|
රජත මයුරියට සුබ උපන්දිනයක්
මුල්ම සිංහල කතානාද චිත්‍රපටය තිරගත කර වසර හතළිහක් පිරුණේ 1987 ජනවාරි 21 වැනිදා ය. ඒ වනවිට අපේ සිනමාවේ ස්වර්ණමය යුගය හමාර වී තිබුණි. සිංහල සිනමාවේ පැවැත්ම ආකර්ෂණීය හා දීප්තිමක් බව වියැකෙමින් පැවැතිණි. ඇතැමෙක් සිංහල සිනමාව මිනී පෙට්ටියක ලා ඇණ ගසන්නට සූදානම් වී සිටියහ. චිත්‍රපට ආයෝජනය සඳහා බොහෝ ව්‍යාපාරිකයන් එකඟ නොවූ හෙයින් ඒ සඳහා ඉදිරිපත්ව සිටියේ සිනමා ක්ෂේත්‍රයේ නියැළි නළු නිළියන් ඇතුළු සිනමා ශිල්පීන්ය. ඒ අතර සමහරු ජීවත් වීම උදෙසා මැද පෙරදිග ගිය අතර තත්ත්වය වඩාත් නරක් වූ ඇතැම් නළුවෙකු ජීවිකාව සකසා ගත්තේ පෞද්ගලික බස් රථයක් පැදවීමෙනි. කොටින්ම කිවහොත් සමස්ත චිත්‍රපට කර්මාන්තයම පැවැතියේ එහි අනාගතය පිළිබඳ අවිනිශ්චිත හැඟීමකිනි. එහෙත් එහි උපන්දිනය යෙදුණු ජනවාරි 21 වැනිදා ජාතික රූපවාහිනිය මගින් විකාශය කරමින් තිබූ ‘රාත්‍රි ප්‍රවෘත්ති’ හිටි හැටියේ අතර මඟ නතර කෙරිණි. ඒ හදිසි ප්‍රවෘත්තියක් විකාශය කිරීමටය. එකල මෙරට පැවැති ටෙලි විෂන චැනල් දෙකම රාජ්‍ය ආයතන විය. ප්‍රවෘත්තිය වූයේ ඒ වනවිට ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත් වුණු එකොළොස් වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළියට පිරිනැමෙන රජත මයුර සම්මානය අනෝජා වීරසිංහ දිනාගෙන ඇති බව කියන්නට ය. ඒ ‘මල් දෙණියේ සිමියොන්’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඩී. බී. නිහාල්සිංහයන්ය. අද මෙන් එකල ලන්දක් ලන්දක් ගානේ ජාත්‍යන්තර සිනමා උත්සව නොවීය. එමෙන්ම අද මෙන් සතිපතා සිනමා සම්මාන ලංකාවට ගොඩ බාන්නේ ද නැත. එබැවින් එය සිනමාවට පමණක් නොව මුළු මහත් ලංකාවටම වැදගත් වූයේ ය. කොහොමටත් ඉන්දියානු සිනමා උළෙල කලාපයේ පැවැත්වෙන පැරැණිතම සිනමා උළෙල ලෙස පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ලොව පිළිගත් උසස් සිනමා උළෙලක් ලෙස ද සැලකිණි. එයට විසි දෙවසරකට පෙර එම සිනමා උළෙල්දීම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කරන ලද ‘ගම් පෙරළිය’ චිත්‍රපටය රජත මයුර සම්මානය දිනා ගත්තේය. එය ලාංකේය සිනමාව පිළිබඳ ජාත්‍යන්තර අවධානය දිනාගත් මුල්ම අවස්ථාවක් විය. පසුකලෙක ‘හදයා’, ‘අහසින් පොළොවට වැනි චිත්‍රපට කිහිපයක්ම ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වුව ද අපේ නළු නිළියන්ගේ රංගනය එතරම් ඉහළින් සලකන්නට වසර හතළිහක්ම ගත වී තිබිණ. මීට පෙර ඉන්දියානු සිනමා උළෙලේදී ම (එකල මේ සිනමා උළෙල හැඳින් වූයේ නවදිල්ලි සිනමා උළෙල ලෙසය.) නිළි රැජණ මාලිනී ෆොන්සේකා ‘සිරිපාල හා රන් මැණිකා’ චිත්‍රපටයේ රංගනය උදෙසා මෙන්ම මොස්කව් අන්තර්ජාතික සම්මාන උළෙලේ දී ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ රංගනය උදෙසා ද බුහුමනට පාත්‍ර වී තිබුණි. නවදිල්ලි සිනමා උළෙලේ අනෝජා වීරසිංහ ලද සම්මානය මුල්වරට හොඳම නිළිය ලෙස අපේ රංගන ශිල්පිනියක් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ අවස්ථාව විය. ඒ වනවිට ‘සරසවිය’ ඇතුළු සම්මාන උළෙලවල් කිහිපයකදීම අනෝජා හොඳම සහය නිළිය හෝ කුසලතා සම්මාන දිනාගෙන තිබුණි.එයට පෙර 1986 වසරේ ඇය සරසවිය සම්මානය දිනා ගත්තේ ජනප්‍රියම නිෂ්පාදිකාව ලෙසය. වසරේ වැඩිම ආදායමක් ඉපැයූ ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම වෙනුවෙනි. එය සම්පූර්ණයෙන් ‘තේරී කසම්’ නමැති හින්දි චිත්‍රපටයේ අනුකරණයක් විය. එහි අධ්‍යක්ෂ මෙන්ම ප්‍රධාන නළුවා හා සංගීත අධ්‍යක්ෂවරයාගේද මුල්ම නිර්මාණය එයයි. මෙරට කොපි කළ මුල්ම හින්දි චිත්‍රපටය එය නොවූවද හින්දි රැල්ලක් ඇති කළේ මේ චිත්‍රපටයයි. එහෙත් ‘මල් දෙණියේ සිමියොන්’ රජත මයුර සම්මාන දිනීම මේ තත්ත්වය උඩුයටිකුරු කළේය. ඒ වකවානුවේ ඇය දිනූ සම්මානය හුදෙක් පෞද්ගලික ලද සම්මානයකට වඩා සමස්ත සිනමා කර්මාන්තයේම නව උත්තේජනයකට හේතු විය. සරුව පිත්තල චරිතවලට කොටු වෙමින් සිටි බොහෝ නිළියන් ගැඹුරු චරිතාංග රංගනයේ උත්සුක වන්නට මල්දෙණියෙන් අනෝජා ලද සම්මානය හේතු විය. සම්මත රටාවෙන් පිට පැන හොඳ චිත්‍රපට කිරීමට මේ හරහා ඔවුන්ගෙන් ඇති වූ අවශ්‍යතාව ඊළඟ වසර දෙක, තුන ඇතුළත තැනුනු බොහෝ චිත්‍රපට සාක්ෂි සපයයි. අවාසනාවට අද මෙන් ඒ වකවානුවේ ලොවපුරා සිනමා උත්සව බහුල වූයේ නැත. උත්සව සඳහා චිත්‍රපට යවන්නට අපේ සිනමාකරුවන් බහුතරය කල්පනා කළේ ද නැත. අනෝජා වීරසිංහ ජාත්‍යන්තර අවධානය දිනා ගත්තා පමණක් නොව එයින් විපුල පළ නෙළා ගන්නට ද සමත් විය. සම්භාවනාවට පාත්‍ර වූ ස්වාධීන සිනමාකරුවෙකු වන පෝල් කොක්ස්ගේ ‘ද අයිලන්ඩ්’ චිත්‍රපටයට රඟපෑමට ලද අවස්ථාව ඇය මඟ හැරියේ නැත. එමෙන්ම රංගනය සඳහා ග්‍රාම සේවක සහතිකයක් ලද පමණින් එකී විෂය පිළිබඳ සියල්ල දත් අපේ ඇතැම් නළු නිළියන් මෙන් රජත මයුර වැනි අග්‍රගණ්‍ය සම්මානය අනෝජා ආභරණයක් කොට ගත්තේ ද නැත. ඇය සම්මානය ලද විගස කළේ රංගනය හදාරන්නට ඉදිරිපත් වීමය. මෙරට සිනමාවේ නියැළි බොහෝ රංගන ශිල්පීන් - ශිල්පිනියන් ජාත්‍යන්තර කරළියේ එක පෙළට තැබිය හැකි බව මගේ අවංක විශ්වාසයයි. එහෙත් එයින් සියයට අනූවක්වත් රංගනය විෂයයක් ලෙස හදාරා නැත. එහෙත් රංගනය යනු අතිශය ගැඹුරු විෂයයක් බැව් අමතක කළ යුතු නැත. ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වුවද සහජයෙන් රඟපාන්නෙකුට තවදුරටත් එකී ශිල්පය හදෑරිය යුතු යැයි අවංක සිතක් පහළ වීම අපේ වෘත්තිය වේදින්ගේ ස්වරූපය දන්නා මට හිස නමා ආචාර කළ යුතු හැඟීමක් එකල ඇති බැව් සඳහන් කළ යුතුය. පසුකලෙක කොහේදෝ උළෙලකින් ලබාගත් සම්මානයක් මල්ලක ලා ගෙන යමින් බොහෝ අධ්‍යක්ෂවරුන් ඉදිරියේ එය ප්‍රදර්ශනය කර තමනට ලැබුණු සම්මානයේ පුරාජේරුව කියමින් චරිත හිඟා කන්නට උත්සාහ කළ කාන්තාවක් ද අප අතර සිටි බැවින් අනෝජාගේ වෑයම තවත් ඉහළය. එහෙත් අනෝජා සම්මානය ඔටුන්නක් නොකොට එය ඒ හරහා විෂය හැදෑරීමට උත්සුක වූවාය. එහිදී ඇය හමුවේ පැවැති බාධක කිහිපයක්ම විය. ඇය උපන්නේ ද හැදී වැඩුණේ ද ඉංගී‍්‍රසිය දුරින් දුරු කළ දුෂ්කර පළාතකය. දෙවැන්න ඇය ළාබාල වියේදීම විවාහ දිවියට ඇතුළත්ව දියණියකගේ මවක වීමය. එයට පෙර මෙන්ම ජීවිතයේ අභියෝගවලට ඇය මුහුණ දෙන්නට සමත් වන බවක් පෙනී යයි. කටුක ජීවිත අත්දැකීවලට මුහුණ දී ගත නොහැකිව මානසික වියවුල්වලට පවා ඇය ගොදුරු වූ බව පළ වුව ද ඒ සියල්ල සඟවා සිනාසෙන්නට ඇයට හැකිය. මේ සියල්ල පරයා ගොඩනැගෙන්නට ඇය සමත් වන්නේ ජීවිතය උපෙක්ෂාවෙන් විඳ ගන්නට සමත් ගැමි ගැහැනියකගේ ස්වරූපය ඈ තුළින් පලා නොගිය නිසාය. රංගනය හදාරා පැමිණෙන ඇය එය මෙරට බොහෝ දූ දරුවන්ට පෙරලා ලබා දෙන්නට උත්සුක වෙයි. රංගනයෙන් බැහැරව ජීවිතයට මුහුණ දෙන ආකාරය ගැටලුවලදී නොපසුබටව හැසිරෙන ආකාරය, ප්‍රශ්නය විසඳාගත යුතු හොඳම ආකාරය ඈ වෙතින් ශිල්පය ඉගෙන ගැනීමට පැමිණෙන දූ දරුවන්ට නිදර්ශන කර ප්‍රායෝගිකව සිය වැඩමුළුවලදී ඉස්මතුකර වන්නට ඇය සමත් විය. සුනාමි ව්‍යසනයේ දී හෝ ත්‍රස්තවාදී යුද්ධයේ දී හෝ බැට කෑ අය මෙන් යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවන්ට ද ඈ උගත් ජීවිිත පාඩම පෙරලා කියාදෙමින් ඇය මහත් පුණ්‍ය කර්මයක් ඉෂ්ට කරගන්නීය. මෙයට වසර කිහිපයකට පෙර ලේක්හවුස් ආයතනය මගින් එම පාඨමාලාවට තෝරා යැවූ අය අතර මම ද එක් අයෙක් වීමි. ජීවිතය දෙස උපේක්ෂාවෙන් හැරී බලන්නටත් ඉලක්ක සපුරා ගන්නටත් එය මහත් අත්වැලක් වූ බව නොකියාම බැරිය. ආදරයට අනෝජා අක්කා යැයි පවසන ඇයගේ ජීවිතය පුරා බිඳ වැටීම් මෙන්ම එය නොසලකා තමා විසින්ම ගොඩනැගෙන අයුරු ද අප දැක ඇත. මෙයට වසර ගණනාවකට පෙර 1995 වසරේ ඇයගේ සිනමා කෘති ඇතුළත් ප්‍රත්‍යාවලෝකන උළෙලවල් දෙකක් කේරලයේ අගනුවර වන ත්‍රිවේන්ද්‍රම් සහ බටහිර බෙංගාල අගනුවර වූ කල්කටාවේ පැවැත්විණි. මේ අවස්ථා දෙක සඳහා සහභාගි වන්නට මට අවස්ථාව ලැබිණි. ඒ එවකට ‘සරසවිය’ කර්තෘ ධුරය හෙබ වූ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාගේ අවසරය පිටය. අනෝජා අක්කාගේ ඉල්ලීමක් පරිදි එලෙස ජාත්‍යන්තර සිනමා උළෙලකට සහභාගි වන්නට ලැබීම ලෝක සිනමාව පිළිබඳ මගේ ආකල්ප වෙනස් කරන්නටත්, තව දුරටත් එය හදාරන්නටත් මහත් පිටිවහලක් විය. ඇය සිනමාවට එළැඹෙන්නේ අතුරු චරිතයකිනි. එහෙත් ඇය ඉතා හීන්සීරුවේ ජිවිතය ගොඩ නැඟුවාය. ඉගෙන ගන්නට ලැබෙන සෑම අකුරක්ම ඇය ජීවිත පොතේ සටහන් කර ගත්තාය. එමෙන්ම අවශ්‍ය ආකාරයේ ජීවිතය වෙනස් කර ගන්නට ඇය සමත් වූවාය. අනෝජාගේ ජීවිත කතාව හොඳ සිනමාකරුවකුට, විශිෂ්ට තිර නාටකයකට මූල බිජ සපයයි. මේ ලිපිය අවසාන වන්නට මත්තෙන් මා පමණක් දන්නා අන් කිසිවෙකුත් නොදන්නා කාරණාවක් හෙළි කරන්නට මම කැමැත්තෙමි. ඒ අවධියේ උසස් පෙළ හදාරමින් සිටි මම රංගනය පිළිබඳ ඇල්මක් නැතත් සිනමා කර්මාන්තයට අවතීර්ණ වීමේ ආශාවෙන් පෙළුණෙමි. සරසවිය පුවත්පතේ වරක් ප්‍රවෘත්තියක් තිබුණේ අනෝජා නිපදවන චිත්‍රපට සඳහා ආධුනික නළු නිළියන් අවශ්‍ය බවයි. බැවින් කෙසේ හෝ එයට රිංගීමේ අරමුණෙන් මේ සම්මුඛ පරීක්ෂණයට ගියෙමි. ඒ බන්දුල ගුණවර්ධන ගුරුතුමාගේ ආර්ථික විද්‍යා පන්තියත් මග හරිමිනි. සම්මුඛ පරීක්ෂණය තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යාබද වනාත පාරේ නිවහනකය. මා යන විටත් කිලෝමීටරයකටත් වැඩි දිග පෝළිමක බොහෝදෙනා රංගනය අපේක්ෂාවෙන් රැඳී සිටියහ. පෝළිම්වල ළඟිමින් සිනමාවට රිංගීම පලක් නැතැයි සිතූ මම චිත්‍රපටය පැත්තකට දමා ආපසු පන්තියට ගියෙමි. මේ චිත්‍රපටය ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපටයයි. බොහෝදෙනාගේ වාසනාවට මා නළුවකු වූයේ නැත. ඒ පෝළිම දිග වැඩි වූ හෙයිනි. එහෙත් පසු කලෙක මේ නිවසට මා ගියේ සරසවිය පුවත්පතේ ලේඛකයෙක් හැටියටය. එවකට සරසවිය කර්තෘ ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා සමඟය. පෝල් කොක්ස්ගේ ද එහි පැමිණ සිටියේය. මා පෝල් කොක්ස් සමඟ කළ සංවාදයක් ඊළඟ සරසවියේ පළවිණි. එහෙත් එදා මෙදාතුර එයට කලින් චරිතයක් සොයාගෙන එම නිවහනට ගිය වග නොකියා ඉදින්නට තරම් මම පරිස්සම් වීමි. ඒ බව තවදුරටත් අනෝජා අක්කා දැන ගත යුතුද නැත. හැටවැනි උපන්දිනය සමරන ආදරණීය අනෝජා අක්කාට දිගාසිරි පතමි. |