වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




පෑලියගොඩ පොලීසියේ විනෝද වටය

පෑලියගොඩ පොලීසියේ විනෝද වටය

පනහ දශකය වන විට ශ්‍රී ලංකාවේ එකම විද්‍යුත් සන්නිවේදන මාධ්‍යය වූයේ ගුවන් විදුලියයි. එම යුගය ද ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය විය. මෙම යුගයේ ගුවන් විදුලි යන්ත්‍රයක් නිවසක තිබුණේ ද කලාතුරකිනි. එවැනි යන්ත්‍රයක් තිබෙන නිවෙසකට එකතුª වන බාල, තරුණ, වැඩිහිටි කාගේත් සිරිත වූයේ එකට රොක් වී ඊට සවන්දීමය. මේ වකවානුවේ ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ එම්. ජේ. පෙරේරා මහතාය. ඔහු එම තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වීම විශේෂත්වයක් විය.

එවක ගුවන් විදුලියේ සිංහල අංශයේ ප්‍රධානියා වූ තේවිස් ගුරුගේ මහතාගේ උපදේශකත්වයෙන් එච්. ඩී. විජේදාස විහිළු තහළු නමින් වැඩ සටහනක් නිෂ්පාදනය කළේය. ශ්‍රී ලාංකීය ගුවන් විදුලි ඉතිහාසයේ පෙරළියක් ඇති කළ මෙම වැඩ සටහන 1952 සැප්තැම්බර් 12 වැනිදා ප්‍රථම වරට විකාශය විය. ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුලේ රුද්‍රිගු, එච්. ටී. බස්නායක, එච්. ඩී. වීරසිරි මෙහි ආරම්භක රංගන ශිල්පීන් විය.

සජීවි ගුවන් විදුලි වැඩ සටහනක් වූ විහිළු තහළු විකට වැඩසටහන ඉතා කෙටි කලක් තුළ ශ්‍රාවකයෝ සතුටින් වැළඳ ගත්හ. සමාජයේ පවතින විවිධ චරිත දේශපාලන ක්‍රියාකාරකම්, උපහාස රසය කැටි කොට ඉදිරිපත් කළ අතර එය රටේ පාලන පැලැන්තියට නොරිස්සුම් සහගත විය. ඇතැම් දේශපාලඥයන් මෙම වැඩ සටහන කෙරෙහි කුපිත වූයේ විහිළු තහළු මඟින් කියූ දේ සත්‍ය වූ බැවිනි. එසේ සත්‍ය විහිළුවට ලක් කරමින් විහිළු තහළු 1959 දී ගුවන් විදුලි පාලන අධිකාරිය නතර කරනු ලැබීය. වසර කිහිපයක් ගුවන් විදුලියේ විනෝද වැඩ සටහනක් ඉදිරිපත් නොවීම නිසාම ඒ අඩුව පුරවාලන්නට වඩාත් උනන්දු වූයේ තේවිස් ගුරුගේ මහතාය.

දිනක් මට තේවිස් ගුරුගේ මහතා කතා කොට පැවසුවේ විහිළු තහළු කළ සියලු දෙනා එකතු කොට අලුත් දෙයක් කළ යුතුය කියාය. ඒ අනුව ඒ යෝජනාව මම සතුටින් භාර ගතිමි. අලුත් වැඩ සටහන තේවිස් ගුරුගේ මහතා විසින් විනෝද සමය නමින් නම් කරන ලදී. ඉතාම කෙටි කාලයක් තුළ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ජනප්‍රියම වැඩ සටහනක් බවට පත් වූ විනෝද සමයට මුල් වකවානුවේ මසකට පැය භාගයක ගුවන් කාලයක් වෙන් වී තිබිණි.

ගුවන් විදුලියේ හය වන මැදිරියේ පුංචි වේදිකාවක විනෝද සමය සජීවීව රඟ දැක්විණි. මුල් සමයේ වැඩ සටහන පටිගත කිරීමට පහසුකම් නොතිබිණි. එබැවින් වැඩ සටහනට හොඳ පෙර සූදානමක් ඇතිව සජීවීව ඉදිරිපත් කිරීමට මම වග බලා ගත්තෙමි. 1955 ජනවාරි මාසයේ සිට 1975 දෙසැම්බර් දක්වා මම විනෝද සමය කොටස් දෙසිය හතලිහක් නිෂ්පාදනය කළෙමි. විනෝද සමය ඉදිරිපත් කරන දාට ගුවන් විදුලියේ හය වන මැදිරිය රසික ජනතාවගෙන් පිරී ඉතිරී යයි. විනෝද සමයේ තේමා වාදනය සජීවීව ඇරැඹේ. එම්. ආරියදාස, ඩී. ඩී. ඩැනී, ඒ. ජේ. කරීම්, එම්. ඒ. පියදාස, එස්. නඩරාජා, ඇල්ෆඩ් කොරයා, මර්වින් විජේවර්ධන ආදී ශිල්පීහු එදා එයට සංගීතය සපයනු ලබති.

තේමා වාදනයත් සමඟ වැඩ සටහනට මුල පුරමින් මම ආයුබෝවන් විනෝද සමය අද වැඩ සටහන . . . නමින් හඳුන්වා දෙයි. ඒ තේමා වාදනයත් සමඟ ප්‍රේක්ෂකයන්ගේ අත්පොලසන් හඬ මැද වේදිකවේ සවි කර ඇති මයික්‍රෆෝන දෙක වෙත එන ඇනස්ලි, බර්ටි, සැමුලේ, ධර්ම ශ්‍රී මුණසිංහ ප්‍රේක්ෂකයන් සිනා සාගරයක ගිල්වමින් විනෝද සමය රඟ දක්වයි. සිනහව මුවග රඳවාගෙන ප්‍රේක්ෂකයෝ අව්‍යාජව විහිළු රස විඳිති. නැවතත් අතුරු වාදනයක් ගුවනට මුසු වේ. එදා විනෝද සමය සජීවීව සියැසින් දැක ගැනිමට හැකි වූයේ අතලොස්සකට පමණි. ඒත් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් ගුවන් විදුලියෙන් එය ශ්‍රවණය කරනු ලැබිණි. අපේ සමාජයේ විවිධ චරිත ගති ලක්ෂණ විහිළු තහළු තුළින් එළි දැක්වීම නිසාම බාල තරුණ වැඩිහිටි මහළු කාගේත් වැඩ සටහනක් බවට පත් විය. ගුවන් විදුලියෙන් හඬ පමණක් ඇසුණ ද එම චරිත සිතින් මවාගෙන ශ්‍රාවකයෝ විහිළු රස වින්දහ.

විනෝද සමයේ නිවේදන කටයුතුවලට අමතරව මම එහි රංගනයට ද දායක වීමි. ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ධර්ම ශ්‍රී මුණසිංහ මෙහි විවිධ චරිත රඟපානු ලැබිණි. මුල් කාලයේ ඇනස්ලිගේ බිරිය නොයෙලින්, සැමුවෙල්ගේ බිරිය ලිලියන් ද වරින් වර ගුවන් විදුලියේ විනෝද සමය රඟ දැක්වීමට එක් වූ කාන්තාවන් දෙපල වූවාය.

විනෝද සමයේ අප කා අතරත් අසමගිකම් නොවීය. එකිනෙකාට කපා ගැනීම් නොතිබිණි. අප කා තුළත් තිබුණේ එකිනෙකාට ගෞරවයකි. අප අතර පමණක් නොව අපගේ පවුල් අතර ද ඒ ලෙන්ගතුකම නොඅඩුව පැවතුණි. අපේ කට්ටිය එකට එකතු වුව ද එකිනෙකාට කර ගන්නේ ද විහිළුමය. දිනක් විනෝද සමය රඟපා ගුවන් විදුලියෙන් එළියට එන විට බාහෝ රෑ බෝ වී තිබිණි. අප සතර දෙනාම කැලණියේ පදිංචිකාරයන් වූ බැවින් විනෝද සමය රඟපා නිවෙස් බලා ගියේ එකටමය. සාමාන්‍යයෙන් පාරේ බසයේ නැග වෙනදා නිවසට ඒම අපගේ ක්‍රියා පිළිවෙත වුවත් එදින බොහෝ රෑ බෝ වූයෙන් අන්තිම බසය ද පිටත්ව ගොසිනි. එදින විනෝද සමය රඟපෑම වෙනුවෙන් මුදලක් ද ගුවන් විදුලියෙන් ලැබී තිබූ හෙයින් කවුරුත් කුලී කාරයෙන් ගෙදර යාමට කැමැත්ත පල කලහ. එවක කුලී කාරයක් සැතපුමක් යාමට ගනු ලැබුවේ රුපියලක මුදලකි. ටොරින්ටන්වලින් මොරිස් මයිනර් කාරයක නැග ගත් බර්ටි ඩ්‍රයිවර් අසල අසුනේ වාඩි විය.

ඇනස්ලි, මම, සැමුවෙල් අපි තිදෙනා පසුපස ආසනයේ වාඩි වුණෙමු. ඇනස්ලිටත් මටත් මැදිව වාඩි වූයේ සැමුවෙල්ය. අප රැගත් කාරය ටික දුරක් පැමිණෙනවාත් සමඟ කාරයේ ඩ්‍රයිවර්ට විහිළුවක් කරන්නට අපට සිත් විය. ඒ සඳහා මුල පිරුවේ මමය. ඇනස්ලිටත් මටත් මැදිව ඉන්නා සැමුවෙල්ට මුලින්ම ගෝරනාඩුවක් දැම්මේ මමය. ඒ සඳහා අනෙක් පසෙන් එක් වූයේ ඇනස්ලිය. මම හනික පැන සැමුවෙල්ගේ බෙල්ලෙන් අල්ලා ගත්තේ සැමුවෙල්ට හුස්මක් කටක් ගන්නට බැරි වන අයුරෙන්ය. සැමුවෙලුත් බොහොම අමාරුවෙන් කෙඳිරි ගාමින් හුස්ම ඉහළ පහල දමනුයේ මරණාසන්නව පණ අදින මිනිහෙක් අයුරිනි. ඇනස්ලි ද මහ හයියෙන් තෝව මරනවා ආයෙ දෙකක් නෑ කියයි. අපිට ඉස්සරහ සීට් එකේ වාඩි වී සිටින බර්ටි අප දෙදෙනාට අන දෙන අයුරින් පවසන්නේ මූව අද කොහොම හරි ඉවරයක් කරල අද මේ කේස් එක සෙට්ල් කරමු කියාය.

එසේ පැවසූ බර්ටි ඩ්‍රයිවර් දෙසට හැරී ඔහුට ද තර්ජනය කරනුයේ මේ පිළිබඳ කටෙන් කෙල බිඳක් නොහලන ලෙසත් අපි කියන තැනකට වාහනය ගෙන යන ලෙසත්ය. ඔය අතරේ සැමුවෙල් වචන පටලවමින් ගොත ගසමින් පවසනුයේ මට කරදරයක් කරන්න එපා බුදු මහත්තයෝ, මට යන්න දෙන්න, මගේ පවුල දරු පැටවු මට මොනවා හරි වුණොත් අසරණ වෙනවා යනුවෙන් විලාප තියයි.

සැමුවෙල්ගේ බැගෑපත් අසරණ ඉල්ලීම අතරේ අපෙන් පිටවන තර්ජන ගර්ජන හඬ නිසා කාරය පුරාවට එකම ගාල ගෝට්ටියකි. පාලු පාර දිගේ ඇදෙන රථයේ සිටි ඩ්‍රයිවර් අපේ උගුලට අසු වී ඇති බව ඔහුගේ හැසිරීමෙන් අපට තව තවත් පැහැදිලි විය. අපි සතර දෙනා දැන් හරි හරියට කාරෙක තුළ හොඳ රඟපෑමක නිරත වෙලාය.

ඒ වකවානුවෙ රූපවාහිනිය නොතිබුණු බැවින් මිනිසුන් අප හඳුනාගෙන තිබුණේ හඬින් පමණි. ඩ්‍රයිවර්ගේ සැකය එන්න එන්නම වැඩි වන බවක් අපට ද දැනෙන්නට විය. ඔය අතරේ බර්ටිගේ තර්ජන ගර්ජන මැද වාහනය පෑලියගොඩට ළඟා විය. ඩ්‍රැයිවර් එක් වරම කැලණිය දෙසට යාම නවතා පෑලියගොඩ පොලීසියට කාරෙක වේගයෙන් ධාවනය කොට දොර ඇරගෙන පොලීසිය ඇතුළට පැන දිව්වේ බුදු සර් මෙන්න මනීමරනවෝ කියා කෑ ගසමිනි. හතර වටින් දුවගෙන ආ පොලිස් නිලධාරීන් කාරෙක වට කර ගත්හ.

රාළහාමි මුන් තුන්දෙනා අර මිනිහව මරන්න හදනවා. සැමුවෙල්ව පෙන්වමින් ඩ්‍රයිවර් කෑ ගසන්නේය. අපිට දෙවියන් සිහි වූයේ එවිටය. අපි හතර දෙනා කාරයෙන් බැස්සේ කිසිදු දෙයක් නොවුණු ආකාරයෙන් වෙනසක් නොසඟවාය. පෑලිගොඩ පොලීසියේ සියල්ලන් අප හඳුනා ගත්තේය. එබැවින් ඔවුනට රියදුරාගේ කෑගැසීම අන්ඩර දෙමළයක් විය. එහෙත් අවසානයේ ඩ්‍රයිවර්ගේ පැමිණිල්ලට අනුව මෝටර් රථයේ අප රඟපෑ විනෝද සමය යළි පෑලියගොඩ පොලීසියේ ප්‍රතිනිර්මාණය කරන්නට අපට සිදු විය. මෙතෙක් වේලා බය බිරන්තව සිටි ඩ්‍රැයිවර් ගැන අපට ඊළඟට බය සිතුණේ ඔහු නොනවත්වා සිනහ වෙන්නට පටන් ගත් විටය.