වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සංත්‍රාසය සහ භාර්යාව

සංත්‍රාසය සහ භාර්යාව

නාන කාමරයක ඇති වතුර මලකින් දිය නාන ගැහැනියකි. තිරය එකවරම ඇදී යයි. ඉහලට එසැවෙන පිහිය සමග බයෙන් බිරාන්ත වන ගැහැනියගේ මරලතෝනිය අනතුරුව අප දෙසවන් පුරා පැතිර යන්නේ සංත්‍රාසයෙන් අප මුලු ගන්වමිනි. පිහිය ඇයගේ සිරුර විනිවිද යන අයුරු මනසින් දකින අප එතුවක් පටන් ජීවත් වනුයේ එකී බියකරු මරණය ඉතා ඉක්මනින් ගොදුරු කර ගනු ඇතැයි යන සංකාව ද සමගය.

ලෝක සිනමාවේ වඩාත්ම සංත්‍රාසජනක චිත්‍රපට අතර ඉතා ඉහළින් සළකනු ලබන සයිකෝ චිත්‍රපටයේ එන එකී ජවනිකාව සිනමා ඉතිහාසයේ අමරණීය දර්ශණ මාලාවක් බැව් අවිවාදාත්මකය.වර්තමානයේ සිනමා විචාරකයන් විසින් ලොව බිහිවුන විශිෂ්ටතම සිනමා කෘති අතරෙහි ද සයිකෝ සළකනු ලබති. ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ චිත්‍රපට අතර ප්‍රියතම චිත්‍රපටය කවරෙක්දැයි මගෙන් විමසූ කළ මගේ පිළිතුර වනුයේ රියර් වින්ඩෝ බවය. එහෙත් රූප රචනය, චරිත ගොනු කිරීම සංත්‍රාසය බිහි කිරීම ආදී සියලු කරුණු එක් තැන් කරද්දී සයිකෝ කිසි විටෙකත් දෙවැනි තැන්හි ලා සළකන්නට මම අපොහොසත් වීමි. වර්තමාන සිනමා හදාරන්නන් අත අත් පොතක් බවට ද පත්ව ඇති සයිකෝ ආරම්භයේ පටන්ම විශිෂ්ට චිත්‍රපටයක් ලෙස සළකනු ලබයි. ලොව විශිෂ්ටතම සිනමාකරුවන් දහ දෙනා අතරෙහි ලා පවා ගැනෙන නමුදු සයිකෝ නිර්මාණය කළ ඇල්ෆ්‍රඩ් හිච්කොක් කිසි කලක ඇකඩම් සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂක ලෙස සම්මානයට පාත්‍ර වී නොමැත්තේය.

මෙවර මගේ එඩිටර්ස් කට් ලිපි මාලාවට පාදක වනුයේ හිච්කොක්ගේ සයිකෝ ගැන නොව සයිකෝ තැනීමේ කතාව පිළිබද චිත්‍රපටයක් ගැනය.එම චිත්‍රපටය නම් කර තිබුණේ හිච්කොක් යනුවෙනි. හිච්කොක් චිත්‍රපටයට පාදක වනුයේ 1990 වසරේ දී ස්ටීවන් රිබෙලෝ විසින් ලියන ලද ඇල්ෆ්‍රඩ් හිච්කොක් ඇන්ඩ් ද මේකිං ඔෆ් සයිකෝ යන කෘතියයි. හිච්කොක් චිත්‍රපටය නිර්මාණය කරනුයේ සචා ගර්වාසි විසින්ය. ගර්වාසි බ්‍රිතාන්‍ය ජාතික පුවත් පත් කාලවේදියකු වන අතර එය ඔහුගේ මුල්ම චිත්‍රපටය විය. ගර්වාසි උපත ලබනුයේ 1966 වසෙර්ය. සයිකෝ මුල්වරට තිර ගතවනුයේ 1960 වසෙර්ය.මේ චිත්‍රපටය වස්තු විෂයකර ගනුයේ හිච්කොක් සහ ඔහුගේ භාර්යාව වන ඇල්මා යන දෙදෙනා ගේ ජීවිතය සහ මෙම මාහැඟි චිත්‍රපටයට ඔවුනොවුන් විසින් දෙනු ලබන නිර්මාණාත්මක කැපවීමයි. සිනමා සංත්‍රාසයේ මහා නිර්මාණකරුවා ගේ අභ්‍යන්තර ජීවිතය පිළිබද විටෙක හාස්‍යෙයන් ද උපහාසයෙන් ද නරඹන්නට ගර්වාසි උපයෝගී කරනුයේ ඔහුගේ ත්‍රාසජනක චිත්‍රපටය වූ සයිකෝ වීම එක් ආකාරයකට සරදමක් ලෙස සැළකීම යුක්ති සහගතය.

සිනමාකරුවන් බහුතරය විසින් ගුරුතැන්හි ලා සළකනු ලබන ජෝන් ෆෝඩ් මෙන්ම හිච්කොක් ද නිර්මාණකරණයෙහි හිතුවක්කාරයන් විය.ඔවුන් දෙදෙනාම විවාහ වනුයේ එක් වරකි.එහෙත් සිය සිනමා භාවිතය මගින් ත්‍රාසය ගෙන ආවාද හිච්කොක් යනු ෆෝඩ් මෙන් සැබෑ ජීවිතයේ චණ්ඩියෙකු නොවීය. ෆෝඩ් මෙන් හිච්කොක් පිළිබඳ රහස් ආදර කතා ගෙතී නැත. එහෙත් ඔහු ඇතැම් නිළියන්ගේගේ විලාසිතාවන් ට වහ වැටී සිටි වග නොරහසකි.ඒ පිළිබඳ ජනප්‍රිය ඕපාදූප එමටය. එහෙත් ඒ සියල්ල නිවසේ සයනයට ගෙන නොඒමට තරම් හිච්කොක් ප්‍රවේශම් විය.

1926 වසරේදී හිච්කොක් ඇල්මා ලුයී රෙවිල් සමග විවාහ වන විට දෙදෙනාගේම වයස අවුරුදු 27 ක් විය. 1899 අගෝස්තු 13 වැනි දින උපන් ඇල්ෆ්‍රඩ් හිච්කොක්ට වඩා ඇල්මා බාල වූයේ එක් දිනකයකින් පමණකි. 1980 වසරේ දී හිච්කොක් ගේ මරණයෙන් කෙළවර වන තෙක්ම පනස් වසරකට වඩා යහපත් විවාහ ජීවිතයක් ගත කරන්නට දෙදෙනාම සමත් වූහ. ඔහුගේ මරණයෙන් පසු රෝගාතුර වන ඇල්මා ද එයින් දෙවසරකට පසු දිවියෙන් සමු ගත්තාය. හිච්කොක්ගේ චිත්‍රපට තුනකට පමණක් රංගනයෙන් දායක වන ඔවුන්ගේ එකම දියනිය පැට්‍රිෂියා පසුකලක සිය මෑණියන් පිළිබඳ කදිම ග්‍රන්ථයක් ඇල්මා හිච්කොක්,ද වුමන් බිහයින්ඩ් ද මෑන් නමින් රචනා කළාය. හිච්කොක් මෙන්ම ඇල්මා ද ඔවුනොවුන් ඉතා හොඳීන් තේරුම් ගත් අඹු සැමි යුවළක් සේ පතල වුව ද හිච්කොක් චිත්‍රපටය ඉතා කදිම ලෙස අනාවරණය කරනුයේ ඔවුනොවුන් ගේ ජීවිතය වටා ගෙතුන ඊර්ෂ්‍යාව මුසු ආදරය බිරිඳකගේ ආදරබර පාලනය ආදි කරුණු හරහා විශිෂ්ට සිනමා නිර්මාණයක් බිහි වන ආකාරයය.

1959 වසරේ දී හිච්කොක් සිය නෝර්ත් බයි නොර්ත්වෙස්ට් චිත්‍රපටය නිම කළ පසු ඔහුට ඇති වන ප්‍රධානම ගැටළුව වනුයේ එයින් එහා කළ යුතු වන්නේ කුමක්ද යන්නය. එක් විචාරකයකු ගේ මතය අනුව දැන් ඉතින් හිච්කොක් විශ්‍රාම යා යුතුය. බිරින්දෑගේ උපදේශය නම් සිනමා විචාර වැනි එකඑකාගේ මනස්ගාත විකාර නොකියවා තම තමන් චිත්‍රපට කළ යුතු වගය. 1959 වසරේම එළි දුටු සයිකෝ නවකතාව ඔහු අතට පත් වනුයේ ඒ අතරතුරය. එහෙත් සයිකෝ වැනි මුල් අවදියේම කතා නායිකාව මරා දමන පුවතක් රැගත් චිත්‍රපටයකට ඇල්මා එකඟ වනුයේ නැත. ඉයන් ෆ්ලෙමිං ගේ ජේම්ස් බොන්ඩ් චරිතය ඇතුළත් කැසිනෝ රෝයල් වැනි වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක් ඇල්මා ගේ යෝජනාව වී තිබිණ.එහෙත් වසර ගණනාවකට පෙර අමෙරිකාව සළිත කළ සැබෑ මිනිමැරුම් සමූහයක් ඇසුරෙන් ලියුවුණ සයිකෝ හිච්කොක් සිය මීළඟ චිත්‍රපටය ලෙස තෝරා ගෙන තිබිණ. ඇල්මා ඔවුනගේ හිතවත් විට්ෆීල්ඩ් කුක් ගේ තිර රචනයක් කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන සිටියය. ඒවෙනුවෙන් ඇය කිහිප වරක්ම ඔහු හමුවන්නට ඔහුගේ මුහුදු අද්දර නිවහනට ද ගියාය. මේ ගමන් හිච්කොක් ගේ ඊර්ෂ්‍යාවට හේතු විය. විට්ෆීල්ඩ් හිච්කොක් ගේ ස්ටේජ් ෆ්‍රයිට් සහ ස්ට්‍රෙන්ජර්ස් ඔෆ් අ ට්‍රේන් යන චිත්‍රපට යුගලයන්හි තිර රචකයා වන අතර පවුලේ සමීපතම හිතවතකු විය.

හිච්කොක් චිත්‍රපටයේ ඇන්තනී හෝප්කින්ස් සහ හෙලන් මිලර්

කෙසේ වෙතත් සයිකෝ චිත්‍රපටය නිෂ්පාදනයේ දී මුදල් යෙදවීමට එතෙක් හිච්කොක්ගේ චිත්‍රපට බහුතරයට නිෂ්පාදනයෙන් දායක වන පැරමවුන්ට් පික්චර්ස් සමාගමේ බළධාරින් අකමැති වෙයි.නෝර්ත් බයි නෝර්ත්වෙස්ට් චිත්‍රපටයට මුදල් යෙද වූයේ මෙට්‍රො ගොල්ඩ්වින් මේයර් සමාගම වන අතර එය ඔහුගේ එකම එම්.ජී.එම් චිත්‍රපටය විය.එහෙත් ඔහුගේ චිත්‍රපට බහුතරයට මුදල් යොද වූ පැරමවුන්ට් සමාගමේ ආයෝජකයන් අදිමදි කිරීම නිසා හිච්කොක් සිය නවතම චිත්‍රපටය සඳහා තමන්ගේ සුවිසල් නාන නිවහන උකස් කර දමන්නේය. එයට ඔහුගේ භාර්යාව එකඟ වනුයේ සිය සැමියාගේ සිතැඟි වලට ඉඩ දීමටය. සැමියාගේ ජීවිතය යනු සිනමාව බැව් ඇය ඉඳුරාම දන්නීය. එහෙත් එය අසාර්ථක වුවහොත් තමන් මහ පාරට වැටෙන වග ඇය නොදන්නවා නොවේ.

චිත්‍රපටයේ චරිත සදහා නිළියන් සොයා යෑමේ සිට දෙදෙනාගේ මත එකිනෙකට පෑහෙන්නේ නැත.දෙදෙනා අතර කදිම ආදර ඊර්ෂ්‍යාවක් පවතී.ඇල්මා විට්ෆීල්ඩ් සොයා යෑම හිච්කොක්ගේ කෝපය කෙතරම් ද යත් ඔහු එය පළ කරනුයේ සයිකෝ චිත්‍රපටයේ එන සංත්‍රාසය වඩා තිවෘ කෙරෙන නාන කාමරයේ පිහියෙන් අනින දර්ශණය රූ ගත කිරීමේදීය. ඇත්ත නම් සැබෑ චිත්‍රපටයේ මේරියන් ක්‍රෙන් මරා දමන දර්ශණයේ දී එම චරිතය රඟපෑ ජෙනට් ලී බිය වී කෑ ගසන්නේ සිය සිනමාකරු හිච්කොක් ටය.එහි ඇයට පිහියෙන් අනින්නට අත ඔසවන්නේ චිත්‍රපටයේ එන මිනීමරු නෝමන් බේට්ස් ගේ චරිතය රඟපෑ ඇන්තනි පර්කින්ස් නොව හිච්කොක්මය. හිච්කොක්ගේ හිතේ ඇඳී ඇති කෝපය වෙන කිසිවක් නොව තමන්ට නොකියා සිය බිරින්දෑ විට්ෆීල්ඩ් සොයා යෑමය.

ජෙනට් ලී බිය වනුයේ හිච්කොක් එම වියරුවෙන් පැමිණ පිහියෙන් අනිද්දීය. ජෙනට් ලී ගේ ඇත්ත භීතිය ලොව විශිෂ්ටතම සිනමා රූපයක් වීම වෙනමම කතාවකි. චිත්‍රපටයේ සංත්‍රාසය පිළිබඳ හිච්කොක් කෙතරම් විශ්වාසයක් ගොඩ නගා ගත්තාද යත් ඔහු චිත්‍රපටය සඳහා පසුබිම් සංගීතය අනවශ්‍ය බැව් තර්ක කරන්නේය. අවසානයේ හිච්කොක් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටය පැරමවුන්ට සමාගම මගින් ප්‍රතික්ෂප කරනු ලබති.චිත්‍රපටය ඇල්මා අතට ගන්නේ එයින් පසුවය. සියල්ල ගසා දමා උකටලී ව යන සැමියා වෙතින් බලයෙන් ම චිත්‍රපටයේ සංස්කරණය තමා අතට ගන්නා ඇල්මා ඒ සඳහා හිච්කොක්ගේ විරෝධය නොතකා බර්නාඩ් හර්මන් ලවා විශිෂ්ට සංගීතයක් නිර්මාණය කරවයි. එමෙන්ම චිත්‍රපටයේ සංස්කරණය ද ඇයට ඇවැසි පරිදි සකස් කරන්නට ඇය සමත් වෙයි. ප්‍රේක්ෂකයා ඉදිරියේ සංත්‍රාසය මවන මහා සිනමාකරුට මුලින් තමා විසින් මෙතුවක් දැවැන්ත මුදල් උපයා දුන් සිනමා සමාගමේ බලධාරීන් අතින් ප්‍රතික්ෂප වීමෙන් නොනැවතී බිරින්දෑගේ උපදෙස් පරිදි චිත්‍රපටය නිම කරන්නට සිදු වීම කෙතරම් ශෝකජනක ද ?.

එවර තැනෙන චිත්‍රපටය පැරමවුන්ට් සමාගම මුලින් තිර ගත කරනුයේ සිනමාහල් දෙකක පමණී.කෙසේ වෙතත් සිනමාහල් හිමියන් අල්ලා ගන්නා හිච්කොක් එක් යෝජනාවකට ඔවුන් කැමැති කරවා ගනියි. ඒ චිත්‍රපට දර්ශණය ආරම්භ කළ පසු කිසිවකුත් සිනමාහලට ඇතුළත් කර නොගැනීමයි. චිත්‍රපටය ආරම්භ කළ පසු සිනමාහලේ ප්‍රක්ෂේපණාගාරයට රිංගන හිච්කොක් සිය චිත්‍රපටය නරඹනුයේ එහි ඇති කුඩා කවුළුවෙනි. සිනමාහලෙහි පිරී සිටින ප්‍රේක්ෂකයන් භීතියෙන් කෑගසන හඬ ඔහු අසන්නේ එම කවුළුව අතරිනි. හිච්කොක් චිත්‍රපටය පුරාම ජනෙල් තිර අතරින් මිනිස් ක්‍රියාකාරකම් නරඹන්නට ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ඇති ආසාව මෙහිදී වඩා ඉස්මතු වෙයි. එයට පෙර නාන කාමරයේ සිට සිය බිරින්දෑ ඇඳුම් අඳීන අයුරු, කාර්යාලයේ සිට සිය ලේකම්වරියගේ ඉරියව් පමණක් නොව මහ මාර්ගයේ ගමන් ගන්නා යුවතියන් ගේ ගමන් විලාසයන් ද ජනෙල් තිර අතරින් හිච්කොක් බලා සිටින්නේය. එපමනක් නොව සයිකෝ චිත්‍රපටයේ නිළිය දෙස ද ඔහු අහම්බෙන් බලනුයේ දර්ශණ තලයේ කුඩා කවුළුවක් තුලිනි. එහෙත් එය ඔහුගේ සිතෙහි ඇති ජාගර ආකල්පයකැයි අපට නොසිතෙයි. ඒ සයිකෝ චිත්‍රපටයේ සංත්‍රාසය ගොඩ නැංවීමේ අරමුණින් අපේ මනස යොමු කර ගැනීමට ද එකී කවුළුව උපයොගී කර ගන්නා නිසාවෙනි.

සිනමා කෘතින් පාදක කර ගෙන තැනුණු චිත්‍රපට රැසක් මගේ මතකයේ වෙයි.එහෙත් හිච්කොක් ඒ සියල්ලට වඩා වෙනස් මානයක් ගෙන එයි.එකක් එය සිනමාකරුවෙකුගේ ඇත්ත ආත්මය හෙළි දරව් කරන බැවිනි. එය අපේ හාස්‍යයට හේතු වන බව ඇත්තය. එහෙත් එය සිනමාකරුවාගේ සැබෑ නිර්මාණය පිලිබඳ අප නොදන්නා කතාව නොවේද ?

නිර්මාණකරුවාගේ නිර්මානයක සැබෑ පාත්‍ර වර්ගය ඔහු සහ ඔහුගේ ලෝකය වන විට එය කෙතරම් මිහිරිද ? අවංක ද? හිච්කොක් චිත්‍රපටය අවසානයේ දී සයිකෝ චිත්‍රපටය සාර්ථක වීම පිලිබඳ ඔහු සිය බිරින්දෑට ස්තූති කරන්නේය. සිනමා කෘතියක් පිළිබඳ අප සිතනවාට වඩා දෙදෙනෙකු අතර ගොඩනැගෙන මිහිරි සබඳතාව කෙතරම් ජීවිතයට රුකුලක් වන්නේ ද ? සංසාර ගත බැඳීමක් යයි අපට සිතෙන්නේ එබඳු මිනිසුන්ගේ ජීවන වෘතාන්ත දුටු කල්හිය