|
රාග, ද්වේෂ, මෝහ වඩන සිනමාකරුවන් සතර අපායේ වැටෙනවාසනත් අබේසේකර මහින්දාගමනයෙන් සිනමාකරණයට පිවිසි සනත් අබේසේකර සිය ප්‍රථම චිත්‍රපටයෙන්ම සමකාලීන ජන ආකර්ෂණීය බෞද්ධ සිනමා සංස්කෘතියක් උදෙසා මුල්ගල තැබීය. එහි තවත් පියවරක් ඉදිරියට යමින් ඔහු සිය දෙවැනි චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ‘සිරිදළදාගමනය’ නමිනි. පසුගිය 06 වැනිදා සිට සැවෝයි ඇතුළු ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල් පනස් පහක ප්‍රදර්ශනය ඇරැඹි ‘සිරිදළදාගමනය’ මේ වන විට සාර්ථකව තිරගත වේ. මෙලෙස අප ඔහු හා සංවාදයකට එක් වන්නේ එය නිමිත්තක් කොට ගනිමිනි.
ඔබේ අලුත් චිත්‍රපටයටත් පෙර මෙන්ම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවාද? ප්‍රතිචාර ඇත්ත වශයෙන්ම ‘මහින්දාගමනය’ චිත්‍රපටයට වගේම ලැබෙනවා. ඉතින් හරි සතුටුයි. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර මා සියැසින් දුටු දෙයක්. ඔවුන් පවුල් පිටින්ම ඇවිත් ‘සිරිදළදාගමනය’ නරඹනවා. ඉදිරියේදී මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර තවත් වැඩි වේවි.
‘සිරිදළදාගමනය’ වගේ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ඔබ අදහස් කළේ ඇයි? ඇත්තටම මගේ පළමු චිත්‍රපටය වූ ‘මහින්දාගමනය’ට තේමා වුනේ ජය ශ්‍රී, විජය ශ්‍රී මහ බෝ සමිඳුන් ලංකාද්වීපයට වැඩම කරවීම පිළිබඳ. ඒ ඓතිහාසික කතාව. ලංකාව කියන්නේ බෞද්ධ රටක්. බෞද්ධ ජනතාව වැඩිපුර ජීවත් වෙන රටක්. ඉතින් මේ රට තුළ තථාගත බුදුන් වහන්සේගේ අසූහාර දහසක් ශ්‍රී ධර්මස්කන්ධය ස්ථාපිත සතර දළදා වහන්සේලාගෙන් දෙනමක් වැඩ සිටිනවා. එතකොට බුදුන් වහන්සේගේ නෙත ගැටුණ ඒ ජය ශ්‍රී විජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඩ සිටින්නේ ලංකාවේ. මෙවැනි වටිනා වන්දනීය, පූජනීය වූ ඒ ජීවමාන බුදුන් වහන්සේ හා සමාන වස්තූන් තිබෙන රටක සිංහල, බෞද්ධයෙක් වශයෙන් මම ආඩම්බර වෙනවා මෙබඳු නිර්මාණයක් කිරීම ගැන.
ඔබ ටෙලි නාට්‍ය රැසක් තැනූ අධ්‍යක්ෂවරයෙක්. නමුත් අද ඔබ ඒ ටෙලි නාට්‍ය කලාවෙන් බැහැරව සිටින්නේ සිනමාව හරහා ලැබෙන මේ අසීමිත ජන ආකර්ෂණය නිසාද? මම ටෙලි නාට්‍ය තිස් දෙකක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ වගේම වේදිකා නාට්‍යය රැසක්. කාලයක් මම පුවත්පත් කලාවේදියකු විදිහටත් කටයුතු කළා. ඇත්තෙන්ම ඒ සියල්ලටම වඩා මට හොඳ පදනමක් වැටුණේ චිත්‍රපට අධ්‍යක්ෂණය හරහා. සිනමාවට මම පිවිසෙන්නේ අහම්බයෙන්. මොකද මට ආශාව තිබුණට මාර්ගයක් තිබුණේ නෑ සිනමාවට එන්න. අතිගරු ජනාධිපතිතුමන් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනෑ. එතුමාගේ ආශිර්වාදය නිසා තමයි මට ‘මහින්දාගමනය’ චිත්‍රපටය කරන්න ලැබුණේ. ඒ වගේම ‘සිරිදළදාගමනය’ චිත්‍රපටයටත් මට ඒ මඟ පෙන්වීම, ආශිර්වාදය නොපිරිහෙලා ලැබුණා.
සිනමාවට අහම්බෙන් පිවිසියත් දැන් ඔබට අරමුණක් තියෙනවා? ඔව්. ඇත්තෙන්ම මට අවශ්‍ය අපේ රටේ බෞද්ධ සිනමා සංස්කෘතියක් ඇති කරන්න. ඒ අභිප්‍රාය, ආසාව දැන් දැඩි ලෙස ඉස්මතුª වෙලා තියෙනවා. ඉදිරියටත් මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ බෞද්ධ තේමාවන් රැගත් චිත්‍රපට නිර්මාණය කරන්න. ඒ හරහා ප්‍රේක්ෂකයා ශ්‍රද්ධාවට පත් කිරීමත්, ආනන්දයෙන්, ප්‍රඥාව කරා රැගෙන යාමත් තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ. මමත් ඒ තුළින් ආනන්දයෙන්, ප්‍රඥාවට පත්වීමත් එක්තරා සතුටක්.
නිරන්තරයෙන් බුදු බණ අහන රටක් වුණත් අද අපේ සමාජයේ සාරධර්ම, සීඝ්‍රයෙන් පිරිහෙන බවක් පෙනෙනවා. එවැනි පසුබිමක පුළුවන් වෙයි ද සිනමාව හරහා මිනිසුන් යහමඟට ගන්න. ඔවුන්ගේ මේ අදමිටුකම් දුරු කරන්න? මේ හැම දේකටම මුල හිත නේ. හිත මුල් කරගෙනයි හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ. බුදුහාමුදුරුවෝ තමයි මේ හිත ගැන හරියට තේරුම් ගත්තේ. ඊට පස්සේ පහදලා දුන්නේ. මේ සිත හරිම අහිංසකයි. හරිම නම්‍යශීලියි. මේ සිත නිසා ඕනෑම කෙනෙකුට රජ වෙන්නත් පුළුවන්. බුදු වෙන්නත් පුළුවන්. ඉතින් මේ සිත දමනය කර ගන්න කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මටත් ඕනෑ වෙලා තියෙන්නේ මේ සිනමාව කියන දැවැන්ත මාධ්‍යය තුළ රාග, ද්වේශ, මෝහ කියන එක අයින් කරලා ශ්‍රද්ධාව, ආනන්දය හා ප්‍රඥාව ඇති කරවන්නයි. මට එහෙම කරන්න පුළුවන් නම් ඒක මම කර ගන්න ලොකු පුණ්‍යකර්මයකුත් වෙනවා.
නමුත් සිනමාව විනෝද මාධ්‍යයක් කියන එක අපිට බැහැර කරන්න බැහැ නේද? අනිවාර්යයෙන්ම. මම බෞද්ධ චිත්‍රපට කරනවා කියලා අනෙක් චිත්‍රපටවලට මම විරුද්ධ වෙන්නේ නැහැ. නිර්මාණකරුවාට අයිතිය තියනවා තමන් රිසි දේ කරන්න. නමුත් බුදු දහම අනුව ජීවත් වෙන අපි කර්මඵලය විශ්වාස කරනවානේ. එතකොට අපි කරන දේ අනුව තමයි අපට ඉදිරි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක මෙලොවදිමත් ඵල දෙන්න පුළුවන්. නැත්නම් ඊළඟ භවයේදී ඵල දෙන්නත් පුළුවන්.
හේතුඵල වාදය . . .? හේතුඵල වාදය. ඉතින් එහෙමනම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මය අනුව අපි දන්නවා රාග, ද්වේශ, මෝහ අවුස්සන නිර්මාණ එහෙම නැත්නම් රංගනයන් ඉදිරිපත් කළොත් අනිවාර්යයෙන්ම සතර අපායට වැටිලා කල්ප ගාණක් දුක් විඳින්න සිදු වෙන බව. බුදු බණේ එහෙම සඳහන් වෙනවා. ඒ වගේම තමයි කෙනෙකු ශ්‍රද්ධාවට පත් කරනවා නම්, ආනන්දයෙන්, ප්‍රඥාව කරා රැගෙන යනවා නම් ඒ පුද්ගලයාට කල්ප ගණනාවක් දිව්‍ය ලෝකවල, දිව්‍ය සැප සම්පත් විඳින්නට වාසනාව ලැබෙනවා. ඉතින් බුදු දහමේ මෙච්චර පැහැදිලිව ඒ බව දේශනා කරලා තියෙද්දි ඇයි අපි අන්ධයෝ වගේ ජීවත් වෙන්නේ.
ඔබේ පළමු චිත්‍රපටය ‘මහින්දාගමනය’ නැරඹූ ඇතැම් විචාරකයකු සඳහන් කළේ එය වාර්තාමය චිත්‍රපටයක් වගේ කියලයි. සමහරු අයියෝ ‘මහින්දාගමනය’ හරියට වෙසක් නාට්‍යයක් වගේ කියලත් කිව්වා. අද ඔබ ඒවාට දෙන පිළිතුර? මෙහෙමයි, ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒ තරම් දරුණු විචාරයකට, විවේචනයකට ලක්වුණ එකම සිනමාකරුවා මම වෙන්නැති මෑත කාලයේ. ඒත් මම ඒ හැම දේටම නිශ්ශබ්දව හිටියා. මට පහර ගහන්න, ගහන්න, ප්‍රේක්ෂකයෝ වැඩි වැඩියෙන් මේ චිත්‍රපටය නැරඹුවා. ලංකාවේ විතරක් නෙවේ පිටරටවලදී පවා සිනමා ශාලා ඉතිරිලා යන තත්ත්වෙට ප්‍රේක්ෂකයෝ චිත්‍රපටය බලන්න ආවා. කවුරු මොනවා කිව්වත් මම මට අවංකව, නිර්මාණයට අවංකව ඒක කරලා තියෙනවා. ඉතිං ඒක නිසා මට ඒ විවේචන ගැන කිසිම වේදනාවක්, සිත් රිදීමක් නෑ. මම කළේ යහපත් දෙයක්. ඒ යහපත් දේට මට ඉදිරියේදී යහපත් ප්‍රතිඵල ලැබෙන බව මට විශ්වාසයි.
ඔබ කළේ යහපත් කාර්යයක් කියන එක ගැන තර්කයක් නෑ. ඒත් සිනමාත්මක භාවිතය තුළ ඔබ ඒ ගනුදෙනුව හරිහැටි සිදු කළාය කියන විශ්වාසය ඔබ තුළ තිබෙනවා ද? ඔව්, ඔව්. මෙහෙමයි. සමහරු අද සිනමාව වර්ගීකරණයට ලක් කරනවා. අද විතරක් නෙවේ ඇත්තටම ඒක එදත් තිබුණා. අර චිත්‍රපටය සම්භාව්‍යයි, මේක වාණිජයි කියලා. එහෙම දෙයක් නෑ. ඒ වගේ හංවඩු ගහලා චිත්‍රපට හඳුන්වන්නේ මේ ලංකාවේ විතරයි. ලෝකේ අනෙක් රටවලට ගියාම අපිට එහෙම දේවල් අහන්න, දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම වර්ගීකරණයක් ඔවුන්ගේ නැහැ. ඒක තීරණය කරන්නේ ප්‍රේක්ෂකයෝ. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව තමයි ඒගොල්ල චිත්‍රපටයක සාර්ථකත්වය, අසාර්ථකත්වය මනින්නේ. එහෙම නැතිව කුහකත්වයෙන්, ඊර්ෂයාවෙන් නිර්මාණයක් දෙස හෝ නිර්මාණකරුවකු දෙස බලලා වැඩක් නැහැ. මගේ සිනමාවේ වර්ග භේදයක් නෑ. කවුරුත් එහෙම කරනවාට මම කැමැතිත් නෑ.
එතකොට ඔබ චිත්‍රපට හදන්නේ මේ රටේ බෞද්ධ ජනතාව වෙනුවෙන් කිව්වේ? අපේ රටේ වැඩිපුර ඉන්නේ බෞද්ධ ජනතාව. ඉතින් මම චිත්‍රපටයක් හදන්නේ අපේ රටේ ජනතාවට. ශ්‍රී ලාංකිකයන්ට. ඒ නිසා අනෙක් ඕනෑම ආගමක, ඕනෑම ජාතියක ප්‍රේක්ෂකයකුට වුණත් මගේ චිත්‍රපට නරඹන්න පුළුවන්. අපේ ජනතාව විශාල වශයෙන් මගේ චිත්‍රපට නරඹනවා. මට ඒ ගැන සතුටුයි. ඉතින් එතැනින් එහා දෙයක් ගැන මම හිතන්නේ නෑ.
ශ්‍රද්ධාව, ආගමික භක්තිය කියන්නේ බොහොම සංවේදී කාරණාවන්. එවැනි නිර්මාණවලට වැඩි ජනතා ආකර්ෂණයත් ලැබෙන්නෙත් ඒ නිසාමයි. හැබැයි එතැනින් එහාට ගිහින් මේ මහ පොළොවේ පය ගසා ජීවත් වෙන මිනිසුන්ගේ සැබෑ ජීවන රිද්මය සිනමාවට නඟන්න ඔබට පුළුවන් ද? ඇයි ඔබ ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්නේ. ඒක අභියෝගයක් හැටියට ද?
නෑ. මට පේන්නේ ඔබ ආගමික රැල්ලේ එල්ලිලා යන අධ්‍යක්ෂවරයෙක් හැටියට? මම ඒ වගේ අභියෝගවලට මුහුණ දෙන්න යන්නෙත් නෑ. මොකද මගේ ජීවිතේ වැඩිපුර කාලයක් මම ගෙවන්නේ, බුදු දහමට අනුකූලව. මම හැම පෝයකටම සිල් සමාදන් වෙනවා. ඒ වගේම මම හැමදාම කැළණි විහාරයේ බුද්ධ පූජාවට සම්බන්ධ වෙනවා.
හැමදාම? අසනීපයක් හෝ වෙන යම් නොවැලැක්විය හැකි කරුණත් තිබුණොත් හැර මම සැමදාම ඊට සහභාගි වෙනවා. ‘මහින්දාගමනය’ චිත්‍රපටය හදන්න අවුරුද්දකට විතර කලින් තමයි මම මේ දැහැමි ජීවිතය ආරම්භ කළේ. ඒ සදහම් ජීවිතය මම දිගටම ගෙන යනවා. ‘බුදු දහම’ තේමා කරගත් චිත්‍රපටයක් හැර වෙන නිර්මාණයක් ඉදිරියේදී මගෙන් බිහි වෙයි කියලා මම හිතන්නේ නෑ. බුදුහාමුදුරුවෝ තමයි මගේ ජීවිතයේ මුල්තැන ගන්නේ. ඊළඟට මගේ බිරිය, දරුවෝ. ඒ විදිහට තමයි මම ජීවිතය හැඩගස්සා ගෙන තියෙන්නේ. මොකද බුදුහාමුදුරුවෝ දෙසූ සත්‍යය මට වැටහිලා තියෙනවා. ඒ නිසා මම පවට බයයි. පිනට ලැදියි.
|