|
Yeh Hai Mohabbatein-‘මේ ආදරය’ පිළිබඳ ඇත්ත කතාව
ආදරවන්තයන් දෙපළකගේ එකතුවෙන් තැනෙන ප්‍රේමයේ අවසාන උත්තරීතර ප්‍රහර්ෂය වනුයේ දාරක ස්නේහයයි. දාරක ස්නේහය උතුරා යන කළ පියෙකුට හෝ මවකට තම දරුවා වෙනුවෙන් ලොව කළ නොහැක්කක් නොමැත. මුදල් නැමැති මාරුතය ප්‍රේමය හරහා චණ්ඩව හමා ගිය කළ විටෙක එම ප්‍රේමය අන් සතු වන අවස්ථා ද ඇත. එවැනි දාරක ස්නේහයක් වටා ගෙතුණු ටෙලි කතාවකි මේ දිනවල සිරස ටී. වී. හි සතියේ දිනවල රාත්‍රී 9.25 ට විකාශය වන 'මේ ආදරයයි' ටෙලි කතා අන්දරය.
පන්ජාබ් ජාතික ඔහු රමන්ය. දෙමළ ජාතික ඇය ඉෂිතාය. වෙනස් ජාතීන් වුව ද ඇයත් ඔහුත් අතර
දෝලනය වන ආදරයේ නිමිත්ත ඔහුගේ පළමු විවාහයේ දියණියයි. නමින් රූහි වන ඇය රමන්ගේ
ප්‍රාණයයි. ඔහුගේ නිවසට අල්ලපු ගෙදර ජීවත් වන ඉෂිතා අවිවාහක පියකරු යුවතියකි.
වෘත්තියෙන් දන්ත වෛද්‍යවරියක වන ඇයට දෙමාපියන් විවාහයට සහකරුවෙකු සොයන මුත් ඇයගේ
විවාහයට එක්තරා අවාසනාවන්ත බාධාවකි. එනම් ඇයට කෙදිනක හෝ මවක්වීමේ භාග්‍යය හිමි
නොවීමයි. මෙම ප්‍රශ්නය නිසා ඇයට සහකරුවන් කැමති වුව ද අවසන සියලු මංගල යෝජනා දෙදරා
යයි. මේ අතර ඉෂිතාගේ නිවසට අල්ලපු ගෙදර ජීවත් වන රමන්ට ඔහුගේ මාපියන් ද විවාහ යෝජනා සොයයි. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන රමන් ව්‍යාපාර ලොවේ පත්ලේ සිට මහන්සියෙන් හිණි පෙත්තටම නැගුණ අධික කාර්යබහුල පුද්ගලයෙකි. ඔහුගේ පළමු බිරිඳ ඔහුවත් රූහිවත් හැරදා ඔවුනගේ පුතුත් රැගෙන වෙන සැමියකු පතා එනම් රමන් වැඩ කල ආයතනයේ හිමිකරු සමඟ යනුයේ මුදල්වලට ලොබ බඳිමිනි'. රමන්ගේ මුළු ජීවිතයම අවුල් ජාලාවක් කළ මෙම අවාසනාවන්ත සිදුවීම ගැහැනියකට ඔහුගේ සිතෙහි තිබූ සෙනෙහස, ආදරය හා විශ්වාසය සහමුලින්ම බිඳ වැටීමට හේතු වේ. මෙම බිඳ වැටීම යළි නඟා සිටුවීමට ඔහුට වන එකම ආධාරකය නම් ඔහුගේ දියණිය රූහි පමණි. මවගේ උණුසුම කුඩා අවධියේදීම අහිමි වන ඇය අම්මාගේ සෙනෙහස සොයනුයේ අල්ලපු ගෙදර වෙසෙන ඉෂිතාගෙනි. ඉෂිතාට දරුවන් ගැන ඇත්තේ අසීමිත ආදරයකි. ඉෂිතාගේත් රූහිගේත් එදිනෙදා හමුවීම් ඔවුනොවුන් අතර මවකගේත් දියණියකගේත් අතර වන බැඳීම දළුලා වැඩීමට හේතුවක් වේ. රූහිගේ මව වන ෂගුන් තම පෙර සැමියාගෙන් පළිගැනීමට සිතා රූහිව ඇය ළඟට ගැනීමට උත්සාහ කළ ද උසාවියේදී රූහිගේ කැමැත්ත මත ඇයව ඉෂිතාට හිමිවේ. මෙම දෛවෝපගත උසාවි නියෝගය 'මේ ආදරයයි' ටෙලි කතාවේ දිගු ආදර අන්දරයකට මුල පුරන හැරවුම් ලක්ෂයකි. පුංචි රූහි නිසා අවසන විවාහ ගිවිස ගන්නා ඉෂිතා හා රමන් අතර ඇත්තේ ගිවිසුමකට සීමා වූ බැඳීමක් පමණි. පන්ජාබ් හා මදුරාසි සිරිත් විරිත් හා සංස්කෘතීන් දෙක අතර ඝට්ටනයකට මුහුණ දෙන රමන්ගේ හා ඉෂිතාගේ පවුල් දෙක නිතරම රණ්ඩු සරුවල් කර ගත්ත ද එය ටෙලි නාට්‍ය පුරා ප්‍රේක්ෂකයාගේ මුවඟ සිනහව රැඳවීමට සමත් වේ. කෙසේ වුවත් ඉෂිතා හා රමන් අතර ඇති එකිනෙකාට නොරිස්සන සුළු හැඟීම වෙනස් කිරීමේ එකම ඖෂධය රූහිය. එබැවින් රූහි නිතරම තමා ඇලුම් කරන ඉෂිහා හෝ තම පියා අතර ආදරයක් ඇති කිරීමට උපක්‍රමශීලීව කටයුතු කරයි. ඇගේ සුරතල් වැඩ නිසා ඉෂිතාගේ සිතෙහි රමන් ගැන ආදරයක් පිබිදුන ද රමන්ගේ පෙර විවාහයේ කුරිරු අතීත මතකයන් ඔහුට ඉෂිතාට ළංවීමට මානසික බාධකයක් වේ. අවසන ඉෂිතා හා තම පියා අතර ආදරය ජනිත කිරීමට සිඟිති රූහි සමත් වන අතර තමන්ට අහිමි වූ මවගේ ආදරය තමාට හිමි කර ගැනීමට ද සමත් වේ. 'මේ ආදරයයි' නමින් සිරස ටි. වී. හි විකාශය වන මෙම ඉන්දීය ටෙලි නාට්‍ය ඉන්දියාවේ වර්තමානයේ විකාශය වන 'Yeh Hai Mohobbatein' ටෙලි අන්දරයයි. බාලාජි ටෙලි නිර්මාණ ආයතනයේ නිර්මාණයක් වන මෙම නාට්‍යයට පාදක වනුයේ මන්ජු කපූර්ගේ 'Custody' යන නවකතාවයි. එක්තා කපූර් හා ෂෝබා කපූර්ගේ නිෂ්පානයක් වන මෙහි තිර රචනය සොනාලි ඡෆ්රාගෙනි. ඉන්දියාවේ බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ස්ටාර් ටී. වී. ඔස්සේ විකාශය වන මෙහි රූගත කිරීම් දිල්ලියේ ද මූම්බායිහි ද සිදු කර ඇත.
ටෙලි කතාවේ රමන් කුමාර් ඕම්ප්‍රකාෂ් බාල්ලා ලෙස රඟන කරන් පටෙල් ඉන්දියාවේ දක්ෂ හා ජනප්‍රිය නළුවෙකු ද, නිරූපණ ශිල්පියෙකු ද වේ. තිස් එක් වියැති ඔහු ලන්ඩන් ස්කූල් ඔෆ් ආට් පාසලෙන් රංගනය පිළිබඳ හැදෑරූ උපාධිධරයෙකි. කත්්‍යංජලි, කරම් අප්නා අප්නා, කස්තුරි, තේරි මේරි, ලව් ස්ටෝරිස් ආදි ටෙලි නාට්‍ය රැසක රඟපෑ ඔහුගේ ජනප්‍රියත්වය ඉහළටම නැඟුණේ 'yeh hai mohobbatei' හි රංගනයෙනි. මෙම ටෙලි කතාවේ ඉෂිතා ලෙස රඟන දිව්‍යංකා ත්‍රිපති ඉන්දියාවේ ප්‍රකට ටෙලි නිළියක මෙන්ම නිරූපණ ශිල්පිනියක් ද වේ. තිස් වන වියේ පසුවන ඇය රඟපෑ ටෙලි කතා ලෙස 'බනෝ මෙයින් තේර් දූල්හම්, තේරී මේරි ලව් ස්ටෝරිස්, චින්තා වින්කි ඔයර් ඒක් බදී සී ආදිය දැක්විය හැක. ඉන්දියාවේ Zee නාළිකාවේ විකාශය වූ 'බනෝ මෙයින් තේරී දුල්හම්' ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත් වූ ඇයගේ රංගන හැකියාව වඩ වඩාත් කැපී පෙනුනේ 'මේ ආදරයයි' ටෙලි කතාවෙනි. මේ වන විට ෂාඩි මල්හෝත්‍රා සමඟ ආදරයෙන් වෙලී සිටින ඇය ළඟදීම විවාහ වීමට ද බලාපොරොත්තු වේ.
ඉන්දියාවේ පමණක් නොව ලාංකේය ප්‍රේක්ෂකයාගේ ද හද සොරාගෙන මේ දිනවල විකාශය වන 'මේ ආදරයයි' ටෙලි සිතුවම මෙරට කලක පටන් විද්‍යුත් මාධ්‍යයෙන් ගෙනහැර පාන ඉන්දීය ටෙලි නාට්‍ය අතරට පැමිණි නවක සාමාජිකයා වේ. සිරස ටී. වී. හඬ කැවීම් අංශය මඟින් ඉදිරිපත් කරන 'මේ ආදරයයි' ටෙලි නාට්‍ය බෙනුර මලිත් හෙට්ටිආරච්චිගේ හා කාංචන අමරරත්නගේ අධ්‍යක්ෂණයෙන් හඬ ගැන්වේ. ශ්‍යාම් ප්‍රනාන්දු, නදීශානි පේලියආරච්චි, ජනුමි දහම් ද, ජයනි සේනානායක, හේමන්ත ප්‍රසාද්, ශිරෝමිකා කුමාරි, හර්ෂ ආරියසිංහ ඇතුලු විශාල පිරිසකගේ හඬ කැවීම් මුසුවෙන් 'මේ ආදරයයි' ටෙලි අන්දරය ලාංකේය රසිකයාට ගෙනහැර පායි. මෙම ටෙලි සිතුවම පුරා සවන් වැකෙන එහි තේමා ගීතය වන 'මල් දුන්නෙන් මා විද්ද හීයක් කීවා' ගීතය මීනා ප්‍රසාදනීගේ හා රදීෂ් වැන්දබෝනාගේ මියුරු හඬින් ගීතවත් වේ. එහි පද රචනය සැන්ඩි චන්ද්‍රසේකරගෙන් වන අතර සංගීතය ද රදීෂ් වැන්දබෝනාගෙනි. හුදෙක් මුදල් පසුපස හඹා යන නූතන ලෝකය තුළ පවුල් සංස්ථාව ද එම කුණාටුවට හසු වී දරුවන්ට මවගේ ආදරය අහිමි වීමත්, අනියම් සබඳතා නිසා දරුවන් අසරණ වීමත් අද සමාජයේ ප්‍රබල සමාජ ගැටලුවකි. කෙසේ වුව ද මෙකී ගැටලුව නිසා තමාට අහිමි වී ගිය යථාර්ථවාදී අම්මා කෙනකුගේ ආදරය සොයා යන සිඟිති රූහිගේ හා ඇය නිසා ඇගේ පියාගේ ජීවිතයත් ඉෂිතාගේ ජීවිතයත් සාර්ථක වන සොඳුරු සිත්තමක් 'මේ ආදරයයි' හි ගෙත්තම් කර ඇතැයි මට හැඟේ.
|