වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි

අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි

සිය මතක මං පෙතෙහි රැඳුණු ගීත පිළිබඳ බොහෝ දෙනෙකුට කියන්නට කතා බොහාමයක් තිබෙන බව අපට නොරහසකි. එවැනි කතා රැසක් රැගෙන මෙවර ‘මතක ගී පොත’ට සහභාගි වන්නේ ප්‍රවීණ ගේය පද රචකයකු, අධ්‍යක්ෂවරයකු, රංගන ශිල්පියකු වන ලූෂන් බුලත්සිංහලයි.

මුළු පරිසරසය වෙලාගෙන තිබුණු රාස්සිගේ අව්ලෑල්ල සෙමෙන් සෙමෙන් බැස යනු පෙනේ. මේ මොහොතෙහි දැඩි අව් රශ්මියක් නොවූව ද, මධ්‍යහ්නයෙහි හිරුගේ රශ්මියෙන් මිහිමත පතිත වූ කිරණෙහි දැඩි බව ගතට දනවන්නේ විඩාවකි. වරින් වර හමන මඳනල ගතට රැගෙන පැමිණෙන සිසිල් බවෙන් මම සිත පුරවා ගතිමි. විවර වූ දොර කවුළුවෙන් මගේ නෙත ගැටෙන්නේ නිල්වන් අහස් තලයයි. නිල්වන් සේලයක් ගත දවටා ගත් අහස් කුස දෙසම මම බලා සිටියෙමි. ඒ සොඳුරු අහස් කුසේ දුහුල්වලා අතරෙන් එබී බලන සොඳුරු උවන මගේ හදවත හැඟුම්බර කරයි. සැබවින්ම ඒ ඔබගේ උවන නේදැයි මම විමතියෙන් ඒ දෙසම බලා සිටියෙමි. ඒ ඔබම ය. අම්මේ ඒ ඔබගේ සොඳුරු උවනමය.

වසර කිහිපයකට ඈත ඔබ හා ගෙවුණු ඒ අතීතයේ වූ මතක මං පෙත ඔස්සේ මගේ සිත පියාසර කරන්නේ ඉබේමය. රත්මලාන ප්‍රදේශයේ මුහුදුකරයට සමීපව පිහිටි අපගේ කුඩා නිවෙසත්, සිනාසෙන පෙණපිඬු විසිරුණු වෙරළත් මගේ මතකයේ රැඳී ඇත්තේ සදා නොමැකෙන අයුරෙනි. පස් දෙනෙකුගෙන් යුත් පවුලෙහි වැඩිමහල් පුතු ලෙස මගේ දෙවුර මතට ද පැවරුණු රාජකාරී බොහොමයක් තිබෙන්නේ යැයි එකළ මම දැඩිව විශ්වාස කළෙමි. ඒ නිසා මම ඔබට අත්වැලක් වන්නට ඉටා ගතිමි. වරෙක වතුර රැගෙන එන්නට ද, තවත් වරෙක ආර්ථිකයට මනා වූ ශක්තියක් වන්නට ද හැකි වූ අයුරු මා අද ද සිහිපත් කරන්නේ සොම්නසෙනි.

ලූෂන් බුලත්සිංහල

රාත්‍රියට මූදු ගිය ඔරු නැවත පැමිණෙන්නේ අලුයමය. අලුයම වෙරළට පිවිසෙන මා ඒ ඔරු ගොඩට අදින්නට වැඩිහිටි අය හා හරි හරියට ඔට්ටු වන අයුරු දැනුදු මා දෑසෙහි විද්‍යමාන වෙයි. ඒ වන මහන්සියට මට ලැබෙන මාළු කොටහ ගෙන මා නිවෙස බලා දුවන්නේ රටක් රාජ්‍යයක් ලද්දකු සේය. මූදු යන්න ඔරුවල වෙසෙන වැඩිහිටියන් හා මිත්‍රව සිටි මම ඔවුන්ට යම් අත්‍යවශ්‍ය දෙයක් වේ නම් සොයා රැගෙන විත් දීමට ද අමතක නොකළෙමි.

විටෙක ඒ නියනකි. නැතිනම් මිටියකි. මේ නිසාම ඔවුන් හා මා අතර බැඳුණු සෙනෙහස කෙතරම් ද යත් මට දැනුදු සිහි වෙයි. මුහුදු ගොස් පැමිණෙන ඔවුහු ඒ සෙනෙහසෙහි නාමයෙන් මා අමතක නොකළහ. ඊට ලැබෙන මාළු කොටහ අපගේ වේලක්, දෙකක් පිරිමසන්නට සමත් වූ බව මට කිසිදා අමතක නොවේ. අප්පච්චි ලබන වැටුප අප පස්දෙනෙකුගේ වියදමට සරි නොවූ බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ යැයි මම සිතමි. දිනෙන් දින දැඩි වන අපගේ කුසගිනි නිවීමටත්, අපට නිසි අධ්‍යාපනයක් ලබාදීමටත් අප්පච්චිත්, ඔබත් ගන්නා වෙහෙස දුටු මට මේ සියල්ල හැරදා රැකියාවක් කිරීමට තරම් සිත් වූ දින අනන්තය. අලුයම කෑ ගසාගෙන රජ ගමනට දුවන කොළඹ රේල්ලුවේ ස්වරය අතරෙන් අද කුමක් කළ යුතුදැයි නොයෙක් වර සිතූ සැටි මට අද මෙන් මතකය.

පාසලෙහි අකුරු කරන්නට පතපොත ගන්නට තරම් වත්කමක් නොවූ එකල මම ඒ සිතුවිල්ලට පරාදවීමට අකැමැති වීමි. ඒ නිසා වරෙක මා පතපොත ගැනීට මුදල් සොයා ගත්තේ වැලි ගොඩ දැමීමෙනි. එකල විසූ දමිළ ව්‍යාපාරිකයෙක් වැලි කියුබ් එකකට සත 50 ක් ගෙව්වේය. සත පනහක් සොයා ගැනීමට දින ගණනක්ම වැලි කූඩ සියයක් පමණ අඳින්නට මට සිදු වුව ද, මම ඉන් අධෛර්යට පත් නොවීමි. ජීවිතය ජය ගන්නට වෙර දරන ඔබටත්, අප්පච්චීටත් මම සවියක් වීමි. ඒ නිසාමදෝ අපේ පවුලෙහි අන් සාමාජිකයන්ට වඩා ඔබ හා මා කෙරෙහි වූයේ අපූරු ළෙන්ගතුකමකි.

ඒ ළෙන්ගතුකමෙහි නියම අරුත මට වැටහුණේ මීට සිව් වසරකට පමණ ඉහත මා ඔබගේ සැප දුක් සොයන්නට ගිය එක් විටෙකය. මමත්, ඔබත්, ඇයත් සිටියේ සොඳුරු කතාබහක නියැළෙමිනි. ඒ සොඳුරු කතාබහ අතරමඟ නැවතූ ඔබ සිය හිස තබන කොට්ටයේ උරයේ අත දමා, ගත්තේ නෝට්ටු කොළ කිහිපයකි. එය ගුලි කර හනික මගේ සාක්කුවට එබූ ඔබ යළිත් කතාබහට පිවිසියේ කිසිවක් සිදු නො වූ විලසෙනි. මා එකල රැකියාවක් නොකළ බව ඔබ දැන සිටියාය. ඔබේ විශ්‍රාම වැටුප මා අත තබන්නට ඔබ උත්සුක වූයේ ඒ නිසාම බැව් සිහිපත් වනවිට, නෙතට නැෙඟන කඳුළු අතරෙන් මට පෙනෙන්නේ ඔබගේ ඒ සුන්දර උවනතමය.

කිසිදු දිනෙක කුමන අඩුපාඩුවක් තිබුණ ද නිවෙසට පැමිණි කෙනෙකු හිස් අතින් යැවීමට තරම් සිතක් ඔබට නොවීය. දිනක් පාසල් ගොස් මා සමඟ අප නිවසට පැමිණි මා මිතුරකුට ඔබගේ බත්පත පිදූ අයුරු සිහිපත් වන විට මගේ හදවතෙහි හට ගන්නේ සිහින් රිදුමකි. එවැනි වූ උතුම් සිතුවිල්ලක්, ඊළඟ පරපුරෙහි වූ මගේ නිවෙසෙහි ද මම කිසිදු දිනෙක නුදුටීමි. අම්මේ, ඔබ, ඔබගේ දරුවන්ට මෙන්ම අන් අයට ද ආදරය කළේ කිසිදු වරප්‍රසාදයක් නොලබමිනි. කුමන හෝ වරප්‍රසාදයක සිතුවිල්ලකට ඉඩක් නොතබමිනි.

රන්බණ්ඩා සෙනෙවිරත්න ලියූ මේ ගීතය ඇසෙන මොහොතක් මොහොතක් පාසා මගේ හදවත රැෙඳන්නේ ඔබගේ රුවමය. ඔබගේ ගුණ සුවඳමය.

විශාරද ගුණදාස කපුගේ

රන්බණ්ඩා සෙනෙවිරත්න

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැසි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇළේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මුහුදු සුළඟ හඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්න ද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ළඟ
ඉන්නවාද අම්මේ

 

ගේය පද – රන්බණ්ඩා සෙනෙවිරත්න

සංගීතය – විශාරද ගුණදාස කපුගේ

ගායනය – විශාරද ගුණදාස කපුගේ

මේ තරම් ප්‍රබල ලෙසින් හා සංවේදී ලෙසින් මවකට අමතන ගීතයක් මගේ ජීවිත කාලයටම මම නුදුටීමි. ‘අම්මා’ යන අකුරු ත්‍රිත්වය ඒ තරමටම මගේ ජීවිතයට කළ බලපෑම අපූරුයි. මට කියන්නට තිබූ බොහෝ දේ, මගේ ජීවිතයට සමීප වූ බොහෝ දේ මේ ගීතයෙහි වන බව මම පවසමි. එහි සෑම පද වැලක් ඔස්සේම ගැයෙන්නේ මගේ ජීවිතය බව මම ඉඳුරාම කියමි. මගේ සුරතෙන් තවමත් නොලියුණු මව් ගුණ ගීතය ලියන්නට අද ද මම කල්පනා කරමි. එනමුදු ඒ ගීය ලියන්නට මට වචන පෙළ නොගැසේ. ඒ තරමටම ඔබ පිළිබඳ කියන්නට තිබෙන්නා වූ දේ බොහෝය. මේ තරම් මගේ ජීවිතය හා බැඳුණු මේ ගීතය ලියූ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් වූ මා මිතුරා ද මට මුණ ගැසෙන්නේ අහම්බයෙනි. එකල මා ගුවන් විදුලියෙහි කළ ‘සඳැල්ල’ වැඩසටහනට ඔහු සම්බන්ධ වූයේ ගමෙහි සුවඳ ද රැගෙනය. දයාරත්න නම් වූ මගේ මිතුරකු ඇසුරෙන් ඔහුව හඳුනා ගත් මා, එකල ඔහු දුටුවේ කවි ලියන්නකු ලෙසය.

ගුවන් විදුලියෙහි හමුවකදී හඳුනාගත් කපුගේට බෙහෙවින් ආදරය කළ රන්බණ්ඩා, ඔහුව රැක ගැනීමට දැරූ ප්‍රයත්නය දන්නේ අප ය. බොරැල්ලේ වයි.එම්.බී. එකේ පිහිටි ඒ බෝඩිමෙහි එකල කලාකරුවන් බොහෝ දෙනෙක් විසූහ. ඒ මිතුදමේ අසිරිය ද මේ ගීතයෙහි පසුබිමෙහි තිබෙන්නේ යැයි ගීතය ඇසෙන නොයෙක් වර මම සිතමි. ඒ නිසාම මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි.

මේ ගීත රචනය ද මගේ සිත බෙහෙවින් ඇඳ තබා ගන්නේ අතීත සිතුවිලි අතර මා අතරමං කරමිනි.

මහාචාර්ය සුනිල් ආරියරත්න

මං මුලා වී පාර අසාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනලියක ගෙනි
පාර අසා තිබුණේ

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙළසද මාහට
ඇයට ද පාරක් ඇති නැති ගානය

අප හමු වූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමන ද අද මෙතැනින් නිමි

 

ගේය පද – මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය – විශාරද ගුණදාස කපුගේ

ගායනය – විශාරද ගුණදාස කපුගේ

සොඳුරු සමනල වියේ ඉහ ඉද්දර සිටියදී ඇය මට හමු වූයේ අහම්බයෙනි. එකල මට බෙහෙවින් ආදරය කළ ගුරුතුමියක් සිය අ. පො. ස. සා. පෙළ විභාග රාජකාරී සඳහා මා ද සම්බන්ධ කර ගත්තාය. එහිදී මුණ ගැසුණු ඇය සැබවවින්ම දඟකාරියක වූවාය. එක් වරෙකදී විභාග මධ්‍යස්ථානයේදී කොළ බිම දැමූ ඇය, මට කියා ඒ කොළ ඇහිද ගැනීමට ප්‍රිය කළාය. තවත් වරෙක ඈ ඉදිරිපස වූ අරලිය ගසෙහි මල් කඩන කොල්ලා පන්නා දමන්නැයි කී අයුරු මට මතකය. මෙවැනි වූ විවිධ කාරණා හේතුකොට ගෙන ඈ මා සමඟ සමීප වූයේ නොසිතූ විරූ විලසිනි. එහෙත් ඒ සමීප බව නැවතත් මා අසලට රැගෙන පැමිණියේ ඊට දෙවසරකට පසුවය. මා සංගීතය ඉගෙන ගැනීමේ අරමුණෙන් සහභාගි වූ ඒ පංතියෙහි ඇය ද සිටියාය. අපි මිතුරු වීමු. ඒ යහළුකම ආදරයකට පෙරළීමට වැඩි කාලයක් ගත නොවීය. ඇගේ වූ සොඳුරු බවට හා දඟකාරකමට මම ඇයට පණ මෙන් ආදරය කළෙමි.

රැකියාවක් ලැබී නුවරට යන්නට මට සිදු වූයේ ද මේ අතරමය. ඒ අතරම මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍යයෙක් ලෙස එහි ඇතුළත් වීමි. ඇය හා මා අතර වූ ආදරය ලිපියකට සීමා වීමට තරම් වූයේ මට පේරාදෙණියට යන්නට සිදුවීමත් සමඟිනි. කාලය ගෙවී ගියේ නොසිතු විරූ අයුරෙනි. ඒ කාලය සේම ඇය ද මා වෙතින් ඉවතට ඇදී ගියේ මා කිසි දිනෙක නොසිතූ විරූ ලෙසනි. රිදුණු තැවුණු සිත ද මා අසලම තබා ගනිමින් මම ඈට සමුදුනිමි. එලෙස මා, ජීවිත ගමනේ පාර අසා තිබුණේ මං මුලා වූ සමනලියකගෙනි. ඒ ඇය ද මං මුලා වී පාර සොයා ගැනීමට නොහැකි වූ සමනලියකි. ජීවිත කාලයෙහිම මා පාර අසා තිබුණේ ද එවැනිම වූ අයගෙනි. අද විවේකීව හාන්සි පුටුවකට බරව සිටිනා මේ මොහොතේ ද, මට ඒ මං මුලාවීමේ පටන් වර්තමානය දක්වාම සිහියට නැගේ.

කපුගේ නම් මා මිතුරා ගයන මේ ගීතයට ආදරය කිරීමට එවැනි හේතු කාරණා බොහොමයක් තිබෙන බව ඇත්තකි. එනමුදු මේ ගීතය හා බැඳුණු තවත් අපූරු පසුබිමක් ද මගේ මතකයට පිවිසෙන්නේ නිතැතින්මය. මගේ ‘තාරාදේවි’ ටෙලි නාටකයෙහි පසුබිම් ගීතය සඳහා සංගීතය නිමවා ගැනීමට මා කපුගේට දුරකතනයෙන් කිහිප විටක් කතා කළේ මේ අතරය. එහෙත් ඔහුගේ අවිවේකී බව ඊට හරස් විය. හදිසියේ දිනෙක කුලරත්න ආරියවංශ හවු වූ කලෙක මගේ අදහස මා ඔහුට පැවසුවේත්, ඊට පිළිතුරක් ලෙස ඔහු කපුගේ ගැයු ගීත එකතුවක් මා අත තැබූයේත් නොසිතුªවිරූ ලෙසිනි. ‘මං මුලා වී පාර අසාගෙන’ ගීතය ද එහි විය. එය මගේ ‘තාරාදේවි’ මාලා නාටකයට අපූරු ලෙස ගැළපිණි. දෙවසරකට පෙර කපුගේගේම කැසට් පටයකට ගැයූ මේ ගීතය, ‘තාරදේවි’ ටෙලි නාටකයත් සමඟ ප්‍රේක්ෂක හද වැළඳ ගත්තේ අප කිසිවෙකුත් නොසිතූ මොහොතකය. මේ ගීතය අසන මොහොතක් මොහොතක් පාසාම ඒ අතීතය සිහිපත් වන නිසාම මම මේ ගීතය බෙහෙවින් අපූර්ව ගීතයක් යැයි සිතමි.