වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉන්නවා ඇඩ්‍රස් නෑ

දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉන්නවා ඇඩ්‍රස් නෑ

කලකට පසුව කමල් සමඟ කතාබහක්

සප්ත කන්‍යා කඳු පන්තියට ඉහළ අහසට සඳ නැෙඟමින් තිබුණිි. හිරිගඬු පූදින සිහිලැල් තුහින මිශ්‍ර සුළං රැලි අනවසරයෙන් සියොළඟ දැවටෙයි. රක්ත වර්ණ වලා වියළ මත සැතපෙන සඳ එළි කැබැලිති නේක වර්ණ තරුණ තරු කුමරියන් සමඟ කතා බහකය. ඒ මේ අත වැනෙන ටර්පන්ටයින් තුරු පෙළ පාමුලට වී මම නැවත සිතිවලි අහුලමි. මේ පරිසර දෙවඟන මා වෙනුවෙන්ම මැවූ මනෝ රම්‍ය හැන්දෑවයි.

විසිතුරු ගගන ඉම මත අරමුණක් නොමැතිව ඇඳෙන සෙවණැලි දෙස බලා හිඳීම මේ මොහොතේ මාගේ ප්‍රියතම කටයුත්තයි. දැන් සප්ත කන්‍යා කඳු වලල්ලට ඉහළින් සිකුරු තරුව බැළුම් හෙළන වේලාවයි. විවිධ සුව සිතිවිලි අතර සැරිසරන මට මේ මොහොතේ නැවත සිහි වන්නේ අනිල් සහ දීප්තිය. එදවස මේ කඳු වලල්ල පාමුල රඟමින්, ගයමින් දෙදෙනා අප හිත මත සදා නන්දනීයව උරුම කළ මතක අදට ද මෙනෙහි කරමින් සුව විඳීය හැකි සුමියුරු ගීතයක් වැනිය.

තව මොහොකින් ඒ අනිල් ඔබ සහ මා හමුවීමට මේ විසල් තුරු සෙවණට පැමිණෙනු ඇත.

කමල් අද්දරආරච්චි . . .

සිංහල සිනමාවේ නොමියෙන ප්‍රේමණීය තාරුණ්‍යය.

අපි කතා කරමු අතීතය, වර්තමානය සහ අනාගතය ගැන.

දෝණි . . . පටන් ගැන්මට හොඳම තැන . . .

ඔව්. දෝණි ළමා චිත්‍රපටයක් කියලා හඳුන්වන්නට හැදුවත් එය පවුලේ චිත්‍රපටක් බව මුලින්ම කිව යුතුමයි. ඒ කතාන්දරය වටා පවුල් සංස්ථාවේ බැඳීීම්, ගැටීම්, හැපීම් මෙන්ම ප්‍රේමණීය බැඳිම් ද එක්වෙලා තිබෙනවා. මෙවර ලැබුණේ වෙනස්ම චරිතයක්.

දෝණි හරහා සමාජයට ඉහළ ආදර්ශයක් දෙන්නට හැකි වේවි. ඒ වගේම සුනිල් ටී. ප්‍රනාන්දු කියන නිෂ්පාපදකවරයා සමඟ සම්බන්ධ වෙලා හොඳ නිර්මාණ කටයුත්තක් කරන්නටත් මට උවමනාව තිබුණා. මොකද ඔහු ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ සක්‍රීය චරිතයක්. හොඳ චරිතයක්. හොඳ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම අවංක නිෂ්පාදකවරයෙක් සමඟ නිර්මාණයකට සම්බන්ධවීමට ලැබීම ගැන සන්තෝෂයි.

චිත්‍රපටය වෙනුවෙන් මගෙන් ලැබිය යුතුª සියලුම දායකත්වය ලබා දුන්නා. ඒ සේවය හරහා ලංකාවේ අපට ආදරය කරන ප්‍රේක්ෂකයාට යමක් ලැබුණොත් එය සතුටට කාරණයක්. මා හිතනවා දෝණි හොඳ වෙනසක් ඇති කරන චිත්‍රපටයක් වේවි කියලා.

යුගයක් සැනසූ නැළ වූ කමල් සංගීතා යුගය දෝණි හරහා අපට ආයෙත් මතක් වෙනවා?

වසර විස්සකට නොඅඩු කාලයකින් තමයි නැවත චිත්‍රපටයක සංගීතා සහ මම හමුවන්නේ. එදා තුරුණු පෙම්වතා සහ පෙම්වතිය ලෙස හමුවුණු අපි මේ චිත්‍රපටයේදී හමුවන විට මාපියන්. වයසින් මෙන්ම අත්දැකීමෙන් ද අපි පරිණත වෙලා. බොහෝ කාලයක් කලා ක්ෂේත්‍රයේ නියැලී සිටි නිසාම අපි දෙදෙනා ඉතාමත් හොඳ මිතුරෝ. ඒ අවබෝධය සහ මිත්‍රත්වය හොඳ රංගනයකට අත්‍යාවශ්‍යයි. එදා යුගයක්ම අමන්දානන්දයට පත් කළ අපි දෙදෙනාට කලකට පසුව නැවත එක්ව රඟපාන්නට ලැබීම වාසනාවක් ලෙසටයි මා දකින්නේ. හැබැයි අපි දෙන්නට තවමත් කොල්ලටයි කෙල්ලටයි රඟපාන්න පුළුවන්. ප්‍රේ්ක්ෂකයා අපිව එකට දකින්න කැමැතියි.

සංගීතා සමඟ රඟපෑමේදී මගේ චරිතය ගොඩ නඟා ගැනීමට ඇය දෙන උදව්ව හා අපේ චරිතය ගොඩ නඟා ගැනීමට මගෙන් ලැබෙන ශක්තියත් ප්‍රේක්ෂකයාට උපරිම රංගනයක් ලබාදීමට හොඳ තෝතැන්නක්. මා හිතනවා විසි වසරකට පසු යළිත් එකට රඟන්නට ලැබීම අපේ වාසනාවක් කියලා.

ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට ඔබට පසුව බොහෝ නළුවන් බිහි වුණා. නමුත් ඔබ තරම් ප්‍රේමණීය නළුවකු මෑත ඉතිහාසයේ අපට හමු වන්නේ නැහැ?

බොහෝ දෙනකු මම ප්‍රේමණීයයි කියලා කියනවා. චරිතවලට විතරක් නෙවෙයි ඇත්තට මං සැබෑ ජීවිතයෙත් හොඳ ප්‍රේමණීය මිනිහෙක්. මගේ ප්‍රේමණීය ගුණාංග වර්ධනය කරමින් තමයි ජීවිතේ ඉදිරියට ගෙනාවේ. රඟපෑමේදී පමණක් ප්‍රේමණීය නොවුණු නිසා වෙන්නට ඇති මිනිස්සු මට මෙතරම් ආදරය කරන්නේ. මට ලැබුණු ඒ ආදරයට මමත් ආදරෙයි.

ඔබ ප්‍රවීණයෙක්. ලංකාවේ වර්තමාන චිත්‍රපට කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ?

අද තිබෙන්නේ අර්බුදවලින් ගහන වුණු චිත්‍රපට කර්මාන්තයක්. අර්බුද නැති තැනක් ද නැති තරම්. චිත්‍රපට නිර්මාණය කරලා ඒවා පෙන්න ගන්න නිර්මාණකරුවෝ පෝළිමට වෙලා ඉන්නවා. ඒ අර්බුදයට තවත් ගින්දර එකතුª කරමින් දවසින් දවස චිත්‍රපට ශාලා වැහිලා යනවා. ඒකෙන් වෙන්නේ තවත් පෝලිම දිගු වන එක. මේකට හොඳ යාවත්කාලීන වන ක්‍රමවේදයක් සැකසිය යුතුයි. ඒවාගේම මේ අර්බුදය නම් වන ගැටය ලිහන්න ප්‍රායෝගික ක්‍රමවේදයන් තිබිය යුතුයි.

නැතිනම් සිංහල සිනමාවට වෙන්නේ ජැක්සන් ඇන්තනීගේ අලුත්ම ෆිල්ම් එකේ නම වගේ වෙන්න. ඒකේ නම ඇඩ්‍රස් නෑ.

සිනමාවෙන් ඇඩ්‍රස් නැති වෙවි කියලද වේදිකාවට බැස්සේ?

අපී නැහැ. ඒක හරි අපූරු කතාවක්. මහා නියඟයක් ආවා. ගංගාවල ඇල දොලවල ලිං අමුණු පොකුණුවල වතුර නැත්තටම නැති වෙන්න හිඳීලා ගියා. ජීවත් වෙන්න වතුර අත්‍යාවශ්‍ය නිසා මං වතුර හොයාගෙන හති දමමින් හැම තැනම පීර පීර ඇවිද්දා. ඒ යන කොට මට කළු උක් ගහක් හමුවුණා. දැක්ක ගමන් මං පරීක්ෂා කරලා බැලුවා. ඉන් පස්සේ මං ඒ උක් ගස රස කරමින් කෑවා. හරිම ප්‍රණීතයි. මං වතුර වෙනුවට උක් කන්න පටන් ගත්තා.

ඕක තමයි සරල කතාව. මට රඟ නොපා ඉන්න බැහැ. මා තුළ තිබෙන නිර්මාණශීලී බව මුදා හරින්නට තැනක් තිබිය යුතුයි. මා තුළ ජීවත්වන නිර්මාණශීලී මිනිසාට හිතෙන්නේ නිර්මාණ අතර සැරිසැරිය යුතුයි. මා ඒ සඳහා වේදිකාව තෝරා ගත්තා. රඟපෑම ඉවරයි වේදිකා නාට්‍යයේ මට ලැබුණේ ඉතාම සංකීර්ණ චරිතයක්. පැය භාගයක විතර වේදිකාව උඩ ඉන්නේ මං විතරයි. ඒ පැය භාගය මං හොඳට විඳීනවා. මම විඳින ප්‍රේක්ෂකයා දිහා බලාගෙන මගේ රංගනයට ලැබෙන ප්‍රතිචාර ඒ මොහොතේම මට දැනෙනවා. වේදිකාව සමඟ ගනුදෙනු කරන්නට ලැබීම ගැන මං තෘප්තිමත්.

චිත්‍රපටයක් නිර්මාණය කරන්න අදහසක් නැද්ද?

ඇත්තටම චිත්‍රපටයක් හදනවාට වඩා චිත්‍රපට ශාලාවක් හදන එක තමයි මේ මොහොතේ විය යුත්තේ. මොකද චිත්‍රපට හදන්න ඕනෑ තරම් පිරිස් ඉන්නවා. ඒ හදන චිත්‍රපට පෙන්වන්න තමයි තැනක් නැත්තේ.

මේ අර්බුදකාරී වාතාවරණය කවදාක හෝ නිමා වේවි කියලා හිතෙනවා. අන්න එදාට චිත්‍රපටයක් කරන්න තමයි මං හිතාගෙන ඉන්නේ. එහෙම නැතුව ඉබාගාතේ යන රැල්ලට චිත්‍රපටයක් කරන්න මට උවමනා නැහැ.

ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැනත් කතා නොකළ යුතු මාතෘකාවක් කියලයි මට හිතෙන්නේ. හරියට ලංකාවේ ටෙලි නාට්‍ය කලාව තියෙන්නේ හුඹහක් වගෙයි. ඇතුළෙ තියෙන හිස් බව පිටතට පෙනෙන්නේ නැහැ. ඒත් හරයක් නැහැ. නිකමට හිතල බලන්න මේක නොවෙයි ද තත්ත්වය කියලා. මං වසර දහයකින් ටෙලි නාට්‍යයක රඟපාල නැහැ. දවසට එකක් වගේ ආරාධනා එනවා. ඒත් තෝරා ගන්න පුළුවන් චරිත නැහැ. හරියට පිටපතක් නැහැ. කවුරු හරි කතාන්දරය කියනවා. ඔයාට තියෙන්නේ මේ චරිතය කියල චරිත හඳුන්වාදීමක් කරනවා. අපිට තියන්නේ සෙට් එකට වෙලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න.

මේ වෙනකොට මෙගා වැහි වැහැලා. පැය භාගෙන් භාගෙට මෙගා. මේවට අනුග්‍රහය දක්වන ආයතනත් හරිම මෝඩයි. බාල නාට්‍ය අස්සේ තමන්ගේ නිෂ්පාදන දාල වෙළද නාට්‍යයක් බිහි කර ගන්නවා.

ලංකාවේ ඉන්නේ හරිම අවාසනාවන්ත ප්‍රේක්ෂක පිරිසක්. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න. නළුවෝ කරන විගඩම් දිහා පේ‍්‍රක්ෂකයත් දෙන දෙයක් කාලා බලන් ඉන්න හුරු වෙලා.

මේව බලධාරීන්ට නොතේරෙනවා නෙවෙයි. නොතේරෙනවා වගේ ඉන්නවා. සතියට දවස් 2 ක් මෙගා දෙන්න. ඉතිරි විකාශන කාලවලදී විවිධත්වයක් තිබෙන, විවිධ කතා තේමා ඇතුලත් නාට්‍ය පෙන්වන්නට පටන් ගන්න. ගෙදර තියෙන මේ පෙට්ටිය ඇතුළේ හැම දේම තියෙන කොට මිනිස්සු කැමති දේ තෝරා ගනීවි.

ඔබගේ වකවානුවේ නළුවකුට නිළියකට තිබුණු වෘත්තීය ගරුත්වය අද නැහැ?

ලංකාවේ නළුවන්ගේ වෘත්තීය ගරුත්වය රැකීම උදෙසා තීරණාත්මක මාවතක් හැදුවේ ගාමිණී ෆොන්සේකා මහතා. එතුමා නළුවකුට තිබෙන වටිනාකමකට අනෙක් පිරිස දැක්විය යුතු ප්‍රතිචාරවල ස්වභාවය කියා දුන්නා. ඒ වගේම නළුවාට නිසි මූල්‍යමය වටිනාකමක් එතුමා එකතුª කළා. අද ඉන්නේ හැමෝටම යට වෙලා කුලියට වැඩ කරන නළු නිළි පිරිසක්. එහෙම මුහුණු තමයි අද ජනප්‍රිය. මොකද ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදියට ගමන යන අය තමයි අද අතිශය ජනප්‍රිය. මේක තමයි වෘත්තීය ගරුත්වයේ තත්ත්වය. එදා නළුවකුට තිබුණු පිළිගැනීම අද නළුවකුට නැත්තේ ඒ නිසයි. අද නළුවන්ට නිළියන් හඬක් නැහැ. ඕනෑම කෙනෙකුට පුළුවන් ඔවුන්ව පාලනය කරන්න.

අද හැමෝම දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නවා. ඇඩ්‍රස් නෑ.

කමල් අද්දරආරච්චි කියන ගායකයාට මොකද වුණේ?

ඒ ගායකයා ඉන්නවා. ලංකාවේ සංගීත කලාව අපයෝජනයට ලක්වෙලා කියලයි මට හිතෙන්නේ. අද ගීතවල තිබෙන්නේ වින්දනයකට වඩා කම්පනයයක්. ගීතයක් ඇහුවට හිත නිවෙනවා වෙනුවට වෙන්නේ සිතිවිලි තවත් ප්‍රචණ්ඩ වෙන එක. අද ගීතවලින් මනසට මොනවවත් ලැබෙන්නේ නැහැ. ගීතයකින් ලොකුª පෙරළියක් කරන්න පුළුවන්.

ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය චිත්‍රපටයේ ‘ඉකි ගසා හඬන’ ගීතය චිත්‍රපටයට කොතරම් ආලෝකයක් එකතු කරලා තිබෙනවාද? මේක අපි තේරුම් ගත යුතුයි. අද හැම දේම හැදෙන්නේ බාල මාර්කට් එක ඉලක්ක කරගෙන. ගීත දෙක තුනක් කරලා බාල මාර්කට් එකට දාන්නත් පුළුවන්. ඒත් ඒක මගේ ප්‍රතිරූපයට හානියක්නේ. ඒ් නිසා ඉතාමත් හොඳ නිර්මාණ කිහිපයක් සැළසුම් කරන්නයි ඉන්නේ.

කොහොමද ඉදිරිය . . .?

ඇඩ්‍රස් නෑ . . .

කතාව නිමා වුණේ වෙනස්ම තැනකිනි. ජැක්සන් ඇත්නතිගේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ ඔහු මේ දිනවල රංගන කටයුතුවල නියැලෙමින් සිටියි. ඔහු ඇඩ්‍රස් නෑ කියමින් කතාන්දරය නිමා කරන්නට ඇත්තේ ද ඒ නිසාවෙනි.

සැබෑවටම . . . කමල් ලංකාවේ සිනමා ඉතිහාසයේ සැමදාමත් පැසසුම් ලිපි ලැබෙන ලිපිනයක් තැනූ චරිතයකි.