වර්ෂ 2014 ක්වූ ජුනි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මීමුරේදී හිත රිදුණ හැටි

මීමුරේදී හිත රිදුණ හැටි

1972 වසරේදී සිනමාව ගැන ආශාවක් උනන්දුවක් තිබුණ බොහෝ තරුණයින් සිනමාවට පිවිසෙන්නට පෙර කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණය ගැන හැදෑරීමක් අවබෝධයක් ලබන්නට උනන්දු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මටද කෙටි චිත්‍රපට තුනකට පමණ රඟපාන්නට අවස්ථාව ලැබුණා.

දිනක් ප්‍රභාත් කුමාර නමින් තරුණයෙක් මගේ නිවසට පැමිණ ධර්මසේන පතිරාජ මහතා ගැන හැඳින්වීමක් කරමින් ඔහු අධ්‍යක්ෂණය කරන කෙටි චිත්‍රපටයක රඟපෑමට ආරාධනා කළා. ඒ අනුව නියමිත දිනට මා කැඳවාගෙන යන්නට ඔහුගේ සහෝදරයා පැමිණෙන බව දන්වා සිටියා. ප්‍රභාත් කුමාර මෙන්ම හොඳ සිනමාවක් ගැන උනන්දුවක් තිබුණ එකල හුරුබුහුටි ලාබාල තරුණයෙක්ව සිටි ඔහුගේ මල්ලී බන්දුල පද්මකුමාර නමින් මා හඳුනා ගත්තේ එදිනයි. ඔහු අද ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වීම කෙතරම් සතුටක් ද?

ධර්මසේන පතිරාජ මහතාගේ කෙටි චිත්‍රපටයකට හෝ රඟපෑමෙන් දායක වෙන්න ලැබීම මා ලද භාග්‍යයක් කොට සැලකුවත් එදින රඟපෑමට ගොස් ජීවිතේ ලබපු දුෂ්කර වෙහෙසකර අත්දැකීමකට මට මුහුණ පාන්නට සිදු වුණා.

රූපගත කිරීම් තිබුණේ ගමනා ගමන පහසුකම් නොතිබුණ ඉතාම නොදියුණු දුෂ්කර මී මුරේ කියන ගම්මානයේ. මම හිතන්නේ ඒ ගමට ගිය පළමුවැනි චිත්‍රපට කණ්ඩායම අපේ කණ්ඩායම විය යුතුයි. ඒ තරම්ම දුෂ්කර ගමනක්. රූගත කිරීම්වලට අවශ්‍ය බඩු භාණ්ඩ පොදි බැඳගෙන අත්‍යවශ්‍ය බඩු බූරුවන්ගේ පිටේ පටවගෙන හැතැප්ම දොළහකට වඩා කඳු නගිමින් පල්ලම් බසිමින් ඇල දොල තරණය කරමින් ගිය ඒ වෙහෙස කර ගමන කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා මා සමඟ අද සිනමාවේ සිටින ප්‍රවිණයන් මේ ගමන යන්නට සහභාගි වී සිටියත් ගමනේ තිබුණ වෙහෙස නිසා ඒ එක නමක්වත් මතකයේ සටහන් වුණේ නැහැ.

මෙහෙම මහන්සියෙන් කකුල් රිදෙන තුරු ඇවිදල ගම්මානයට ගියාම අපිට නවතින්න නිදාගන්න හරියට තැනක් තිබුණ කියලවත් මතක නැහැ. අපි සේරම නැවතුණේ ගමේ තිබුණ පුංචි පාසැලක. මටයි, අම්මටයි, මියුරි සමරසිංහ මහත්මියටයි පුටු බංකුවලින් වට කරලා පුංචි ඉඩක් වෙන් කරලා දුන්නා. ඊට කලින් ඒ වගේ අත්දැකීමක් මම ලබලා තිබුණෙ නැති නිසා මම හිතුවා අනේ මම මේ කොහේද ආවේ. ආයිත් ගෙදර යන්න තිබෙනවා නම් කියලා. ගෑනු ළමයෙක්ට

ධර්මසේන පතිරාජ

මියුරි සමරසිංහ

ප්‍රභාත් කුමාර

අවශ්‍ය පෞද්ගලිකත්වය රැකගන්න පුළුවන් නවාතැනක් නොලැබුණ එක ගැන එදා මම හුඟාක් දුක් වුණත්, ආපහු හැරිලා බලන කොට ඒ වගේ දෙගුණයකින් මම සතුටු වෙනවා මී මුරේ කියන දුෂ්කර ගම්මානයට යන්න ලැබීමත්, ලංකාවේ නමක් දිනාගත්ත දක්ෂ අධ්‍යක්ෂවරයෙක් යටතේ දවසක් හරි රඟපාන්න ලැබීමත් ගැන.

ගෝඩ් කිං චිත්‍රපටයේදී විජය අයියත් ලෙස්ටර් සර්ත් කියපු දේවල් මගේ හිතේ හොල්මන් කරමින් සිටින මොහොතක තමයි මට මේ ගමන යන්න සිද්ධ වුණේ. රවී මං ගැන ඒ අයට මොනව හරි කිව්ව ද නැද්ද, ඒ අය බොරුවට හදලා කියපු දෙයක් ද කියලා දන්නේ නැති වුණත් ඉන් පස්සේ මගේ හිතෙත් රවී ගැන පුංචි හැඟීමක් ආශාවක් බලාපොරොත්තුවක් ගොඩ නැඟිලා තියෙන්න ඇති. ඇත්තටම තරුණ ගැනු ළමයෙක්ගේ හිතේ එහෙම අදහසක් ඇති නොවුණා නම් තමයි පුදුමේ.

ඒ අවදියේ නළුවෙක් වෙන්න අවශ්‍ය සෑම සුදුසුකමක්ම අලුතෙන් සිනමාව පිවිසි මේ තරුණයාට නොඅඩුව පිහිටලා තිබුණා. උස, පාට, ක්‍රේල් කොණ්ඩය, තාරුණ්‍යය, පවුල් පසුබිම, මිල මුදල්, කිසිම දේකින් අඩුවක් තිබුණේ නැහැ. ලෙස්ටර් මහත්තයා පත්තරේකට ලියලා තිබුණා දෑස නිසා එකට තෝරා ගන්න හේතුව පිරිමියෙක්ට අවශ්‍ය මනා පෞරුෂත්වය ඔහුට හිමිව තිබීම නිසා කියලා. ඒ හැම දේම තිබුණත් මගේ නම් ඉස්සෙල්ලාම ඇහැ ගියේ රවීගේ හමේ පාටට. මට තාමත් මතක රවීව රත්තරන් පාටට. ඉතින් එහෙම කෙනෙක් මේ කොහේවත් යන කෙල්ලක් ගැන එහෙම කියලා තිබුණම ඒක ගැන නොහිතා ඉන්න නම් මගේ මොලේ පොඩි අඩුපාඩුවක් තියෙන්න ඕනෑ.

ඇත්තටම මම ඒ වෙන කොටත් විවාහයක් ගැන කවදාවත් හිතලා තිබුණේ නැහැ. මගේ ස්වාමි පුරුෂයා විය යුත්තේ මේ විදියේ කෙනෙක්, ඔහුගේ ගතිගුණ මේ විධිය විය යුතුයි, ඔහු කළු ද සුදු ද දුප්පත් කෙනෙක් ද පොහොසත් කෙනෙක්ද ඒ මුකුත්ම ගැන කල්පනා කරලා තිබුණේ නැහැ. නළුවෙක් ස්වාමි පුරුෂයා වෙයි කියලා හීනෙන්වත් හිතලා තිබුණේ නැහැ. මම නිළියක් වෙයි ද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ සිදුවීම් සියල්ලම කිසිම ආයාසයකින් තොරව නිකම්ම සිදු වෙච්ච දේවල්. දෛවයට, ඉරණමට ඕනෑ විදියට මම ඔහේ පාවුණා මිසක් මට ඕනෑ විදියට කිසිම දෙයක් වෙනස් කරන්නට නම් හිතුවේ නැහැ. ඒකෙන් මට හොඳක් මිසක්, නරකක් නපුරක් නොවීම නම් පුදුම දෙයක්.

සති අන්ත පුවත්පත් කියවන කොට තරුණ දූ දරුවන් නළු නිළියන් ගැන විස්තර මම ආසාවෙන් කියවනවා. ඒ දරුවෝ තමන් බඳින්නේ මෙන්න මේ වයසෙදි මෙන්න මේ ගතිගුණ තියෙන මේ වගේ කෙනෙක් කියලා හොඳ විශ්වාසයකින් දැක්මකින් කතා කරනවා. එතකොට මට මතක් වෙනවා මගේ තරුණ කාලේ ඇයි එහෙම මම කවදාවත් හිතුවේ නැත්තේ කියලා. ඒ කාලේ වෙනසද එක එක අය ජීවිතේ දකින හැටි ද කියලා මට තේරුම් ගන්න බැහැ. අලුත් පරපුර ජීවිතේ හැම දෙයක්ම වගේ ජීවිතේත් කළමනාකරණය කර ගන්නවා. ඇත්තටම ඒක හොඳ දෙයක්. එතකොට ඒ අයට ඉලක්කයක් තියෙනවා. ඒ කෙනා එතැනට යන්න උත්සාහ කරනවා. ඒ ගමනේදි දකින හැම බාධකයක්ම ජය ගන්නවා. වැරැදුන තැන් හදා ගන්නවා. උත්සාහයෙන් දෛවය වෙනස් කර ගන්නවා.

ඉතින් දීර්ඝ පා ගමනකින් පස්සේ මී මුරේ ඇවිත් රෑට හරියට නින්දකුත් නැතිව පහු වෙනිදා රූගත කිරීම් පටන් ගත්ත මොහොතේ සිනමාවට සම්බන්ධ ශිල්පියෙක් මට ඇහෙන්න සිනමාවට අලුතෙන් පිවිසුන තරුණ නළුවා රවීන්ද්‍ර රන්දෙණිය ගැන ලොකුª කතාවක් පටන් ගත්තා. ඔහුට තිබෙන දේපළ, ව්‍යාපාර, යාන වාහන, මේ සේරම දේවල් නිසා ගෑනුන්ගේ සිත් ගන්න ඔහුට තිබෙන දක්ෂකම, අත දිග ඇරලා වියදම් කරන නිසා කෙල්ලො කාන්දම වගේ ඇදිලා එන හැටි, පුංචි කෙල්ලො පවා එයාට රැවටෙන හැටි.

මේ දේවල් අහගෙන හිටියේ හිත ඇතුළෙන් පිච්චි පිච්චි. මේගොල්ලො මට ඇහෙන්න මේවා කියන්නේ මොකක් හින්ද ද කියලවත් මම හිතුවේ නැහැ. මම ඒවා ඇහෙන්නේ නැතිව වගේ අහක බලාගෙන හිටියා. එතකොට තව කෙනෙක් කිව්වා බැඳපු ගෑනු දෙන්නෙකුත් ඉන්නවලු නේද. එක් කෙනෙක් නම් නඩු දානවා කිව්වලු කියලා. ඒක ඇහුනා විතරයි මම හෝ ගාලා අඬන්න පටන් ගත්තා. ඒක ගැන දැන් නම් මතක් වෙන කොට ලැජ්ජාවේ පණ යනවා. මම පොඩි ළමයෙක් වගේ ඉකි ගගහා ඇඬුවා. අනේ මන්දා ඇයි මම ඒ තරම් බොළඳ විධියට හැසිරුණේ කියලා.

අම්මා ඇවිත් ඇහුවා මොකද මේ අඬන්නේ කියලා. මම කිව්වා මට හරි මහන්සියි, රෑ නින්ද ගියෙත් නැහැ, සනීප නැහැ වගේ, මට අද ෂූටිං කරන්න බැහැ කියලා. ධර්මසේන පතිරාජ මහත්තයා මගේ දිහා බොහොම කරුණාවෙන් බලලා මට අඬන්න නිවාඩුවක් දීලා වෙන කෙනෙක්ගේ දර්ශනයක් රූපගත කළා.

ලබන සතියට....