|
ඇගේ වෛරය බලන්න කාන්තාවෝ ආවේ පෝලිමේලුවී වැන්ඩස්ට්‍රාටන් ‘බෝනික්කා’ නැවත තනයි
විජය මුලින්ම ආවේ බිඳුණු හදවත් චිත්‍රපටයට
මේ චිත්‍රපටය පවුලේ චිත්‍රපටයක්
ලුවී වැන්ඩස්ට්‍රාටන් යනු මෙරට තවමත් සක්‍රීයව කටයුතු කරන පෙර පරපුරේ සිනමාකරුවන් අතළොස්සකින් කෙනෙකි. ඔහුගේ නවතම සිනමාපටය වන ‘බෝනික්කා’ හෙට සිට රිට්ස් ප්‍රමුඛ එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. මණ්ඩලවල සිනමාශාලාවල තිරගතවීම ඇරැඹෙයි. ලුවී සිංහල සිනමා ඉතිහාසයේ නව රැල්ලක් ඇති කළ අයෙකි. මෙරට කලක් අතිශය ජනප්‍රිය වූ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට රැල්ල නිර්මාතෘ ඔහු ය. එදා හිස් වූ සිනමා ශාලාවට ප්‍රේක්ෂකයා ගෙන්වා කර්මාන්තයක් වශයෙන් සිනමාව ඉදිරියට යෑමට ලුවීගේ සිනමාපටයන් බලපෑවේය. ඔහුගේ මුල්ම චිත්‍රපටය වූ ‘බිඳුණු හදවත්’ තිරගත වූයේ හැත්තෑව දශකයේය. එදා මෙදාතුර ඔහු කළ බොහෝ චිත්‍රපට වානිජමය අතින් සාර්ථක විය. ලුවී අප පළමුව කතා කරමු බොනික්කා ගැන ? මෙය මගේ තිස්දෙවැනි චිත්‍රපටයයි. මං නිර්මාණය කළ චිත්‍රපට අතරින් තවත් වෙනස් චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. පාතාල නායකයෙක් මැණික් වගයක් හොරකම් කරනවා. ඒවා සඟවන්නේ බෝනික්කෙකුගේ ඇතුළේ. ඒ බෝනික්කාව හොරකම් කරනවා තවත් කෙනෙක්. ඒ ඔස්සේ දිගින් දිගටම ගැටුම් ඇති වෙනවා. ඔය විදියටයි කතාව ගලාගෙන යන්නේ. මෙය ජානක ලියනගේ නිෂ්පාදනයක් ඔහුව මේ වෙලවේ මතක් කළ යුතුමයි. බෝනික්කා මීට පෙර නිර්මාණය වූ එනමින් ඇති චිත්‍රපටයේ නව නිෂ්පාදනයක් නේද? ඔව්. පැරැණි බෝනික්කා කිංස්ලි වැන්ඩර්ලාන් සමඟ කළේ. එස්. කනපති පිල්ලේ නිෂ්පාදනය කළා. ඇයි ඒ නව නිර්මාණයක් නොකොට පැරැණි චිත්‍රපටයක් යළි ප්‍රතිනිර්මාණය කළේ ? එය තිරගත වුයේ හැත්තෑව දශකයේ. ඒ කාලයේ දී චිත්‍රපට එක දිගට ෆේල් වුණා. මා දන්නා එක්තරා සම්භාව්‍ය සිනමාපට අධ්‍යක්ෂවරුන්ගේ සිනමාපට පවා දිව්වේ නැහැ. ඒ වුණත් බෝනික්කා බලන්න සෙනඟ ආවා. හේතුව ? මං හිතන විදියට එය සරල වින්දනාත්මක චිත්‍රපටයක්. ප්‍රේක්ෂයන්ටත් ඕන කළේ එවැන්නක්. අද ඒ වනවිට ඒ බෝනික්කා තිරගත වෙලා දශක තුනකටත් ආසන්නයි. ඇතැම් විට එය කාලානුරූපී නොවෙන්න පුළුවන්. එහෙයින් මේ බෝනික්කා ඔබට වෙනස් කරන්නට සිද්ධ වෙන්න ඇති ? ඔව්. එය සිදුවිය යුත්තක්. මං කතාව සෑහෙන්න නව්‍යකරණය කළා. ඒ වගේම වර්තමානයට ගැළපෙන පරිදි ගීතයන් පවා ඇතුළත් කෙරුවා. නැතිනම් එය ප්‍රේක්ෂකයෝ පිළිගන්න එකක් නැහැ. මා දන්නා පරිදි බෝනික්කා හැර ඔබගේ චිත්‍රපට ත්‍රිත්වයක් තිරගත වෙන්නට තියෙනවා. මේ තත්ත්වය නිර්මාණකරුවකු වශයෙන් ඔබට අවාසි නැති ද? මිස් ඩයනමයිට්, රන් කිරුළ සහ බුද්ධි යන මගේ චිත්‍රපට පෝලිමේ. එහෙම වෙනකොට ඔබ කිව්වා වගේ අධ්‍යක්ෂවරයෙකුට අවාසිදායක වෙන්න පුළුවන්. මොකද නිෂ්පාදකවරයෙකු කැමැති නැහැනේ නිර්මාණ පොලිමේ තියාගෙන ඉන්න අධ්‍යක්ෂවරයකුට තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න දෙන්න. නමුත් මට වුණේ මෙන්න මෙහෙම වැඩක්. රන් කිරුළ, බුද්ධි සහ බෝනික්කා චිත්‍රපටතුන නිෂ්පාදනය කළේ ජානක ලියනගේ කියන නිෂ්පාදකවරයා. ඔහු මේ එක දිගට නිර්මාණය කරමුය කීවා. ඉතිං මම කළේ ඔහුට සාධාරණයක් වන්නට චිත්‍රපට නිර්මාණය කිරීම. ඔබ ‘ඇගේ වෛරය’ සමඟින් දේශීය සිනමාවේ කාම රැල්ලක් නිර්මාණය කළා. අද වනවිට මොකද ඒ ගැන හිතන්නේ ? මං හැදුවේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නෙවෙයි. ඒවාහි කතාවට අනුව නිරුවත් දර්ශන ඇතුළත් කරන්න වුණේ. නමුත් ඇතැම් නිරුවත් දර්ශන චිත්‍රපටයට බලෙන් ඔබ්බවා තිබුණා කියලයි අදටත් ඇතැම් අය කියන්නේ ? කෙහෙත්ම නැහැ. මං ඉතාම වගකීමෙන් කියනවා මම එහෙම කළේ නැහැ. අනිත ඒ චිත්‍රපට වැඩිපුරම නැරැඹුවෙ කාන්තාවන්. ඇගේ වෛරය ආදර්ශවත් කතාවත් කියලා නොබියව මං කියනවා. සිනමාව හැරගිය ප්‍රේක්ෂක කණ්ඩායම් නැවතත් ඔබ ගෙන්වා ගන්නේ මේ කාම රැල්ලේ චිත්‍රපට හදලා කියලා ඔබ පවසා තිබෙනවා. ඔබ එම කතාව අදටත් සාධරණීකරණයකට ලක් කරනවාද ? මොකද නැත්තේ. අද ආදායම් වාර්තා තියන චිත්‍රපට හදන අය ඒ කාලේ සිනමාපට හදනවා තියා ඒවා දිහා බැලුවෙවත් නැහැ. මං ප්‍රේක්ෂකයා ගෙන්නුවාට පස්සේ කීප දෙනෙක් සිනමාපට අධ්‍යක්ෂණය කරන්න ආවද, මට සතුටුයි එහෙම වෙච්ච එකට. කිව්වට විශ්වාස කරන්න ඇගේ වෛරය බලන්න කාන්තාවෝ ආවේ බත් බැඳගෙන. පාන්දර 7 වෙන කොට සිනමා ශාලා ඉදිරියේ පෝලිම්. ඒ වගේ හපන්කමක් කවුරුවත් කරලා නැ. ඔබ තරම් මඩ ප්‍රහාරවලින් බැට කෑ තවත් අධ්‍යක්ෂවරයකු නැතුව ඇති? ඒක නම් ඇත්තම ඇත්ත. මගේ ජීවිත කාලයටම ඇතිවන්න මඩ ප්‍රහාර වැදුණා ඒ කාලේ. මට එහෙම වුණේ මං මිනිස්සුන්ට දැනෙන්න යමක් කළ හින්දනෙ, නේද? වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් නිර්මාණය කරන්න අද හිතෙන්නේ නැතිද? ඒක තේරුමක් නැති වැඩක්. අද හැමෝගෙම අතේ ජංගම දුරකතන. මං චිත්‍රපටයක් හැදුවොත් ඒක බලලා මිනිස්සු මට බනියි මේ මොන මඟුලක් ද කියලා. විජය කුමාරතුංගයන් සිනමාවට සම්ප්‍රාප්ත වුණේ ඔබගේ චිත්‍රපටයකින් කියලා මතයක් තියෙනවා? ඒ කතාව හරි. නමුත් බොහෝ දෙනෙක් දන්නේ ඔහු ආවේ හන්තානෙ කතාවෙන් කියලා. ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නෙ එහෙමනේ. මං මේ කියන කතාවට රොබින් ප්‍රනාන්දු සාක්ෂි. මගේ පළමු චිත්‍රපටය වුණේ බිඳුණු හදවත්. මට එයට එකල අමුතු කඩවසම් බවකින් යුතු ටෝනි රණසිංහව ගන්න වුවමනාව තිබුණා. රොබින්, නීටා ඇතුළු පිරිස තෝරගෙන මං රූගතකිරීම් ඇරැඹුවා. දර්ශන තලයට රොබින් හමුවන්න විජය ආවා. රොබින් මට ඔහුව හඳුන්වලා දීලා කිව්වා හොඳ කොල්ලෙක් අපි එයාව මේ චිත්‍රපටයට ගමු කියලා. නීටත් එය අනුමත කළා. මං කල්පනා කරලා ටෝනිගේ චරිතය විජයට දුන්නා. ඒක තමයි විජයගේ පළමු චිත්‍රපටය. හැබැයි හන්තානෙ කතාව පෝලිම පැන්නා. මෙතෙක් ඔබ නිර්මාණය කළ හොඳම චිත්‍රපටය මොකක්ද? එන්න තියෙන බුද්ධි චිත්‍රපටය. එය නිර්මාණය කළේ ඔබ විසින් රචිත Buddi the Elephant ග්‍රන්ථ්‍ය ඇසුරෙන්? ඒ නිසා ද ඔබ ඊට කැමැති? ඔව්. එය බෞද්ධ දර්ශනනය අඩංගු වුණ කතාවක්. Buddi the Elephant රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ග්‍රන්ථයක්. ඔබගේ සාහිත්‍ය කෘති තරම් සිනමා කෘති සාහිත්‍යයෙන් පිරුණු ඒවා නොවුණේ ඇයි?ී සිනමාව වෙනම මාධ්‍යක්නේ. ග්‍රන්ථකරණය ඊට පරිබාහිරයි. ලියද්දී නිදහසේ ලියන්න පුළුවන්. නමුත් එය රූපයට නඟද්දී එහෙම හිතූ පරිදි කරන්න බැහැ. ඒකයි ඔබ කියන තත්ත්වය උදා වුණේ. බෝනික්කා ගැන යමක් සඳහන් කරමින් මේ කතාව නිමා කරමු? මෙය පවුලේ චිත්‍රපටයක්. හැමෝටම බයක් සැකක් නැතිව රස විඳිය හැකියි. විල්සන් කරූ, මලින්ද පෙරේරා, සංජු සමරසිංහ, ගයේෂා පෙරේරා, ශාලික එදිරිසිංහ, චන්ද්‍රිකා රත්නමාලි, සුනෙත් මැල්සිරිපුර, අනෝජා වීරසූරිය, චන්ද්‍රිකා පෙරේර මෙහි නළු නිළිය පිරිවරයි. ඔවුන් මට හොඳ සහායක් දුන්නා බෝනික්කා හැඩ කරන්න.
|