වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ළදරු පන්තියේ දී ඇති වූ හාද ...

ළදරු පන්තියේ දී ඇති වූ හාද ...

හාන්සි පුටුවේ දිගැදිලා උන්නු භාෂිණිගේ දෙනෙත් පියැවිලා. අපට පෙනුණේ ඈ දිගු කල්පනාවක නිරත වී සිටින වගක්. ගම්පහ – උඩුගම්පළ පිහිටි ඇගේ නිවහන පිහිටලා තියෙන්නේ අපූරු තැනක. හතර වටෙන්ම කැලයෙන් වටවුණු ඒ සොඳුරු පරිසරය සිතට ගෙනෙන්නේ සැනසීමක්.

‘භාෂිණී....’

අපත් ඒ සැනසීම විඳින ගමන්ම භාෂිණිව ඇමතුවා. ඈ එක්වරම දෙනෙත් හැරියේ සිනහවක් මුවඟට නඟාගෙන.

“ මම මේ ඇස්දෙක පියාගෙන පරිසරයේ අසිරිය වින්ඳා. මේ ළඟම තිබෙන ඇළ ගලන මුනු මුනුවේ ස්වරය සිතට අපූරු සැනසීමක්. ඒ අතරතුර ඇසෙන බට්ටිච්චන්ගේ ගීතය කනට බොහොම මිහිරියි. ඉඳහිට ඇහෙන කොරවක්කකුගේ හඬ අපට සිහිපත් කරන්නේ මේ පරිසරයේ අපි ජීවත්ව සිටිනවා කියලයි.”

මේ ගහකොළ තිබෙන පරිසරයේ සුන්දරත්වය විඳින මත්වුණු නිවේදිකාවගේ නම ඔබට නුහුරු එකක් නම් නොවෙයි. ශ්‍රී. එෆ්. එම් එකේ සාමාජිකාවක් විදියට ඔබ අතරට එන භාෂිණි සමරසිංහ සොඳුරු යුවතියක් වගේම පරිසරය රස විඳින්නියක්. නිදහස අගයන්නියක්.

“රත්මලානේ කලබලකාරී පරිසරයෙන් මෑත් වෙලා දවස් කිහිපයක් මෙහේ ඉන්නේ ඔබ නිදහස පි‍්‍රය කරන නිසාද?”

ඒකත් එක් කාරණයක්. මේ පරිසරයේ ඉන්න විට තමයි අපට හැගෙන්නේ අපි හුස්ම ගන්නවා කියලා. රත්මලාන ගෙදර දවස් පහක් ගත කරලා ඉතිරි දින දෙක මෙහෙට වෙලා ඉන්න ප්‍රිය කරන අනෙක් කාරණේ මේ පරිසරයේ තිබෙන නිදහස අපේ පුතාට බොහොම වටින නිසා. එයාට හිතෙන විදියට දුවන්න, පනින්න ඕන තරම් මෙහේ ඉඩ තියෙනවා. ඒ වගේම අවට පරිසරයේ ගහකොළ සමඟ දවස ගෙවෙන එක එයාගේ සිතට බොහොම හොඳයි.”

තරුණ ඈ සැබෑ මවකගේ භූමිකාවට පිවිසිලා. ඇගෙත්, රසික අධිකාරිගෙත් ජීවිතය වුණු සවේන් සස්විඳු අධිකාරි පුතු සමඟ ගෙවන සුන්දර ජීවිතයෙන් දවස් ගෙවෙන්නේ දන්නේ නැතිවම. මොනම දේ කළත් ඒ හැමතැනකදිම පුතාව මතකයට නැගෙන එකනම් වළක්වන්න කාටවත්ම බැහැ.

“ ඔය දෙන්නාගේ ආදරය මැද ජීවිතය ගෙවන පුතා පාසල් යන වයසත් ළං වෙලා.”

“මේ තරම්ම කාලයක් පුතා හිටියේ ගෙදරට වෙලා බව ඇත්තයි. විශේෂයෙන්ම අපි දෙන්නාම බොහොම කාර්යබහුල ජීවිත ගත කරන අය විදියට පුතා වැඩිපුර හිටියේ අපේ අම්මාත්, තාත්තාත් සමඟයි. ඔහුට කිසිම අඩුවක් නැතිව සීයාගේ, ආච්චිගේ ආදරය ලැබුණා. ඒ දෙන්නා දරුවෙකුට පිළිවෙළකට හැදෙන්න ඕන සියලුම දැනුම පුතාට ලබා දුන්නා. ඔවුන් පුතාව පිළිවෙළකට ගොඩ නැඟුවා. ඒ විදියට හැදුණූ වැඩුණු පුතු ලබන සතියේ රාජකීය විද්‍යාලයට භාර දෙනවා. එතකොට නම් ටිකක් වැඩ වැඩිවේවි.”

භාෂිණිගේ මහත්තයා තොරතුරු තාක්ෂණ කළමනාකරුවෙක්. ඒ යූ ටී.වී එකේ හා රේඩියෝ එකේ. සතියේ ගෙවන ඔවුන්ගේ කාර්යබහුල ජීවිතය තරමක් හෝ වෙනසක් වෙන්නේ මේ නිවසේදී.

“භාෂිණිට උයන්න පිහන්න ඉඩ ලැබෙන්නේ මේ නිවසේදි ද ?”

“ සතියේ දිනවලදි නම් භාෂිට ගොඩක් වෙලාවට උයන්න පිහන්න නොලැබෙන තරම්. භාෂිගේ අම්මාගේ අතෙන් තමයි ඒ කටයුතු සිදුවෙන්නේ. ඒත් එයා එළවළු කපලා කොටලා තියලා අම්මා උයන එකට උදව් කරන්නත් අමතක කරන්නේ නැහැ. සෙනසුරාදා, ඉරිදා වැඩිපුරම උයන කටයුතු කරන්නත් ඈ කැමතියි. ඒ අවස්ථාවලදි මමත් ඇයට උදව් වෙනවා. චිකන් කරි එක උයන්නත් භාෂි හරි හපනී. ඈ හදන කේක් එකේ රස බලන්න මුලින්ම දෙන්නේ ඉතිං මට තමයි.”

අප අසලට ළං වුණු රසික කියන්නේ සිනහ වෙවී.

“කොහොමද ඔයාට රසිකගෙන් ලැබෙන සහයෝගය”

“ඒ ගැන කියන්න මට වචන නැහැ. මෙයා බොහොම දක්ෂ පපඩම් බදින්නයි. විවධ කෑම වර්ග බදින්නයි. ඒ වගේම එයත් අත්හදා බලන කෑම හදන්න රුසියා. සමහර විට ඒ හදන කෑම වර්ග සාර්ථක වෙනවා. අසාර්ථක වෙනවා. ඒ අත්දැකීම අපි දෙන්නටම ගෙන්නේ සතුටක්. ඒ වගේම මගේ අලුත්ම නිර්මාණයක් වුණු නූඩ්ලස් බතට එයා බොහොම කැමැතියි. එයාට හොඳට ලුණු ඇඹුල් ඇතිව කන්න ඕනෑ. ගමේ දේවල් තමයි අපේ ගෙදර වැඩිපුර උයන්නේ.”

“භාෂි හිටපු ගමන් එක එක දේවල් දාලා හදන භාෂිටම ආවේණික බත් එක නම් මුළු පවුලේම ප්‍රසිද්ධයි.”

භාෂිණිගේ කතාවට නැවතත් හවුල් වුණු රසික කියන්නේ භාෂිණිට අමතක වුණු කාරණයක්. භාෂිණියි, රසිකයි මුලින්ම මුණ ගැසෙන්නේ ළදරු පාසලේ දී. එදා ඉදලා දැන හඳුන ගත්ත ඔවුන් අතර පසු කාලයේදී ඇතිවන හිතවත්කම ආදරයකට පෙරළෙනවා. ඊට පස්සේ විවාහ වෙනවා. ඒ සොඳුරු විවාහය භාෂිණිගේ ජීවිතය සතුටෙන් පුරවලා.

“අවිවේකී වුණත් ජීවිතය බොහොම සුන්දරයි කියලා සිතෙනවද ?”

“ඇත්තටම ඔව්. විවාහ වෙලා දගු කාලයක් ගෙවුණත් මට නම් තවමත් හිතෙන්නේ අපි විවාහ වුණු දවස්වල වගේම තමයි ජීවිතය ගෙවෙන්නේ කියලා. මගේ හොඳම මිතුරා මගේ මහත්තයා. එයාගෙත් හොඳම මිතුරිය මම. අපි දෙන්නාට දෙන්නා ඉන්නේ දෙන්නා ගැනම හොඳ අවබෝධයෙන්. බොරුවට කියනවා නෙවෙයි ඒ නිසා මේ වනතුරු අපි අතර රණ්ඩු ඇතිවෙලා නැහැ. ජීවිතය සුන්දරව ගතවෙලා යනවා.”

ඒ සුන්දරත්වය තවත් සුන්දර කරන්න රසික වගේම භාෂිණිත් මහන්සි වෙනවා. මේ නිසා ඒකාකාරීව ගෙවෙන ජීවිතය ඔවුන්ගේ පවුල් ජීවිතයට බාධාවක් කියලා හිතන දෙන්නා නිතරම නැවුම් දේවල්වලින් ජීවිතය අලුත් කරන්නේ වෙනස්ම විදියකට.

“ජීවිතය අලුත් කරන්න මොනවද කරන්නේ ?”

“කොහොමත් අපි නිතරම ගෙදරට වෙලා ඉන්නේ නැහැ. ජීවිතයේ ඇතිවන ඒකාකාරී බවෙන් මිදෙන්න ඉඳලා හිටලා විනෝද ගමනක් යනවා. පවුලේ හැමෝමත් සමඟ කෑමකට කිහිපවිටක්ම එළියට යනවා. ඒ වගේ දේවල්වලින් ජීවිතය අලුත් වෙනවා. අලුත් බැඳීමක් ඇති වෙනවා.”

භාෂිණි කියන්නේ වගකීමක් ඇති බිරියක් වගේ. මේ අතර එයාලගේ චූටි පුතා තමන්ගේ සෙල්ලම ඉවර කරලා අම්මාත්, තාත්තාත් ළඟට දුවගෙන ආවා.

“ අම්මේ අපි සමනල්ලු බලන්න යමු.”

භාෂිණිගේ ඔඩොක්කුවට පනින ගමන් සවේන් පුතු කිව්වේ හුරතල් විදියට. ඒ සොඳුරු පවුලට තමන්ගේ විවේකය ඒ විදියට ගත කරන්න ඇරලා අපි ඔවුන්ගේ කැදැල්ලට සමු දුන්නා. සවේන් පුතුට යහපත් හෙට දිනකට ආශිර්වාද කරන ගමන්.