|
‘ගෝඩ්’ මේ සිංදුව ජනප්‍රිය වෙන්න‘නොදැක ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ’ කියන රුවන් හෙට්ටිආරච්චිගේ ‘මතකද හැන්දෑවෙ’‘අවුරුදු උත්සවේ තෑගි බෙදා දෙන වෙලාව එනවා. සාරිය ඇඳල පිට මැදට වැටෙන්න කොන්ඩ කරල් දෙකක් ගොතාපු අම්මගෙ උකුලට වෙලා මං බලන් ඉන්නවා. කවි ගායනා තරගයේ පළමු ස්ථානයට අම්මගේ නම කියවෙනවා. දෙවැනියා කවුරු වේවිද? මගේ පපුව වේගෙන් ගැහෙනවා. අන්තිමේදී දෙවැනියාගේ නම කියනවා. ඒ මම. අම්මා පස්සෙන්ම ගාට ගාට ගිහින් මං තෑග්ග ගන්නවා. අම්මාට සාරියක්, අවන් එකක් වගේ දෙයක් තමයි හුඟ වෙලාවට තෑගි ලැබෙන්නේ. ඒ කවිකාරිගෙම පුතා වෙච්ච මටත් ඉතින් බේසමක් නැතිනම් අත් ඔරලෝසුවක් තෑගි ලබෙනවා. මාතලේ වේරගම අපේ ගමේ අවුරුදු උත්සවයක කවි ගායනා තරගයක් තිබ්බොතින් ඉතින් දිනන්නෙම අම්මයි මමයි තමයි. වේරගම ඉස්කෝලේ ඩෙස් පුටුවල වාඩිවෙලා ඉන්න කට්ටිය නෙවෙයි. ඒව වැඩිපුරම ඔළුවෙ තියාගෙන ඉන්න කට්ටිය අතරයි මමත් හිටියේ. ඒ තමයි ඩෙස් පුටුවලට ගගහ සින්දු කියලා අහුවුණාම ලැබෙන දඬුවම. ඒත් ඉස්කෝලේ ක්‍රීඩා උත්සවය විවිධ ප්‍රසංගය වගේ දෙයකදී මුල්තැන ගන්නෙම අපේ කට්ටිය. පන්තියෙත් පස්සෙන්ම ඉඳගත්තට එහෙම දෙයකදි ඉස්කෝලෙටත් අපිව නැතිවම බැහැ. මේ වැඩ අතරෙදි අහල පහළ කොකෝවා වතුවලටත් වග කියනවා. ඒත් කොකෝවා කෑවට වතු අයිතිකරුවන්ට අපි අහු වෙලා නම් නෑ. ඕලෙවල් කරන්න මං එන්නේ මාතලේ විජේපාල විද්‍යාලෙට. එතකොට ගම් දූවිල්ලක්වත් ගා නොගෙන කිරි සුදුවටයි ඉන්නේ. කෙල්ලෙක් යාළු කරගන්න එහෙම නැතිව බැහැනෙ. හැබැයි මමයි මාත් එක්ක හිටිය කට්ටියටයි කෙල්ලො නම් යාළු කරගන්න බැරි වුණා. අපි හිතුවේ කෙල්ලො කතා වෙලාම අපිත් එක්කල යාළු නොවි ඉන්නවයි කියලයි. මියුසික්වලට මගේ ඇඟෙන්ම මාව හරවනව වගේ හැඟීමක් ඒ කාලෙදිත් මට දැනුණා. මං මාතලේ බෙල්වුඩ් සංගීත නිකේතනේට පිවිසෙනවා. මියුසික් බෑන්ඩ් එකක ප්ලේ කරන්න මගේ හිත බල කරනවා. වාදනය අතරෙදිම මට සින්දු කියන්නත් ලැබෙනවා. මං වැඩිපුරම කිව්වෙ නාමල් උඩුගමගේ සින්දු. ඔහොම මං නුවරට එන්නේ දෙදාහෙ අවුරුද්දේ. වැඩිපුරම මං පල්ලියේ ඇසුර ලබන්නේ එතකොට. චර්ච් එකේ අපේම බෑන්ඩ් එකක් තිබුණා. සුන්දරයි. ඒ කාලේ ගෙවුණෙම සංගීතයත් එක්කමයි. නිකම්ම මියුසික් කළාටම ජීවත් වෙන්න බැහැනෙ. මට එහෙම හිතෙනවා. අපි නුවර හිල්ටොප්, ටොපැෂ් වගේ හෝටල්වල සින්දු කිව්වේ ඒ නිසයි. ඒත් මේ ජොබ් එකක් කරනවා කියලා හිතාගෙන සින්දු කිව්වා නෙවෙයි. හෝටල්වලින් අපිට ගෙවන සල්ලිත් එදා එදාම අපි අතින් වියදම් වෙලා යනවා. හුඟක් දවසට නුවර හෝටලයට පහුවදාට යා ගන්න කීයක්වත් මගේ අතේ ඉතිරි වෙනනේ නැහැ. අම්මගෙන් සල්ලි ඉල්ලගෙන තමයි යන්නේ. ආයෙත් නම් ඔක්කෝම සල්ලි ටික වියදම් කරගන්නේ නැහැ කියල එතකොට හිතෙනවා. එත් රෑ වෙද්දි වෙන්නෙම ඒ ටිකමයි. සමහර කාලවලදී බෑන්ඩ් එකට වැඩ අඩුයි. එතකොට නම් මටත් සල්ලි අමාරුකම් දැණුනත් ඒවා එච්චර ගණන් නොගෙන මියුසික්වලම හිටියා. මියසික්ම උගන්වනවා කියලා හිතාගෙන මං කටුගස්තොට මියුසික් ඇකඩමියක් විවෘත කෙරුවා. මේ කාලෙදි මට කොළඹ බෑන්ඩ් එකකින් ආරාධනාවක් ලැබුණා. ෂෝ තියෙන දවසට මං හවස් වෙද්දි නුවරින් කොළඹ එනවා. පහුවදා පාන්දරට වෙන්න බස් එකෙන්ම ආයෙමත් නුවර යනවා. හරියට කොළඹ මඟ තොටවත් මං එතකොට දන්නේ නැහැ. ඒත් හෙමින් හෙමින් මිනිස්සු අඳුන ගත්තා. දැයට කිරුළ ප්‍රසංග වේදිකාවෙත් සිංදු කියලා තිබුණා. දවසක් චිත්‍රපටයකට සිංදු කියන්න අලුත් ගායකයෙක් තෝර තෝර හිටිය සුනෙත් මාලිංග මං පල්ලියේ ගීතිකා කියනවා දැකලා තිබුණා. ඉතින් ඔයත් ඉන්ටර්වීව් එකට එන්න කියලා මටත් කිව්වා. බම්බලපිටියේ ස්ටුඩියෝ එකකදී මං මට වඩා ප්‍රවීණ කීප දෙනෙක් අතර ඉඳගෙන ‘මතකද හැන්දෑවේ’ සිංදුව පුළුවන් තරම් හොඳට කිව්වා. ‘රුවන් මරුනෙ’ කියලා එයාල මාව තෝර ගත්තා. ෆිල්ම් එකේ සිංදුව හිට් වුණා. ඒත් කඩහ¼ඩින් මිසෙක රූපයෙන් කවුරුත් ඒ මමයි කියලා හඳුනාගෙන හිටියේ නැහැ. මතකද හැන්දෑවෙ සිංදුව රේඩියෝවලින් ප්‍රචාරය වෙනවා. මමත් පාර අයිනක නැතිනම් බස් හෝල්ට් එකකට වෙලා සිංදුව අහනවා. එතැනින් එහාට ඉදිරි ගමනක් නැති වෙයි ද කියලා මට බයක් වගේ හැඟීමක් දැනුණා. මෙහෙම හිතාගෙන මං කොළඹ එනවා. ඇත්තටම ඒ එන්නේ ලොකු අභියෝගයක් අරගෙනයි. කොළඹ මට නවාතැනක් තිබුණෙත් නෑ. මගේ ළඟ තිබුණෙම දෙවියන් වහන්සේට භක්තියත් විශ්වාසයත් විතරයි. කටුගස්තොට චර්ච් එකෙන් ලැබිච්ච උදව්වෙන් මට රාජගිරිය චර්ච් එකේ පිරිස අඳුනගන්න ලැබුණා. මාස හයක් විතර කොළඹදී මං කළේ මියුසික් ක්ලාස් තැනින් තැනට ගෙවල්වලට එහෙම ගිහින් මියුසික් ඉගැන්නුවා. මේ අතරෙදි මං මෙලඩීස් හැදුවා. මට මගේම තවත් සිංදුවක් කරගන්න තදින්ම ඕනෑ වුණා. ඒත් සිංදුවක් කර ගන්න තරම් සල්ලි මා ළඟ තිබුණේ නෑ. ඒත් මං මගේ යාළුවන්ට කිව්වා. එයාලගෙන් මට උදව් ලැබුණා. ‘නොදැක ඉන්න බෑ’ සිංදුව කිව්වේ එහෙමයි. මුල්ම වතාවට ඒ සින්දුව වොයිස් කරද්දී මං මගේ දෙවියන් වහන්සේට යාඥා කළේ ‘මේ සිංදුව ජනප්‍රිය වෙන්න ගෝඩ්’ කියලයි. ඇත්තෙන්ම විසි අවුරුද්දක් විතර කට්ට කාලා තිබිච්ච නිසා දැන් මං ස්ථාවර වෙන්නම ඕනෑ කියලා ලොකු අධිෂ්ඨානයක් මට තිබුණා. මගේ ප්‍රාර්ථනාව ඒ විදියටම ඉටු වුණා. මගේ සිංදුව වටේට හුඟ දෙනෙක් එකතු වුණා. මට හරිම සතුටුයි. කාලයත් මල් නොපිපිච්ච ගහක මලක් පීදුණා වගේ. ඒත් මාතලේ ඉපදිලා කොළඹ මේ තැනට එන්න විඳී දුකත් මං නිහතමානීව සිහි කළා. නොදැක ඉන්න බෑ ගීය විතරක්ම නෙවෙයි මං ගයන ගයන හැම ගීයම රසිකයන් ආදරෙන් වැළඳ ගත්තා. අද මේ වනතුරුත් එහෙමයි. මං කොළඹම නැවතුණා. මේ දවස්වල බිරිඳගේ අලුත් සැලොන් එකේ වැඩවලට උදව් දෙනවා. ඊට අමතරව නුගේගොඩ අපේ මියුසික් ඇකඩමියේ ස්ටුඩියෝවට වෙලා පාඩුවෙ නිර්මාණයක් කරමින් කල් ගෙවනවා. ඒත් හිත යට මොකක්දී හිතළුවක් වගේ හැඟීමක් තියෙනවා. කොළඹ හැමදේම මුදල්, ගමේ වගේ නෙවෙයි. මට පුරුදුම ගහක හැදෙන ගෙඩියක් ගහේදිම කාල ඇලේ දොළේ පැනල නාල විනෝදයෙන් කාලය ගත කරලයි. දැන් එහෙම දෙයකට වෙලාවක් ලැබෙන්නේ අඩුවෙන්. ඒත් යාළුවොත් එක්කල ඉඩක් ලැබිච්ච ගමන්ම ආයෙමත් ඒ ජීවිතේට යන්නයි මං කැමති. බාලේ වගේ ගස් නැගල, ගහෙන් දොළට පැනල, දිය යටින් පීනල, එගොඩහින් ගොඩ එන්න ඇත්නම් කියල මේ කොන්ක්‍රිට් මාලිගාවලම දවස ගෙවෙද්දී හුඟාක් වෙලාවට මට හිතෙනවා.’ මම රුවන් හෙට්ටිආරච්චි |