වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සමහරු උඩින් බැනලා ඇතුළෙන් හිනා වෙනවා

සමහරු උඩින් බැනලා ඇතුළෙන් හිනා වෙනවා

රන්ජා අධ්‍යක්ෂ

සුදේශ් වසන්ත පීරිස්

මේ චිත්‍රපටය බලලා එක ප්‍රේක්ෂකයෙක් හරි විසිල් පහරක් ගැහුවොත් ඒක මගේ ජයග්‍රහණයක්. 70, 80 දසකවල වගේ ජනප්‍රිය යුගයක් නැවත අපේ සිනමාවේ ඇති කරන්නයි මගේ උත්සාහය. ‘රන්ජා’ චිත්‍රපටයෙන් ඒ කාර්යයට මුල පුරන්න හැකි වෙන බව මට විශ්වාසයි.

‘රන්ජා’ දර්ශන තලයකදී වරක් එහි අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස් මා සමඟ පැවසුවේ එවැනි කතාවකි. ඒ එදාය. අද එය සැබෑවක් වී ඇති බව ‘රන්ජා’ට ලැබෙන ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් අපට හැඟී යයි.

මේ ‘රන්ජා’ ගැන සුදේශ් හා කළ සුවිශේෂ පිළිසඳරකි.

මතකද එදා ‘රන්ජා’ දර්ශන තලයේදී මට කියපු දේ?

නැතුව. මට හොඳට මතකයි.

දැන් මොකද කියන්නේ?

70 දසකයේ සිනමාව මම අලුත් කරලා තියෙනවා. මම කැමැති 70, 80 දසකවල තිබුණ බයිස්කෝප් සිනමාවට. අද ප්‍රේක්ෂකයන්ට ඔබින විදිහට එදා සිනමාව මම අලුත් තැනකට ගෙනත් තියෙනවා. මොකද අද අපේ තරුණයෝ ඉන්නේ ලෝක සිනමාවත් එක්ක. හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවත් එක්ක ඉන්නේ.

එතැනට යන්න අපිට තවම බැහැනේ?

අධික මුදලක් වැය වෙන නිසයි එවැනි දැවැන්ත නිර්මාණ අපට කරන්න බැරි. ඒ වගේ දැවැන්ත සිනමා කර්මාන්තයක් අපේ රටේ නෑ. මට ලැබුන මුදලින් මම උපරිම දෙයක් මේ චිත්‍රපටයට කරලා තියෙනවා. ඇත්තටම ඉතින් ප්‍රේක්ෂකාගාරය විසිල් ගහලා, අත්පුඩි ගහලා චිත්‍රපටය බලනවා. ඒක දැක්කාම පුදුම ආසයි. මගේ තාත්තගේ චිත්‍රපට ආපුවාම 80 දසකයේ ඒ තිබ්බ ආකර්ෂණය, ප්‍රබෝධය ‘රන්ජා’ තිරගත වෙද්දී මම දැක්කා. එදා මංගල දර්ශනයට ලිබර්ටි සිනමාහලට ආපු ප්‍රේක්ෂකයන්ගෙන් දෙසීයක් විතර ආපහු හැරිලා ගියා.

ඔබ නිතරම කියනවා ඔබ හදන්නේ බයිස්කෝප් කියා. මොකක් ද මේ බයිස්කෝප් කියන්නේ?

සමහරු කියනවා මේ සිනමාවට ආදරේ නිසා චිත්‍රපට කරනවා කියලා. එහෙම කරන කිසි මිනිහෙක් නෑ. හැම කෙනෙක්ම ආර්ථික වශයෙන් ලාභයක් ලබන්න තමයි චිත්‍රපටයක් හදන්නේ. ඉතින් මම උත්සාහ කරන්නේ චිත්‍රපටයක් බලන කාලය පුරාම ප්‍රේක්ෂකයා ඒ තුළ රඳවලා තියා ගන්න. මම කැමැතියි හැම තත්පරයකම ප්‍රේක්ෂකයා ඒකට යොමු කරගෙන ඉන්න. ඒ නිසා තමයි ත්‍රාසය, භීතිය, හාස්‍යය ඔය හැම දෙයක්ම එකතු කරලා මම චිත්‍රපට හදන්නේ. චිත්‍රපටය බලද්දී ප්‍රේක්ෂකයාට ඈනුම් යන්නේ නෑ, කම්මැලි නෑ. එවැනි සිනමාවක් තමයි මම බයිස්කෝප් කියා හඳුන්වන්නේ.

‘රන්ජා’ අධ්‍යක්ෂණය වගේම කතාව, දෙබස්, තිර නාටකයත් ඔබේ. විශේෂයෙන්ම තිර රචනය අධ්‍යක්ෂවරයාගේම වීම අධ්‍යක්ෂවරයාට වාසියක්ද?

තිර නාටකය අධ්‍යක්ෂවරයා විසින්ම සකස් කරද්දී ඒ අවශ්‍ය පසුබිම ඔහුගේ ඔළුවේ මැවිලා ඉවරයි. වෙන අයෙක් තිර නාටකය ලියා ඒ කරුණු අධ්‍යක්ෂවරයාට පැවසුවාම තමයි ඒ චිත්‍රය ඔහුගේ මනසේ මැවෙන්නේ. ඉතින් ඊට වඩා ගොඩක් පහසුයි මට අදාළ චිත්‍රය, මමම ඇඳ ගත්තාම. මේ තිර කතාව ලියලා දැන් අවුරුදු පහක්, හයක් වෙනවා.

දැන් ඔබට විචාරකයන්ගෙන් දෝෂාරෝපණයක් එන්නත් පුළුවන් ‘දෙපැත්ත කැපෙන වචන’ මේ චිත්‍රපටයට යොදාගෙන කියලා?

එහෙම තියෙනවා. නැත්තේ නෑ. මගේ ’ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටයෙත් එහෙම ‘ඩබල් මීනින්ස් වර්ඩ්ස්’ තිබුණා කියලා ගොඩක් අය මට බැන්නා. හැබැයි ඉතින් මට මාවම සාධාරණීයකරණය කරගෙන කොහෙද ඒවායේ එහෙම වචන තිබුණේ කියලා අහන්නත් පුළුවන්. ඒත් සත්‍යය වශයෙන්ම එවැනි දෙයක් තියෙනවා.

එය පිළිගන්න තරම් ඔබ අවංකයි?

චිත්‍රපටය නරඹන අයට විනෝදාස්වාදයක් ලබා ගන්න තමයි මම ඒක කරලා තියෙන්නේ. ඒකට හැමෝම හිනා වෙනවානේ. සමහරු උඩින් බැනලා ඇතුළෙන් හිනා වෙනවා. ගොඩක් ප්‍රේක්ෂකයෝ ඒකට කැමැතියි. ඒ නිසයි මම එහෙම කළේ.

‘‘one shot part 02’  කියලා තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනයට එක් වන්නේ. නමුත් one shot අධ්‍යක්ෂණය කළේ රන්ජන් රාමනායක. ඊළඟට චිත්‍රපටය අතරතුරේදී මේක ‘රතුපස්වල රන්ජා’ කියා නම් කෙරෙනවා. මොකක්ද මේ අවුල?

ඇත්තටම one shot ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳ ගත් නිසාත්, රන්ජාගේ චරිතය ඊට බෙහෙවින්ම සමාන නිසාත් තමයි අපි එහෙම යොදා ගත්තේ. දැන් රතුපස්වල කතන්දරේ ගත්තම මම තිර පිටපත ලිව්වට පස්සේ තමයි ඔය රතුපස්වල සිද්ධිය ඇති වුණේ. හැබැයි මගේ චිත්‍රපටය පුරාම එහෙම පානීය ජල ප්‍රශ්නයක් පිළිබඳ කතා පුවතක් තමයි තේමාව වෙලා තියෙන්නේ.

නමුත් ඔබේ තිර නාටකය බිහි වුණේ මේ සිද්ධියට කලකට පෙර?

ඔව්. ඒක ලියලා විතරක් නෙවෙයි, ෆිල්ම් එක ෂූට් කරලත් ඉවරයි.

‘රන්ජා’ගේ චරිතයට රන්ජන් රාමනායක තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණාද?

One Shot Part 02 කියලා ගත්තාම අපි අනිවාර්යයෙන්ම ඒ චරිතයට ඔහු යොදා ගත යුතුමනේ. කොහොමත් මම මේ තිර නාටකය මුලින්ම ලියද්දිත් මගේ ඔළුවේ හිටපු කතා නායකයා රන්ජන්. ඉතින් දැනට අපේ සිනමාවේ රන්ජන් වගේ රන්වන් පැහැයෙන් යුත් වීරයෙක් නැහැ. ඒක තමයි මූලික වුණේ.

රන්ජාගේ චරිතයට වගේම මෙහි සෙසු චරිත සඳහාත් ඔබ ඉතාමත් ගැළපෙන නළු, නිළි පිරිසක් තෝරා ගෙන තිබෙනවා. ඒ කියන්නේ හොඳ Casting Direction එකක්?

මම හිතවත්කමට, යාළුකමට රඟපාන්න කිසි කෙනක් ගන්නේ නෑ. මගේ තරහාකරයෙක් හරි වැඩේට ගැළපෙනවා නම් කතා කරලා ගන්නවා. ඒක තමයි මගේ පළවෙනිම දේ. ඉස්සරහටත් එහෙමයි. වැඩේට හරි යන්නේ කවුද මම ගන්නේ එයාවම තමයි. නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයාගෙනුත් ඒකට මට සම්පූර්ණ නිදහස තියෙනවා. ඉස්සර චිත්‍රපට කළා හිතවත්කමට. මේ මගේ කල්ලිය. මම මෙයත් එක්ක තමයි වැඩ කරන්නේ කියලා. මගේ ඒක නැහැ. තරහාකාරයා හරි මම වැඩේට ගන්නවා.

‘රන්ජා’ සුප්‍රකට දකුණු ඉන්දීය චිත්‍රපටයක අනුකරණයක් කියා සමහරු කියනවා?

අපේ සිනමාව මම දන්න තරමින් බොහෝ වෙලාවට යැපුණේ අනුකරණ සිනමාව මත තමයි. මම ‘ච්ඩධධත’ කියන චිත්‍රපටය අරගෙන අපේ රටට ගැළපෙන විදිහට ඒක ප්‍රති නිර්මාණය කළා.

විශේෂයෙන් කතාබහට ලක් වී තිබෙනවා ‘රන්ජා’ චිත්‍රපටයේ සටන් සහ ඊට අදාළ තාක්ෂණික හරඹයන් පිළිබඳ. මේ ගැන මොකද කියන්නේ?

මට හිතෙන්නේ අපේ සිනමා සටන් කලාවේ අලුත් පිම්මක් මේ. මෙතනදි ‘රන්ජා’ චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයා වූ වසන්ත කුමාරවිල විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ඔහු තමයි මේ සියල්ල කළේ. කොහොමත් අපේ සිනමා සටන් කලාව අලුත් වෙනවා නම්, හැමදාම ඒක අලුත් කළේ වසන්ත. ඔහු මට මේ චිත්‍රපටය පුරා විශාල සහයෝගයක් දුන්නා. රන්ජාගේ ප්‍රතිවාදියා වන කළු විජේ ගේ චරිතය රඟපෑවේත් වසන්තමයි.

කේබල් තාක්ෂණයත් මෙහි බහුලව යොදා ගන්නවා?

මෙතෙක් කේබල් තාක්ෂණය භාවිත කරපු හැම ලාංකික චිත්‍රපටයකම ඒ කාර්යයට දායක වුණේ විදෙස් ශිල්පීන්. නමුත් ‘රන්ජා’ කේබල් තාක්ෂණය වසන්ත කුමාරවිල ඇතුළු අපේ අය තමයි නිර්මාණය කළේ.

චිත්‍රපටයට වියදම් කළ හැම සතයක්ම මම එහි රූප රාමුවල දැක්කා. මම හිතන්නේ ඉතා විශාල මුදලක් වැය කර තනන, දැවැන්ත යයි කියන චිත්‍රපටවලට ඔබ එල්ල කරන්නේ දැවැන්ත අභියෝගයක්?

චිත්‍රපටයක දැවැන්තකම තියෙන්නේ ඊට වැය කරන මුදලේ නෙවෙයි. ලක්ෂ පනහද, ලක්ෂ පන්සීයද කියන එක නෙවෙයි. මම කියන්නේ ලක්ෂ පනහෙන් හරි, ලක්ෂ පන්සීයෙන් හරි ගුණාත්මක සිනමාවක් හදන්න කියන එකයි. කෝටි අටක්, නැත්නම් දහයක් වියදම් කළා කිව්වට වැඩක් නෑ, චිත්‍රපටය ගුණාත්මක නැතිනම්. මම කරන්නේ අඩු මුදලකින් ගුණාත්මක ඒ වගේම ආකර්ෂණීය සිනමාවක් හදන එක.

ඔබේ නිගමනයට අනුව ඔය කියන ගුණාත්මක, ආකර්ෂණීය චිත්‍රපටයක් කොපමණ මුදලකින් හදන්න පුළුවන්ද?

ලක්ෂ සීයකින්, එකසිය පනහකින් ලංකාවේ සුපිරි චිත්‍රපටයක් හදන්න පුළුවන්. ඒ අභියෝගය බාර ගන්න මම සූදානම්.