වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




බිරියත් එක්ක බර්ටි පොලිස් රියට

බිරියත් එක්ක බර්ටි පොලිස් රියට

මෙන්න මේ සිද්ධිය වෙන කාලේ මම පොඩි එකාගෙ චරිතය කරන වකවානුවයි. මගේ ජනප්‍රියත්වයත් හිණි පෙත්තේම තියෙන මේ කාලේ මම වේදිකාවට එනකොටම නරඹන්නෝ හිනාවෙන්න පටන් ගන්නවා. මාව පාරක දැක්කත් දෙපාරක් හැරිල බලන කාලේ මම ජම්පර් කලිසම ඇඳල වතුර බෝතලය, පොත් බෑග් එක කරේ දාගෙන සූප්පුව කටේ දමාගෙන එනකොට ආයෙ දෙකක් නෑ. විසිල් පාරත් එක්ක කවුරුත් හිනාවෙනවා. මේ වගේ පුදුම ආකාරයේ රසික ආදරයක් ගෞරවයක් මට තිබුණ කාලෙක මට හරි අපූරු සිද්ධියකට මුහුණපාන්න සිද්ධ වුණා.

අපි වේදිකාව් හිනාවෙලා හිටියට අපේ පෞද්ගලික ජීවිතයේදී අනෙක් අයට වගේම අපිටත් ප්‍රශ්න තියෙනවා. අපේ පෞද්ගලික වැඩකට ගියත් ඇතැම් අය අපේ රංගන ජීවිතය සංසන්දනය කරලා කටයුතු කරන අවස්ථාවන්ටත් මට මුහුණපාන්න සිද්ධ වුණා. එක දවසක් මගේ බිරිය සෝමාට අසනීප තත්ත්වයක් හැදිලා බේත් ගන්න ගියේ මරදාන ප්‍රදේශයේ දොස්තර මහත්තයෙක් ළඟට. ඒ දවස්වල මමත් සෝමත් පදිංචි වෙලා හිටියේ මරදාන කිට්ටුව.

අපි දෙන්නා ඉතිං හෙමින් හෙමින් පාරේ ඇවිදගෙන ගියේ දොස්තර මහත්තයාගේ ඩිස්පෙන්සරියට වැඩි ඈතක් නැති නිසා. ඔහොම යන කොට පාරේ සමහරු මාත් සමඟ හිනා වුණා. අතින් එහෙමත් ඇල්ලුවා. ඔය ඉතිං මාව හඳුන ගත්ත අයගේ තියෙන ආදරය ප්‍රකාශ කළ හැටි. ඔහොම ඉතිං මම ඇවිදගෙන ගියේ කොළඹ ආනන්ද විද්‍යාලය කිට්ටුවෙන්. ඔහොම යන කොට එක පාරටම මහා ඝෝෂාවක් ආවා. මම ඒ දෙසට හැරිලා බැලුවා. බලන කොට ගැටවර වියේ පාසල් ඇඳුමෙන් සැරසුණු කොල්ලො ටිකක් මට කතා කරනවා. මම ඉතිං ඒ අයටත් ඔළුව නවල හිනාවකින් සංග්‍රහ කළා. මට හිතාගන්නත් බෑ මම එහෙම හිනා වුණාම කොලු රංචුව කලේ මගේ දෙසට දුවගෙන එන එක. හරියට නිකන් කාලෙකින් කුසගින්නේ ඉඳලා රස ගොදුරක් හම්බ වුණු සිංහයෝ රැලක් ගොදුරක් ඩැහැ ගන්න පනිනවා වගේ මේ ළමයි ටික මගේ ළඟට කඩා පැන්නා. දැන් ඉතිං මේ අය මගේ ළඟට කෑගහගෙන පැන්න විතරක් නෙවේ. මගෙන් එක එක දේවල් අහනවා. විහිළු කරන්න කියනවා.

1959 අගෝස්තු 28 වැනිදා රත්නපුරයේදී බර්ටි ගුණතිලකයන් විවාහ වූයේ ඇමටියගොඩ අලහකෝන් මුදියන්සේලාගේ සෝමා සමඟය.
බර්ටි - සෝමා මංගල ඡායාරූපය

මේ ළමයි මගේ එහෙන් මෙහෙන් අල්ලනවා. සමහරු මාව මිරිකනවා. කොනිත්තනවා. කිතිකවනවා. හරියට බලලෙකුට ගොදුරක් අහුවුණා වගේ. සමහරු අහනවා පොඩි එකා කෝ සූප්පුව කියලා. සමහරු කලිසම ගැන අහනවා. ඉස්කෝලෙ යන බෑග් එක, වතුර බෝතලය ගැන අහනවා. මට දැන් කරකියා ගන්න දෙයක් නෑ. අහන අහන දේට මම දෙන උත්තරය මේ අයට කොක් හඬලා හිනා වෙන්න හොඳ උත්තේජනයක් වුණා. ඇත්තම කියනවා නම් මගේ ඇඟේ තියෙන රංගනය එළියට ඇවිත් වගේ.

මම දැන් දෙලෝ රත් වෙලා කල්පනා කරනවා මේ අයගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. හරියට පිස්සො ගොඩකට මාව අහුවෙලා වගෙත් කියලා මට හිතුණා. නෝනට බේත්ගන්න ඇවිත් මේ මොකද වුණේ කියලා හිතුණා. ආනන්ද විද්‍යාලයේ විවේක වෙලාව නිසා ළමයි කවුරුත් එළියට ඇවිත්. ළමයින්ගේ මේ කියුම් කෙරුම් නිසා පාරේ යන අයත් නැවතිලා මේ කරන කියන දේවල්වලට හොඳ හැටි හිනාවෙනවා. එන්න එන්නම මේ අයගෙන් මට වෙන බලපෑම් උත්සන්න වුණා. මෙහෙම ටික වෙලාවක් ගතවෙද්දී ළමයි ටික කලේ මාව උස්සල කරට ගන්න එක. දැන් ඉතිං මේ අය කෑගහනවා. මෙන්න අපේ රජ්ජුරුවෝ, විකට ලොවේ රජ්ජුරුවෝ, විකට රජා, මෙන්න රජා, බර්ටි රජා විකට රජා, අපේ රජා මෙන්න රජා කියලා. අනේ ඉතිං මම මේ පිරිසට නොවඳින වැඳුම් වැන්ඳා. පිං සෙන්ඩු වුණා මාව බිම තියන්න කියලා. කොහොම හරි ළමයි මාව උඩ දදා කෑගහනවා.

 වටේ ඉන්න අයත් බඩ අල්ලන් හිනා වෙනවා. කවුරුවත් මට උදව්වට එන පාටක් නෑ. බිරිඳත් කර කියා ගන්න දෙයක් නැතුව පුදුම වෙලා බලන් ඉන්නවා. මහ පාරේ හරියට නිකන් විකට ජවනිකාවක් රඟපානවා වගේ. මම දැන් හොඳටම අසරණ වෙලා. ප්‍රසිද්ධ වුණාම විඳීන්න වෙන කරුමෙක මහත කොහොමද කියලා මට තේරුණේ මෙන්න මෙතනදි තමයි. නොවඳිනා වැඳුම් වැන්ඳත් කොල්ලො මාව බිම තියන පාටක් නෑ. ඒ කාටත් මාව මේ ආකාරයට ඔසවාගෙන නටන එක විශාල දෙයක්. ඔය අතරේ මගේ වටා සෙනඟ පිරිලා. කොහොම හරි පාරේ ගිය පොලිස් ජීප් එකක් මේ සෙනඟ රැස් වෙලා ඉන්න තැන නැවැත්තුවා මොකද කියලා බලන්න. ඒ අයටත් හිනා මාව කර උඩ තියන් උඩදාන ළමයින්ගේ කෙරුවාව දැකලා. කොහොම හරි මම පිං සෙන්ඩු වෙනවා දැකලා පොලීසියේ මහත්තුරු ඇවිත් ළමයින්ගේ කරමතින් මාව බිමට බස්සලා දුන්නා. ඒත් ළමයින්ගෙන් ආයෙත් ගැලවිල්ලක් මට ලැබෙන්නේ නැති බව දැනගත් පොලීසියේ මහත්වරු මාව ජීප් එකට නංවාගෙන බිරියවයි මාවයි බේත්ගන්න තැනට ඇරලුවා.

අන්තිමට මට වුණේ බිරියට බේත්ගන්න ගිහින් අර දඩබ්බර කොල්ලෝ එක්ක ඔට්ටු වෙලා මටත් ඇඟේ අමාරුවට බේත් ගන්න.