ වූ සිතුවිලි ඔහු අධෛර්යයට පත් කළේය. “සචිනි දූ මම ආවා.” දිනෙක ඈ පැමිණියේ එලෙස පවසමින් හදිසියේමය. සචිනිගේ දෙනෙත දිලිසිණි. නිෂා සචිනිගේ සෙවණැල්ල සේ පසු වූවාය. ඒ පිළිබඳ දෙවරක් සිතන්නට සමීරට බල කළේ නිෂාගේ පියාය. “ මගේ දුවත් එක්ක රවුම් ගහන එක නැවැත්තුවොත් හොඳයි. ”
සමීරට නිෂා අහිමි වේද? සමීරගේ සහ සංජානාගේ අතරට නිෂා පැමිණේද? නිෂා සචිනිගේ මවම ද? මේ පිළිබඳ දැනගැනීමට නම් මේ දවස්වල රිද්මා මණ්ඩලයේ තිරගත වන 'සංජානා' චිත්‍රපටය නරඹන්න.
|
||||||||