වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මාධ්‍යයට මාව වටින්නේ නැතුව ඇති

මාධ්‍යයට මාව වටින්නේ නැතුව ඇති

හේමසිරි ලියනගේ

හේමසිරි ලියනගේ කැමරාව ඉදිරියේ රඟපාන්නේ නැත. ඔහු විශිෂ්ට නළුවකු වන්නේ එහෙයිනි. වරෙක කර්කශ පොළවත් සමඟ ගැටෙන හද්දා පිටිසරයේ ගැමියකු වන හෙතෙම තවත් මොහොතක කොළඹ හතේ නිවසක පියකු වූයේය. හේමසිරිගේ එම වෙනස අපට සුපැහැදිලිව දැනුණේ ඔහු රඟ නොපා රඟපාන බැවිනි.

ඉතින් හේමසිරි, කොහොමද ජීවිතේ?

මම මුලින්ම මේ දවස්වල මගේ කලා කටයුතු ගැන කියන්නම්. ප්‍රසන්න ජයකොඩිගේ දඩයක්කරයා කියන චිත්‍රපටයේ වැඩ කළා. මං ඉන්න කල්පාන්තේ සිහිනයක් චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. ඒත් සමඟම කියන්න ඕනෑ විශේෂම කාරණය මං මෙගා නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක තමයි සුජාතා.

ඔබ මෙගාවලට නොයන මතයේ නේද හිටියේ?

ඔව්. හැබැයි මේක රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන්නේ. ඒකයි බාර ගත්තේ.

ඇයි ඔබ මෙගාවලට නොගියේ?

මෙගාවල වැඩ කරන එක හරිම හිරිහැරයි. ඉවරයක් නැතුව වැඩ. මෙම වෘත්තිය ප්‍රගුණ කළ අයට මෙගා කියන්නේ වහ වගේ තමයි.

ඒ වුණාට ඔබ සුජාතා රඟපානවානේ?

මේ නාට්‍යයේ මාව මරවලා රඟපාන්නේ නැහැ.

ඔබ කලින් නොකියා කිව්වා ඔබ රංගනය ප්‍රගුණ කරලා තියෙනවා කියල. ඒ දැනුම තවත් පරපුරකට බෙදා දෙන්නකො?

මං තවම ඒ ගැන හිතුවේ නැහැ.

ඒත් ඔබගේ පසු පරම්පරාවේ අය රංගනය ගැන උගන්වනවානේ?

ක්ලාස් කළොත් මට මගේ නිදහස නැති වෙයි. ඒක නිසා ඉන්න විදිහ හොඳයි.

ඇයි හේමසිරි ලියනගේ කියන නළුවා වර්තමානයේදී රිදී තිරයේ වැඩිපුර දකින්න නැත්තේ?

මාව ඕනෑ අය විතරයි මාව නිර්මාණවලට ගන්නේ. පෙනී සිටින චරිත මං රඟපාන්නේ නැති නිසා වෙන්න ඇති මාව චිත්‍රපටවල නැත්තේ.

 ඔබත් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා ඇතැම් අය කියනවා?

මං කොහොම කෙනෙක් ද කියලා දන්න අය දන්නවනෙ. එහෙම නොවන්න මට ගෙදරට වෙලා ඉන්න සිද්ධ වේවි. මාව අවශ්‍ය අය මාවම ගන්නවා. මං ගැන එයාලා හොඳට දන්නවා.

ඓතිහාසික චිත්‍රපටවලට ඔබට කතා කළේ නැතිද?

මං ඒ වගේ චිත්‍රපටවලට කැමැති නැහැ.

හේතුව?

ඒවා ඓතිහාසික චිත්‍රපට නෙවෙයි. කිසිම කලාත්මක දර්ශනයක් එම චිත්‍රපටවල නැහැ. අනික ඓතිහාසික චිත්‍රපටවලින් ඉතිහාසය උගන්වන්න හදනවා. එහෙම කරන්නේ කොහොමද. ඒක හරිම විහිළුවක්.

ඒ වුණාට මා දන්නා පරිදි ඔබ මහින්දාගමනය චිත්‍රපටයේ රඟපෑවනේ?

මං ඊට දායක වුණේ වැරදීමකින්.

එයාලා ජෝ මහත්තයට මුලදි කතා කරලා. නමුත් ඔහුව මොකක් හරි හේතුවක් මත චිත්‍රපටයට සම්බන්ධ කරගන්න බැරි වෙලා. ඒ තත්ත්වය මට කිව්වා. ජෝ මහත්තයට දෙන්න තිබුණු චරිතයක් නිසා මං හිතුවා හොඳ එකක් වෙන්න ඇති කියාල. ඒ විශ්වාසය මතයි මං එය බාර ගත්තේ. දර්ශන තලයට ගිය පසු මට රැවුලක් කොණ්ඩයක් දැම්මා. මං හිතපු දේවල් නෙවේ ලොකේෂන් එකේදී වුණේ. අන්තිමේ චිත්‍රපටයේ මාව අඳුරගන්නට බැරි තරම් වෙනස්. මං පිළිගන්නවා මං ඒ චරිතෙ කළා සාර්ථක නැහැ කියලා. ඔන්න ඕකයි වුණේ.

ඒ ද්වේෂයෙන් ද ඔබ ඓතිහාසික කතාවලට එරෙහි වන්නේ?

කොහෙත්ම නැහැ. වෙනත් රටවල නිපදවන ඓතිහාසික චිත්‍රපට අරගෙන බලන්න. ඒවාවල චරිත පවා කොච්චර තාත්ත්විකද? ඒත් අපේ රටේ ඓතිහාසික චිත්‍රපටවල චරිත ෆ්ලැට්. කෙනෙක් රජතුමාට හැඳ පැළඳගෙන දෙබස් කියනවා, කුමාරිහාමිලත් එහෙමයි. පෙනුමයි දෙබසුයි විතරයි.

ඔබ ඔහොම කිව්වට කුවේණිගේ චරිතය රඟපෑ දුලානි අනුරාධා හොඳම නිළිය හැටියට සම්මාන ලැබුවනේ? චරිතෙ ෆ්ලැට් නම් කොහොමද එලෙස සම්මාන ගන්නේ?

ඕනෑ කෙනෙකුට සම්මාන දෙන්න පුළුවන්. උළෙලවල ඉන්න විනිශ්චයකරුවන් බලන කෝණය අනුවනේ සම්මාන නිර්දේශ වෙන්නේ. කවුරු කොහොම කිව්වත් මම නම් බය නැතුව කියනවා අපේ රටේ ඓතිහාසික චිත්‍රපටවල චරිතයන්හි කිසිදු සියුම් තැනක් දක්නට නැහැ. ඒවා හරිම ෆ්ලැට්.

රඟපාන්න චරිතයක් බාරගන්න කලින් මුදල ගැන හිතනවද?

ඔව්. හැබැයි මට ප්‍රසන්න ජයකොඩි දඩයක්කාරයා චිත්‍රපටයට කතා කරද්දී මං ඔහුට කිව්වා ‘ප්‍රසන්න මට ඔබ ලොකු අවස්ථාවක් දෙන්නේ, ඒ හින්දා පසුව මුදල තීරණය කරමු’ කියලා.

නව පරපුරේ දක්ෂයෝ ඉන්නවාද?

අපොයි ඔව්. ඒ වුණාට මෙගා නිසා ඔවුන්ට සංවර්ධනය වෙන්න විදිහක් නැහැ.

අලුත් අය වැඩිපුර පුරුදු වෙලා ඉන්නේ අධ්‍යක්ෂවරයා කියන විදිහට රඟපාන්න?

අන්න එතන තමයි වැරැද්ද වෙලා තියෙන්නේ. අධ්‍යක්ෂවරයා කියන දේ කිරීම නෙවෙයි නළුකම කියන්නේ. නළුවා කියන්නේ හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්න කෙනා. ඔහු දැනගත යුතුයි චරිතයක් දුන්නාම ගොඩ නඟා ගන්න.

ඔබ කරන්නේ එහෙම?

ඔව්. මට පිටපතක් ලැබුණම මං ගෙදරදි අධ්‍යනය කරනවා. කෙටියෙන්ම කිව්වොත් හෝම්වර්ක් කරල තමයි මං දර්ශන තලයට යන්නේ.

කල්පාන්තේ සිහිනයක් චිත්‍රපටයේ ඔබෙන් හරියට වැඩක් අරගෙන නැහැ කියලා ඇතැම් අය කියනවා?

මටත් එහෙම කියලා තියෙනවා. මං මෙතෙක් හාමුදුරු චරිත දෙකයි කළේ. ඉන් එකක් තමයි කල්පාන්තේ සිහිනයක්හි චරිතය. එතැනින් පසුව මං හිතා ගත්තා හාමුදුරු චරිත කරන්නේ නැහැ කියලා. නමුත් ප්‍රසන්න ජයකොඩිගේ දඩයක්කාරයා චිත්‍රපටයේ මං රඟපෑවේ හාමුදුරු චරිතයක්. එහි ප්‍රබලතාවය මාව ඒ චරිතය බාර ගන්න තැනට ගෙන ආවා.

නව පරපුරේ අය ඔබව හඳුනනවාද?

සමහර අය මාව හඳුනනවා අඩුයි.

ඇයි ඒ?

මම මාධ්‍යය තුළ නැහැනෙ.

ඔබ පුවත්පත් සාකච්ඡාවලට එනවා අඩුයි?

මාව වටින්නේ නැතුව ඇති. අනික මං තරුවක් නෙවෙයිනේ. මං සරම ඇඳගෙන රඟපාන නළුවා හින්දා මාව හොයාගෙන මාධ්‍ය එන්නේ නැහැ. සරසවිය මේ ආවා වගේ.

ඔබට ජනප්‍රියත්වය ඕනෑ නැද්ද?

නැහැ. මට ඕනෑ නැහැ.

 කවුද ඔබේ රංගන ගුරුවරයා?

මට කවරුවත් ගුරුන්නාන්සේලා නැහැ. මගේ ගුරුවරයා මමමයි.

හේමසිරි ලියනගේ කියන්නේ සාමාන්‍ය සරල කෙනෙක්?

ඔව්. මං නළුවෙක් කියලා බොරු ප්‍රතිරූප මවාගෙන නැහැ. අපේ සමහර නළු නිළියෝ හිස උදුම්මවාගෙන ඉන්නවා. ඒ අයට කැමරාව ඉදිරියේදිවත් ඒ මහන්තත්තකම අයින් කරගන්න බැහැ. ඒ හින්දා රඟපෑ යුතු චරිතය ශරීරයෙන් එළියට එන්නෙ නැහැ. මවාපාගෙන සිටීම නෙවෙයි නළුකම කියන්නේ.

හොරණ විද්‍යාර්ථයේ ඔබ ආර්ථික විද්‍යාව උගන්වන කාලෙ ඔබෙන් ශිල්ප හදාරපු අය අතර අද වන විට ජනප්‍රිය නිර්මාණකරුවොත් ඉන්නවා?

ධර්මසිරි බණ්ඩාරනායක, ඩග්ලස් සිරිවර්ධන, ලාල් කුලරත්න, සෝමපාල පතිරගේ, තරංග රුක්මල්වල වගේ ගොඩක් මගෙන් ඉගෙන ගත්තා.

මේ වන විට ගෙදර අය ඔබට තනියම ගමන් බිමන් යන්න දෙන්නෙ නැතිලු?

අනේ ඔව්. මට වාහනේ එලවන්න දෙන්නේ නැහැ. හප්ප ගනියි කියලා බයට වෙන්න ඇති. ළමයි කියනවා එයාලත් එක්ක යන තැනක යමු කියලා. ඉස්සර නම් බයිසිකලේමයි ගමන් ගියේ. දැන් ඒකත් තහනම්. මට තියෙන ආදරේටනේ ඒ නීති දාන්නේ. මාත් ඉතින් පිළිපැදගෙන ඉන්නවා.