|
සුබ උපන් දිනයක් !
ලාංකේය සිනමාවේ වර්තමාන රංගවේදීන් අතර රවීන්ද්‍ර රන්දෙණිය යනු සුවිශේෂ පරිච්ඡේදයක් යැයි විග්‍රහ කිරීම නිවැරැදිය. වර්තමානයේ සිනමා රංගවේදය හා කර්මාන්තය පිළිබඳ හදාරන්නෙකුට ඒ පිළිබඳ මෙරට මූලාශ්‍රය විය යුතු එක් කරුණක් නම් රවීන්ද්‍ර රන්දෙණිය එම කර්තව්‍ය කෙරහි දැක් වූ ආකල්පයන්ය. ඔහුගේ රංගන භූමිකාවට මේ වන විට දශක හතරක් ඉක්මවා ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් බොහෝ ගෞරව සම්මාන ද ඔහු දිනා ඇත්තේය. එමෙන්ම වර්තමානයේ ඔහු අත්විඳීන ගෞරව සම්පන්න බහුමාන්‍ය සියල්ල පසුපස තිබෙන්නේ පිය උරුමයෙන් ලත් ධනය නොව සිනමා කර්මාන්තයෙන් උපයන ලද කීර්තිය බැව් සඳහන් කළ යුතුය. මෙරට කීර්තිමත් ව්‍යාපාරික පවුලක සාමාජිකයෙකු හැටියට ඔහු සිනමාවට අවතීර්ණය වනුයේ පෙරුම්පුරා ගත් ඉලක්කයක් හඹා යන්නට නොවේ. කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඔහු අධ්‍යාපනය ලබන්නේ විද්‍යා සිසුවකු හැටියටය. ඒ අවධියේ නුවර පාරේ වේගයෙන් ඉඟිල එන මෝටර් රථයකට පෙම් බඳින ඔහු එහි හිමිකරුවා බවට පත් වෙයි. ඒ 1967 වසෙර්ය. රථයේ මුල් හිමිකරු ඔහු සමඟ යන්නේ එදින පැවැත් වූ ‘සරසවිය’ සම්මාන උළෙලේ හොඳම නළුවාගේ නිවසෙහි පැවැති සාදයකටය. රථයේ හිමිකරු එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ චිත්‍ර බාලසූරියයි. සම්මානනීය නළුවා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාය. ගාමිණී එදා සම්මාන දිනන්නේ බොනී මහත්තයාගේ චරිතයටය. චිත්‍රපටය ‘පරසතුමල්’ ය. සාදයේදී හමු වූ ගැටවරයාට ගාමිණී පවසනුයේ, ‘උඹ මට කවදාත් අමතක වෙන්නේ නෑ. අද මම සම්මාන දිනුවේ උඹේ නමින් හින්දා’ යනුවෙනි. එකල රවීන්ද්‍ර හැඳින්වූයේ බොනී යන නාමයෙනි. ආදරය දිනන රවීන්ද්‍ර රන්දෙණිය නාමය රැලෙක්ස් රණසිංහගේ නිර්මාණයකි. විද්‍යාව හැදෑරූ ඔහුට එක්තරා තීරණාත්මක මොහොතක රංගනය හදාරා තීන්දුවක් ගැනීමට දෛවය ඉඩ දී තිබිණ. ධම්ම ජාගොඩ නම් පරිසමාප්ත රංගාචාර්යවරයානන් විසින් ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවේදී මෙහෙය වන ලද රංගන පාඨමාලාව මේ මානවකයාගේ රංග ශාස්ත්‍රෝත්ග්‍රහණයෙහි මුල් සරසවිය විය. මේ පිවිසුම සමකාලීන බොහෝ නළුවනට වඩා වැදගත් පිවිසුමක් විය. කඩවසම් තරුණයකු වූ ඔහුට එම යුගයේ සිනමාවේ දොර පහසුවෙන් විවර කර ගත හැකි වග අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අවධියේ ඔහු සිනමා රංගනයට පිවිසීම සඳහා සොයා යන්නේ සෙසු බොහෝ දෙනා මෙන් හුදු ජනප්‍රියත්වය සොයා යන මාවතක් නොවේ. වේදිකාව ඔස්සේ ලබන ප්‍රායෝගික රංගන ශික්ෂණය ඔහු සිනමාවේදී වඩා හොඳින් අත්හදා බැලුවේය. ජනප්‍රියත්වය යනු තාවකාලික මායාවක් වග වටහාගත් නිසාදෝ මුල් යුගයේ සිටම ඔහු තම ප්‍රතිරූපය පිළිබඳ සැලකිලිමත් වූ වගක් පෙනෙන්නට නැත. ‘කළු දිය දහර’, ‘සිරිපාල හා රන් මැණිකා’, ‘දෑස නිසා’, ‘දඩයම’, ‘චූඩාමාණික්‍ය’, ‘දුහුළු මලක්’ වැනි එකිනෙකට වෙනස් චරිත ගෙනහැර බලද්දී මේ බැව් මනාව පැහැදිලි වෙයි. අද පවා සාමාන්‍ය ප්‍රේක්ෂකයන් බොහෝ නළු නිළියන් පිළිබඳව තීන්දු කරනු ලබනුයේ ඔවුන් විසින් රඟපානු ලබන චරිත හා සසඳමිනි. එබැවින් මෙයට දශක කිහිපයකට මත්තෙන් සිනමාව වඩා ආකර්ෂණීය මාධ්‍යයක් ලෙස ප්‍රේක්ෂකයා හමුවේ පවතිද්දී රවීන්ද්‍ර රන්දෙණිය තරුණයා තෝරා ගන්නා ලද චරිත හුදෙක් ඔහුගේම අනාගතය පරදුවට තබා කරන්නක් යැයි අමුතුවෙන් කිව යුතු නැත. ජනප්‍රිය වන්නට වුවමනා නම් තමාගේම මුදල් යොදවා වීර ධීර චිත්‍රපටයක් නිපදවාගෙන සල්ලි දමා හෝ විසිල් ගස්සවා ගැනීමට ඔහුට හැකියාව තිබුණි. එහෙත් රංගවේදියකුගේ වගකීම හඳුනාගත් නිසාවෙන් ඔහු දෙවරක් නොසිතාම ‘දඩයම’ චිත්‍රපටයේ ජයනාත් විය. 67 වසරක සිංහල සිනමාවේ ඒ තරම් දුෂ්ට චරිතයක් යළි හමු වන්නේද නැත. එදා මෙදාතුර රවීන්ද්‍ර රන්දෙණිය කවර චරිතයක් නිරූපණය කළ ද ප්‍රතිරූපගත චරිතයකට වඩා ගැඹුරු රංග ප්‍රවේශයකට අවතිර්ණය වීමේ අවකාශය ඔහු ලබා ගනියි. පුරා සතළිස් වසරක ඔහුගේ රංග භූමිකා බහුතරය නිදර්ශනය කොට දක්වන්නේ මෙරට ප්‍රේක්ෂකයන්ගේ බුද්ධිය කෙරෙහි ඔහු දැක් වූ විශ්වාසයයි. 80 දශකය පමණ වන විට සිනමා රංගනයෙන් පමණක් නොව සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් ද ඔහු දක්වන උනන්දුව මැනවින් කැපී පෙනේ. නළු නිළි සුබසාධනයේ සිට සිනමා කර්මාන්තය මුහුණ දෙන ගැටලු කෙරෙහි ඔහුගේ මතවාද මෙරට සිනමාවේ අනාගතයේ තීරණ කෙරෙහි කැපී පෙනෙන්නේය. එහිදී තම සුබ සාධනයට වඩා සිනමා කර්මාන්තයෙහි පොදු අරමුණු සඳහා ඔහු දැක්වූ ඍජු දායකත්වය අතිශය ප්‍රශංසනීය වෙයි. එබැවින් ගෞරවය සොයා ඔහු ගියා නොව ඔහු සොයා ගෞරවය ආවේය. චිත්‍රපට සංස්ථාව ආරක්‍ෂා කර ගැනීමේ සිට සිනමා කර්මාන්තය හා එහි ශිල්පීන් මුහුණ දෙන පොදු ගැටලු වලදීද රවීන්ද්‍ර රන්දෙණියගේ භූමිකාව කැපී පෙනෙන කරුණක් විය. ඇතැම් ශිල්පීන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් වලදී පවා වහා පිළිසරණ සෙව්වේ රවීන්ද්‍ර රන්දෙණිය හරහාය. සිනමා කර්මාන්තය හෝ ශිල්පියෙකු මුහුණ දෙන යම් ගැටලුවකදී “රවීට කිව්වද” යනුවෙන් අසන මට්ටමකට ඔහු නිල නොලත් දුක්ගන්නාරාල කෙනෙක් නැතහොත් මැදිහත්කරුවෙක් විය. හැම විටම නාහෙන් අඬන්නන්, චෝදනා ස්වරයෙන් පවසන්නේ ‘ඇයි රවීන්ද්‍රලා මේවා දන්නේ නැති ද?’ යනුවෙනි. මේ කවර අර්ථයෙන් ගත්තද වටහා ගත යුත්තේ සිනමා ක්ෂේත්‍රයෙහි රවීන්ද්‍ර රන්දෙණිය සතු ප්‍රතාපවත් භාවයේ ස්වරූපයයි. ඔහුගේ මතවාද සමඟ නිරන්තරයෙන් ගැටෙනා කෙනෙකු වුව සිනමාව අරබයා රවීන්ද්‍ර රන්දෙණිය ගේ කැපවීම වර්ණනා කරන්නට, ප්‍රශංසා කරන්නට දෙවරක් සිතන්නේ නැත. පසුගිය වසරේ ජගත් චමිල ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙද්දි ඔහු විදෙස්ගත කිරීම සඳහා වඩාත්ම උනන්දු වූයේ රවීන්ද්‍ර රන්දෙණියයි. එක්තරා ටෙලි විෂන් නාළිකාවක් මඟින් තරුණ නළු මිහිර සිරිතිලක අවමානයට ලක් කළ අවස්ථාවේ දී ඒ පිළිබඳ ඍජුව පෙනී සිටීමට තරම් ඔහු එඩිතර විය. ඒ වනවිට මේ මහා නළුවානන් මිහිරව පෞද්ගලිකව දැන සිටියේ නැත. ඔහු මට පැවසුවේ “ඒ අලුත් කොල්ලා මම කරන රස්සාව කරන කෙනෙක්” යනුවෙනි. තම වෘත්තීය අභිමානය ඔහු නිරන්තරයෙන්ම අගය කළ අයකු විය. සිනමා රංගනයේදී ඔහු කළ කැපවීම හා අභියෝගාත්මක ස්වරූපය ඔහුගේ මුළු ජීවිතය හා බැඳී ආ පැවැත්මක් විය. වසර ගණනාවක් මුළුල්ලේ ඔහු ‘සරසවිය’ වෙනුවෙන් ද හැම විටම පෙනී සිටියේය. ඔහු අපට හිතවත් වැඩිහිටියකු ද වූයේය. ඔහුගේ රංගනය පිළිබඳ හා ජීවිතය පිළිබඳ දීර්ඝ විමර්ශනයකට කාලය එළැඹ ඇති වග මගේ විශ්වාසයයි. එය ප්‍රශස්තියක් නොවේ. එය ඔහු පිළිබඳ ගවේෂණයකි. පසුගිය දශක කිහිපය මුළුල්ලේ අපේ සිනමාවේ දිශානතිය පිළිබඳ විවාදාත්මක නිබන්ධනයක් එයට අනිවාර්යයෙන්ම ගැබ්ව ඇත. එකී විමර්ෂණයට ඉඩහසර පාදමින් රවීන්ද්‍ර රන්දෙණිය රංගවේදියාට සුබ උපන් දිනයක් වේවා යැයි සරසවිය ප්‍රාර්ථනා කරයි. |