|
සංහිඳ ආරම්භයේ මම බොහොම බය වුණා
සංහිඳ නිමා වෙයි-තඹරවිල තැනෙයි
ස්වාධීන රූපවාහිනියේ නවතම වැඩ සටහන ගෙනෙන උදය කුමාර තෙන්නකෝන් කරන හෙළිදරව්ව
බොහෝ දෙනා සෑම ඉරිදාවකම රාත්‍රී 10.00 ට ස්වාධීන රූපවාහිනිය නරඹන්නට සිටියේ නොඉවසිල්ලෙනි. ඒ සංහිඳ සංගීත වැඩ සටහන නිසාය. නැවත වරක් ඒ කාලය එළැඹී ඇත. ඒ මේ මාසයේ 01 වැනිදා ඉරිදා 10.00 සිටය. ‘තඹරවිල’ නමින් ඔබ හමුවට පැමිණෙන මෙම සංගීත වැඩසටහන මෙහෙය වන්නේ උදය කුමාර තෙන්නකෝන් නම් දක්ෂ වැඩ සටහන් අධ්‍යක්ෂවරයායි. ඔහු සරසවිය හා ‘තඹරවිල’ වැඩසටහන පිළිබඳ මෙසේ සඳහනක යෙදුණේය.
සංහිඳ සංගීත වැඩසටහන මේ තරම් ඉක්මනින් නතර කළේ ඇයි? ‘සංහිඳ’ වැඩ සටහන ආරම්භ කරන විට මා හිතාගෙන හිටියේ වසරක පමණ කාලයක් මේ වැඩ සටහන කළා නම් ඇති කියන මතයෙයි. ඒත් ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර නිසා තවත් වසරක් දක්වා වැඩ සටහන දීර්ඝ කළා. කලාකරුවන් සිය දෙනෙකුගේ ඉතිහාසය පිළිබඳ වසර දෙකක් කතා කළා. පසුගිය දවස්වල ඒ වැඩ සටහනම නැවත විකාශයක් ලෙසින් විකාශය වුණා. වැඩ සටහන විකාශය වූ කාලයේ වගේම නැවත විකාශයේදීත් බොහොම දෙනාගෙන් ප්‍රතිචාර ලැබුණා. ඒ අය අතර විදේශවල වැඩි ප්‍රමාණයක පිරිසක් සිටිය බව කියන්නේ සතුටෙන්. කොහොම නමුත් ඕනෑම වැඩ සටහනක් හොඳයි ටිකයි කියන මතයෙයි මා සිටියේ. ඒ නිසා ඒ ප්‍රමාණයෙන් වැඩ සටහන අවසන් කළා.
මෙවර ආරම්භ වූ මේ සංගීතමය වැඩ සටහනත් ‘සංහිඳ’ හා සමානවම යන වැඩ සටහනක් නේද? ඔව්. ඇත්තටම මේ ‘තඹරවිල’ කියන සංගීත වැඩ සටහනේදී මගේ අවධානයට පාත්‍ර වුණේ ජීවත්ව සිටින කලාකරුවන් ගැනයි. විශේෂයෙන්ම ගීතයට, රංගනයට, සිනමාවට දායකත්වය දැක් වූ ප්‍රවීණ පිරිසක් ගැන මෙහිදී මගේ අවධානයට ලක් වුණා. එහිදී 50 දශකයේ සිට 70 දශකය දක්වා යමක් කළ කලාකරුවන් විශේෂයි. අද සිටින සමහර තරුණ පිරිස ඒ කාලයේ ගීත ඇසුවත් ගායනා කළත් එහි පසුබිම පිළිබඳව දන්නේ නැහැ. ඔවුන්ට යම් දැනුම් මට්ටමක් රැගෙන පැමිණීමේ අදහසකුත් මේ වැඩ සටහනෙන් ඉටුවන බව මා සිතුවා.
‘තඹරවිල’ සංගීත වැඩ සටහන ගලාගෙන යන්නේ පෙර වැඩ සටහනේ ආකෘතිය ඔස්සේ බවයි අපට පෙනෙන්නේ? ඒ ආකෘතියම තමයි මේ වැඩ සටහන සඳහාත් මා තෝරා ගත්තේ. නමුත් ඉන් තරමක් ’තඹරවිල’ වෙනස් වෙන්නේ කරුණු කිහිපයක් නිසයි. එදා අපි වැඩ සටහනේදී කළේ ජීවත්ව නොසිටි පුද්ගලයෙක් ගැන එක් එක් අයගෙන් කරුණු අහන එකයි. ඒත් ඒ අය ගැන සමහර අවස්ථාවලදී කතා කරන්න අය හිටියේ නැහැ. කතා කරන්න පුළුවන් සමහරු ජීවත්ව සිටියේත් නැහැ. මේ නිසා ‘තඹරවිල’ වැඩ සටහනෙන් මා බලාපොරොත්තු වුණේ අදාළ කලාකරුවාම වැඩ සටහනට රැගෙන ඇවිත් සියල්ල කතාබහ කිරීමටයි. ඊට අමතරව ඔහු පිළිබඳ කතා කරන්න රසිකයෙක්, මිතුරෙක් වගේ කිහිප දෙනෙකුත් මීට එකතු කර ගත්තා.
‘තඹරවිල’ට පළමුවරට සහභාගි වන්නේ එච්. එම්. ජයවර්ධනයන්? ඔහු සංගීත ක්ෂේත්‍රයට අපූරු වටිනාකමක් එකතු කළ පුද්ගලයෙක්. ඔහුගෙන් පස්සේ විවියන් බොරලැස්ස, පණ්ඩිත් අමරදේව, රත්න ශ්‍රී, පුන්‍යා හීන්දෙනිය වගේ ශිල්පීන් හා ශිල්පිනියන් පිළිබඳ මේ වන විටත් වැඩ සටහන් කිහිපයක් කරලා තිබෙන්නේ. ඒ වගේ තවත් ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් ඉදිරි කාලයේදී ‘තඹරවිල’ට සහභාගි වේවි.
ඇයි ඔබ මේ වැඩසටහනට නව පරපුර යොදා නොගන්නේ? ගීත ක්ෂේ්ත්‍රයේ මෑත කාලයේ බිහි වුණු ගීත ගත්තොත් කතාබහ කරන්නට හැකි ගීත තිබෙන්නේ බොහොම අල්පයක් පමණයි. ඒ අතරෙන් බිහි වී තිබෙන්නා වූ බොහෝ ගීත තේරුමක් නැති ගීත කියලා කිව්වොත් නිවැරැදියි. කොහොම නමුත් ඔවුන්ට මෙවැනි ගීත ලියනවා හරි නෑ කියලා චෝදනා කරනවා වෙනුවට රසිකයන් ආදරය කරන ගීත ලියැවුණේ කොහොමද කියලා කියලා දුන්නොත්, ඔවුන් යමක් වටහා ගනීවි. ඔවුන් ඒ විදියට ලියන්නත් පුරුදු වේවි. එහෙම නැතුව මේ නව පරපුරට නිතරම බැන බැන ඉඳීම නෙවෙයි අප කළ යුත්තේ. ඔවුන් ළඟ තිබෙන්නා වූ ඒ අඩුව සම්පූර්ණ කිරීමයි.
ගීත ක්ෂේත්‍රයේ 70 දශකය දක්වා වූ කාලය පමණක් නොවෙයි සුභාවිත ගීත බිහි වන්නේ? ඔය කියන කාල සීමාව සුභාවිත ගීතයේ හොඳම කාල වකවානුවයි. ගීතය පිළිබඳ කථිකාවක් ගොඩ නැෙඟන්නේ ඒ කාලයේයි. ඔබ ඔය කියන ආකාරයට 70 දශකයෙන් ඈතට 80 දශකයට වුණත් සුභාවිත ගීතය සොයාගෙන පැමිණිය හැකියි. ඒත් ඒ කාලයේ සුභාවිත ගීතයේ ගත හැකි හරය අප ගත යුත්තේ පළමුව 70 දශකය පිළිබඳ කතා කළාට පස්සෙයි.
මෑත කාලයේ සුභාවිත ගීතය බිහි නොවීමට කුමන කාරණා බලපාන බව ද ඔබ සිත්නනේ? කාලයකට ඉස්සර ගීතයක් ගුවන් විදුලියෙන් විකාශය කරන විට ඉතා පහසුවෙන් ඒක අසන්නන්ට ළඟා කරන්නට බැහැ. ඔවුන් ගීතයේ රචනය, සංගීතය, ගායනය කියන සියල්ල පිළිබඳ සොයා බැලුවා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. එත් අද ඕනෑම කෙනෙකුට සල්ලි තියෙනවා නම් සින්දුවක් ලියලා කියලා අසන්නන් අතරට යවන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒ විදියට රසිකයන් අතර ජනප්‍රිය වුණු අය පිළිබඳව අත්දැකීම් මා සතු වුණේ ‘චැට් ඇන්ඩ් මියුසික්’ කියන වැඩ සටහනේදී. අද තාක්ෂණය දියුණු නිසා හඬ වුණත් ගීතයකට අදාළ විදියට නිර්මාණය කරන්න හැකියි. ඒ නිසා අද ඕනෑම කෙනෙකුට ගායකයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එක රැල්ලකට යන ගීතයක් බිහි වුණොත් හැමෝම ඒ රැල්ලේ ගීත බිහි කිරීම අද විලාසිතාවක් බවට පත් වෙලා. මේ නිසයි අද සුභාවිත ගීතය අපෙන් ඈත් වී තිබෙන්නේ. නමුත් මේ අතරත් සුභාවිත ගීත නිර්මාණය නොවෙනවා කියලා අපට කියන්නත් නොහැකියි.
අද රූපවාහිනි සේවා වගේම ඒ සියල්ලෙහි විකාශය වන සංගීත වැඩ සටහන් බොහොමයි. ‘තඹරවිල’ වැඩ සටහන ඒ වැඩසටහන් අතරෙන් වෙනස් වෙන්නේ කොහොමද? එකක් තමයි අපට පුස්තකාලයක් තිබීම. ඒ පුස්තකාලයේ තිබුණු පරණ දේවල් මා වැඩ සටහනට භාවිත කළා. අනෙක් සංගීත වැඩ සටහන්වලදී මේ ගීතය ලියැ වුණේ කොහොමද, කවුද ලියලා තියෙන්නේ කියලා කතා කරන්නේ නැහැ. සංහිඳ ආරම්භ කරන කාලයේදීත් මම බොහොම බය වුණා. ඒ වැඩ සටහන රූපවාහිනිය නරඹන්නන් කොහොම භාර ගනී ද කියලා. නමුත් ඊට ලැබුණු ප්‍රතිචාර මගේ බිය නැති කළා. තවමත් සුභාවිත ගීතය ප්‍රිය කරන අය ඕනෑ තරම්. ඒ අතර විශ්වවිද්‍යාල තරුණයෝ විශේෂයි. මේ හේතු නිසා මම ‘තඹරවිල’ කරන්න බය නැහැ. තඹරවිල හරහා අප රැගෙන එන ආකෘතිය අන් රූපවාහිනි සේවාවල නැහැ. ඒක අපටම අවේණික වූ ශෛලියක්.
වර්තමානය වන විට තාක්ෂණයෙන් දියුණු යුගයක් වුවත් කලකට පෙර තිබූ ගීතවල මතකය තවමත් අපට අමතක කරන්නට නොහැකි වෙලා. ඇයි මේ? වර්තමානය වන විට කොයි තරම් සංගීතය පිළිබඳ තාක්ෂණය දියුණු වුණත් සිතාරයේ තිබෙන සැබෑ ස්වරය, වයලීනයේ ස්වරය ඒ තාක්ෂණයට ගන්න බැහැ. ඒ තාක්ෂණයේ අර භාණ්ඩවල තිබෙන සොඳුරු බව ඒ අයුරෙන්ම නැහැ. වර්තමානයේදී වුවත් සංගිතඥයන්ටත් ඕනෑ නම් නවීන තාක්ෂණය පමණක් යොදා ගන්න තිබුණා. නමුත් ඔවුන් එහෙම කළේ නැහැ. ඒ තාක්ෂණයත් සමඟ ඔවුන් තබ්ලාව, වයලීනය වගේ භාණ්ඩත් යොදා ගත්තා. ඒ අනුවයි වර්තමානයේදී වුණත් ඔවුන් නිම වුණු නිර්මාණවල අතීත ගීතයේ සුවඳ අපට දැනෙන්නේ. නමුත් නව පරපුර මේ සියල්ල කරන්න යන්නේ නව තාක්ෂණයට අනුවයි. ඒ නිසා ඒ හඬට වඩා කලින් ගීතවල හඬ අපේ කනට සුමිහිරියි. මේ නිසාම ගීතවල පද අපට මතකයි. මේ හේතු නිසා මට නම් හිතෙන්නේ නව තාක්ෂණය නිසා අද ගීතයට කන කොකා හැඬු බවයි.
‘තඹරවිල’ වැඩසටහනත් විකාශය වන්නේ රාත්‍රී 10.00 ටයි. ඇයි මේ වැඩ සටහනේ වෙලාව වෙනස් නොකරන්නේ? බොහෝ දෙනා අපට ඔය චෝදනාව නඟනවා. ඒත් රාත්‍රී 9.30 වනතුරුම එක දිගට කතා විකාශය වන නිසා තඹරවිල වැඩ සටහන විකාශය කරන්නට ඒ අතර කාලයක් ගන්නට අපට නොහැකියි.
‘තඹරවිල’ වැඩසටහනට නරඹන්නන්ටත් සහභාගි විය හැකිද? ඔව්. සංහිඳ වැඩ සටහනේදී වගේම අප ළඟ නැති තොරතුරු, ඔවුන් ළඟ පමණක් තිබෙන විශේෂ තොරතුරු නරඹන්නන් සතු විය හැකියි. පෙර පරිදි ඒ තොරතුරු අප වෙත එවා ඔවුන්ටත් මේ වැඩ සටහනට සම්බන්ධ විය හැකි බවත් කියන්න ඕනෑ. මේත් සමඟම තවත් යමක් සිහිපත් කළ යුතුයි. ඒ මේ වැඩ සටහන සාර්ථකව ඉදිරිපත් කිරීමට අත හිත දුන් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාටත්, වැඩසටහන් අධ්‍යක්ෂ විපුල රත්නසිරි මහතාටත් විශේෂයෙන්ම ස්තුති කළ යුතුයි. මේ වැඩ සටහන සාර්ථක කර ගැනීමේ පිටුපස සිටින අප කණ්ඩායමේ සියලු දෙනාවත් මේ සමඟම සිහිපත් කළ යුතුයි. ඒ මට තනියම පමණක් මේ වැඩ සටහන ගොඩ නැඟීමට නොහැකි බව සිතන නිසයි.
|